ෂර්ලොක් හෝම්ස්ට නොදෙවැනි සුපිරි බල්ලා


 

 

ක්ලෝනකරණය හෙවත් කිසියම් ජීවියකුගේ පිටපතක් නිර්මාණය ලොවට අරුමයක් නොවෙයි. විවිධාකාරයේ සතුන් ක්ලෝනීයකරණය මගින් චීන විද්‍යාඥයෝ ද ඉදිරියෙන් සිටිති. ක්ලෝනකරණයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අපරාධ අල්ලන්නත්, අපරාධ මැඩලන්නත් සමත් පොලිස් සුනඛයන් කණ්ඩායමක් ක්ලෝනකරණයෙන් බිහි කරන්න චීන විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඔවුන් පවසන්නේ, ඔවුන් නිර්මාණය කරන මෙම සුනඛයන්, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලිගේ සුප්‍රකට රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස්ට නොදෙවෙනි අයුරින් දක්ෂ රහස් පරීක්ෂකයන් වනු ඇති බවය.


ක්ලෝනීයකරණයෙන් පොලිස් සුනඛයන් බිහි කිරීමේ දී කාලය ඉතිරි වෙයි. එපමණක් නොව, අමුතුවෙන් පුහුණුවක් ලබා දීමට අවශ්‍ය වන්නේ ද නැත. ඊට හේතුව ක්ලෝන පිටපත් නිර්මාණය සිදුවන්නේ චීන පොලිස් දෙපාර්මේන්තුවේ සිටින දක්ෂතම පොලිස් සුනඛයා යොදා ගනිමිනි. ක්ලෝන පිටපත් සඳහා චීන විද්‍යාඥයන් තෝරාගෙන ඇත්තේ චීන පොලිසියට අනුයුක්ත වීර සම්මාන රැසකින් ද පිදුම් ලැබූ අති දක්ෂ සුනඛයෙකි. මේ සුනඛයාගේ නම හුවාවුනාන්ගාමා ය. ඉවකරමින් මත්කුඩු අල්ලන්න දක්ෂ හුවාවුනාන්ගාමා හත් හැවිරිදි වියෙහි පසුවෙයි. චීන පොලිසිය කළ මහා පරිමාණයේ වැටලීම් රැසකට හුවාවුනාන්ගාමා දායක වී ඇතැයි ද පැවැසෙයි.


හුවාවුනාන්ගාමාගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. ඇසුරින් ක්ලෝනීයකරණය මගින් පළමුවෙන්ම නිර්මාණය කර ඇත්තේ බැල්ලකි. මේ බලු පැටවා කුන්සුන් යනුවෙන් නම් කර ඇති අතර තවමත් පර් යේෂණාගාරයක ජීවත් වෙයි. ඒ, පරිසරයට නිසි ලෙස ඔරොත්තු දීමට හැකියාව ලැබෙන තුරුය. ‘කුන්සුන් මිනිස්සුන්ට ආදරෙයි. කීකරුයි. අණ පිළිපදිනවා. එපමණක් නොවෙයි. ඇය හැමවිටම හොඳ අවධානයෙන් ඉන්නේ.’ යැයි ක්ලෝනකරණ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන වොන් ජූෂෙංග් පවසා ඇත. මේ ක්ලෝනකරණ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ වර්තාවක් පසුගිය දා චීන ඩේලි පුවත්පතේ විද්‍යා අතිරේකයේ ද පළ වී තිබේ. කුන්සුන් උපත ලැබුවේ පසුගිය දෙසැම්බරයේය.


අද වනවිට කුන්සුන්ගේ වයස මාස හතරකි. ක්ලොනීකරණ ව්‍යාපෘතිය සිදුවන්නේ බීජීං අගනුවර පිහිටි සිනොජීන් බයෝටෙක්නොලොජි සමාගමේ මැදිහත් වීමෙනි. කුන්සුන් අඳුරට බියක් නොදක්වයි. එපමණක් නොව ඇය සාමාන්‍ය බල්ලන්ට වඩා ක්‍රියාශීලීයි යැයි එම සමාගම පවසා ඇත. මාස 10ක් යද්දී කුන්සුන්, හුවාවුනාන්ගාමාගේ තත්ත්වයට පත් වනු ඇති බවත්, මෙම ක්ලෝනීකරණ ව්‍යාපෘතිය හිතුවාටත් වඩා සාර්ථක බවත් වොන් ජූෂෙංග් වැඩිදුරටත් පවසා තිබේ. පොලිස් සුනඛයකු පුහුණු කිරීමට ගතවන මුදල පවුම් 60,000ක් පමණට. ගතවන කාලය අවුරුදු පහකි. ඒ සියල්ල වෙනස් වීමේ කාලය උදාවී ඇති බව ද වොන් ජූෂෙංග් පැහැදිලි කරයි.

 

 


ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි