වන්නි උන්නැහේලාගේ නිජබිම වූ වන්නිය


 

  • කෝට්ටේ සිව්වැනි පරාක්‍රමබාහු රජ දේශපාලනික වශයෙන් ස්ථාවර වී යාපනය යටත් කර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය. ඒ සඳහා අවට සිටි ප්‍රාදේශීය මහ වන්නීන් තමන්ට පක්ෂ කරවා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ වන විට වන්නියේ බලය පතුරුවමින් වාසය කළ මහ වන්නිවරුන් දහ අට දෙනෙකු රජතුමා හට පක්ෂපාතී වූ බව කෝට්ටේ සාහිත්‍යය කෘතීන්හි සඳහන් වේ. එබැවින් ක්‍රි.ව. 1450 දී සපුමල් කුමරු යාපනය යටත් කොට ගත්තේය. 

 

ලෝකයේ විවිධ භූමි ප්‍රදේශයන්ට උරුම වූ අනන්‍යතාවන් ද එකිනෙකට වෙනස්ය. ශ්‍රී ලංකාවේ ද අතීතයේ සිට පැවැති සුවිශේෂී අනන්‍ය ලක්ෂණයක් වූයේ තම ස්වාධීනත්වය වෙනුවෙන් හඬ නඟන, සටන් වදින, විප්ලවවාදී වූ මානව සමූහයන්ගෙන් සුසැදි කුඩා ඒකක තැනින් තැන බිහි වීමයි.   


විවිධ භූගෝලීය තත්ත්වයන් යටතේ, තම අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් මෙවැනි කුඩා ජන සමූහයන් අතීත ලක්දිව පුරා විවිධ සමයයන්හිදී ව්‍යාප්තව තිබිණ. ඔවුන්ගේ අභිලාෂයන් විවිධ විය. කෘෘර ආක්‍රමණිකයන්ගෙන් මිදී තම ජනතාවටද මුදා ගැනීම, පාලන බලය හිමි කර ගැනිම, තම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම, තම ආගමෙහි ජාතියෙහි අනන්‍යතාවන්ට එල්ල වන බාධා මැඩලීම එම අරමුණු අතර විය.   


ලක්දිව පැරණි වන්නි ප්‍රදේශය ද තම දේශීය අනන්‍යතා ලක්ෂණ සුරැකීම වෙනුවෙන් පෙනී සිටි විශේෂ ජනප්‍රධානීන් පිරිසක් සහිත ජනතාවක් විසූ භූමි ප්‍රදේශයක් විය. වන්නි ප්‍රදේශය පිළිබඳව කරුණු අනාවරණය වී ඇත්තේ ක්‍රි.ව. පස්වැනි සියවසෙහිදිය. එහෙත් වන්නි යන වදන ලිඛිත ඉතිහාසයෙන් හමුවන්නේ පොළොන්නරු යුගයේදීය. එනම් මාඝගේ ආක්‍රමණ පිළිබඳ වංශ කථාවන්හි දැක්වෙන තොරතුරු ආක්‍රමණ පිළිබඳ වංශ කථාවන්හි දැක්වෙන තොරතුරු අතරය. පූජාවලියෙහි දැක්වෙන ආකාරය මාඝගේ ආක්‍රමණයෙන් වන්නියේ එතෙක් විසූ ගැමි ජනතාව උතුරු නැගෙනහිර පළාත්වලින් එළවා දැමූ බවත් විජයබාහු කුමරු සතුරන් මර්දනය කොට මහජනතාව ආරක්ෂා කළ බවත් පැහැදිලිය.   
විජයබාහු කුමාරයා ප්‍රාදේශීය වන්නි රාජ නායකයකු ලෙස කටයුතු කළ බව ඉතිහාසයෙහි සඳහන් වේ. එකල වත්හිමි විජයබාහු නමින් ප්‍රකට වූ එතුමන් දිගු කලක් වන්නි නායකයකු ලෙස කටයුතු කළ බැවින් වන්නි නිරිඳු නමින් හඳුන්වා ඇත.   


පූජාවලියෙහි හා චූලවංශයෙහි මහ වන්නීන් ලෙස හඳුන්වා ඇත්තේ වන්නි ප්‍රදේශයේ විසූ බලවත් ජන ප්‍රධානීන්ය. මාඝගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ අරාජික සමයකදී එම මහ වන්නීන් විසින් දුර්ගස්ථානයන්හි ගම්, නගර සාදාගෙන ​ලෝකයත් ශාසනයත් පාලනය කළ බව වංශ කථාවන්හි දැක්වේ.   


එසේ වාසය කළ බලවත් මහ වන්නීන් සිව් දෙනෙකු වන්නේ විජයබාහු කුමරු, සුභ සෙන්පති, සංඛ සෙන්පති සහ බුවනෙකබාහු ආදිපාද ආදීහුය. සුබ පර්වතය හෙවත් යාපහුව මුදුනෙහි බලකොටුවක් තනාගත් සුබ සෙන්පති වන්නියෙහි එහි පැමිණි පාලකයකු විය. වන්නියෙහි සිටි බුවනෙකබාහු ආදිපාදයන් ​ගෝවින්ද මලය සිට රුහුණට ආරක්ෂාව සැලසුවේය. සංඛ හෙවත් භීම සෙන්පති මිණිපේ ප්‍රදේශයට ගොස් එහි ආරක්ෂාව සැලසුවේය. ඔවුන් සිවු දෙනා අතරින් විශේෂත්වයට පත් වූයේ වන්නි රාජ්‍යයත්වයට හිමිකම් කී වත්හිමි විජයබාහු කුමරුය.   


වැව හා බැඳුණු සෞභාග්‍යමත් ගැමි සංස්කෘතියක් ද ජලාශ්‍රිත ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයක් ද අතීත වන්නියෙහි දක්නට ලැබුණි. සතුරු ආක්‍රමණ මැද එම සෞභාග්‍යය මැකී ගිය අතර රජරට හා රුහුණු ජනතාව ද තම ගම් බිම් හැරයන්නට වූහ. විජයබාහු කුමරු විසින් ඇතැම් වන්නිවරුන් තමන්ට අවනත කර ගනිමින් සේනා වර්ධනය කොට සටන් මෙහෙයවමින් ආක්‍රමණකාරීන් මර්දනය කොට රට නිදහස් කර ගන්නා ලදී.   


මහ වන්නියකු වූ සුභ සෙන්පති විසින් අස්ගිරි වන සෙනසුන ගොඩ​නගා මහ සඟරුවනට පූජා කරන ලදී. එය පූජා කරන ලද්දේ දිඹුලාගල සෙනසුන හැර දමා පැමිණි භික්ෂූන් වහන්සේ වෙතය. අස්ගිරි තල්පෙතහිද මේ බව සඳහන්ව ඇත. විජයබාහු රජරට එක්සේසත් කරන විට ඔහුට සහයෝගය දුන් මහ වන්නිවරුන් පසුව රජුගේ ආධිපත්‍යය පිළිගෙන කටයුතු කරන්නට ඇතැයි සැලකේ. විජයබාහු රජු හා මහ වන්නි ප්‍රභූවරුන් එක්ව පළා ගිය ජනතාවට රැකවරණය සලසන්නට විය. මහ වන්නිවරුන්ගේ ද නායකත්වය දරණ ලද බැවින් විජයබාහු රජු වන්නි යන නාමයෙන් ද ප්‍රකට විය.   


1933 වර්ෂයේදී නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්නලායි අසල පාල මොට්ටෛ නම් ස්ථානයක්, විජයබාහු රජ සමයට අයත් යැයි සැලකෙන සෙල් ලිපියක් හමු වී ඇත. දෙමළ බසින් ලිය වී ඇති එහි එන නාමයන් හින්දුය. එම සෙල්ලිපියට අදාළ වූ සිද්ධ ස්ථානය විජයරාජ ඊශ්වරම් නමින් ද විජයරාජ චතුර්වේදී මංගලම් යනුවෙන් ද හඳුන්වා ඇත. එය බ්‍රාහ්මනයන් විසූ ග්‍රාමයක් විය යුතුය. ඒ අනුව විජයබාහු රජුගේ රැකවරණ යටතේ වන්නි ප්‍රදේශයෙහි බ්‍රාහ්මණ ජනපදයන් ද පැවැති බවට සාක්ෂි හමු වේ. කන්තලායිහි ශිව දේවාලය විජය රාජ ඊශ්වරම් නමින් හඳුන්වන්නට ඇත්තේ එය විජයබාහු රජ විසින් පිහිටුවන ලද බැවිනි.   


