ගුවන් සේවා සමිති සටනට බසියි


(දයාසීලි ලියනගේ)  

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වා ගුවන් සේවා වෘත්තීය සමිති බහුතරයක් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා තීරණයකට එළඹ ඇත.  

ඉන්දියාවට අවශ්‍ය පරිදි ගුවන් සේවා පනත සංශෝධනය කිරීමටත් මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට ලබා දීමටත් විරෝධය දක්වා ඉදිරි සති දෙක තුළ දී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වී ඇති බව වාර්තා වේ. 

 
මත්තල පිහිටි තෙල් ගබඩා සංකීර්ණයේ සේවක පිරිස් ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇත.  


ගුවන් සේවාවට සම්බන්ධ වෘත්තීය සමිති 15 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී පූර්ව දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදීමට තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත. ගුවන් තොටුපොළ පැවරීමට ගත් තීරණය වෙනස් නොකළහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.