අලුත්වැඩියාවට පහසුකම් නැතිව දුම්රිය එන්ජින් 20ක් කොටඋඩ


(දයාසීලි ලියනගේ) 


දුම්රිය එන්ජින් 20ක් හා දුම්රිය මැදිරි 100ක් පමණ අලුත්වැඩියා කළ යුතු තත්ත්වයෙන් පැවතුනත්, ඒ සඳහා ප්‍රමාණවත් තරම් ධාවනාගාර පහසුකම් නොමැති වීම දුම්රිය දෙපාර්තමේන්තුවට බලවත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වේ.  

දුම්රිය ඇණිය සියයට 20කින් පමණ වැඩි වී ඇතත් පැරණි එංජින් හා පෙට්ටි අලුත්වැඩියා කිරීමට ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 5ක් මේ වන විට ලැබී ඇති අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් දැනට ධාවනය වන දුම්රිය වෙනුවට යොද‌ා ඇත. ඒ අනුව ගාලු කුමාරි දුම්රිය වෙනුවට හා කොළඹ සිට යාපනයට ධාවනය වෙන දුම්රිය වෙනුවට අලුත් කට්ටලයක් යොද‌ා ඇති අතර තවත් එක් දුම්රිය කට්ටලයක් හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා යොදවා ඇතැයි ද ඔහු කීය.  


මීට අමතරව කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙන දුම්රිය කන්කසන්තුරේ දක්වා ධාවනය කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා පරික්ෂණ ධාවන වාර කීපයක් පවත්වා තිබෙන බව ද කීය.  


දැනට ධාවනය වෙන දුම්රිය මැදිරිවලට අලුතෙන් මැදිරි සම්බන්ධ කිරීම ද කර ඇති බවත් ඒ ප්‍රකාශකයා සඳහන් කළේය.