හේමචන්ද්‍ර වාඩිය හරහා මීමුරේට


දුම්බර අඩවියේ අතහැර දැමූ ඉසව්-8 

වෙද මහත්තයාගේ වාඩියේ නටබුන්​

 

  • වන අලි ගහන පතනේ අතහැර දැමූ හේමචන්ද්‍ර වාඩිය.   
  • රැහැන කෙටු පතන යනු මීමුරේ බැලුම්ගලයි.   
  • කි.මී. 15ක දුෂ්කර ගමනකින් පසු මීමුරේට ළඟා විය හැකි අඩි පාරක්. 

 

නකල්ස් රක්ෂිතයේ ඇසූ පිරු වගේම නොදුටු නොදන්නා ඉසව් සොයා යන ගමනේ බොහෝ ඉසව්වල සංචාරය කරමින් අප නකල්ස් හදවත ආසන්නයට ළඟා වූයේ වටේම කරක් ගසමිනි. මිනිස් වාසයෙන් කිලෝ මීටර් 10කට එහා පිහිටි මහ ගැඹුරු වන පියසට අප ළඟා වූයේ අලි වසුරු පවා දැකිය හැකි ඉසව්වක් හරහාය. පසුගිය සතියේ දුම්බර වන මැද අත හැර දැමූ නටඹුන් නොවූ එකම වාඩිය වූ KMP වාඩිය සොයා ගිය අතර අද අපි KMP සිට රැහැන කෙටු පතන හරහා හේමචන්ද්‍ර වාඩිය බලමින් මීමුරේට ගොඩබසින්නට තීරණය කළෙමු. 


සුන්දර දුම්බර වන පෙත සැබැවින්ම හිමිදිරියට සහ සවස් යාමට මීදුමෙන් බරව තිබෙන ඉසව්වකි. ඇතැම් විට මීටර 1600ට උසැති කඳු මුඳුන් වසාගෙන දහවල් කාලයේ පවා මීදුම් සළු එහෙ මෙහ යන වග අපි බොහෝ අවස්ථවල දැක ඇත්තෙමු. එසේම ඝන වන පියසකින් සමන්විත රක්ෂිතය තුළ ජෛව විවිධත්වය ඉතා ඉහළ අගයක පවතින අතර පිග්මී ශාක සහ තෘණ වර්ග බහුලව බොහෝ ස්ථානවල දක්නට ලැබෙයි. එසේම තොරක් නැතිව හතර අතට ගලාගෙන යන සීතල දිය දහරා බොහෝමයක් මේ වන පෙතේ අපට දක්නට ලැබෙයි. විවිධ කාලගුණික හා දේශගුණික තත්ත්ව අතර පිහිටි මෙම භූමිය මධ්‍යම කඳුකරයට ආභරණයකි. 

 

හේමචන්ද්‍ර වාඩිය

 


පෙරදින KMP වාඩියේ ගත කළ අප අද සූදානම් වූයේ KMP සිට රැහැන කෙටු පතනට යාමටයි. ඊට පෙර අපි KMP සිට දූවිලි ඇලිදාමය වෙත යන මාර්ගයේ ගොස් ඉලුක් පතන නටබුන් වූ හේමචන්ද්‍ර වාඩිය සොයා යාමට සූදානම් වුණෙමු. හිමිදිරියෙම අඩුම කුඩුම සූදානම් කරගෙන KMP වාඩියේ ජල බටයෙන් ජලය පුරවා ගෙන අප ගමන පටන් ගත්තේ එනසාල් වගාව අතරිනි. පැළ පාමුල එනසාල් වැඩී තිබෙනු අපි දුටු අතර සෙමින් සෙමින් ඉදිරියට යන අපි ලඳු වන පියසට අවතීර්ණ වුණෙමු. එම වන පියස බොහෝ ශාක ගහණයකින් යුක්ත නොවූ නමුත් තරමක වියළුණු ශාක වර්ගවලින් ගහණ විය. අඩි මාර්ගය සොයාගත හැකි තරමින් දළ වශයෙන් තිබූ අතර අනෙක් පසින් අප GPS සිතියම් භාවිතා කරමින් තවදුරටත් ඉදිරියට යාමට පටන් ගත්තේ අවසන් වරට තුන්නිය ගල මුදුන වන ලැහැබ තුළින් නරඹමිනි. 
මීටර් දෙතුන් සියයක් ගිය පසු අපි සැහැල්ලු ශාක පිරුණු ඉසව්වකට අවතීර්ණ වුණෙමු. ඉන් පසු තවත් ඉදිරියට ගමන ඇරඹූ අපි වැඩි වෙලා යන්නට මත්තෙන් හේමචන්ද්‍ර වාඩිය පෙනෙන මානයට අවතීර්ණ වුණෙමු. ගල් තලාවකින් යුක්ත වූ විවෘත භූමි ප්‍රදේශය මාන හා ඉලුක් පඳුරුවලින් වැසී තිබුණි. එම හේමචන්ද්‍ර වාඩිය ද අඩි ගණනක් උසට පොළොව සිට ඉහළට පැඳුරු වැවී වාඩිය නොපෙනෙන මට්ටමට තිබුණි. 

