වෛද්‍ය සිසු දියණියට උගන්වන්න මුට්ට කරගහන ජවුෆර්


කොළොම්පුරේ
ජීවිතේ

රෝද දෙකෙන් ජීවිතය ගෙනයන යකඩ මිනිසුන්ගේ කතාව

 

 

 

​කොළඹට මහවැසි ඇදහැලෙමින් පැවතිණි. දහවල අඳුරු වී කළු ගැහී ගිය අහස්කුස එහි ගෑවෙන්නට අරඅඳින්නට මෙන් එකිනෙක පරයන්නට මෙන් නැගීසිටින සුවිසල් ගොඩනැගිලි මේ උදේ වරුවේ ඇඳිරි සිතුවමක් ලෙස දිස්විණි.  


මොර සූරන වැස්සේ වුවත් දවස ඇරඹීමට කඩිමුඩියේ ඒ අතට මේ අතට ගමන් කරන ජනී ජනයා එක කුඩේ යටින් ඇවිද යන පෙම්වතුන් මහ මග එක්ව තිබෙන මඩ වතුර දෙපසට විසි කරමින් ඇදී යන රථවාහන අස්සෙන් මහ වැස්සේ මම පිටකොටුවේ ඇවිද යමින් සිටියෙමි. ඒ වැස්සට ආසාවෙන් නිකමට නොව එක්තරා අරමුණක් පෙරදැරිවය.  
ප්‍රධාන පාරෙන් අර අතට මේ අතට විහිදයන පිටකොටුවේ අතුරු මාර්ග මඩ ගොහොරු වී තිබිණ. ඇඟිලි කරු අස්සෙන් කුණු මඩ චිරි චිරි හඬින් පෑගී යන නමුත් ඒ කිසිදු හිරිකිතයකින් තොරව කුලී කරුවෝ ඒ වන විටත් දවස අරඹා තිබුණේ මහ වැස්ස තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි. සාරි, කලිසම්, කබා හැඳ පැළඳ කුඩ යටින් මහවැස්සේ ගමන් කරන ජනතාව මෙන් නොව මොවුහු ඇවිස්සුණු කුහුඹු මුලක්සේ දවස සරිකර ගැනීමට වෙහෙසෙන බවක් දක්නට ලැබිණ.  


‘‘සයිඩ් සයිඩ්’’ යැයි කෑ ගසමින් ඒ පටු වීථියේ රිංගා යන මිනිසුන්ගේ හිස මත, උරමත විශාල බර පොදි පටවා තිබේ. ජීවන බර සමග දෛනික සටනක නිරත මොවුන්ට උරමත රැඳි බර සැහැල්ලුවක් සේය. ගොහොරු මඩේ දිවයති. තම උසටත් වඩා අට්ටිගැසූ බඩු තොග සහිත අත් කරන්න තල්ලු කරන ඇතැමෙක් ‘‘සිලි සිලි’’ බෑගයකින් හිස වසාගෙන සිටින්නේ වැටෙන වැස්සට ඔච්චම් කරන්නට මෙනි.  


