වයස්ගතව මියයනතුරුම එකට ඇලී ජීවත්වූ සොහොයුරෝ


 

 

‘‘තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ’’ 


යන කියමන ඇමෙරිකන් ජාතික රොනී සහ ඩොනීට අදාළ නොවිණි. රොනී සහ ඩොනී මෙලොව එළිය දුටුවේත්, අවසන් සුසුම් හෙළුවේත් එකටය. රොනී සහ ඩොනීගේ බැ‌ඳීම පුදුමාකාර එකකි. ගිනස් වාර්තා අතරට ද එක්වුණු රොනී සහ ඩොනී ලොව වයස්ගතම එකට බද්ධ වූ නිවුන්නුය. රොනී සහ ඩොනී මෙලොව හැර ගියේ         පසුගිය 4 වැනිදා ඇමෙරිකානුවන් ඔවුන්ගේ නිදහස් දිනය සමරද්දී ය.   


රොනී සහ ඩොනී උපන්නේ 1951 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ය. රොනී සහ ඩොනීගේ මාපියන් එලීන් සහ වෙස්ලි ගේලොන් ය. එලීන් සහ වෙස්ලි යුවළට රොනී සහ ඩොනී ඇතුළු දරු දැරියෝ 9 දෙනෙකි. රොනී සහ ඩොනී එකිනෙකාට බද්ධ වූයේ උදරයෙනි. දෙදෙනාට තිබුණේ එකම ආහාර ජීර්ණ පද්ධතියකි. ඒ හැර අනෙක් අවයව සහ ඉන්ද්‍රියයන් වෙන් වෙන් ව පිහිටියේය.   


උපන් අවස්ථාවේදී වෛද්‍යවරුන් පැවැසුවේ රොනී සහ ඩොනී නිරෝගී බවය. ඔවුන්ගේ බර රාත්තල් 11 ක් විය. උපත ලබා පළමු වසර දෙක පුරාවට දෙදෙනා ගත කළේ රෝහලේ ය. රොනී සහ ඩොනී වෙන් කිරීමේ ක්‍රමයක් වෛද්‍යවරු කල්පනා කරන්න වූහ. ඒත් එය අවදානම් කටයුත්තකි. දරු දෙදෙනාගේ ජීවිතය අනතුරේ දැමීමකි. එලීන් සහ වෙස්ලි ඊට විරෝධය පළ කළහ. රොනී සහ ඩොනීට වැඩියෙන් ආදරේ ලැබුණේ මව එලීන්ගෙන් නොව පියා වෙස්ලිගෙනි.   


වසර 68 ක් එක් උදරයකින් සම්බන්ධ වෙමින්, එකිනෙකාගේ මුහුණ බලාගෙන ජීවත්වීම පහසු කටයුත්තක් නොවෙයි. රොනී සහ ඩොනී දෙදෙනා ගිනස් ලෝක වාර්තා අතරට එක් වූයේ 2014 දී 64 හැවිරිදි වියට පා තබද්දීය. පසුගිය 4 වැනිදා, ඇමෙරිකානු නිදහස් දිනය දා, දෙදෙනා අවසන් සුසුම් හෙළුවේ නොයෙක් ආකාරයේ සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා විඳීමෙන් පසුවය. සෑම දරු උපත් ලක්ෂ දෙකකට එකක් බද්ධ නිවුන් දරුවන් බිහිවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙතෙක් උපත ලැබූ බද්ධ නිවුන් දරුවන්ගෙන් සියයට 70 ගැහැණු දරුවන්ය. හිසෙන් බද්ධ වුණු නිවුන් දරු දෙදෙනකු පළමු වරට සාර්ථකව වෙන් කිරීම සිදුවූයේ 1955 දීය. ඒ හපන්කම කළේ චිකාගෝ මර්සි රෝහලේ ස්නායු වෛද්‍ය හැරොල්ඩ් වෝරිස්ගේ මූලිකත්වයෙනි.   
රොනී සහ ඩොනී ද ඇතුළු දරු දැරියන් 9 දෙනකුගෙන් යුත් එලීන් සහ වෙස්ලි පවුල අගහිඟකම් රැසකට මුහුණ දුන්නේය. රොනී සහ ඩොනී වැඩි කාලයක් රෝහලේ ගත කළ බැවින් එලීන් සහ වෙස්ලි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්හ. කළ හැකි දෙයක් නොවුණු බැවින් කුඩා කාලයේදීම රොනී සහ ඩොනී සර්කස් කණ්ඩායමකට බාර දීමට පියා වෙස්ලි කටයුතු කළේය. ඒ අනුව රොනී සහ ඩොනී දෙදෙනාගේ බාරකරු බවට පත් වූයේ සර්කස් කණ්ඩායමේ කළමණාකරු වෝඩ් හෝල්ය.   

