ආර්ථික කළමනාකරණ කමිටුව බදාදාත් රැස්වෙලා


(අජන්ත කුමාර අගලකඩ)  
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබියදී එම කමිටුව ඉකුත් බදාදා (14) දිනයේද රැස්වී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.  

 අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුවෙන් රටට ඵලදායි කිසිවක් නොවූ බැවින් එය අහෝසි කළ යුතු බව ජනාධිපතිවරයා මීට සති දෙක තුනකට පෙර පැවැති කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කර තිබූ අතර ආර්ථක කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයා විසින් කැබිනිට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබිණි.  


 එය එදින සාකච්ඡාවට නොගැනුණු අතර අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත.  


 එසේ තිබියදී ආර්ථික කළමනාකරණ කමිටුව ඉකුත් බදාදා දිනයේ රැස්වී ඇති අතර ඊට කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු සහභාගි වී නොමැති බව ද වාර්තා වේ.  


 ජනාධිපතිවරයා ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබියදී එම කමිටුව රැස්වීම ගැටලුවක් බව කියමින් ඔවුන් මෙම රැස්වීමට සහභාගි වී නැති බව රජ​ෙය් ආරංචි මාර්ගවලින් පැවසේ.