 

තැන්නෙ වාඩිය


පරිසරයේ වර්ණයටම අනුගත වූ එම වාඩියේ බිත්ති හේතුවෙන් දුර තියා බලන කෙනෙකුට එකවර මෙම වාඩිය හඳුනා ගැනීම පවා අපහසු විය හැකිය. කෙසේ හෝ විවෘත පතනක් හේතුවෙන් මෙහි දුම්බර වන අලි ගැවසිය හැකි හේතුවෙන් වඩා අවධානයෙන් යුතුව අපි පියනගන්නට වුණෙමු. එසේම වියළි කලාපයේ වාසය කරන සර්පයන් මෙහි ගැවසෙන බැවින් තවත් අපි ප්‍රවේශම් වුණෙමු. එතරම් බඹර කූඩු හෝ දෙබර කූඩු මෙම ඉසව්වේ නොතිබුණු අතර මෙම ස්ථානයට සම්පූර්ණ තුන්හිස්ගල කඳුවැටිය හරිම අපූරුවට දැක ගැනීමට හැකි වුණි. 


දුම්බර වන පෙතේ ගැඹුරු ඉසව්වේ ගමන් කරන විට අප වඩාත් සැලකිය යුතු සත්ව වර්ගයක් වනුයේ දෙබරු හා බඹරුන්ය. මන්ද ඉතා විශාල කූඩු ගස් මුදුන් හා අතුවල සේම ගස් පාමුල පොළොවේ පවා තිබිය හැකි හෙයිනි. එලෙසම එවැනි ඉසව් හරහා ගමන් කිරීමේ දී හැකි තරම් නිහඬව ගමන් කළ යුතු අතර හදිසියේ දෙබරු, බඹරු ඇවිස්සුණහොත් නිතතින්ම ප්‍රහාරවලට ලක් වන හෙයිනි. තවද අනෙක් පසින් විෂ සහිත ශාකයක් වන මා උස්සා ශාකයෙන් ද ශරීරය ආරක්ෂා කර ගත යුතුය. මෙම රක්ෂිතය තුළ ගමන් කිරීමේ දී දෙපා සහ දෑත් හොඳින් ආවරණය කරගෙන හිස් වැසුම් හා අත් පළඳනා ද පාවිච්චි කරමින් යා යුතුය. මන්ද කිලෝමීටර් ගණනක් මිනිස් වාසයෙන් දුර ගමන් කිරීමේ දී අපගේ ආරක්ෂාව පිළිබඳ අප වඩාත් සැලකිලිමත් විය යුතු හෙයිනි. කෙසේ හෝ අපි හේමචන්ද්‍ර වාඩිය අවට පිරික්සන්නට වීමු. මාන පඳුරු ඉතා ගණව වැඩී තිබුණ අතර වාඩිය තුළ ද පඳුරු දක්නට ලැබුණි. 

 