මහ වැස්ස මේ මිනිසුන්ගේ දහදිය, කඳුළුද සමග වෙහෙසකර කයට වැටී වීථියේ මඩ ගොහොරු කරමින් ගලාගෙන අවුත් දෙපස කානු කුණු දිය සමග මුහුවේ.  
ඕල්කොට් මාවතෙන් හැරී චිර ප්‍රසිද්ධ ‘‘මැනිං වෙළෙඳපොළට පිවිසුණෙමි. පෙරද‌ා රෑ තිස්සේ රටේ හතර දිග්බාගයෙන් අගනුවරට පැමිණි එළවළු පුරවාගත් ලොරි එක පෙළට නැවතී වෙහෙස නිවා ගනිමින් සිටී. රියැදුරන්ගෙන් ඇතැමෙක් තවමත් තද හින්දේය. රැය පුරා නිදි වරමින් ආ ගමනේ වෙහෙසකර බව, පිටකොටුවේ රථවාහන, දෙනෝදාහක් මිනිසුන්ගෙන් හා කපුටන්ගෙන් තොරතෝංචියක් නැති කන්කරච්චලය පරදවන සෙයකි. එළවළු, අල, රටලූනු, මිරිස් ගෝනි ලොරියෙන් පෙරළී අවුත් කුලී කරුවන්ගේ කර මතට පැමිණ ගබඩා තුළට වදිති. පසෙකින් ඇති සයිවර් හෝටලයේ එකම මිනිස් පොදියකි. කිරිකහට, ප්ලේන්ටි වීදුරු අතින් ගත් මිනිස්සු කඩය තුළ ඉඩ මදකම නිසාදෝ එළිපත්තට වී උගුරට දෙකට ගිල දමති. සයිවර් කඩය තුළින් එන පරිප්පු හොද්දක සුවඳට මුසු වූ උළුඳු වඩේ සුවඳ ඒ වෙත යාමට දෙන ඉඟියකි. කුසට නිතැතින්ම බඩගිනි ඇති කිරීමට ඒ සුවඳ සමත්වුවත් එය ඉවසාගෙන තවත් පියවරක් තැබිමි.  


පසෙක ගොඩගසා ඇති මහ කුණු ගොඩකි, පාලකයන්ගේ නොසැලකිලිමත්කමින් ඒ වන විට ‘කොළඹ කුණු’’ දින ගණනාවක් තිස්සේ එක තැන කුණු වෙමින් පවතින බැව් සිහිවූයේ එවිටය. අර උළුඳු වඩේ සුවඳ කොහෙන් ගියාද නැත. එළවළු කුණුවී දුගඳ හමන කුණුගොඩ මහවැස්සෙන් තැම්බෙමින් ති​ෙබ්. මාරකැට්ටුවේ වෙළෙන්දන්ට වඩා බඩු පොදි අතින් කටින් එල්ලාගෙන කඩිමුඩියේ එහෙ මෙහෙ දුවන ‘නාට්ටාමිලා’ නම් ගන්ධස්සාරය ගැන වගේ වගක් නැති ගානය.  


එළවළු සිල්ලරට ගෙන යාමට මෙහි පැමිණෙන ජනතාව නාසා හකුලාගෙන ගමන් කළත් ජීවිතයේ දුකම උරුම කරගෙන ඉපිද දුක් උහුලමින්, දරු පවුල්වල ‘හෙට’ වෙනුවෙන් දහදිය හෙළන සැබෑ මිනිසුන්ට නම් එය ගඳක් නොවන බව පෙනේ. එදා සුද්දන් විසින් ගොඩනංවන ලද වර්ෂ ගණනාවක් ඉපැරණි මාර්කට්ටුවේ ගොඩනැගිලි අස්සෙන් විහිදගිය මඩ ගොහොරු මැදින් මම ඒ සැබෑ මිනිසුන් සොයා ගියෙමි.  


මම ඉපදුනේ, හැදුනේ, වැඩුණේ මේ ගෙන්දගම් පො​ෙළාවෙමයි. ගම වැල්ලවත්තේ. මැනිං මාකට් එකට එනකොට වයස අවුරුදු 37 යි. කොලු කාලෙ හරියමන් විදියකට ඉගෙන ගන්න ලැබුණෙ නෑ. ඒ නිසා දෑතෙ වීරියෙන් කරන රස්සවක් හොයාගන්න පාරට වැටුණා. මේ ‘කොළඹ’ ජොබ් නම් ඕන තරම්. ඒවායින් වැඩිහරියක් නීති විරෝධියි. කොටින්ම කියනවනම් පාතාලෙ වැඩ. මගේ හොඳ කාලෙ නිසාද මන්ද ඒ වගේ රස්සාවකට දෙවියෝ මාව යොමුකළේ නැහැ. මෙසේ  අවදිකළ කටහඬ සුනිල් ශාන්ත මහතාගේය. ඔහු අර කුණුගොඩට මදක් එපිටින් අංක 59 තොග කඩය ඉදිරිපිටදී මට මුණගැසිණි. 

