මර්දන වැඩපිළිවෙළ ඉබාගාතේ කොරෝනා මර්දනයට මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඕනෑ


- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  

(දයාසීලි ලියනගේ) 

කොරෝනා වසංගතය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ඉබාගාතේ යන ස්වරූපයක් පවතින නිසා එම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පෙන්වා දී ඇත.  

දැනට කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකාය එකට කටයුතු කළත්, ක්‍රියාත්මක වීමේදී එක් මධ්‍යස්ථානයකින් කටයුතු නොවීම නිසා එම වැඩපිළිවෙළ ඉබාගාතේ යන තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ද සොයිසා මහතා කීය.  


ආසාදිතයන් හඳුනා ගැනීම ප්‍රතිකාර කිරීම, ආශ්‍රිතයන් කළමනාකරණය හා පසුවිපරම යන කරුණු හතර එකිනෙකට සම්බන්ධතාවයෙන් එක් මධ්‍යස්ථානයක සිදුවිය යුතුව ඇතැයි ද වෛද්‍ය නලීන් ද සොයිසා මහතා කීය. පී.සී.ආර්. පරීක්ෂණ මගින් රෝගීන් හඳුනා ගැනීම, ප්‍රතිකාර සඳහා රැගෙනයාම ආශ්‍රිතයන් හඳුනා ගැනීම හා පසුවිපරම් කටයුතු මේ වෙනවිට විධිමත්ම සිදු නොවීම නිසා ජනතාව අසීරුවට පත් වූ අවස්ථා බහුලව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.