ලග්නයෙන් කිවහැකි ජීවිත කරදර


දැනට මාස කීපයකට පෙර මා හමුවට පැමිණි හැත්තෑ වියද පසු කරමින් සිටි මහතෙක් ඔහුගේ සහ බිරිඳගේ කේන්දර ලබා දෙමින් “මහත්තයො මම ලොකු කරදරයක වැටිල ඉන්නෙ. මගෙ ජීවිතයේ වැඩි කාලයක් දුක් කරදර බාධක, ලෙඩ රෝගවලටම ගෙවිල ගියා. සතුට සැනසුම තිබුණෙ ටික කාලයක් පමණයි” ඔහු දීර්ඝ විස්තරයක් කළේය. මටද, යම් දිනෙක ලංකාදීප පාඨකයින්ටද ඉතා වැදගත් වන කරුණු ඔහුගේ ජීවිත කතාව තුළින් ලබාගත හැකි බැවින් එ් ඒ වකවානුවල සිදුවී තිබූ වැදගත් දේවල් සටහන් කර ගතිමි.
මා සටහන් කරගත් තොරතුරු ආශ්‍රයෙන් කතාව කියමි. 1944 දෙසැම්බර් මාසයේ උපන් ඔහුගේ ලග්නයද, නවාංශකයද කටකය. එය වර්ගෝත්තම උපතකි. එවැනි පුද්ගලයින් සමාජයේ පිළිගත්, නායකත්වයක් දැරිය හැකි අය වෙති. පුවපුටුප නැකතේ ප්‍රථම පාදයෙන් බැවින් උපන් දින සිට වර්ෂ 12 යි මාස 10 ක් පමණ ගුරු මහ දශාව වේ. කටක ලග්න හිමියන්ට ගුරු ඉතාමත් ශුභඵල ගෙනදෙන ග්‍රහයෙකි.


තම පරම්පරාවෙන් පියාට අයත්ව පොල්, රබර්, කුඹුරු අක්කර ගණනාවක්ම තිබූ බැවින් අප කථානායකයාටද ඉතාමත් සැප සම්පත් සහිත කාලයක් කුඩා අවධියේ ලැබීමට වාසනාව තිබී ඇත. එහෙත් ඔහුට වයස අවුරුදු 15, 16 පමණ වන විට මේ සියල්ල කණපිට පෙරළී ඇත. පවුලට තවත් පිරිමි සහෝදරයින් 4 දෙනෙකු එකතුවී ඇත. සුරාවට, සූදුවට ඇබ්බැහි වූ පියා තමාට අයත් ඉඩකඩම් එකින් එක විකුණා අන්තිමට ඉතිරිව ඇත්තේ පදිංචි නිවස සහ අක්කරයක් පමණ ඉඩම පමණි.


අවුරුදු 19 ක් පවතින සෙනසුරු මහ දශාව 1958 සිට 1977 දක්වා ඔහුට ලබා තිබී ඇති අතර ජන්ම ඒරාශ්ටකය 1961-02-01 සිට 1968.01.16 දක්වාද, අෂ්ඨම ඒරාෂ්ටකය 1964.01.27 සිට 1966.04.08 දක්වාද ගත කිරීමට සිදුව ඇත. කටක ලග්නයෙන් උපන් අයෙකුට මෙම තත්ත්වය මාරකයක් තරම් භයානකය. කෙසේ වෙතත් ඔහු ඉගෙනීමට ඉතා දක්ෂයෙකු වී ඇත. කුසට නිසි අහරක් නැතිව පාසලට ඇඳීමට ඇති එකම ඇඳුම දිනපතා සෝදා පාසල් ගොස් 1961 දෙසැම්බර් මාසයේ අ.පො.ස (සාමාන්‍ය) විභාගය එකවර සමත්වී ඇත. විභාගය සමත්වන විට ජන්ම ඒරාශ්ටකයේ මුල් කොටස වේ.


1963 ජුනි දක්වා උසස් පෙළ අධ්‍යාපනය ලබා තිබූ අතර අවසන් වාර විභාගයේදී පංතියේ දෙවැනියා ද වී සිටියේය. අවශ්‍ය පොත පත ලබා ගැනීමට තරම් ගෙදර ආර්ථික තත්ත්වය දුර්වලවී ඇති බැවින් උසස් පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට නොහැකි බව පෙනී ගිය බැවින් ඔහු පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා ඇත. උසස් පෙළ විභාගය නියමව තිබී ඇත්තේ ඔහු ඉවත් වී මාස දෙකකිනි. ඊට හේතුව සෙනසුරු මහ දශාව සමග ජන්ම ඒරාෂ්ටකයේ අශුභ අදියරට කොටසවූ මැද අදියරට පැමිණ තිබීමයි.
මොහු පාසලින් ඉවත්වී මාස කීපයකින් මාරකයකින් බේරී ඇත. 1963 ඔක් මාසයේදී කැළණි ගඟ ගලා ගම්බිම් යටකර තිබූ දිනයක සවස 6.00 ට පමණ මිතුරන් රාශියක් සමග පිහිනීමට ගොස් එම වෙල්යාය මැදදී​ කෙණ්ඩ පෙරළී දියේ ගිලී ඇත. මිතුරන් ඔහුගෙන් ඉවතට යද්දී තම සොහොයුරා ඉදිරිපත් වී බේරා නොගන්න එදා ඔහුගේ දිවි තොරවන්න ඉඩ තිබී ඇත.


සෙනසුරු මහ දශාව සමග ජන්ම අෂ්ටම ඒරාෂ්ටක දෙකක් ගත කරමින් සිටීම ඊට හේතු වේ. 1965 දී එවකට තිබූ දවස සහ සවස පුවත්පත්වල ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කර ඇති අතර තරුණ පිරිස් අතර ඔහු නායකත්වය ගෙන ඇත.


දවස පාඨක සමාජයක් සහ ප්‍රජා මණ්ඩලයක් තම ගමේ ආරම්භ කිරීමට පුරෝගාමිවූ අප කථානායකයා එහි ලේකම් ධුරයද දරා ඇත. එල්ලේ සහ වොලිබෝල් කණ්ඩායම්වල නායකත්ව දරා ජනප්‍රිය අයෙකු වී සිට ඇත. 1967.04.03 දින මොහුට එක්තරා සංස්ථාවක ලිපිකරු තනතුරක් ලැබී තිබේ. ඒ වනවිටද අෂ්ටම ඒරාෂ්ටකය අවසන් වී තිබිණ. මොහුට ඉතාමත් ශුභඵල දෙන ගුරු ග්‍රහයා ඔහුගේ ලග්නයට පැමිණ ඉතාමත් බලවත්ව සිටීම රක්ෂාව ලැබීමට හේතුව බව කිව හැකිය.


1973 දෙසැම්බර් මස ඔහුගේ විවාහය සිදුවී ඇත. ඇයද කටක ලග්නකාරියකි. ඉතා රූමත් කතකි. ඊට හේතුව මොහුගේ 7 වැන්නේ සිකුරු බලවත්ව සිටීමයි. එම කාලයේදී ඔහු නළුවෙකුමෙන් කඩවසම් බව ඔහුගේ මංගල්‍යයේ ඡායාරූප බැලීමෙන් වැටහිණ. විවාහවූ වකවානුව නම් ඔහුට යහපත් කාලයක් නොවේ. සෙනසුරු මහ දශාව ලග්න ඒරාශ්ටකය ගත කරමින් සිටි අතර සෙනසුරු මහ දශාවේ රාහු අතුරු දශා කාලයයි. එය විවාහයකට යහපත් වටාපිටාවක් නොවේ.


1975.12.05 දින දුවක උපත ලබා ඇත. ඒ වනවිට ඔහුට ශුභපල ගෙනදෙන ගුරු ග්‍රහයා මීන රාශියේ ස්වක්ෂේත්‍රව බලවත්ව සිට ඇත. දුව ලැබී වර්ෂයක් ගතවීමට පෙර අප කථානායකයා බලවත් ලෙස රෝගාතුරවී, අතපය කොරවී ඇඳට වැටී ඇත. ඒ බුධ මහ දශාව ආරම්භයේ සහ සෙනසුරු මහ දශාවේ අවසන් වීමට ළංව තිබියදීය. සෙනසුරු අපලදී යන්න යන විට කකුලක් කඩා ලකුණක් තබා යන බවට කියමනක් ඇත. 2018 දී මා හමුවට ඔහු පැමිණෙන විටදීද කකුලක් අද්දවමින් සිටින ලදී. ලග්න ඒරාෂ්ටක අවසන් වූ විට රෝගය සුවවුවත් කකුලක ආබාධය ජීවිත පුරාවට ඔහුට උරුම කර ඇත.


මොහු සංස්ථා සේවයට බැඳී එම ආයතනයේ අද දිනද ඉතා බලවත්ව ඇති සුබසාධක සංගමයක් හා ක්‍රීඩා සමාජයක් ආරම්භ කර එහි ප්‍රථම භාණ්ඩාගාරික වශයෙන් වර්ෂ 5 ක් පමණ කටයුතු කර ඇත. එපමණක් නොව ශ්‍රී ලංකාවේ බලවත්ම වෘත්තිය සමිතියක ශාඛාවක් තම ආයතනයේ පිහිටුවා සභාපති තනතුර 1981 දක්වා දරා ඇත. ඒ 1981.11.01 දින එම සංස්ථාවේ මාණ්ඩලික තනතුරකට උසස්වීමක් ලැබීමෙන් පසුවය. ඒ වන විට ඔහු බුධ මහ දශාවේ සිකුරු අතුරු දශාව ගතකරමින් සිට ඇත.


කටක ලග්න හිමියන්ට බුධ සිකුරු පාපී ග්‍රහයෙක් වුවත්, සිකුරු සමහර අවස්ථාවල ශුභපල ලබාදී තිබේ. ඊළඟ උසස්වීම 1989 නොවැම්බර් මාසයේදී පිරිස් කළමනාකාර තනතුරයි. කේතු මහ දශාවේ සිකුරු අතුරු දශාව ගත කරමින් සිටියදී මෙම උසස්වීම් ලැබී ඇත. 1991 සිට 1993 අවසාන දක්වා ඔහු සංස්ථාවේ බලවත්ම පුද්ගලයකු වී සිට ඇත. එම කාලය අතරතුර ඔහුට බලවත් ශුභපල ගෙන දෙන ගුරු ලග්නයට පැමිණ තිබිණ.


1994 වන විට නැවත ඔහුගේ අවාසනාවන්ත කාලය ආරම්භ වී ඇත. 1990.03.20 සිට 1998.04.17 දක්වා සෙනසුරු ජන්ම ඒරාශ්ටකයද 1993.03.05 සිට 1995.01.01 දක්වා සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයද ලබා ඇත. ඒරාෂ්ටක දෙක එකවර උදාවූ දින වකවානුවල දේශපාලන හේතු මත පිරිස් කළමනාකාර තනතුරින් ඉවත් කර 1999 දෙසැම්බර් මස විශ්‍රාම යවා ඇත. තමා විශ්‍රාම යැවීමට විරුද්ධව කම්කරු උසාවියේ නඩුවක් ගොණුකළ අතර 2003 වර්ෂයේදී ලද නඩු තීන්දුව අනුව ඔහුට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් සංස්ථාවෙන් ලබාගැනීමට හැකිවී ඇත. ඒ වනවිටද ගුරු ග්‍රහයා කටක ලග්නයට පැමිණ තිබිණ. 2004 සහ 2008 වර්ෂවලදී බරපතළ ශල්‍යකර්ම දෙකකට මොහු මුහුණදී ඇත. සෙනසුරු ලග්න ඒරාෂ්ටකය දෙවන වරට 2002.7.22 සිට 2009.9.9 දක්වා ගත කරමින් සිටියදීය.


මොහුගේ ඊළඟ අවාසනාව වූයේ 2006 වර්ෂයේදී බිරිඳ පිළිකා රෝගයට ලක්වීමයි. කටක ලග්න කාරියක්වූ ඇය ඒ වනවිට වර්ෂ 19 ක් ගත කළ යුතු සෙනසුරු මහ දශාව ගත කරමින් සිටීමයි. කෙසේ වෙතත් වර්ෂ ගණනාවක ප්‍රථිකාර වලින් පසුව ඇය සම්පූර්ණයෙන් සුවය ලද බව ඔහු පවසයි.