ගල්ගුහාවක්


පසෙකින් දූවිලි ඇලිදාමය වෙත ගමන් කර වමාරපුගලට ළඟා විය හැකි අතර අනෙක් පසින් තුන්හිස්ගල මුළු කඳු වැටියම දක්නට ලැබේ. මෙම වාඩියට තුන්හිස්ගල කඳු ගැටය පෙනේනේ සිරිපා කන්ද විලසටය. එය ද එවැනිම ආකාරයේ කේතුමය හැඩයකින් යුක්ත වන නිසාය. මෙම ස්ථානය අතීතයේ මිනිසුන් ගැවසෙන ඉතා සුන්දර දර්ශන සහිත ස්ථානයක් නේ දැයි අපට සිතුණි. 
​හේමචන්ද්‍ර වාඩිය පිහිටි ඉඩමේ මුල් අයිතිකරු වන්නේ අංකුඹුරේ මුදලාලිය. තවද දුම්බර 1960 ගණන්වල වන පෙතේ අක්කර ගණනින් එනසාල් වගාව ආරම්භ කිරීමට පුරෝගාමීන් වූයේ මීමුරේ නවරත්න මහතාගේ සීයා වන අප්පුහාමි ආතා සහ අංකුඹුරේ ආතා වේ. අංකුඹුරේ අාතාට හිමි හේමචන්ද්‍ර වාඩිය පිහිටි එම විශාල ඉඩම බදු පදනම මත ​හේමචන්ද්‍ර සමාගමේ හිමිකාරීත්වය ලබා ගන්නා ලදී. නමුත් විවිධ අකටයුතුකම් සහ වංචාකාරී ක්‍රම මගින් අංකුඹුරේ ආතා මුළා කරමින් එම ඉඩම සින්නක්කර ඔප්පුවක් මත ලබා ගැනීමට හේමචන්ද්‍ර මහතා කටයුතු කළ බව අපට නවරත්න මාමා විසින් පවසන ලදී. 
අපේ සීයලා තමයි මහත්තයෝ ඉස්සරම මේ දුම්බර අඩවියේ එනසාල් වගාව පටන් ගත්තේ. ඔය කාලේ අපේ ඇත්තෝ මේ වගාව කළේ බොහොම ශ්‍රද්ධාවෙන්. අලුත් බණ්ඩාර දෙයියෝ ගලේ බණ්ඩාර දෙයියොන්ට බාර හාර වෙලා රාවණා රජුගේ අඩවියේ අපි මේ වගාව කළාට පස්සේ රජයෙන් රක්ෂිතය රැක ගන්න අවශ්‍ය හින්දා එනසාල් වගාව තහනම් කරලා කැලේ හිටපු ජීවත් වුණු පවුල් මීමුරේ, කුඹුක්​ගොල්ල, දන්දෙණිකුඹුර, රණමුරේ, නාරංගමුව, කරඹකැටිය වගේ ගම්වල පදිංචි කෙරෙව්වා. නැත්නම් ඔය මහ කැලේ ඉස්සර අපේ ආතලා මුත්තලා ජීවත් වුණා. 


ගෙවල් හදානාගෙන වාඩි හදාගෙන මිනිස්සු ඔය කැලේ හිටියෙ. ඒත් දැන් නම් ඔය මුකුත් හොයා ගන්න බැරි තරම් නටබුන් වෙලා තියෙන්නේ. ඔය වමාරපුගල, උඩවන්නි මාන වගේම රැහැන කෙටු පතනින් පහළ ඉඳන් දිය උල්පත් ගොඩකින් වතුර පාරවල් ගලාගෙන එනවා. දැන් ඒවායින් තමයි අපි වතුර ගන්නේ. අපේ ගම් මැද්දෙන් යන්නේ ඒ වතුර. ඉස්සර රැහැන කොටු පතන අවට අක්කර ගාණක ඉඩම් තිබ්බා අපිට. ඒවායේ එනසාල් වගාව තමයි කළේ වාඩි බැඳගෙන. මෑතක් වෙනකං ඔය වාඩි ටික තිබුණා. ඒත් දැන් නම් ඉතුරු වෙලා තියෙන ටිකත් කැලේ වැදිලා කැඩිලා නැතිවෙලා ගිහින් යැයි නවා මාමා එක හුස්මට ඔහුගේ අතීත ආවර්ජනය අපත් සමග දොඩමලු වූයේ අප මීමුරේ ගිය විටදීය. 
හේමචන්ද්‍ර වාඩියේ හිමිකරුවන් කූට උපක්‍රමයකින් සින්නක්කරයට අයිති කරගත් එම ඉඩමේ ඉදි කළ වාඩිය හේමචන්ද්‍ර වාඩිය වූ අතර 1980 ගණන්වල ඔහු පෞද්ගලික මුදල් වැය කර එහි හෙලිකොප්ටරයකින් පවා ළඟා වූ බව නවරත්න මාමා අප සමග පැවසීය. කෙසේ හෝ හේමචන්ද්‍ර වාඩි​යේ අඳුරු මතක දැනගත් අප ඉන්පසු සූදානම් වූයේ රැහන කෙටු පතන බලා පිය මැනීමටය. හේමචන්ද්‍ර වාඩිය යම්තාක් දුරකට හොඳ තත්වයේ තිබුණ ද එහි වහලයක් නොමැත. ඇති එකම බිත්ති සහ කණු නුදුරේම කඩා වැටෙතැයි අපට සිතුණි. කාමර කිහිපයක් තිබූ මෙම වාඩිය එකල මෙම ඉසව්වේ රජකළ බව නොඅනුමාන බව අපට සිතුණි. 
රූස්ස ගස් පිරුණ වනය පීරමින් GPS සිතියම ඔස්සේ අප ඍජුවම ගමන් කළේ රැහැන කෙටු පතනටයි. කුඩා දිය කඩිති කටු වැල් එනසල් පඳුරු අතරින් හෝරාවක් පමණ යමින් අප සේන්දු වූයේ KMP සිට රැහැන කෙටු පතනට යන අඩි මාර්ගයටය. තුන්හිස්ගල අනෙක් කෙළවරේ පිහිටි කුඩාගල මෙහිදී හොඳින් දක්නට ලැබුණු අතර තවත් මිනිත්තු කිහිපයකින් අපි සුන්දර පතනට ළඟා වුණෙමු. 

