සංචරණය සීමා කරනවාද?


තවම තීන්දුවක් නෑ

(දයාසීලි ලියනගේ)   

උත්සව සමයේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බැවින් ජනතාව ඒ උපදෙස් නොසලකා කටයුතු කළහොත් සංචරණ සීමා පැනවීමට අදාළ බලධාරීන්ට සිදුවනු ඇතැයි රජයේ 
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි.   

ලබන අලුත් අවුරුද්දේ (2021) කොරෝනා වසංගතයේ අවදානම අවම කර ගැනීම සඳහා උත්සව සමයේ ජනතාවගේ හැසිරීම බෙහෙවින් බලපාන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.   
මේ වසරේ මාර්තු මාසයෙන් පසු පැවැති සෑම උත්සවයක්ම ඉතා සරලව පැවැත් වූ ආකාරයට මෙවර නත්තල් උත්සවය සරලව පැවැත්වීම මෙම වසංගතය මැඩලීමට බෙහෙවින් උපකාරී වන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.   


මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ, ජනතාවගේ හැසිරීම ගැන දැඩි සෙවිල්ලකින් සිටින බවත් එම හැසිරීම මත සංචරණ සීමා පැනවීම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බවත්ය.