එහෙත් පිළිකා රෝගයට කරන ලද ප්‍රතිකාරවල ප්‍රතිවිපාක හැටියට බෙල්ල පිටිපස ඇට දිරා යාම නිසා ඇයට ඔළුව කෙළින් තබා ගැනීමට අපහසුතා ඇතිවූ බව කියයි. 2016 වර්ෂයේදී සිය බිරිඳ අංශභාග රෝගය සෑදී ඇඳටම වැටී ඇත. දැන් වර්ෂ දෙකකට වඩා වැඩි කලක් රුපියල් ලක්ෂ විසිපහක් පමණ වැය කර ඇත. ඇයගේ සියලු අවශ්‍යතා ඉටුකිරීමට සිදුව ඇත්තේ අප කථානායකයාටය.


මොහු සඳහන් කර තවත් විශේෂ කරුණක් වන්නේ ඔහු සමග වැඩි තරමක් ආශ්‍රයට වැටී ඇත්තේ කාන්තාවන්ය. හෙතෙම පිරිස් කළමනාකරු තනතුර දරන සමයේ සිය කාර්ය මණ්ඩලයේ සියල්ල කාන්තාවන් බව ඔහු පවසයි. අපි දැන් මෙම කතාවට අදාළ ග්‍රහ ගැලපීම් බලමු.


1. මොහුට කරදර බාධක ඇතිවුවද කඩවසම් රූපයක් ලැබීමට, සමිති සමාගම්වල ප්‍රධාන නිලතල දැරීමට, ලිපිකරුවෙකු වශයෙන් බැඳී පිරිස් කළමනාකාර තනතුර කරා යාමට කටක ලග්නයෙන් උපත ලබා කටක නවාංශකය නිසා වර්ගොත්තමවීම, අටවැන්න අධිපති 12 වැන්නේ නිසා සරල යෝගය 12 වැන්න අධිපති 6 වැන්නේ වීම නිසා විමල යෝගය 3 අධිපති 6 වැන්නේද 6 අධිපති 3 වැන්නේද පරිවර්ත යෝගවීම පුරපක්ෂයේ උපත ලැබීමට හේතුවී ඇත.


තවද මොහුට ගුරු ග්‍රහයා උච්ච ස්වක්ෂේත්‍ර වන අවස්ථාවල අධික ශුභපල ලබාදී ඇත.


2. අපල කරදර බාධක මාරක අශුභපල ලැබීමට හේතුව කටක ලග්නයෙන් උපන් අයට සෙනසුරු තදබල අපල ගෙනදෙන බැවිණි. සෙනසුරු මහ දශා කාලය ලග්න ජන්ම, අෂ්ඨම ඒරාෂ්ටක කාලවල අපල වැඩිපුර පෙන්වයි.


ඔහුට එකම දුවක් පමණක් වීමට හේතුව කටක ලග්නයේ වූ දෙදෙනාගේ 5 වැන්නේ කුජ සිටීමයි. සිකුරු 7 වැන්නේවූ විට බිරිඳ ඉතා රූමත් අයෙක් වේ.


මොහු සටහන් කළ තවත් වැදගත් කරුණක් වන්නේ පිරිස් කළමනාකාර තනතුර දරන අවධියේදී සොරකම් ආදී විනය විරෝධී වැඩ කළ සේවකයින්ට විරුද්ධව වැඩ තහනම් කිරීම, සේවයෙන් පහකිරීමට සහ ඔවුන්ට විරුද්ධව උසාවිවල පැවැති නඩු විභාගවලදී සාක්ෂිදීමට යාම නිසා විවිධ අවස්ථාවල මරණ තර්ජන එල්ල වී ඇත. ඒ කිසිවෙකුට හෝ ඔහුට අත තැබීමට හෝ ලැබී නැත. ඊට හේතුව කටක ලග්න හිමියන්ට ඉතාමත් ශුභපල ගෙන දෙන කුජ ග්‍රහයාද 5 වැන්නේ බලවත්ව සිටීමයි.


වයස 68 දී අංශභාග රෝගය සෑදී බිරිඳ ඔත්පළවී ඇත්තේ ඇයද කටක ලග්නයෙන් උපත ලබා සෙනසුරු මහ දශාව ගත කරමින් සිටීමයි.

 

 


ජ්‍යොතීර්වේදී හංවැල්ලේ ඇස්. සිරිවර්ධන
133 සී. ජයන්ති පාර දොම්පේ