 

හේමචන්ද්‍ර වාඩියට පෙනෙන තුන්හිස්ගල


මෙම පතන පිහිටි ආකාරය ගූගල් සිතිය​මේ පරිදිම විය. මන්ද කලින් අපි තුන්හිස්ගල කඳු මුදුනේ සිට එය සනාථ කර ගත්තෙමු. රැහැන කෙටු පතන යනු ඉසව්වක අවසානය හා තවත් ඉසව්වක ආරම්භය වේ. මෙතැනට තුන්හිස්ගල අනෙක් කඳු නාරටිය හොඳින් දැක ගත හැකි අතර කුඩාගල නිවැරදිව නිශ්චිත කරගත හැක. තවද වාරටුවේ ගල, අප්පලපතන, අලගල්කන්ද, නකල්ස්, උඩවන්නිමාන සහ ලකේගල කඳු ත්‍රිත්වය වගේම එහා පන්තියේ පිහිටි තෙලඹුගල, යහන්ගල, කෙසෙල්පොන්දෝරාවේ ගල, ගැරඬිගල සහ දුම්බානාගල දක්වා වපසරිය දක්නට ලබුණි. 
රැහැන කෙටු පතනේ මඳක් කාලය ගත කළ අප එහි නැවතී විවේක ගෙන අවට පිරික්සීමේ දී ඉතා පරණ අලි වසුරු දැක ගැනීමට ලැබුණි. ඉන්පසු අප සූදානම් වූ​යේ රැහන කෙටු පතනේ සිට මීමුරේ ගම්මානයට බැසීමටයි. මන්ද KMP සිට මෙම ඉසව්වට අප තැන්නක ගමන් කළ නමුදු ඉන්පසු අලුත් ඉසව්ව ආරම්භ වන්නේ මෙම මහා ප්‍රපාතය බසිමිනි. මන්ද රැහැන කෙටු පතනේ සිට අපට මීමුරේ කෙත් යාය හා ගම් පියස පැහැදිලිව දක්නට ලැබුණු හෙයිනි. 
රැහැන කෙටු පතනේ අනෙක් කෙළවරෙන් මැකී යමින් තිබූ අඩි පාර දිගේ පහළට බසින්නට පටන් ගත් අතර පරිසරයේ සැකැස්ම තරමක් පහසු ලෙස තිබුණි. අප අඩ හෝරාවක් පමණ බැස ගත් පසු තැන්නේ වාඩියට ළඟා වුණෙමු. තැන්නේ වාඩිය ද KMP තරම් හොඳ තත්ත්වයේ එදවස පැවතුණ අතර එහි කාමර කිහිපයක් සහ ඉස්තෝප්පුවක් ද තිබුණි. මැටි පදම් කළ බිත්ති හා තහඩු සෙවිලි කළ වහල තිබූ අතර අවට කෙසෙල් ගස් වගා කර තිබුණි. 


කුස්සිය පවා හොඳ තත්ත්වයේ තිබූ අතර ලී කෝටු අටවා මැස්සක් ද ගසා තිබුණි. අපගේ සගයෙකු 2015 වසරේ එහි ගිය විට එතරම් හොඳ තත්ත්වයේ තිබුණු එම තැන්නේ වාඩිය එක් කොටසක් ගරා වැටී තිබුණි. නමුත් මේ වන විට එය මුළුමනින්ම පාහේ ගරා වැටී කැඩී ගොස් විනාශ වී ඇති බව අපට දක්නට ලැබුණි. තැන්නේ වාඩියෙන් සමුගත් අප තවත් අඩි පාර දිගේ ගොස් දියසීරාවක් හමුවූ පසු එහි උඩහට ගියේ තවත් අපූරු ස්ථානයක් සොයාගෙනය. එම දියවර ආරම්භය වනේ දියනිල්ල උල්පතිනි. ඒ අසල පැරණි ටැංකියක් දක්නට ලැබුණු අතර ඊට ටිකක් එහායින් අප දුටුවේ අපූරු ගල් ගුහාවකි. 

