විශේෂ කාර්ය බළකාය සහ පාතාලයේ සටන


 

පාතාල කල්ලියක් බව පැවසෙන කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අතර දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේදී පසුගිය 23 වැනිදා දහවල් කාලයේ වෙඩි හුවමාරුවක් සිදු විය.   


වෙඩි ප්‍රහාරයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු බවට සැලකෙන අයෙක් වෙඩිකා මිය ගිය අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබිණි. 


පලා යමින් සිටි තවත් පාතාලයන් පිරිසක් ලුහුබැඳ ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 


වෙඩිකා මිය ගියේ නාවික හමුදාවේ හිටපු සෙබළෙකි. 


එක් අයෙක් අල්ලා ගත්තේ පලා යද්දී වළක වැටී සිටියදීය. 


පිස්තෝල 02 ක් අත්බෝම්බයක් හා ව්‍යාජ පිස්තෝලයක් ද මෙහිදී පොලිසිය සොයා ගෙන තිබිණි. 


හත්දෙනෙක් අල්ලා ගත් අතර ඒ පාතාලයන් බව කියන පිරිස අතරේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්ද සිටියේය. තවත් අයෙක් අල්ලා ගත්තේ මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය අතරවාරයේය. 


පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන ආකාරයට මෙම කල්ලියට නායකත්වය ලබාදී ඇති බව කියන්නේ පළාත් සභා මන්ත්‍රීවරයාය. 


ඔහු එක්සත් ජාතික පක්ෂය නි​ෙයා්ජනය කරන්නෙකි. 


පළාත් සභා මන්ත්‍රීවරයාට අයත් ඔහු පදිංචිව සිටින වත්තල ප්‍රදේශයේ පිහිටි නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට එම නිවසේ සඟවා තිබූ වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක්, උණ්ඩ තොගයක්, කඩුවක් හා කිනිස්සක් සහ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 68 ක පමණ ප්‍රමාණයක්ද සොයා ගෙන ඇත. 


මීට අමතරව 65-3849 අංකය සහිත වාහන අංක තහඩු දෙකක්ද ඩබ්ලිව්.පී.ජේ.වයි. 1720 අංකය සහිත වාහන අංක තහඩු තුනක්ද මන්ත්‍රීවරයාගේ නිවසේ සඟවා තිබියදී පොලිසියට හමුවී තිබේ. 


මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 24 ක්, එම්.පී.එම්.ජී. උණ්ඩ 09 ක් 3.8 වර්ගයේ රිවෝල්වර උණ්ඩ 48 ක් සහ 4.5 වර්ගයේ උණ්ඩ 48 ක්ද මෙසේ සොයාගත් උණ්ඩ තොගයට ඇතුළත් වෙයි. 


මේවා සොයා ගැනීමෙන් පසු පළාත් සභා මන්ත්‍රීවරයාගේ ඉන්දියන් ජාතික බිරිඳද සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මූලික විමර්ශන වලින් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දෙනු ලැබුවේ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතාටය. 


නිධානයකින් ගොඩ ගත් බවට පැවසෙන මිල කළ නොහැකි බඩු බාහිරාදිය තොගයක් විකිණීමට උත්සාහ කරන කණ්ඩායමකට වෙඩි තබා ඝාතනය කර හෝ ඔවුන් සතු ඒ වටිනා පුරා වස්තු කොල්ලකෑමට පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු කල්ලිය පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 


වෙඩි හුවමාරුව සිදු වන අවස්ථාවේ පලා ගිය පාතාලයන් බවට සැලකෙන පුද්ගලයන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමටද පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 


පොලිස් විශේෂ කාර්ය බළකායට කොටු වූ අය අතර මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාල ප්‍රබලයාගේ ගෝලයින්ද සිටින බව එම බළකායට දැන ගැනීමට ලැබී ඇත. 


මාකිලන්ගමුවේ සංජීව නමැත්තා වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් තවමත් පසුවන්නේ රිමාන්ඩ් බාරයේය. 
පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන ආකාරයට මෙම කල්ලිය පොලිසියට කොටුවීමේ කතාව මෙසේය. 
කිසියම් කණ්ඩායමක් අපරාධයක් සිදු කිරීමේ චේතනාවෙන් දිවුලපිටිය ප්‍රදේශයේ සැරිසරන බවට ඔත්තුවක් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබී ඇත. 


