ඡන්ද අපේක්ෂකයන් අතර අපරාධකරුවෝ 60 දෙනෙක්


(ජයන්ත සමරකෝන්)
මෙවර පුංචි ඡන්දයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 7000 දෙනා අතර පාතාල අපරාධ, මත්කුඩු, මූල්‍ය චෝදනා ඇතුලු අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් 60 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තාවී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

කොළඹ, රත්ගම, කඩුවෙල, බලපිටිය, ගම්පොල, දැරණියගල, නැගෙනහිර පළාතේ අක්කරෙයිපත්තුව ඇතුලු තවත් ප්‍රදේශ ගණනාවක් මේ අතර වන බවද එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා “ඉරිදා ලංකාදීප”යට පැවැසීය. 


මෙයින් වැඩිම පිරිස එජාප හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් බවද එවැනි තොරතුරු රාශියක් තවමත් ලැබෙමින් පවතින බවද ඒ මහතා කීය. කොළඹ මහ නගර සභාවට එජාපයෙන් ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනකුද දැරණියගලට මූල්‍ය චෝදනා ඇති 11 දෙනෙකුද ඇතුළත්කර සිටින බවද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අල්ලස් ඇතුලු මූල්‍ය චෝදනා සහිත අපේක්ෂකයින් විශාල පිරිසක් ඉදිරිපත් කර ඇතැයිද ශ්‍රීලනිප අපේක්ෂක ලැයිස්තුවේද ඒ හා සමානව පිරිසක් සිටින බවද හෙළිවී ඇතැයි එම සංවිධානය පවසයි. නැගෙනහිර පළාතේ අපේක්ෂකයින් ගණනාවකට මත් කුඩු චෝදනා එල්ලවී ඇතැයිද ඔහු කීවේය.