 

කුරුගස් අතරින් තුන්හිස්ගල බසිමින්


හුණුගල්ලෙන නමින් හඳුන්වන එම ස්ථානය තුළ පහසුවෙන් නඩයකට කූඩාරම් ගසා රැයක් ගත කළ හැකිය. එය පිහිටා තිබුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 1209ක පමණ උසකය. හුණුගල්ලෙන ගල්කුට්ටි කිහිපයක් උඩින් සෑදී තිබුණි. තරමක වපසරියක පිහිටි ගල්ලෙන තුළ මීට පෙර ද මිනිසුන් සිටි බවට සාධක දක්නට ලැබුණි. එසේම දියනිල්ල උල්පත ද ළඟපාත වූ හෙයින් ජල අවශ්‍යතාව ද සපිරිණි. රැහැයි නාදයන් එක රොත්තට වෑහෙන හඬවල ​දෝංකාරයත් විනා වෙනත් හඬක් අපට නො ඇසුණි. 


කෙසේ හෝ රාත්‍රියට පෙර මීමුරේට ළඟා විය යුතු හෙයින් අප පය ඉක්මන්කර ගමන් කළේ අඩි මාර්ගය දිගේය. එසේ යන විට තවත් ගරා වැටුණු බිත්තියක් සහ කැඩී ගිය මැස්සක් ඇතුළු සිටුවන ලද කණු කිහිපයක් ඇති ස්ථානයකට අපි ළඟා වුණෙමු. එහිද කෙසෙල් ගස් වගා කර තිබූ අතර තුරු වියන අතුරින් ලකේගල අපට දක්නට ලැබුණි. එම ඉසව්වේ ද එනසාල් වගාව තිබූ අතර විශාල ගල් කුට්ටි පිහිටි ප්‍රදේශයක තවත් කුඩා ගුහාවක් ඒ අවට දක්නට ලැබුණි. 


එම ස්ථානය වෙද මහත්තයගේ වාඩිය ලෙස හඳුන්වන අතර එය ද නවා මාමාගේ මුතුන් මිත්තන්ට අයත් අතීතයේ විසූ වෙද මහත්තයෙකුගේ වාඩියකි. ඉන්පසු අප තවත් ඉදිරියට ගමන් කළේ තරමක සමතලා බිමකය. රූස්ස ගස් විනා පඳුරු නොතිබුණු හෙයින් අපගේ ගමන පහසු විය. ගල්කුලු පසු කරමින් ඉදිරියට යන විට තවත් මිනිස් වාස සහ ක්‍රියාකාරකම්වල නටබුන් අපට දක්නට ලැබුණි. ඉතා විශාල රූස්ස ගස් අතර ඇතැම් ඒවා වල වට ප්‍රමාණය මැනීමට අප තිදෙනෙකු අත් අල්ලා සිටියත් ප්‍රමාණවත් නොවීය. එවැනි අලංකාර නුග ගස් පසුකර තවත් කුඩා ගල් ගුහා පසුකරමින් අපි උඩවන්නිමාන කඳු ගැටය අසලින් පල්ලම් බසින්නට වීමු. 


කෙසේ හෝ අප ක්‍රමයෙන් නවරත්න ඇල්ල නොහොත් දිය කැරැල්ල ඇල්ල අසලට ළඟා වූ අතර එහි ගත දොවාගෙන අප ඊළඟට ගමන් කළේ මීමුරේ ඔය අසලිනි. එහිදී දලුක්ගොල්ල ඇල්ල ද දැක ගත් අපට ඒ පරිසරය තුළින් මතකයට ආවේ සූරිය අරණ චිත්‍රපටයේ පසුබිමයි. මන්ද ඒ එම ඉසව්ව වූ හෙයිනි. කෙසේ හෝ සවස 5 පසුවන විට අප ගම්මානයට දිවෙන අඩි මාර්ගයට ළඟා වූ අතර එතැනින් අපි මීමුරේ ගම්මානයට ගොඩවැදුණෙමු. පසුව නවා මාමාගේ නිවසේ නවාතැන් ගැනීමට සූදානම වූයේ රාත්‍රියේ නවා මාමාගෙන් පැරණි කතා ඇසීමේ අටියෙනි. 

 


ලබන සතියේ ලකේගල සහ උයන්ගොමුව හරහා නාරංගමුව ගමට. 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු