55න් අර්ථ සාධක නොදුන්නොත් කම්කරු අරගලයක්


(දයාසීලි ලියනගේ)   

පෞද්ගලික අංශයේ සේවකයන්ට වයස අවුරුදු 55න් සහ කාන්තාවන්ට වයස අවුරුදු 50න් සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීමට රජය උත්සාහ කළහොත් එයට එරෙහිව අරගල කිරීමට අන්තර් සමාගම් සේවක සංගමය සූදානම් වෙයි.   

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර ඇති අතර එමගින් සේවක අර්ථ සාධක අරමුදලද වැඩිපුර වර්ෂ පහක් රඳවා ගැනීමට අවස්ථාව සලසා ගැනීමට රජය වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.   
පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳව නීත්‍යානුකූල සටහනක් නොමැති අතර ඒ සඳහා පාදක කරගෙන ඇත්තේ වයස අවුරුදු 55න් සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ එම අරමුදල් ලබා ගැනීමට ඇති හැකියාව බවද සමරසිංහ මහතා කීය.   


රජයේ සේවකයන්ට විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව විරෝධයක් නොමැති අතර, එහෙත් පෞද්ගලික් අංශයේ සේවකයන්ට වයස අවුරුදු 55න් හා සේවිකාවන්ට වයස අවුරුදු 50න් සේවක අර්ථ සාධක අරමුදල් ගැනීමට ඇති අයිතිය වෙනස් නොකළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.   
55න් ඔබ්බට සේවක කැමැත්ත මත වයස 60 දක්වා සේවය කිරීමටත් එම කාලය සඳහා වෙනමම සේවක අර්ථ සාධක අරමුදල් ගෙවිය යුතු වන අතර වයස අවුරුදු 55 (කාන්තාවන්ට 50) සම්පූර්ණ කළ විට අනිවාර්යයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල ලබා ගැනීමේ හිමිකම් තිබිය යුතු බවද වසන්ත සමරසිංහ මහතා කීය.   
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමෙන් වයස 55 සිට 60 දක්වා වසර 5ක් වැඩිපුර කාලයක් සේවක අර්ථ සාධක අරමුදල් රඳවා ගැනීමේ කූට උපක්‍රමයකට රජය සැලසුම් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   


වසරකට පෞද්ගලික අංශයේ සේවකයන් 60,000ක පමණ පිරිසක් වයස අවුරුදු 55 සම්පූර්ණවීමෙන් විශ්‍රාම ගනු ලබන අතර එයින් 35000ක පමණ පිරිසක් සේවකයන් වෙති.