 


රොනී සහ ඩොනී දෙදෙනා ඇවිදීමට පටන් ගත්තේ මාස 29 දීය. ඇවිදීම යනු දෙදෙනා පසුපසට යෑමකි. එය හුරු වීම තරමක් අසීරු වූ නමුත් ඒ සඳහා වෛද්‍ය උපදේශකයන්ගේ සහාය ලබා ගැනීම සිදුවිය. ඇඳුම් ඇඳීම, සපත්තු පැලඳීම, වැසිකිළි යෑම වැනි දෛනික කටයුතු පුරුදු පුහුණු කෙරුණි. රොනී සහ ඩොනී ට පාසල් අධ්‍යාපනයක් ලැබුණේ නැත. පාසල් කිහිපයක් ම එලීන් සහ වෙස්ලි ට පෙන්වා දුන්නේ බද්ධ නිවුන් දරු දෙදෙනා පාසලට ගේනවා ගැනීම අනෙක් දරුවන්ගේ අවධානය බිඳීමට හේතුවක් වනු ඇති බවය.   
එකිනෙකට වෙනස් පෙනුමින් යුත් සර්කස් චරිත අතරට රොනී සහ ඩොනී එක්වුණු අතර, සර්කස් කණ්ඩායම ඇමෙරිකාව පුරාත්, කැනඩාවේත් සංචාරය කළේය. සර්කස් නැරැඹීමට පැමිණෙන කාගේත් අවධානය රොනී සහ ඩොනී දෙදෙනාට හිමිවිය. සර්කස් කණ්ඩායමට එක්වීමෙන් රොනී සහ ඩොනීට යහමින් මුදල් ලැබුණි. අවුරුදු 11 ක් වෙද්දී පවුලේ බර කරට ගත්තේ රොනී සහ ඩොනීය.   


2010 වසර වෙද්දී, ඕනෑම වැඩක් තනිවම කර ගැනීමට රොනී සහ ඩොනී ට හැකියාව ලැබී තිබුණි. ආහාර පිසීම සැමවිටම කළේ ඩොනීය. වැඩිය කතාබහ කළේත්, නාන කාමරය පිරිසුදු කළේත් රොනී ය. උදරයෙන් එකට බද්ධ වුවත් රොනී සහ ඩොනී දෙදෙනකු ලෙස පිළිගැණින. වෙන් වෙන්ම ඡන්ද අයිතිය හිමිවිය. වෙන් වෙන්ව සමාජ ආරක්ෂක අංක දෙකක් ලැබී තිබුණි. කෙසේ නමුත් දෙදෙනාට තිබුණේ එක් ගුවන් ගමන් බලපත්‍රයක් පමණි.   


මේ අයුරින් එකිනෙක බද්ධව උපදින නිවුන් දරුවන්ට ඇත්තේ කෙටි ආයු කාලයකි. රොනී සහ ඩොනී දෙදෙනාට ජීවිත තර්ජනයක් එල්ල වූයේ 2009 දීය. ඒ, වයිරස ආසාදනයකට ලක් වුණු රොනීගේ පෙනහලුවල ලේ කැටියක් සිරවීමෙනි. ඒ අනුව ලේ තුනී කරන බෙහෙත් භාවිත කිරීමට සිදුවිය. රොනී රෝගී වීමෙන් පසු ඩොනී ද රෝගී වූ අතර ඉන්පසු දෙදෙනාගේ සෞඛ්‍ය කෙමෙන් පිරිහෙන්න විය. පියා වෙස්ලිගෙන් පසු රොනී සහ ඩොනී වෙනුවෙන් පූර්ණ කාලීනව කැප වී දෙදෙනා බලාගත්තේ සොයුරු ජිම් ය. දෙදෙනා අවසන් සුසුම් හෙළද්දී ළඟ සිටියේ ද ඔහුය. රොනී සහ ඩොනී අවසන්වරට ජීවත් වූයේ ඔහියෝ ජනපදයේ ඩේටන් නගරයේය. රොනී සහ ඩොනී උපන් නගරය වන්නේ ද මෙයයි.   

 

 

ලුසිත ජයමාන්න   ඩේලිමේල් ඇසුරිනි