ලෝක විනාශයට මුල් ​ෙවන මහා භූතයෝ


පෙනෙන  නොපෙනෙන ලෝකය   

 

 

 

පියවි ඇසින් ඔබ්බට ගොස් මොහොතක් කල්පනාවේ නිමග්න වුවහොත් ද්‍රව්‍යමය පෘථිවියේ සංඝටකවල ක්‍රියාවලියන් පිළිබඳ කෙරෙන මූලික විග්‍රහයේදී සතර මහා භූතයන් පදනම් කරගෙන පැවතීමේ තත්ත්වය මනාව තහවුරු වෙයි. අනේක විධ සියලුම භූත කොට්ඨාසයක්ම අබිබවා සතර මහා භූතයින් ඉතා ඉහළින් වැජඹෙන අතර අපගේ මුඛ වහරේ පවතින ලෝකය, විශ්වය, සක්වළ ඇතුළු සදිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර මහා අපාය, සතර මහා දිවයින් ආදී දේවල් සුළු මොහොතක් ඇතුළත සුනු විසුනු කර දැමිය හැකි තත්ත්වයකට සූදානමින් සිටින බව සෑම විටම වටහා ගත යුත්තේය.   


සතර මහා භූතයින් ගැන ඉතා සරලව විග්‍රහයක යෙදුණහොත් ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන තත්ත්වයන්ගෙන් සැදුම්ලත් මහා භූත කොට්ඨාසයට අයත් ලෝක විනාශයට බෙහෙවින් බලපාන කොටස් හතර වේ. මේවා ඝන, ද්‍රව, වායු වශයෙන් වෙන් කෙරෙන අතර, අාපෝ යනුවෙන් හඳුන්වන්නේ වෑහෙන, වැක්කෙරෙන, වැගිරෙන, ඉහිරෙන යන අර්ථ ස්වභාවයෙන් තුනී ද්‍රව ගතියෙන් යුක්ත වූ ඒවාටයි.   


වායෝ යනුවෙන් කුමක්ද යන්න අර්ථ දැක්වුවහොත් ඉතා කඩිනමින් විසිරෙන ගතිය ඇති වායුමය ස්වභාවයන්ය.   
ඉතා තදබල ලෙස ක්‍රියාත්මක වීමේ ශක්තිය අණු හෝ සංඥා වශයෙන් හඳුනාගත නොහැකි අවස්ථාවන් තේජෝ හෝ තේජස රෞද්‍ර බලය ලෙස හඳුනාගත නොහැකි අවස්ථාවන්ය. පඨවි යනුවෙන් අර්ථවත් කළහොත් ඉතා තද ඝනතාවයකින් යුක්තව ක්‍රියාත්මක වීමයි. මෙයට ශබ්දය ද අයත් වේ.   


සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් ක්‍රියාවලියක් පෘථිවි වාසීන් හැටියට දැක ගත හැකි අවස්ථාවන් වන්නේ වැසි කාලවල දී අහස කැලඹීම, ශබ්ද නගා ගිගුරුම් හඬ ඇසීම මහ පොළොව කම්පා වන අයුරින් අකුණු ක්‍රියාවලියන් උදාහරණයකට ගත හැකිය. තවද අකාල වැසි, දරුණු අකුණු පිපිරීම්, සුළි සුළං සහ ළැව් ගිනි ආදියත් මේ ගණයට වැටේ.  
කෙසේ වෙතත් බුදු දහමට අනුව සතර මහා භූතයින් එකිනෙකට වෙන් කළ නොහැකි බව සඳහන් වේ. මොහොතින් මොහොත මේවා ඒකාකාරීව නොපවතින්නේය. අසුරු සැණෙකින් වෙනස් ස්වභාවයක් ගනී. ඝන ද්‍රව්‍ය ද්‍රව බවටත්, තවත් වරෙක වායු බවටත්, ද්‍රව වායු බවටත්, වායුව ඝන බවටත් ආදී වශයෙන් වෙනස් වන සුලුය. නමුත් භූතයෝ එකට බැඳී ජීවත් වීම කිසිසේත් අත්නොහරී.   


අප අවට ලෝකයේද සැබෑ තත්ත්වය එය වේ. සතර මහා භූතයන්ගේ කිපීම නිසා මුළු මහත් ලෝක ධාතුවම විනාශ කර දැමීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. සරල උදාහරණයක් දක්වතොත් ආයුර්වේදයේ තුන්දොස් කිපීම නැතිනම් කෝපාවිෂ්ට වීම ගත හැක. මනුෂ්‍ය ශරීරයක් රෝගාතුර බවට පත් වන්නේ තුන්දොස් කිපීමෙනි. තුන්දොස් යනු වාතය, පිත සහ සෙම යනු කරුණු තුනය. මේවා නම් ආපෝ, තේජෝ, වායෝ යනුවෙනි. 

