පියයුරු පිළිකා රෝගීන් වසරකට 3500ක් අලුතින්


(අසුන්තා එදිරිසූරිය)  

වසරකට ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාවට ගොදුරු වෙන නව රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහස් පන්සියයකට (3500) වඩා වැඩි අගයක් ගන්නා බවත් සෑම දිනකදීම රෝගය අලුතින් හඳුනාගන්නා රෝගීන් 9 දෙනෙකු හමුවෙන බවත් වාර්තා වේ.

ලොව රටවල් 1500ක කාන්තාවන් බහුලවම ගොදුරුවන පිළිකාමය තත්ත්වය ලෙසට පියයුරු පිළිකාව හඳුනාගෙන තිබේ. මෙම පිළිකාවෙන් වාර්ෂිකව රෝගීන් 700ක් පමණ අවාසනාවන්ත ලෙස මියයන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.  


මේ වෙන විට පියයුරු පිළිකාවට ගොදුරු වී පූර්ණ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව දසදහසක් (10,000) ඉක්මවා ඇති බවද වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රටපුරා ක්‍රියාත්මක ‘සුවනාරි’ සායන මගින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කෙරෙන ‘සුවදිවි’ මධ්‍යස්ථාන වලින් රජයේ සෑම ප්‍රධාන රෝහලකම ශල්‍ය වෛද්‍ය ඒකක ආශ්‍රිත ක්‍රියාත්මක පියයුරු පරීක්ෂා ඒකක මගින් හා පිළිකාව කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථාන මගින් පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ නොමිලේ කරගත හැක.