 
තහඩු වහලයට වැටෙන වැසි දියේ හිරිකඩත් එළවළු විකුණුම්කරුවන්ගේ හා ගැණුම්කරුවන්ගේ ‘කච බචය’ අස්සෙන් ඔහු කතා කළේය.  


මේ රස්සාවට ඇවිත් දැන් අවුරුදු 20 ක් .‘නාට්මි’ කියල කිව්වම ගොඩක් දෙනෙක් අපි දිහා වපර ඇසින් බලනවා. තාත්ත පිටකොටුවේ ‘නාටමි’ කෙනෙක් කියල දරුවෙකුට කියන්න බැරි තරම් මේ සමාජය කුහකයි. මහත්තයෝ අපිත් මේ පොළොවෙ පය ගහල ජීවත්වෙන මිනිස්සු. මිනිස්සු මුළා කරන්නෙ නැතිව, ගසා කන්නෙ නැතිව, වැරදි වැඩ නොකර ද‌ාඩිය මහන්සියෙන් හම්කරගෙන කන එකේ වරදක් තියෙනවද?  


ඔහු ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසින් මදෙස බලා හිඳී. මම නිරුත්තර වෙමි. සුසිල් ශාන්ත මහතා දැන් ජීවිතයේ 58 විය පසුකරමින් හිඳී. විවාහක ඔහු එක් දරු පියෙකි. එකම පුතා විවාහකව නැතත් රැකියාවක් කරයි.   


උදේ පාන්දර 5:30 6:00 වෙනකොට මෙතැනට එන්න ඕන. කලින් දවසෙ රෑ එන එළවළු ලොරි හිමිදිරියෙම එළවළු බෑම පටන්ගන්නවා. කෑල්ලකට රු: 50 යි (මොවුන් ගේ වහරින් කෑල්ල යනු එළවළු හෝ වෙනත් දෑ පිරවූ ගෝනියකි. නැතිනම් පොහොර උරයකි) මේ පොඩි ගේට්ටුවෙන් එළියට ගි​ෙයාත් බඩු ගෝනියකට රු: 50. තොග කඩවල්වලින් නම් බාන කෑලි ගණනට කුලියක් ලැබෙන්නේ නෑ. එක දවසට ‘‘ගානක්’’ හම්බවෙනවා. ඒ කොහොම වුණත් දවසකට රු. 1500 ත් 2000 ත් අතර මුදලක්​ හොයාගන්න පුළුවන්.   
ජීවිතයේ වෙහෙසකර බව ඔහුගේ මුහු​ෙණන් දිස්වේ. අවුල්ව ගිය සුදු පැහැයට හැරෙමින් පවතින හිසකෙස් ජීවිතයේ සැඳෑසමය පිළිබඳව ඉඟි කළත් සමාජයේ අන් අය මෙන් විවේකීව ගත කිරීමට හැකි වියපත් කාලයක් සුනිල් ශාන්තලාට හිමි නැත. 

 
ජීවිතේ දුක තමයි. ඒත් වෙර වීරියෙන් හම්බකරන සුළු මුදල වුනත් සුවඳයි මහත්තයෝ. මේ රස්සාව කරන අවුරුදු 20 ක කාලෙ සිදුවුණු අසාධාරණකම් දුක හිතෙන අවස්ථා එමටයි. ඒත් මේ හැම දෙයක්ම දැන් හුරුවෙලා. මේකෙ තොග වෙළෙඳ කඩවල මුදලාලිලා හැම කෙනෙකුම අපිව හඳුනනවා. ඒ වගේම අපි මේක ලියාපදිංචි කුලීකරුවො. එයට අද‌ාළ කාඩ් පතක් නිකුත් කරල තියෙනවා. පොලිස් පෝස්ට් එකෙත් අපේ නම් තියෙනවා. තරගයක් නම් නෑ. ඒත් සමහර දවස්වලට වගතුවක් නෑ. අලුත් අය ඕන තරම් එනවා යනවා. ඒකට නම් කමක් නෑ. අමතක නොවන දේ නම් බොහොමයි. ඒත් ඒව මතක තියාගන්න වෙලාවක් නම් නෑ’’  


ඔහු කතා කරගෙන යයි. ඇදහැලෙන මහ වැස්ස අප දෙදෙනාටම මොහොතකට අමතකව ගියාක් මෙනි. තොග කඩවලින් දෙන ‘‘කෑලි’’ ලොරියට පටවපුවාම සමහර ලොරිකාරයො එහෙම එකක් ගෙනාවෙ නෑ කියනවා. තවත් සමහර අය කුලිය නොදී මාරුවෙනවා. මේවා විසඳගන්න පොලිසිවලටත් ගිය අවස්ථා තිබෙනවා.   


