කොළඹ මහ නගර සභාවේ කෝටි 30ක ඉදිකිරීමකට ආන්දෝලනයක්


(දයාසීලි ලියනගේ)   

ප්‍රමුඛතාව හා වියදම් පාලනය කළයුතු බව නාගරික භාණ්ඩාගාරික විසින් දැනුම් දී තිබියදීත් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රී ශාලාවක් හා අනෙකුත් අභ්‍යන්තර කාර්යයන් නැවත සැළසුම් කිරීම සඳහා රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වැය කිරීමට යයි. 

මේ සඳහා වූ යෝජනාව කොළඹ නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කමිටුවට ඉදිරිපත් කර ඇත.   


මන්ත්‍රී ශාලාව, කොළඹ මහ නගර සභාවේ අභ්‍යන්තරයේ වැසිකිළි සහ අනෙකුත් අභ්‍යන්තර කාර්යයන් නැවත සැලසුම් කිරීම සඳහා මෙම මුදල වැය කිරීමට නියමිතය.   
මෙම ඉදිකිරීම් සඳහා පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් තෝරා ගෙන ඇති අතර එයට තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශ ලබාදී ඇති බවද සඳහන් වේ.   
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කළ යුතු බවට රජයට යෝජනා ඉදිරිපත් වී ඇති අතර දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය මේ වසරෙන් අවසන් වීමට නියමිතව ඇත. ලබන පෙබරවාරි මාසයේදී යළි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අතර එහිදී සභික සංඛ්‍යාව අඩුකිරීමට නියමිතව ඇත.   


ඊට අමතරව කොරෝනා වසංගත තත්ත්වය නිසා රුපියල් මිලියන 300 කට වඩා වැඩි මුදලක් දැරීමට සිදුවී තිබුණි. තවත් වියදම් දැරීමට සිදුවී ඇති අතර මූල්‍ය තත්ත්වයට බලපා ඇති අහිතකර බලපෑම කළමනාකරණය කිරීමට සභාවට සිදුවී ඇති බැවින් ප්‍රමුඛතාව හඳුනා ගෙන වියදම් පාලනය කළයුතු බව නාගරික භාණ්ඩාගාරික විසින් නාගරික කොමසාරිස්වරයාට දන්වා තිබියදී මෙම මුදල වියදම් කිරීමට යන බව සඳහන් වේ.