වන්නි ප්‍රදේශයෙහි චෝල ආධිපත්‍යය පැවති සමයෙහි බුදු දහම හා හින්දු දහම එක සේ සමාන තත්ත්වයකට පත් කිරීම සඳහා කළ යුතු සෑම කාර්යයක්ම ඉටු කළ නරපතියකු වූයේ විජයබාහු රජතුමාය. එහෙත් චෝල ආධිපත්‍යයයෙන් පීඩනයට පත් රට වැසියන් මුදාගැනීම පිණිසද කැප වී කටයුතු කළේය.   


ඉහත සඳහන් වූ පාලමොට්ටෛයෙන් හමු වූ දෙමළ පුවරු ලිපිය ලියා ඇත්තේ නාගෛච්චානි නම් බ්‍රාහ්මණ කුල ස්ත්‍රියක විසින් ශිව දෙවියන්ට කරන ලද පූජාවක් ලේඛන ගත කිරීම පිණිසය. ඇය සිය සැමියා සිහි වීම සඳහා කන්තලායිහි පිහිටි තෙන් කෛලාසම් (දකුණු කෛලාස) නම් වූ කෝවිලට රන් ඔටුන්නක්, රන් මාලයක්, පනහක්, රන්කාසි හා නාට්‍යාංගනාවන් සත් දෙනෙකු පූජා කොට ඇත.   


විජයබාහු රජතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ පුත් වූ දෙවන පරාක්‍රමබාහු රජතුමාය. ක්‍රි.ව. 1236 දී දෙවන පරාක්‍රමබාහු රජ විසින් මාඝ හා සටනට මුල පුරන ලදී. එතෙක් තම පිය රජුට අවනත නොවී සිටි සිංහල වන්නි රජ පිරිසක් දෙවන පැරකුම් රජුට පක්ෂපාතී විය. එයට උපකාරී වූයේ ඌවේ බුවනෙක බාහු ආදිපාදයන්ගේ සම්භාවනීය වූ සම්‍යක් ප්‍රයෝග සහිත මන්ත්‍රී බලයයි. එම සම්‍යක් උපායමාර්ග වූයේ වැරදිකරුවන්ව සිටි වන්නි නායකවරුන්ගේ දඬුවම් ලිහිල් කිරීමයි. එනම් මරණීය දණ්ඩනය නියම වූවන් සිරගෙයට නියම කිරීම, සිරගෙයට නියම වූවන් නිග්‍රහ කොට නිදහස් කිරීම, පිටුවහල් කළ යුතු වරදකරුවන්ට දඩ නියම කිරීම, දඩ නියම කළ යුතු වරදකරුවන්ට තදින් අවවාද ​කොට නිදහස් කිරීම ආදියයි. එසේ දඬුවම් ලිහිල් කරන ලද්දේ පිය රජුට අවනත නොවීම නිසා දඬුවම් ලද වන්නි නායකවරුන්ගේය.   


දෙවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව ඔහුගේ පුත් සිවුවැනි බෝසත් විජයබාහු රජකමට පත් විය. එතුමන් විසින් එතෙක් වන වැදූ තිබූ සිද්ධස්ථාන පිළිසකර කරන ලදී. ඒ වන විට මෙතෙක් නොපැමිණි මහ වන්නීහු ද බෝසත් විජයබාහු කුමරුන් වෙත පැමිණියහ. අනුරාධපුරයෙහි ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව එම මහ වන්නින් වෙත පවරන ලද බව වංශ කතාවන්හි සඳහන් වේ.   


එම කරුණින් අනාවරණය වන්නේ මහ වන්නි නායකවරුන් කිහිප දෙනෙකු එතෙක් ස්වාධීනව කටයුතු කළ බවත් පසුව බෝසත් විජයබාහු රජු හට පක්ෂපාතී වූ බවත්ය. ආක්‍රමණකාරීන් විසින් පැහර ගන්නා ලද මහ වන්නීන්ගේ අඹු දරුවන් යළි වන්නිවරුන්ටම පවරා දීමට බෝසත් විජයබාහු රජු කටයුතු කොට ඇත. මෙතෙක් සඳහන් කළ මහ වන්නීන්, ප්‍රාදේශීය නායකයන් ලෙස තම බලය පතුරුවා ගෙන සිටියේ ක්‍රි.ව. 1215 ත් 1265 ත් අතර වූ අඩසියවසක කාල වකවානුව තුළය. එම අඩසියවස ලංකා ඉතිහාසයෙහි සංක්‍ර්‍රාන්ති යුගයක් විය.   


ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ පහළොස් වන සියවස දක්වා ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය වර්ධනය වූයේ රජරට, රුහුණු රට ඇතුළත්ව වියළි කලාපය තුළය. තවද වයඹ පළාත, උතුරු මැද පළාත, උතුරු නැගෙනහිර පළාත හා ඌව පළාත ද වලවේ ගඟ දක්වා වූ දකුණු පළාතේ නැගෙනහිර කොටස ද එයට ඇතුළත් විය. 

 
පොළොන්නරු යුගයෙහි දී ​චෝඩගංගදේව නම් කාලිංග කුමරකු ලක්දිවට පැමිණ ඇත. ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් ත්‍රිකුණාමලයෙන් හමු විය. එය ලක් වැසියන්ට වඩා වැදගත් වන්නේ අන්තර්ගත කරුණු අතර ලංකාව හඳුන්වා ඇති ආකාරයෙනි. චෝඩගංගදේවගේ ශිලා ලිපියෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කිසිවකුටත් යටත් කළ නොහැකි අනභිභවනීය රාජ්‍යයක් වූ බවයි. චෝඩගංගදේව විසින් ලියවන ලද එම හෘදයාංගම හා ගෞරවාන්විත අදහස්වලින් හැඟෙන්නේ ඔහු දේශයේ සතුරකු නොවූ බවයි.   
එහෙත් නිරන්තරව සිදු වූ අරගල හේතුවෙන් පාලන ක්‍රමය කෙමෙන් බිඳවැටෙන්න විය. ප්‍රාදේශීය පාලනය ද අක්‍රිය විය. ආගම හා රාජ්‍යය අතර වූ ජලාපවහනය ද අකාර්යක්ෂම විය.   


තිබූ ඇළවේළි, වැව් අමුණු පිළිසකර නොවීය. කාලය ගෙවී යත්ම පාළු වී ගිය වැව් හා අමුණු ආශ්‍රිත වූ කුඹුරු යායන් පාළු වී වල් බිහි විය. පුරන් වූ පෙදෙසේ මහ වන ගහනයෙන් වැසී ගියේය. ඉන් අසරණ වූ ජනතාව තම පාරම්පරික ගම් බිම් හැරදමා නිරිත දිග හා මලය ප්‍රදේශ වෙත සංක්‍රමණය වූහ. ක්‍රමයෙන් වියළි කලාපය ජනාවාසයට නුසුදුසු පෙදෙසක් බවට පත් විය. ගමරට හැර නොගිය ජනතාව ජලය රැඳී තිබූ කුඩා ගම් වැව් ආශ්‍රිතව වගා කටයුතු කරමින් ජීවත් විය. වන මැද එකිනෙකට ඈත්ව පිහිටි දනව්වල ජනතාවට ආරක්ෂාව සපයමින් ප්‍රදේශය ආරක්ෂා කිරීමෙහි නියුක්ත වූයේ ස්වාධීන ජන නායකයන් වූ වන්නි හෙවත් වන මැද පිහිටි ජනතා ආරක්ෂකයන් වූ වන්නිවරුන්ය. ඇතැම් විට ඔවුන්ගෙන් ප්‍රබලව නැගි ආ පිරිස මහ වන්නීන් හෙවත් වන්නි රජවරුන් විය. ඔවුන් පිළිබඳව බොහෝ පුවත් ලංකා ඉතිහාසයේ සඳහන් වේ.   


කෝට්ටේ යුගයෙහි ලියැවුණු එළු අත්තනගලු වංශයෙහි සිරිසඟබෝ රජතුමාගේ රාජ්‍යය පැහැර ගැනීමට තැත් කළ ගෝඨාභය, තැන තැන වන්නි කැලෑ ගම් සොරව උන් සොරුන් රැස් කර ගෙනවුත් අනුරාධපුර නගරයට ඇතුළු විය යනුවෙන් සඳහන් වේ. එමෙන්ම මොග්ගල්ලාන රජුගේ අණ නොතකා මලය රටෙහි නිදහසේ සැරි සැරූ වන්නි නායකවරුන් පිළිබඳවද එහි සඳහන්ව ඇත. මුගලන් රජු හි වන්නි නායකවරුන් පිළිබඳ තොරතුරු ක්‍රි.ව. පස්වැනි සියවස දක්වා අතීතයට පතුරුවාගෙන සිටි කැරලිකාර සොරුන් හැඳින්වීම සඳහා ද එකල වන්නි හා වන්නිවරුන් නාමය යෙදී ඇති ආකාරය දක්නට ඇත.   


