පළාත් සභා රෝහල් සියල්ල මධ්‍යම රජය යටතට


(දයාසීලි ලියනගේ)  

පළාත් සභා යටතේ පවත්නා සියලු රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.  


 මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා පළාත් සභා ව්‍යවස්ථා සංශෝධන කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එකඟතාවය දක්වා ඇත.  

පළාත් සභා යටතේ පවතින රෝහල්වල පැන නැගී ඇති ගැටලු පිළිබඳව පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.  


 සෞඛ්‍ය ක්ෂේත්‍රය මධ්‍යම රජය යටතේ පැවැත්වීමේ අවශ්‍යතාව හා පළාත් සභා යටතේ පවතින රෝහල් පවත්වාගෙන යාමේ ප්‍රශ්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.  


 විශේෂයෙන් බස්නාහිර පළාත තුළ පිහිටි රෝහල්වලට විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය ප්‍රමාණය පිළිබඳව අනුමැතිය ලබා නොතිබීම නිසා එම රෝහල්වලට විශේෂඥ වෛද්‍යවරු පත්කිරීම ගැටලුකාරී වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.  


 මේ තත්ත්වය නිසා ග්‍රාමීය රෝහල්වලට පැමිණෙන ජනතාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට නොහැකි වී ඇති බව ද ඔහු කීය.