බොහොමයක් අවනඩු අතහැරලා දාන්නෙ වෙලාවක් නැති නිසා. පොලීසි ගානෙ රස්තියාදු වෙනවට වඩා කීයක් හරි හොයාගන්න ඒ කාලය වැය කරනවා. ඇඟේ පතේ අමාරුවට හවසට ‘හීන් අඩියක්’ ගහන්න පුරුදු වෙලා හිටියා තමයි. ඒත් ඒකත් අතහැරලා දැම්මේ අරක්කු මිල ගණන් වැඩිවන නිසා හොර පොට්වල තියෙන ඒව බීල මැරෙන්න බැරි නිසා. වැඩ ඉවර වුනාට පස්සේ ඇඟපත හෝදගෙන එහා පැත්තෙ තම්බි කඩෙන් ස්ට්‍රෝං ප්ලේන්ටියක් බීල කෝච්චියට නගිනවා.  


එකදිගට කතා කරගෙන ගිය ඔහු එකවරම නිහඬවූයේ දවස තුළ කළ යුතුව ඇති ‘රාජකාරිය’ සිහිපත් වීමෙන්දෝ යැයි මට සිතුනි. මෙම අතීතය ගැන ජීවිතයේ දහසකුත් එකක් දුක් කම්කටොලු පිළිබඳව තවත් කෙනෙකු හා වචනයකින් හෝ බෙදාගැනීම හිතට සැහැල්ලුවක් නමුත් ජීවන බර සැහැල්ලුකර ගැනීමට නම් දවසේ ‘‘කුලිය’’ සොයා යා යුතුය. ගෙදර බිරින්දෑගේ මුහුණේ හිනා ඉරක් ඇඳෙන්නට නම් හවසට ගෙන යන ‘සැහැල්ලුව’ අතක් බර විය යුතුය. එසේ නොකියා සිනාමුසුව හේ මා දෙස බලා හිඳියි. මම සුනිල් ශාන්තට සමුදුනිමි.  


හෙට දවසේ තමනට නැති වාසනාව අනුනට අළෙවි කරන අය හැකිතරම් ගාන අඩුකරගෙන එළවළු මිලට ගන්නට කැසකවන, හෙට්ටුකරන ගැණුම්කරුවන්, හෙට දිනයේදි අසල ඇති කුණු ගොඩට යාමට නියමිතව බිම වැතිර හිඟින ඇතැම් එළවළුවක් කීයකට හෝ අළෙවි කිරීමට වලිකන වෙළෙඳුන්, හිඟන්නන්, අසල පන්සලකින් හෝ පල්ලියකින් ඩැහැගන එන සෙරෙප්පු, සපත්තු කූට්ටමක් තුට්ටු දෙකට මුදලාලිලාට විකුණා ගැනීමට පැමිණෙන ‘‘කුඩ්ඩන්’’ගෙන් මාර්කැට්ටුව පිරී පවතී. හැමෝටම ඉතා හදිස්සි සේය. මම තවත් ටිකක් මඩ පාගමින් ඉදිරියට ගියෙමි.  

 

 


අනෝරා වැස්සට යන්තමින් හිස මුවා කෙරෙන ‘ගල් තොප්පිය’ නමින් හැඳින්වෙන කහ පැහැ තොප්පියක් පැළඳි අයෙකු උඩින් වැටෙන වැස්සත් පයට පෑගෙන ගොහුරු මඩත් තරණය කරමින් උරමත එළවළු ගෝනියක බර දරමින් මා ඉදිරියෙන් යයි. මම ඔහු පසුපස වැටුණෙමි. ඔහු ජව්පර් මොහොමඩ් නම්ය. වයස අවු: 60 කි. විවාහක දරු දෙදෙනෙකුගේ පියෙකි.  


