පළාත් සභා ඡන්දය: මැතිවරණ ක්‍රමය පිළිබඳ හෙට කැබ්නට්ටුවේදී තීන්දුවක්


(අජන්ත කුමාර අගලකඩ)   

පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පවත්වන්නේද? නැතිනම් අලුත් කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේ ද? යන්න හෙට (29) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සඳහා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් විකල්ප යෝජනා දෙකක් ඇතුළත් කැබිනට් සංදේශයක් ඉකුත් සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.   
ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවට ඇමැතිවරුන් පිරිසක් ප්‍රකාශ කිරීම නිසා එය සාකච්ඡාවට ගැනීම සතියකින් කල් දැමුණු අතර එම කැබිනට් සංදේශය හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී සාකච්ඡාවට ගැනෙනු ඇත.   


මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පවත්වන්නේ නම් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නව පනත අහෝසි කර පැරැණි පනත බලාත්මක කළ යුතු බව ඉන් එක් යෝජනාවකි.   


එසේ නොමැති නම් මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේ නම් කොට්ඨාස මට්ටමින් සියයට 70ක්ද අනුපාත ක්‍රමය යටතේ සියයට 30ක්ද වශයෙන් මන්ත්‍රීවරුන් පත්කර ගැනෙන ලෙස නව පනත සංශෝධනය කිරීම ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති දෙවැනි විකල්ප යෝජනාව වේ.   


මේ අතර පළාත් සභා මැතිවරණයේ දී ජයග්‍රහණය කරන පක්ෂයට පළාතෙන් හිමිවන ප්‍රසාද මන්ත්‍රී ආසන දෙක වෙනුවට දිස්ත්‍රික් මට්ටමින් ප්‍රසාද මන්ත්‍රීවරුන් දෙදෙනකු බැගින් පත් කිරීමට ද එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති බව වාර්තාවේ.   


ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක් අයත්වන පළාත් සභාවකට ප්‍රසාද මන්ත්‍රී ආසන හතරක් ද දිස්ත්‍රික්ක තුනක් අයත්වන පළාත් සභාවකට ප්‍රසාද මන්ත්‍රී ආසන හයක් ද හිමිවන ලෙස මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවට යෝජනාවී ඇති බව පැවැසේ.   


කෙසේ වුවද මේ සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට රජය බලාපොරොත්තු වේ.   


පළාත් සභා මැතිවරණය ලබන අගෝස්තු මාසය පමණ වන විටවත් පැවැත්වීම රජයේ අපේක්ෂාව වී ඇත.