අලුත් නීතියෙන් ලක්ෂ හයකට ත්‍රීවිල් බෑ


(සමන්තිකා මාධවී)  

බලපත්‍රලාභී ත්‍රිරෝද රථ රියදුරන් අතරින් පන්ලක්ෂ අනූපන්දහසක් වයස අවුරුදු තිස්පහට අඩු රියදුරන් බව ස්වයං රැකියා නියුක්තියන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය සඳහන් කරයි.  
අටලක්ෂ පනස් දහසක් වෙන සමස්ථ මගී බලපත්‍රලාභි ත්‍රිරෝද රියදුරන් අතරින් සියයට හැත්තෑවක් මෙම කුලකයට අයත් බව සමස්ථ ලංකා මට්ටමින් ඔවුන් සිදුකළ සංගණනයන්ට අනුව හඳුනාගෙන ඇත.  

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මගින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව ත්‍රිරෝද රථ මගී බලපත්‍ර ලබාදීම වයස අවුරුදු 35-70 වයස් සීමාව දක්වා සීමා කොට ඇති අතර එය වයස අවුරුදු 25 සීමාව දක්වා දීර්ඝ කරන ලෙස වෘත්තීය සංගම් දිගින් දිගටම ඉල්ලා සිටින බව මෙම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කරයි.  


වසරේ ගතවූ මාස පහක කාලසීමාව තුළ (2018.01.01 - 2018.05.31 දක්වා) ත්‍රිරෝද රථ මගින් සිදුවූ මාරක රිය අනතුරු එකසිය හැත්තෑ හයක් හේතුවෙන් එකසිය අනූදෙනෙක් මියගිය අතර 2017 වසර තුළ සිදුවූ මාරක රිය අනතුරු තුන්සිය පනස් හතක් හේතුවෙන් පුද්ගලයන් තුන්සිය අසූ තුන්දෙනෙක් මිය ගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.  
එලෙස සිදු වූ අනතුරු අතරින් බහුතරය මගී බලපත්‍ර නොමැතිව ධාවනය කළ ත්‍රිරෝද රථ අතරට අයත් වෙයි. ඒ අතරින් බහුතරය කොළඹින් බැහැර ප්‍රදේශවල ද සිදු වී තිබේ.  


ත්‍රිරෝද රථ අනතුරු අතරින් බහුතරය වයස අවුරුදු තිස් පහට අඩු සීමාවේ රියදුරන් අතින් සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.