පළාත් සභා ඡන්දයට නීතිය සති දෙකකින්


(අජන්ත කුමාර අගලකඩ)  

වසර තුනක් පමණ තිස්සේ කල්යමින් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අද‌ාළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලයට සති දෙකකින් පමණ ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  


ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.   


මේ සම්බන්ධයෙන් ඉරිද‌ා ලංකාදීපය කළ විමසුමක දී අදහස් දැක්වූ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අද‌ාළ යෝජනාව හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.  

තමා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද ළඟදීම හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බවත් ඉන් අනතුරුව අද‌ාළ කැබිනට් සං​දේශය ඉදිරිපත් කරන බවත් ඇමැති තෙන්නකෝන් මහතා කීවේය. පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පවත්වන්නේ ද නැතිනම් දැනට සම්මත කර ඇති කොට්ඨාස හා අනුපාත ක්‍රමයට පවත්වන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි කී ඇමැතිවරයා ඉන් කුමන ක්‍රමයට ඡන්දය පැවැත්වුවද ඒ සඳහා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ඒමට සිදුවන්නේ යැයි සඳහන් කළේය.  


අද‌ාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අදහස බව ද ඔහු කීවේය.  


 මහජන නියෝජිතයන් නැති වුවද පළාත් සභා දැනටමත් ක්‍රියාත්මක වන බව කී ඇමැතිවරයා පළාත් සභා ක්‍රමය තිබී මහජන නියෝජිතයන් පමණක් එහි නොමැති වීම බරපතළ ගැටලුවක් බව පැවැසීය.  
එබැවින් පසුගිය යහපාලන රජය යටතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කල්දමා ඇති පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමේ ප්‍රතිපත්තිමය තීරණයක රජය සිටින බව ද හෙතෙම කීවේය.  


 මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාද‌ා පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී ද පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.  


 පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබෙන බාධකය ඉවත් කිරීමේ සංශෝධනය කඩිනමින් ගෙනෙන ලෙස ජනාධිපතිවරයා ඉකුත්ද‌ා පැවැති පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදයේ හමුවේදීද ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ද උපදෙස් දී ඇත.