මේ රස්සාවට ඇවිත් අවුරුදු 26 යි. එද‌ාවේල හොයාගන ජීවත්වෙනවා පමණයි. බඩට නොකා හිටපු වාර අනන්තයි. ඒත් ඒව කාටවත් පෙනෙන්නේ නැහැ. දවසට කොපමණ මුදලක් හෙව්වත් වියදමට මදියි. සාමාන්‍යයෙන් රු 800 ක්, 1000 ක් අතර මුදලක් දවසකදි නොයනවා.  


ජවුපර් මහතා මැනිං මාර්කැට්ටුවේ කුලී වැඩ කරන නමුත් එක් දියණියක් වෛද්‍ය වෘත්තිය හද‌ාරමින් සිටින්නීය. අනෙක් දුව නීතිය ඉගෙන ගනී. නීතිය හදාරන වැඩිමහලු දියණිය විවාහක නමුත් ඉගෙනීම නොකඩවා කරගෙන යන්නීය. බාල දෝණිය දොස්තරවරියක් වූ පසුව සිත කය අඩපණව ගිලන් වූ කලට ඇයගෙන් බෙහෙත් උගුරක් බීම ජවුපර් මහතාගේ ආශාවයි.  


දෙන්නටම උගන්වන්නෙ අපේ මුළු පවුලම කන්නෙ බොන්නෙ මම හම්බකරන මුදලින් තමයි. ලොකු දුව කසාද බැඳල හිටියත් බෑණට හරි හමන් රස්සාවක් නැහැ. නීතිඥවරියකගෙ, දොස්තර නෝන කෙනෙකුගෙ තාත්ත වෙන්න මට තියෙන්නෙ බොහොම ලොකු ආශාවක් මහත්තයෝ. ඒ නිසා මම හම්බකරන හැම මුදලක්ම දරුවන්ගෙ ඉගෙනීම වෙනුවෙන් වැය කරන්නෙ කිසිම ලෝබකමක් නැතිවයි.  


මම වගේ ‘නාටාමි’ කෙනෙකුට මේ සමාජයේ තැනකට එන්න තියෙන හොඳම හා එකම විදිය ඒකයි. අනාගතයෙදි දරුවො මට නොසැලකුවත් කමක් නෑ ඒ අය සමාජයේ වැදගතුන් හැටියට ගෙනාව කියල මට සතුටු වෙන්න පුළුවන්. දරුවො පෙරකදෝරු​ෙවා, දොස්තරවරු වුනාම සමහරවිට තාත්ත පිටකොටුවෙ මුට්ට කර ගැහුව කියල කියන එකකුත් නෑ. ඒත් මම තරහ නෑ.  


ජවුපර් මහතාගේ කටහඬ හැඟුම්බරය. තමන් වැටී සිටින තත්ත්වයෙන් පවුලේ සාමාජිකයන් ඈත්කර දුවා දරුවන්ගේ ලස්සන හෙට දවස වෙනුවෙන් සිය ජීවිත කාලයම කැපකරන මේ වියපත් මිනිසා සැබෑ මිනිසෙකි. සෙනේවන්ත පියෙකි.  


මේ රස්සාවට ඇවිත් අවුරුදු 28 යි. ඊට කලින් නොයෙකුත් කුලී වැඩ කළා. හැබැයි වැරදි ඒවා නෙමෙයි. අද තියෙන වියදම් දිහා බැලුවම කොච්චර හම්බකළත් මදි. මම පානදුරේ ඉඳලයි හැමදාම රස්සාවට එන්නෙ. හවසට කොපමණ මුදලක් ගෙදර ගෙන ගියත් බොහොම දවස්වල උදේට එළියට බහින්නෙ බස් එකට අල්ලපු ගෙදරින් රු. 100 ක් ඉල්ලගෙනයි. 1980 ගණන්වල මේකෙ බිස්නස් හොඳටම හොඳට තිබුණා. අපිත් හොඳට හම්බකළා.  


ඒ වගේ තමයි මහින්ද මහත්තයගෙ කාලෙ මේ මුළු මැනිං මාර්කට් එකම බොහොම පිළිවෙළයි පිරිසිදුයි. දැන් තත්ත්වය පේනවනේ. මේ වගේ වැස්ස දවස්වලට මේක තනිකරම අපායක්. ඔහුගේ මුවින් ගිලිහෙන එකදු වදනක් හෝ මුසා බස් නොවන බව මට සිතේ.  


‘දැන් එක කෑල්ලකට දස දෙනෙක් වට වෙනවා. ඒ කාටවත් දොස් කියන්න බැහැ. කවුරුත් ජීවත්වෙන්න ඕනනේ. මෙතන කිසිම ජාතිබේදයක් නැහැ. හැම ජාතියකටම අයත් නාටාමිලා මෙහි සිටිනවා. හැම කෙනාගෙම බඩගින්න එකයි. රට පාලනය කරන තමන් උගතුන් කියල හිතාගෙන ඉන්න ලොක්කන්ට මේව නොතේරෙන එකයි වැරැද්ද. හාල්, පිටි, සීනි මිල දවසින් දවස ඉහළ යනවා. දරුවෙකුට කිරිපිටි පැකට් එකක් ගන්න තරම් වත්කමක් අපිට නැහැ.   


දවසම මුට්ට කරගහලා රෑවෙනකොට ඇඟට පතට දැනෙන වෙහෙසට අඩියක් ගහන අය අපි අතරෙ ඉන්නවා. මම ඒවායින් වැළකිලයි ඉන්නෙ. මට තියෙන එකම බලාපොරොත්තුව ළමයි දෙන්නට එයාලගෙ ඉලක්කයට යන්න ඉගෙනීමට විය පැහැදම් කිරීමයි. ඒ අධිෂ්ඨානයෙන් වැඩ කරනකොට හිසේ, කරේ තියෙන ගෙනයන බර ඇඟට දැනෙන්නෙ නෑ මහත්තයෝ.  


සිනාමුසුව මා දෙස බැලූ මේ දිරිය මිනිසා ඊළඟ මොහොතේදී පොදි කන සෙනඟ අතරේ තවත් ‘කුලියක්’ සොයා නොපෙනී ගියේය.  


ජීවිතය දුකින් පිරී තිබුණත් ඒ දුක් ජයගැනීමට සිතක් මොවුනට නැත. හැමදාම කයට වෙහෙස දෙන නමුත් දරු පවුල් ගැන ඔවුන්ගේ අනාගතය පිළිබඳව තබා සිටින දහසකුත් එකක් බලාපොරොත්තු කන්ද දිනපතා කර ගසන එළවළු ගෝනි කන්දරාවට වඩා බොහෝ උසය. මහවැස්ස සිරි සිරි පොදයක් දක්වා මට්ටු වී තිබුණත් මේ මිනිසුන්ගේ ඇතුළාන්තයට රිංගා බැලීමට ආශා හිතේ. ඒ නිසාම තවත් ටිකක් ඉදිරියට ගියෙමි.  


බරට බරේ එළවළු ගෝනි 2 ක බර කර මත තබාගෙන ඉක්මන් ගමනින් මඩ ගොහොරු ගල් පාරේ ගමන් කරමින් සිටි ඩබ්. කුමාර (56) මහතා මුණගැසුණේ එසේ යන අතරතුරදීය. බර හෑල්ලුකර ඔහු මා හා කථාවට මුලපිරීය.  


‘‘පීපල්ස් පාක්’’වල තිබුණු මාකර්ට් එක මෙතනට ගෙන ආවෙ 1982 මැයි මාසෙ. මම මේ රස්සාවට ආවෙත් 82 අවුරුද්දෙ. එදා ඉඳන් මේ දක්වා මුට්ට කර ගහනවා. මම කසාද බැඳල. ළමයි තුන්දෙනයි. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. ගෑණු දරුවො දෙන්න ගෙදර. ඒ අයට රැකියා නැහැ. ලොකු පුතා පුද්ගලික සමාගමක රස්සාවක් කරනවා.  


මෑතක් වෙනකම් අපි ඔක්කොම කොළඹ ජීවත් වුණත් කොළඹ ජීවිතේ වියදම් වැඩි නිසා දරු පවුල බදුල්ලෙ අපේ ගමට ගියා. මමයි පුතයි විතරයි දැන් මෙහේ ඉන්නෙ. මොනව කරන්නද මාසෙකට හමාරකට වතාවක් ගෙදර ගිහින් එනවා. මේ රැකියාවට එන කොට මගේ වයස අවු. 24 යි.  


ඔහු සිය හිරිමල් තාරුණ්‍යය මැනිං වෙළඳපොළේ එළවළු ගෝනි අතර දියකර හැරියත් ඒ ගැන දුකක් සාංකාවක් නොමැතිසේය. මගේ වයසෙ කොල්ලන්ට වගේ ලස්සන තරුණ වයසක් මට තිබුණෙ නෑ. ඒ ගැන මම දුක්වෙන්නෙත් නැහැ. හොඳට ඉගෙන ගත්තනම් හොඳ රැකියාවක් කරගෙන ලස්සනට ජීවත්වෙන්න තිබුණා. මගේ ඉරණම මේ වෙන්න ඇති.  
දිනපතාම පාන්දර 2.45 ට විතර ඇහැරෙනවා. 3.45 බස් එකේ පිටකොටුවට එනවා. නැවතිලා ඉන්නෙ ඔරුගොඩවත්තෙ. ඊට පස්සෙ හවස 4-5 වෙනකම් වැඩ කරනවා ඉවරවෙන වෙලාවක් ටක්කෙටම කියන්න බැහැ. මහන්සි වුණොත් දවසට රු. 1000 ක් 1500 ක් සෙවීමට පුළුවන් අරක්කු සිගරැට් නොබොන නිසා. ඒ ගැන දැන් දැන් නාටාමි රස්සාවට එන අය වැඩියි. ඒක නිසා කුලී වැඩ අඩුයි.  


මේ මාකට් එකට වාහන නතර කිරීමට ස්ථිර තැනක් නැති නිසා ලොරි හොයාගෙන හැමතැනම ඇවිදීමට සිදුවෙනවා. මෙතැන විතරක් නෙමෙයි පිටකොටුවේ හරස් වීථිවල කොතැනක වුණත් අපිට වැඩ තියෙනවා. කිසිවෙකුගේ ඒකාධිකාරයක් නෑ. බොහොමයක් කුලී වැඩ සිද්ධවෙන්නෙ එකිනෙකා අතර විශ්වාසයෙනුයි. බාර දෙන ‘කෑල්ල’ නොවැරදීම අවශ්‍ය තැනට අවශ්‍ය කෙනාට ලබා දෙයි කියල ලොරි සේවකයත් තොග මුදලාලිත් ගැණුම්කරුවත අතර විශ්වාසයෙන් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ.  
මේකෙ මේ රස්සාව කරන හැම කෙනාම ‘සුදනො’ නෙමෙයි. කුඩ්ඩො, වංචාකාරයන් එමටයි. ඒත් රස්සාව කරගෙන පා​ඩුවෙ ඉන්න අයට වැඩ තියෙනවා. ඇඟේ හයිය හිතට අරගෙන චණ්ඩිකමෙන් මැනිං මාර්කට් එකේ නාට්මි වැඩේ කරන්න බැහැ.  


අපේ රටේ නගරබද ගම්බද ඕනෑම අහුමුල්ලක සුබසාධක, මරණාධාර, පරෝපකාර, කුලඟන මේ ආදී නානාප්‍රකාර සංගම් ඇති නමුත් ඒ හැමටම වඩා වෙනත් සංගමයක් මැනිං මාර්කට්ටුවේ පිහිටුවාගෙන තිබෙන බවට කනින් කොනින් ලද ආරංචියකට අනුව විපරම් කෙළෙමි.  


මැනිං වෙළෙඳපොලේ ‘දුම් නොබොන්නන්ගේ සංගමයේ’’ සභාපති එල්.එච්. සමන් රංගජීව මහතා මුණගැසීමට හැකි විය.  


අපි මේ සංගමය හැදුවෙ 2008 වසරේදියි. මේ වන විට සාමාජිකයන් 50 ට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. සංගමයේ බල ප්‍රදේශය වලංගුවන්නේ මැනිං වෙළෙඳපොළ තුළ පමණයි. අගනුවර මේ ව​ෙග් විවිධ ජාතීන්ට අයත් විවිධාකාර පුද්ගලයන් ගැවසෙන මේ වගේ තැනක මෙවැනි සංගමයක් පැවතීම එක්තරා ආකාරයක පුදුමයක්. ඒත් අපි මේක කරගෙන යනවා. සතුටටත් දුකටත්, කේන්තියටත්, සීතලටත්, ඇතැමුන් වැසිකිළියට යාමේදීත් දුම් උරන සමාජයක මැනිං වෙළෙඳපොළ වැනි ස්ථානයක මෙවැනි සංගමයක් පැවතීම ඇත්තෙන්ම පුදුමයක්මය. ඒත් එය ඇත්තකි.   


දවසින් දවස අපේ සාමාජික සංඛ්‍යාව වැඩිවෙනවා. ඒ කියන්නෙ දවසකට සතියකට එක් අයෙකු හෝ දුම්බීමෙන් ඈත්වෙනවා. මේ වගේ කාලෙක මෙසේ වීම ඉතාම වැදගත්. රටේ අනාගතයටත් සුබ ලකුණක්. කම්කරුවාගේ සිට සිල්ලර, තොග වෙළෙඳුන් දක්වා සාමාජිකයන්, අපේ සංගමයේ සිටිනවා. නරක පුරුද්දක් අත්හැර දමා දුම්වැටි සඳහා දිනපතා වැයකෙරෙන විශාල මුදල් ප්‍රමාණය ඉන් තමන්ට ඉතිරි වීම, සංගමයෙන් ඉටුකෙරෙන ප්‍රධාන කාර්යය යැයි රංගජීව මහතා පැවසීය. ඔහුද මැනිං වෙළෙඳපොළේ තොග වෙළෙන්දෙකි. මේක ඉතාම යහපත් තැනක් නම් නෙමෙයි. අවක්‍රියා, වංචා. ඕනෑතරම්. හැබැයි චණ්ඩිකම්, පාතාල ක්‍රියා, කප්පම් ගැනීම් ආදිය නැහැ. කෙනෙකුගේ විපතකදී බැරි අමාරු තත්ත්වයකදී හැම දෙයම එකාමෙන් එකමුතුව කටයුතු කරනවා’’ කොළඹ ගෙන්දගම් පොළොවේ ප්‍රධානම වෙළඳපොළේ හැසිරීම පිළිබඳව රංගජීව මහතාගේ ‘සරල විග්‍රහය’ එසේ විය.  


වැස්ස තූරල්ව අහස උසට විහිදගිය ගොඩනැගිලි සහිත කොන්ක්‍රීට් වනාන්තරයට ඉහළින් දුබල හිරු එබිකම් කරමින් දහවල් වී ඇති බවට ඉඟි කරමින් සිටින හෝරාවේ මම ආපසු හැරුණෙමි. ඇස් ඉදිරියේ දැවැන්ත කටවුටයකි (දැන්වීම් පුවරුව). ඡායාරූපයක් සහිතව ‘‘යකඩ මිනිසා’ යනුවෙන් පොල්ගෙඩි අකුරෙන් එහි සටහන්ව තිබුණි. සැබෑ යකඩ මිනිසුන් සිටින්නේ බෝඩ් ලෑලිවල නොව මහ පොළොවේ මැනිං මාර්කට්ටුවත් ඒ අවට දෙනෝද‌ාහක් ගැවසෙන වීථිවල නේදැයි නිකමට මට සිතුනි.  

 


සටහන හා ඡායාරූප  
තිලක් පුෂ්පකුමාර