අතීතයේ වන්නි ප්‍රදේශ තුන්සිය හැටක් පැවැති බැව් දළදා පූජාවලියෙහි සඳහන්ය. පළමුවැනි පරාක්‍රමබාහු රජ වන්නි පත්තු තුන්සිය ගණනක් ජයගත් බව නිකාය සංග්‍රහයෙහි දැක්වෙයි. වනයෙහි වූ යන අරුත් දෙන වන්‍ය යන පදයෙන් වන්නි යන්න ව්‍යවහාරයට පැමිණ ඇත. පැරණි ලේඛනයන්හි සිංහල මහ වන්නි යනුවෙන් බොහෝ තැන් හි යෙදී ඇත. එයින් ගම්‍ය වන්නේ දෙමළ මහ වන්නීන් ද විසූ බවයි.   


ආක්‍රමණකාරීන්ගේ පීඩාවන්ට ලක් වූ හින්දු ආගමිකයන් වන මැද ගම් දනව්වල සැඟවී වෙසෙන්නට වූ අතර ඔවුන්ට ආරක්ෂාව සැලසූ ප්‍රාදේශීය දෙමළ නායකයෝ දෙමළ මහ වන්නීන් නම්වූහ. මෙම දෙමළ වන්නීන්ගෙන් ඇතැමෙකු දකුණු ඉන්දීය පාණ්ඩව පාලකයන්ගෙන් උදව් ලබමින් සිටි දෙවන චන්ද්‍රභානු හට පක්ෂපාතී විය. අනෙකුත් දෙමළ මහ වන්නීන් සිංහල මහ වන්නීන් සමග එක්ව නිරිත දිගට සංක්‍රමණය විය.   


මහාචාර්ය පරණවිතාන මහතා සඳහන් කොට ඇත්තේ වන්නිවරුන් දකුණු ඉන්දියාවේ විවිධ කටයුතුවල යෙදී සිටි බවය. දෙවන කුලෝත්තුංගයන්ගේ ශිලා ලිපියක වන්නිය නායර් නමින් විරුධාවලියක් ලද මෙලෙයිමාන් නම් නායකයකු පිළිබඳව සඳහන් වේ. තවද භාරතීය විජයනගර් රජ වූ කෘෂ්ණරාජයන්ගේ සෙල්ලිපිවල වන්නිවරයන් දහ අට දෙනෙකු පිළිබඳව සඳහන්ව ඇත.   


පොළොන්නරු යුගයෙහි දී ලක්දිව වැඩ විසූ මහතෙරවරුන්ගෙන් කෙනෙකු වූ භදත්ත ආනන්ද ස්ථවිරයෝ පාණ්ඩ්‍ය දේශයට වැඩම කළහ. එයට හේතු වූයේ ආක්‍රමණිකයන්ගේ ක්‍රියා කලාපයයි. උන්වහන්සේ පාණ්ඩ්‍ය දේශයෙහි වඤ්ඤ සාමන්තයකු විසින් කරවා දෙන ලද විහාරයක වැඩසිටි බව උපාසක ජනාලංකාරයෙහි සඳහන් වේ.   


එම ග්‍රන්ථය අදාළ විහාරස්ථානයෙහි සිට කරවූ බවද දැක්වේ. වඤ්ඤ සාමන්ත යන වදනෙහි වූ අර්ථය දෙන පාලි ස්වරූපය වන්‍ය සාමන්ත යන්නයි. මේ අනුව පාණ්ඩ්‍ය දේශයෙහි ද වන්නිවරුන් වාසය කළ බවට සාධක මතුවේ. 

 
මහවන්නීන් මෙන්ම කුඩා වන්නීන් ද වන්නි ප්‍රදේශයෙහි වාසය කොට ඇත. අත්තනගලු වංශයෙහි සිරිවන්නි යනුවෙන් හඳුන්වා ඇත්තේ කුඩා වන්නිවරුන්ය. දෙමළ බසෙහි ද කුඩා යන අරුත් දෙන සිරු යන වචනයක් ඇති බැවින් සිරි යන්න සිරු යන්නෙහි සිංහල ස්වරූපය විය යුතුය. ඒ අනුව අතීතය වන්නියේ මහ වන්නිවරුන් දහ අට දෙනෙකු ද සිරි වන්නිවරුන් තුන්සිය හැට හතර දෙනෙකු ද වූ බව පරණවිතාන මහතා විශ්වාස කරයි. 

 
වන්නිවරුන් ප්‍රථම වරට දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේ දඹදෙනි යුගයේදීය. ඔවුන් අතර වන්නි, සිරි වන්නි, මහ වන්නි හා වන්නි රාජවරුන් ද වූහ. මෙම වන්නිනායක පිරිස කෝට්ටේ යුගය දක්වා ලක්දිව දේශපාලන කටුයතුවල නිරත වී ඇත. ඇතැම් අවස්ථාවලදී සිංහල වන්නිවරු පවතින පාලන තත්ත්වයට විරුද්ධව කැරලි ගැසූහ. එවැනි සිංහල වන්නි රජවරුන් දෙදෙනකු වූයේ කදලිවාට මාපාණ හෙවත් කෙහෙල්වල මාපාණ සහ නිප හිමියාය. ඔවුන් යාපහුවේ රජ කළ පළමු වන බුවනෙකබා රජුට විරුද්ධව කැරලි ගසා රජු පරාජය කළ බවද පැවසේ.   


මැදවල සෙල්ලිපියේ සඳහන් වන ආකරයට සිව්වැනි පරාක්‍රමබාහු රජතුමා මිය ගියේ බෝදා මාපාණන් නම් වූ වන්නිරජයකු විසින් අරඹනු ලැබූ කැරැල්ලකදීය.   
වංශ කතා අනුව සිව්වැනි පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසුව රජකමට පත්වූයේ වන්නි බුවනෙකබාහු නමැත්තෙකි. නිසැකවම ඔහු වන්නි නායකයකුව සිට රජකමට පත් වූවකු විය යුතුය. වන්නි බුවනෙකබාහු නමින් රජ වූයේ බෝදා මාපාණන් යයිද මතයක් පවතී. කැරලි ගසා සිහසුනට පත්වීමට තරම් බලවත් වූ ප්‍රබල මහ වන්නිවරුන් ද වන්නියේ විසූ බව ඉන් අනාවරණය වේ.   


ගම්පල යුගයේදී වනගත ප්‍රදේශවල වන්නිවරුන් වාසය කළ වට සාධක ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් උතුරේ ආර්ය චක්‍රවර්තී හට ද සමහරකු දකුණේ පාලකයා වෙත ද පක්ෂපාතී වෙමින් කටයුතු කළහ.   


කෝට්ටේ සිව්වැනි පරාක්‍රමබාහු රජ දේශපාලනික වශයෙන් ස්ථාවර වී යාපනය යටත් කර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය. ඒ සඳහා අවට සිටි ප්‍රාදේශීය මහ වන්නීන් තමන්ට පක්ෂ කරවා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ වන විට වන්නියේ බලය පතුරුවමින් වාසය කළ මහ වන්නිවරුන් දහ අට දෙනෙකු රජතුමා හට පක්ෂපාතී වූ බව කෝට්ටේ සාහිත්‍යය කෘතීන්හි සඳහන් වේ. එබැවින් ක්‍රි.ව. 1450 දී සපුමල් කුමරු යාපනය යටත් කොට ගත්තේය. එසමයෙහි යාපනයෙහි පාලකයාව සිටියේ කණක සූර්යසිංහ හෙවත් ආර්ය චක්‍රවර්තීය. ඔහු තම අඹුදරුවන් රැගෙන ඉන්දියාවට පළා ගිය බව සඳහන්ය. එම පළා යාමට හේතු වූයේ වන්නියාර්වරුන් විසින් යාපනයෙහි වැසියන් චක්‍රවර්තීන් හට විරුද්ධව නැගීසිටීමට පොළඹවන ලද බැවිනි. එම නැගීසිටීම පිළිබඳව යාල්පාන වෛපවමාලෙයි නම් වූ දෙමළ වංශ කථාවෙහි සඳහන්ව ඇත.   


පසු කාලෙයහි නම් ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ලංකාවට ගොඩබසින විට උතුරු මැද, නැගෙනහිර සහ ගිනිකොණ දිග ප්‍රදේශවල ප්‍රාදේශීය නායකයන් යටතේ වන්නි රාජ්‍ය කිහිපයක් පැවතුණේය. වන්නිය, තමන්කඩුව, නුවර කලාවිය, පානම හා යාල යනාදිය එබඳු වන්නි රාජ්‍ය පිහිටි ප්‍රදේශ විය. එකල වන්නි පාලන ප්‍රදේශවල පාලකයෝද වන්නියාර්වරුන් නමින්ම හඳුන්වනු ලැබූහ.   


දහහත් වැනි සියවසෙහි මැද භාගයෙහි උඩරට වාසය කළ රොබට් නොක්ස් ලක්බිමෙන් පළාගියේ වන්නි ප්‍රදේශ හරහාය. එම ගමනේදී තැන් තැන්වල පැරණි ගොඩනැගිලි හා ශිලා ස්ථම්භ විසිරී තිබෙනු දුටු බවද ඔහු සඳහන් කරයි. රොබට් නොක්ස්, මෙම පළා යාමේදී වන්නි ප්‍ර්‍රාදේශීය නායකයකුගේ නිවසෙහි රාත්‍රියක් ගත කොට ඇත. වන්නි නායකයා අණ පරිදි නර්තනයෙහි හා විජ්ජා පෙන්වීමෙහි නියුතු මිනිසුන් විසින් නොක්ස් වෙනුවෙන් සිය දක්ෂතා දක්වන ලදී. නොක්ස් සඳහන් කරන ආකාරයට ඒ වන විට වන්නි නායකයන් හඳුන්වා ඇත්තේ වන්නිඋන්නැහේලා යනුවෙනි. එම වන්නි උන්නැහේලාගෙන් සමහරෙකු යාපනයේ සිටි ලන්දේසීන් හට කප්පම් ගෙවූ අතරම උඩරට රාජ සභාවට වඩාත් සමීපව බැඳී සිටියහ.   


දහ හත්වන සියවස වන විට වන්නිය ස්වයං පාලිත ගම් සහිත ප්‍ර්‍රදේශයක් විය. එය සුළු නිලධාරින්ගේ හෝ උඩරට රජුගේ ප්‍රබල අවධානයට ලක් නොවූ පෙදෙසක් විය. එක් කාලයක උතුරු හා වන්නි ප්‍රදේශයේ නාමික ප්‍රධානියා වූයේ මහ අධිකාරමය. අතීතයේ වන්නි පෙදෙස දුර බැහැරින් වූ දුෂ්කර පෙදෙසක පිහිටි බැවින් මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳව යොමු කළේ මද වූ අවධානයකි.   


වන්නියෙහි රාජකීය ගම් නොතිබුණු නමුත් රාජකීය කෙත් කිහිපයක්ම පැවතියේය. එහි නියම පාලකයන් වූයේ වන්නි උන්නැහේලාය. ඔවුන් දහහත් වැනි සියවසේදී හඳුන්වා ඇත්තේ ද වන්නි නිරිඳෝ හා වන්නි බණ්ඩාරවරුන් යන නාමයන්ගෙනි.   


උතුරින් යාපනය රාජධානිය ද දකුණින් උඩරට රාජධානිය ද අතර සිටි වන්නිවරු බොහෝ බලවත් පිරිසක්ව ඔවුන්ගේ අධිපත්‍යයට යටත් විය. වන්නිවරුන්ගේ නාමික ප්‍රධානියා වූයේ රජතුමාගේ නියෝජිතයා වූ නුවර කලාවියේ දිසාවය. වන්නිවරු තම පත්තු ඇතුළත දිසාව කෙනෙකුට සමාන බලතල දැරූ අතර සුළු දඬුවම් පැමිණ වීමේ බලය ද ලබාගෙන සිටියහ.   


දහහත් වැනි සියවෙසහි විසූ වන්නිවරු ප්‍රවේණි රදළ පෙළපත්වලට අයත් වූ අතර ඉඩකඩම් අයිතිකරුවෝ වූහ. වන්නිවරු අතර සූරියවංශ නුවර වැව පවුල නමින් පරම්පරාවක් ද වූවේය. ඔවුන් සඳහන් කර ඇත්​තේ ක්‍රි.පූ. 289 දී ලක්දිවට ශ්‍රී මහා ​බෝධිය වැඩමවාගෙන පැමිණි පිරිසෙන් තම පරපුර ඇරඹුනු බවයි. තවත් වන්නිවරු පිරිසක් පන්නා නම් කුල ක්‍රමයට අයත් දුරය නම් වූහ. ඔවුන් සඳහන් කර ඇත්තේ තම පරපුර බෝධියට ආවතේව කරනු පිණිස ලක්බිමට පැමිණි බවයි. අතීතයේදී එම පිරිස ගල් දුන්නක ආධාරයෙන් වඳුරන්ගෙන් ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කළ බැවින් විල්ලි දුරයි යනුවෙන් හැඳින්වූහ. 

 
වන්නි රදළ පරම්පරාව ප්‍රවේණික සාමන්තයින් ලෙස කටයුතු කළ අතරම කුල අරගල විනිශ්චය කිරීමෙහි ද යෙදී ඇත. නඩු කියන්නන් හා වැරදිකරුවන්ගෙන් ලැබුණු ගාස්තු හා දඩවලින් කොටසක් ද වන්නිවරුන්ට හිමි විය.   


වන්නිවරුන් විසින් වන්නි මොහොට්ටාල ද දිසාව විසින් දිසාව මොහොට්ටාල ද පත් කරනු ලැබ තිබූ බැවින් වන්නියෙහි ද්විත්ව පාලනයක් ක්‍රියාත්මක විය. රාජාධිරාජසිංහ රජ සමයෙහි, බදු (දැකුම්) නොගෙවීම හේතුවෙන් ප්‍රධාන වන්නි බණ්ඩාර වසර දොළහක් මුළුල්ලේ නුවර සිරකර තැබූ බව ඩොයිලිගේ වාර්තාවේ සඳහන් වේ.   


වන්නි ප්‍රදේශයේ රාජකාරි කළ නොයෙක් රාජ්‍ය නිලධාරීන් හා වන්නිවරුන් අතර කිසිදු සමාජ සම්බන්ධයක් නොවීය. එහෙත් නිලධාරින්ගෙන් තෑගි බෝග වන්නිවරුන්ගේ ආධිපත්‍යයේ නීත්‍යානුකූලභාවය හෝ රාජකීය අනුමැතිය පිළිබඳ කිසිවෙක් ප්‍රශ්න නොකළහ. එහෙත් මහනුවර යුගයේ විසූ වන්නිවරුන්ගේ පාලනය ජනතාව විසින් අනුමත නොකරන ලදී. ඇතැමෙක් වන්නිවරුන්ගෙන් මිදී ගොස් උතුරෙහි පදිංචි වූහ.   


එහෙත් මහනුවර යුගයෙහි රජ කළ ඇතැම් රජවරුන් විසින් දරුණු වන්නිවරුන් යටත් කළ බවද ඉතිහාස ගතව ඇත. 

 
ක්‍රි.ව. පස්වැනි සියවසෙහි සිට වන්නි ප්‍රදේශය පිළිබඳ විවිධ තොරතුරු ලිඛිත මූලාශ්‍රවලින් හෙළිවන අතර එහි විසූ වන්නිවරුන් විවිධ යුගයන්හි නොයෙක් ආකාරයෙන් කටයුතු කර ඇති බවද ඉන් අනාවරණය වෙයි. අතිත වන්නි ප්‍රදේශය ලක්දිව දේශපාලන ක්ෂේත්‍රයෙහි බොහෝ කැපී පෙනෙන සිදුවීම්වලට මුහුණ දුන් පෙදෙසක් බවටද වංශ කථාවන්හි එන තොරතුරුවලින් පැහැදිලි වේ. අති රමණීය සොබා සෞන්දර්යයෙන් යුතු භූමියක්ව පැවැති වන්නිය දේශීය අනන්‍යතාව සහිත ශිලා ලේඛන සමූහයකින් ද සමන්විතව පැවති දේශීය උරුමයකි.

 

මොරටුවේ
 එම්. නිලන්ති මානෙල් මුතුතන්ත්‍රී