 
පඨවි ධාතුව ඝන ද්‍රව්‍යයක ස්වභාවය පෙන්නුම් කරන නිසා තුන්දොස්වලට අයිති වන්නේ නැත. නමුත් රෝගාතුර ශරීරයක යම් ශබ්දයක් නැගීමට පඨවි ධාතුව අත්‍යවශ්‍යම වන්නේය. තුන්දොස් කෝපාවිෂ්ට වීමෙන් මරණය පවා සිදුවිය හැකි බව දැනගත යුතුය. එසේ නම් භූත කොටස් හතර එකතු වුවහොත් ලෝක විනාශය, සක්වළ විනාශය මුළු මහත් විශ්වයම විනාශ මුඛයට ඇද දැමිය හැකි බව දත යුතු කාරණයකි.   
පඨවි ධාතුව මුල් කරගෙන මුළු විශ්වයම නිර්මාණය වී තිබේ. විශ්වයේ හැඩය පඨවි ධාතුව හා බැඳී පැවතීම නිසා විශ්වයක් සහ තවත් විශ්වයක් එකට ගැටීම එහි හැඩය නිර්මාණයට ඉවහල් වනුයේ පඨවි ධාතුවයි. නමුත් පඨවි ධාතුවට එය තනියම කළ නොහැකිය. ඉහතින් කී අනෙකුත් ධාතු කොටස්වල නියත සහය අවශ්‍ය වේ. වායෝ ධාතුවේ සහය ඉතාම අත්‍යවශ්‍යය. එයටත් වැඩියෙන් තේජෝ ගුණය අවශ්‍ය වේ.   
කැබලි කරන්නේ නැතිනම් වෙන් කරන්නේ තේජෝ ධාතුවයි. එසේම ආපෝ ගුණය ජලය හා බැඳී පවතී. ආපෝ ධාතුවට යම් විනාශයක් තනිවම කළ නොහැක. තේජෝ ගුණය අවශ්‍ය වේ. ගුරුත්ව බලයේ ක්‍රියා පිළිවෙත ආපෝ ගුණයේ පිහිටා ඇත. ගුරුත්ව බලය ක්‍රියාත්මක වීමට වායෝ බලය අවශ්‍ය වේ. එසේ නම් ඉහතින් සඳහන් කළ ආකාරයට සතර මහා භූතයින් පදනම් කරගෙන විශාල විනාශයක් කිරීමට හැකි බව සත්‍ය වශයෙන්ම වටහා ගත යුතුය.   


නවීන විද්‍යාව අනුවත් විදුලි දහරාවන්, ශබ්දය, ආලෝකයේ වේගය, අනෙකුත් භෞතික ලෝකයේ පවතින සියල්ලම මෙම ගුණයන්වල පිහිටා සමබරව පැවතිය යුතුයි. නැතිනම් සිදුවන්නේ මහත් විනාශකාරි තත්ත්වයකි. මහාභූත කොටස් හතරෙන් එකක් හෝ ගිලිහී ගිය තැන විනාශය ලංවන බව තෙවන වරටත් මතක තබා ගත යුතුයි.   
ලෝක විනාශයත් එය හා සමානව සිදුවේ. සතර මහා භූතයින් ඉතාම සමබර වාසය කරන තුරු කිසිවෙකුටත් බලපෑමක් නැත. බුදු දහමේ උගන්වන සුද්ධාවාසයන් කරන කොටගෙන, අසඤ්ඤ තලය අරූප තල ආදී මුළු මහත් විශ්වයට ඈදී ඇති තල පිහිටා තිබේ. උදාහරණයක් වශයෙන් ගතහොත් නවීන විද්‍යාව අනුව සොයාගෙන ඇති මහපොළොවේ පිහිටීම අනුව ඇති භූ තැටි මෙන්ය. 

 
විශ්වයේ පිහිටා ඇති ග්‍රහතරු පමණක් නොව බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, සතර මහා අපාය ආදී සියල්ලම විශ්වයට අයත්ය. ඒවා විදු ඇසට ගෝචර වන්නේ ද නැත. අප මහාපොළෝ තලයේ ජීවත් වන නිසා මනුෂ්‍යයින් හැටියට දන්නේ ලෝක විනාශය පමණි. නමුත් ලෝක තලය විනාශ වන විට මුළු මහත් විශ්වයටම පැවැත්මක් නැත. ඔවුන් ද සම්පූර්ණයෙන්ම විනාශය කරා ඇදී යති.   
වැඩිදුරටත් පවසතොත් බුදු දහමට අනුව වේහඒපල බ්‍රහ්ම ලෝකයෙන් පටන් අරගෙන සුභ, අඒපමාහ, පරිත්ථ, ආභස්සර, අඒපමාහාභ, පරිත්ථාභ, මහාබ්‍රහ්ම, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිශජ්ජ ආදී සියලුම බ්‍රහ්ම ලෝක වායෝ, තේජෝ, ආපෝ තුන් මහා භූත දෝෂයෙන් විනාශ වේ.   


එම අවස්ථාවේ අප ජීවත් වන ලෝක ධාතුවට ද පැවැත්මක් නොමැති නිසා මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, සතර නරකාදිය ආදී සියල්ලද මහා භූත සතර වන ආපෝ තේජෝ වායෝ පඨවි ආදී ධාතූන් සියල්ලම එකතු වී විනාශ කර දමන්​නේය.   


මෙය නිත්‍ය කරුණක් නිසා විශ්වයේ විනාශ වන ස්වභාවයයි. මෙයට කිසිවෙකුටත් පිළිසරණක් සොයාගත නොහැකිය. සුනාමියට ද පිළිතුරක් නැතුවා සේම පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනිවලට ද තවම පිළිතුරක් නැත. එහි පිළිතුර නම් සතර මහා භූතයන්ගේ කෝපාවිෂ්ටයේ ප්‍රතිඵලයයි. ජීවිතය අනිත්‍යය, මරණය නියතය යන මෙම බුදු වදන අනුව කටයුතු කළහොත් මේ සියල්ලන්ගෙන්ම ගැලවී සිටිය හැකි බව තරයේ මතක තබාගත යුතුවේ.   

 


ඒ නම් අමාමහ නිර්වාණ මාර්ගයයි.   
කුලියාපිටිය එස්. ප්‍රබෝධ සමරක්කොඩි