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී සහ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීම යටතේ මෙම අපරාධ කල්ලිය අල්ලා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇත. 


වෙස්වළා ගත් නිලධාරීන් කිහිපදෙනෙක් ත්‍රිරෝද රථයකින්ද තවත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින්ද දිවුලපිටිය ප්‍රදේශය බලා පිටත්ව ගියේ මෙම කල්ලිය කොටුකර ගැනීමටය. 


දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේ රැකවල්ලා ගෙන සිටියේ ඔත්තුවෙන් කියවුණු කල්ලිය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි. 


පාතාල කල්ලිය අල්ලා ගැනීමට ගියේ පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය මහතා ප්‍රධාන විශේෂ කාර්ය බළකායේ බුද්ධි සංග්‍රාමික හා උපක්‍රමික අවි අංශයේ නිලධාරීන් කණ්ඩායමකි. 


පොලිස් කණ්ඩායම දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයන් තිදෙනකු දැක ඔවුන් අල්ලා ගැනීමට ගොස් ඇත. 


ඒ අවස්ථාවේම තවත් සැක කටයුතු වෑන් රථයක් පොලිස් කණ්ඩායමට වෙට්ටුවක් දමා පලා යද්දී ඔවුන් අල්ලා ගැනීමට හඹා යද්දී පොලිසිය දෙසට දිගට හරහට වෙඩි තබන්න පටන් ගෙන තිබේ. 


පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද ජීවිතාරක්ෂාව පතා ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී දෙදෙනකුම වෙඩිකා බිම ඇද වැටෙන අන්දම දැක ගැනීමට ලැබී ඇත. 


වෑන් රථයේ ආ කණ්ඩායම ඔවුන් පැමිණි වෑන් රථයද අතහැර දමා අසල තිබූ කැලෑවකට පලා ගිය අවස්ථාවේ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඔවුන්ද අල්ලා ගත්හ. 


එක් අයෙක් ගැඹුරු වළක වැටී ජීවිතයත් මරණයත් අතර සිටියදී ඔහු ගොඩට ගෙන පසුව අත්අඩංගුවට ගනු ලැබිණි. 
තවත් තිදෙනෙක් පලා ගොස් තිබූ අතර එයින් එක් අයකු පොලිස් වෙඩි තැබීම්වලින් තුවාල ලබා සිටි අය විය. 


වෙඩිකා ඇද වැටී සිටි පුද්ගලයා දිවුලපිටිය හොරගස්මුල්ල රෝහලට කඩිනමින් රැගෙන යනු ලැබුවේ කෙසේ හෝ ඔහුගේ ජීවිතය බේරා ගැනීමටය. 


එහෙත් වෛද්‍යවරුන් පරික්ෂා කර බලා කිව්වේ ඔහු මිය ගොස් ඇති බවය. 


වෙඩි නොවදින කබා පැලඳ සිටි නිසා පාතාල කල්ලිය බව කියන කණ්ඩායමේ අය එල්ල කළ ප්‍රහාර වලින් එස්ටීඑෆ් නිලධාරීන්ට කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත. 


වෙඩිකා මිය ගොස් තිබුණේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ පදිංචිව සිටි නාවලගේ තුෂාර ලක්ෂිත කුරේ (35) නමැති හිටපු නාවික හමුදා සෙබළෙකි. 


වෙඩිකා තුවාල ලබා සිටියදී පලා ගිය අයෙක් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුද අත්අඩංගුවට ගත් අතර ඔහු බරපතළ තත්ත්වයක පසුවූ නිසා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබේ. 


රෝහලේ ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්ෂාව යටතේය. ප්‍රතිකාර ලබන්නේ සුරංග දිනේෂ් කුමාර නමැත්තාය. 


වෑන් රථයේ ගමන් කරමින් සිටියදී පොලිස් ප්‍රතිප්‍රහාර හමුවේ වෑන් රථය අතහැර දමා අසල තිබූ කැලෑවකට පලා ගොස් සිටියදී අල්ලාගත් හත්දෙනා අතර පළාත් සභා මන්ත්‍රීවරයාද විය. 


මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු පුෂ්පකුමාර සෝබිස්, ජානක දිනේෂ් ජයකොඩි, නිහාල් රාජපක්ෂ, හැරල්ඩ් රොහාන් දබරේරා ජූඩ් නුවන් සපරමාදු, කෝමලද සිල්වා සහ සුරංග දිනේෂ් කුමාර නමැත්තන්ය. 


පළාත් සභා මන්ත්‍රීවරයා රජයේ ප්‍රබල ඇමතිවරයකුගේ ඥාති පුතෙක් බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇත. 
ගම්පහ ධනවත් ව්‍යාපාරිකයෙක් වන ඔස්මන්ඩ් මහතාට මීට මාස දෙකකට පමණ ඉහතදී වෙඩි තැබීමට සම්බන්ධ කිහිපදෙනෙක්ද අල්ලාගත් 08 දෙනා අතර සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 


පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසි කර උණ්ඩ තොගයක්, කඩුවක්, කිනිස්සක් හා පුපුරන ද්‍රව්‍ය හා ව්‍යාජ වාහන අංක තහඩු සොයාගෙන ඔහුගේ ඉන්දියන් ජාතික බිරිඳ සැකපිට අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවය. 


ඇය 31 වැනි වියේ පසුවන එක්දරු මවක් වන්නීය. 


පළාත් සභා මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇතැයි කියන්නේ තමාට මෙවැනි දේවල් සඟවා ඇති බවත් කිසිසේත්ම දැනගෙන සිටියේ නොමැති බවත්ය. 


පොලිසිය මේ ගැන පළාත් සභා මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමේදීද පවසා ඇති බව කියන්නේද මේවා නිවසේ තිබෙන බව තමා නොදැන සිටි බව යැයි කියයි. 


ජීව උණ්ඩ තොගයක්, ව්‍යාජ වාහන අංක තහඩු, කඩුවක්, කිනිස්සක්, පුපුරන ද්‍රව්‍ය හා වෙඩි නොවදින කබායක් සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා නිවසේ සඟවා ගෙන සිටියේ කුමන අරමුණකින්ද යන්න ගැන කරුණු අනාවරණය කර ගැනීමටද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 


අල්ලාගත් සැකකරුවන් බස්නාහිර පළාතේ පසුගිය කාලයේ සිදුවූ යම් යම් අපරාධවලට සම්බන්ධ අයද යන්න ගැන සොයා ගැනීමටද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 


පළාත් සභා මන්ත්‍රීවරයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී තමාගේ ආරක්ෂාවට ජීවම් කරන ලද සුරයක් දමා ගැනීමට දේවාලයකට යමින් සිටි බව පවසා ඇතැයි පැවසේ. 


වෑන් එකේ සිටියදී අල්ලාගත් තවත් අයෙක් පොලිසියට පවසා ඇත්තේ තමාව කාලයක සිට දේව දෝෂයක් තිබෙන බවත් ඒ නිසා තමාද දේවාලයට යාමට පැමිණි බවත් පොලිස් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත. 


පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පවසනුයේ මේ ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවය. 


පොලිස් නිලධාරීන් එහෙම කියන්නේ වෙන කිසිවක් නිසා නොව අවි ආයුධ බෝම්බ අරගෙන ශාන්ති කර්ම කර ගැනීමට දේවාලවලට නොයන නිසාය. 


මේ සැකකරුවන් දෙදෙනා මොනවා කීවත් මොවුන් යමින් සිටියේ නිධානයකින් ගොඩගත් බවට පැවසෙන පුරාවස්තු තොගයක් ඒවා සන්තකයේ තබාගෙන සිටින අයගෙන් පැහැරගෙන ඒමට බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 


පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර, බස්නාහිර උතුරු දිසා බාර නි​යෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා සහ දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසම්පත් යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. 


අත්අඩංගුවට පත් පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු හත්දෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් චතුරන්ති පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාසයේ 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළාය. 


අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයාගේ බිරිඳ හර්යේට ටෝර් නමැත්තිය වත්තල මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළාය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය