රාම රාවණ යුද්ධයෙන් දෙපලු වූ ඉලක්කගල


පරිසර චාරිකාව

ලකේගල මීමුරේට පෙනෙන ආකාරය.

නාරංගමුවේ ලකේගල සහ මීරියගොල්ල කන්ද

 

මීමුරේ යනු ඉතා සුන්දර ගම්පියසක් වන අතර මෑතක් වනතුරු එම ගම්මානයට යාමට හරිහැටි මාර්ගයකුදු නොවීය. නමුත් කාලයාගේ අවෑමෙන් මීමුරේ ගම්පියස හා ඒ අවට ගැබ්වුණු පාරිසරික සුන්දරත්වයට වහවැටුනු දෙස් විදෙස් සංචරකයින් බොහෝමයක් මෙම සොඳුරු ගම්පියස සොයා දුෂ්කරතා මැඩගෙන පැමිණියේ මීමුරේ ලොව පතල සංචාරක ආකර්ශනීය ඉසව්වක් බවට පත් කරමිනි.

ලකේගල ලංකාවේ පරසිදු ඉසව්වක් බවට පත්වීමට බලපෑ මූලික හේතුව වනුයේ ත්‍රිකෝණාකාර හැඩයෙන් ඉහළට උලක් මෙන් එසවී ඇති කඳු මුදුනතිය මුහුදු මට්ටමේ සිට උස මීටර 1200 කට ඉහළින් පිහිටි ලකේගල මුදුනට යාමට ඇත්තේ ඉතා අනතුරුද‌ායක සහ දුෂ්කර ගමනකි. ඒ මන්දයත් අංශක 70 ක පමණ ආනතියකව යුතු නැග්මක් ඇති නිසයි. තවද ලකේගල ඉදිරිපස අංශක 90 තනි ගල් පර්වතයක් වන අතර එහි පිටුපස ගල් කුට්ටි ගණනාවක් පිරුණු කොටසක ලකේගල යනු තනි ගලක් හෝ කන්දක් නොව එය කඳු ත්‍රිත්වයක් නැතහොත් ගල්තුනක් බව දැකගත හැක්කේ වනපියසේ දෙපසින් නිරීක්ෂණය කරන විට සහ අනෙකුත් කඳු මුදුන්වලදී පමණි.   

 


මීමුරේ නම් සුන්දර ගම්මානයේ ප්‍රබල චරිතයක් වන නවරත්න නොහොත් නවා මාමා යනු ඔහුගේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට පාරම්පරිකව නකල්ස් තම ජන්මභූමියකොටගෙන ජීවත්වන ක්‍රියාශීලී ගැමියෙකි. දුම්බර වන පියසේ සෑම ඉසව්වකම කරක්ගසා ඇති ඔහු අප සමග පැවසුවේ අතීතයේ මෙහි බොහෝමයක් ඉඩම් ඔහු​ගේ ආතාට හිමිව තිබූ බවයි. එලෙසම එනසාල් වගාව සරුවට කරගෙන යන අතර එය තහනම් වීමත් සමග ඉඩම් රජයට පවරාගෙන සංරක්ෂිත වනාන්තර බවට පත්කළ ආකාරයත් අපට පැවසීය.   
මීමුරේ සිට ලකේගලට යාමට කුඩා අඩි පාරක් ඇති අතර කෙත්යාය මැදින් වනපියසට අප රිංගුයේ පසෙකින් ගලා යන දිය දහරේ මිහිරියාවටද සවන් යොමවමිනි. සීතල සුළඟත් ගත දවටාගෙන තුරු වියන් යටින් මහා ගිරිශිඛරට ඉහළින් දිවයන අතර පසෙකින් යහන්ගල, කෙෂනල්පොත් දෝරුවේගල, තෙලඹුගල, උහුනුගල, ආයුබෝගල, දුම්බානාගල, අලුගල්කන්ද, තුන්හිස්ගල වගේම නකල්ස් සහ උඩවන්නිමාන ආදී අංශක 360 ක්ව වටකරගෙන සිටින මහා මුරකාවල් බඳු කඳු රාශියකින් සුන්දර මීමුරේ ගම වටවී ඇත.   


අතීතයේ පටන් මීමුරේ ගම්මානය තිබුණේ බොහෝ කටුක දුෂ්කර ලෙසිනි. මන්ද සත්‍ය වශයෙන්ම ගම්මානය පිහිටියේ දරුණු හෙළකය. දසතින්ම කඳු වලින් වට වුණු ගම්මානයේ සීමිත නිවාස කිහිපයක් පැවතුනි. පර්චස් කිහිපයක පුංචි පුංචි ගෙවල් දඬුවැටවල් වලින් වටකරන ලද ඉඩම් වගේම හෙල්මළු ක්‍රමයට වගාකරන ලද ගොයම, හරක බාන සහ මීගස් සෙවණ වගේම හරිත වනයේ මුකුලිත සිසිලසක් නොඉඳුල් දිය දහරාවන්ගෙන් පෝෂණය වන සරු පින්කෙතක් හේතුවෙන් මීමුරේ ගම්මානය සශ්‍රීකත්වයෙන් පැවතුනි. ගම්මිරිස් ආදී වගාවන් වර්තමානයේ කෙරුනද අතීතයේ එනසාල් වගාව මේ අවට ප්‍රධානතම වගාව විය. මැද මිදුලක් සහිත කුඩා වලව්වක් ගම මැද ඇති අතර ගස් කොළ අතරින් ගම්මානයට පිටුපස නැගී සිටින ලකේගල මොවුනට දේවතාවක් බඳුය. එසේම ගම්වාසීන් අදහන සහ වත්පිළිවෙත් සිදුකරන රාවණා රජු හා සම්බන්ධ කතා රැසක්ද ගම්මානය හා බැඳී පවතියි. කටුමැටි ගසා අබලන් තහඩු සෙවිලි කරන ලද ගෙවල්වල ඔවුහු සතුටින් කාලය ගත කරන අතර මෙම ගම්මානය දිවයිනේ විවිධ නාට්‍ය හා චිත්‍රපට සඳහා ද පසුබිම් තල ලෙස භාවිතා කෙරුණි. මන්දයත් මෙම ගම්මානයේ ඇති ස්වභාවික සුන්දරත්වය දිවයිනේ අන් ස්ථානවලට වඩා බොහෝ ඉහළින් පිහිටි නිසාවෙනි.   


කෙසේ හෝ සුන්දර දිය දහරාවන්ට සමුදුන් අප මීමුරෙන් නික්ම ලකේගල දෙසට පියමං කළේ හොඳින් තිබූ අඩි පාර ඔස්සේය. යෝධ රුක්හෙවණ යට කොළ වැටුනු පස් පෙරලුනු වන පියස තුළ කූඩැල්ලන් අපට සෙවණ දෙන්නට සිටි බව අප දුටුවේ දිය කඩිති පසු කරන විටදීය. 

 
හෝරාවකට ආසන්න කාලයක් තුළ අප ලකේගල ඉසව්වට පැමිණි අතර ලකේගල තරණයට සූද‌ානම් වූයේ එහි අවද‌ානම ගැන හොඳින් දැනගනය. සිග්සැග් ක්‍රමයට ඉතා ප්‍රවේසමෙන් තරණය කළ යුතු කන්ද අප තරණය කිරීමට සූද‌ානම් වූයේ ගෙන ආ බෑග් කඳු පාමුල තබමිනි. කෙසේ හෝ හෝරා දෙක තුනක් වැයකොට කන්ද නැගගත් අප ඉන්පසු කඳු මුදුනේ සිට අංශක 360 ක දැවැන්ත පරිසරය දැක ගත්තෙමු. නකල්ස් වන පෙතේ කඳු දෙක තුනක් හැර අනෙක් සියලුම කඳු පර්වත අපට මෙහිදී දැක ගැනීමට ලැබුණි.   
මෙම මුදුනේ ඉඩ කඩ සීමිත වන අතර මාන පඳුරු වලින් පිරී ඇත. කූඩාරමක් අටවා ගෙන රැය පහන් කළ හැකි අතර එහිදී ප්‍රචණ්ඩ සුලඟ පිළිබඳ ඉතා විමසිල්ලෙන් සිටිය යුතුය. වැසි කාලයේ ලකේගල තරණය කළ නොහැකි අතර කූඩාරම් ගසා සිටින විට වර්ෂාව පතිත වුවහොත් එයද ඉතා තර්ජනාත්මක අවද‌ානමක් වේ. මන්ද දිය සෙවල පිරුණු ලිස්සන පල්ලම දිගේ ගලෙන් බැස ගත නොහැකි හෙයිනි. මෙම ගල තරණය කරන්නට ගිය අතලොස්සක් පමණක් මරණයට පත් වූ හෙයින් මෙම කඳු තරණය නොකිරීමට බොහෝ සංචාරකයන් උත්සුක වෙයි. ලකේගල බැසගත් අප මීලඟට සූද‌ානම් වූයේ වන්නිමාන හරහා ගොස් මීරියගොල්ල කඳු පාමුල පිහිටි කොමල පතනට ළඟා වීමටයි.   


අතීතයේ වන්නිමාන කන්දේ වාඩියක් තිබූ අතර එය වන්නිමාන වාඩිය ලෙස හඳුන්වා තිබුණි. ඒ ගැන වැඩි තොරතුරු දැන ගැනීමට කිසිවෙකුත් මේ වන විට අපට පැවසුවේ නාරංගමුව ගමේ ශාන්ත මහතා විසිනි. එසේ හෙයින් වන්නිමාන කන්දට ලකේගල ගල් ත්‍රිත්වය පෙනෙන අපූර්වත්වය නරඹා අප මීළඟට සූදානම් වූයේ ලකේගල පිටුපස පිහිටි කොමල පතනට බැසීමටයි. කොමල පතන පිහිටි ස්ථානයේ තවත් ලකේගලක් පවතියි. එයද මීමුරේ ලකේගල මෙන් තරමක ත්‍රිකෝණාකාර පෙනුමකින් යුතු කන්දකි. එය නැතිවද මීමුරේ ලකේ මෙන් අවද‌ානම් දුෂ්කර ගමනකි. මන්ද බෑවුම හෙයිනි. නමුත් එම ගල හඳුන්වන්නේ නාරංගමුවේ ලකේගල නොහොත් කොමලෑවේ ගල ලෙසිනි. මෙම ගල් (කඳු) දෙකට මැදින් පිහිටියේ ලඹුලස්ස පතනේ ඉහත්තාව වන මීරියගොල්ල කන්දයි. මීටර 1227 ක් පමණ උසැති මීරියගොල්ල අප තරණය කළේ ගලේ හරහට ඇවිදිමිනි. එහිදී අප ප්‍රබල සුළං ප්‍රවාහයකට ඇතුළු වූ අතර එසේ වන විට අප ගලට ආනතිව වැතිර ගත්තෙමු.   
මෙම ගල් තුන සම්බන්ධව ප්‍රධාන ඉසව් කිහිපයක. එනම් ලකේගල, උයන්ගොමුව හා රැහැස්සිය. මේ ත්‍රිත්වය රාම-රාවණ කතා පුවතේ එන රාම - රාවණා යුද්ධය හා බැඳී පවතියි. මන්ද පුරාතන කතාවලට අනුව ලකේගල මුදුනේ සිටි රාවණා පහළ සිටි රාම සමග යුධ වැදී ඇත. රාම එවන ලද හී සරින් ලකේගල පිටුපස සිට මීරියගොල්ල කන්දට යාවන කොටස කැඩී පතිත වූයේ උයන් ගොමුවේ එක් කෙලවරකටයි. එය රුහැස්ස නමින් හඳුන්වන අතර වචනයේ අර්ථයෙන්ම රුහැස්සේ පිහිටියේ විශාල ගල්කුට්ටි පමණි. එහි කුඩා ගුහා තිබූ අතර මුළු ප්‍රදේශයේම තිබුණේ තැනින් තැන විසිරුණු විශාල ගල් පර්වතයි. 

 
උයන්ගමුව යනු වැසිකාලයට විල් ගොමුවක් වන ජල උද්‍යානයක් බඳු පියසකි. ඉතාමත් විශාල ඝණ රූස්සගස් ප්‍රමාණයක් පවතින මෙහි සිඳීගිය කුඩා විල්, විශාල වැල් වර්ග සහ කුඩා ගුහා පිරුණු ඒ ගල ගල්පර්වත පිහිටා තිබේ. උයන්ගොමුව වන උද්‍යානයේ එක් කෙලවරක පිහිටියේ කපුඅටුවේ ගලයි. එහි කුඩා ගුහාවක් පවතින අතර එය කපුඅටුව ලෙන ලෙස හඳුන්වනු ලබයි. එහි සිට බලන කල නාරංගමුව ලකේගල ඉතා සුන්දර ලෙස දැකගැනීමට හැකිවේ.   


අතීත කතා පුවතට සරිලන සාධක මෙම ඉසව්ව තුළින් සොයා ගත හැකි අතර මේ ප්‍රදේශය ඉතාමත් ගුප්ත හා නිහඬ බවක් උසුලනු ලබයි. මහා වනය මැද අප මොහොතකට තනිව සිටියේ මෙම පරිසරයේ සුන්දරත්වය විඳීමට වූ අතර මෙම ඉසව්ව තුළ ඇති අලංකාරය වර්ෂා දිනයකද හොඳින් ඇතැයි අපට සිතුණි.   
කොඹලෑවේ ගල තරණය කිරීමට ඇති එකම ආකාරය මීරියගොල්ල කන්ද මැද පිහිටි ලඹුලැස්ස පතනට පැමිණය. මෙම පතන් සහ කඳු නාරටි මුලුමනින්ම පාහේ වැසී තිබුණේ මාන පඳුරු වලිනි. එසේම එම කඳු ත්‍රිත්වයේම කෙළවර පිහිටියේ මාරාන්තික ප්‍රපාත වේ. මීමුරේ ලකේගල ගූගල් සිතියමේ අක්ෂාංශ හා දේශාංශ 7.461367, 80.841670 පිහිටා ඇති අතර මීරියගොල්ල 7.465309, 80.840336 පිහිටා ඇත. එලෙසම කොමලෑවේ ගල පිහිටා ඇත්තේ. 7.467675, 80.838294 වන අතර උහන්ගමුව පිහිටා ඇත්තේ 7.476229, 80.834586 වේ. එලෙසම ගූගල් චන්ද්‍රිකා සිතියම් (Satalite Maps) වලට පවා පැහැදිලිව විසිරුණු ගල් පරවත රාශියක් ඇති රුහැස්ස 7.473170, 80.836931 තුළ දැක ගත හැකිවේ.   


කෙසේ හෝ කිලෝමීටර් කිහිපයක විඩාබර ගමනක් තුළින් අප ළඟා වූයේ නාරංගමුව ගම්මානයටයි. නාරංගමුව යනු අලංකාර ගොයමකින් සපිරුණු කඳු වලින් වටවුනු වන පියසක පිහිටි සුන්දර ග්‍රාමයකි. එහි ජීවත් වන ගම්වැසියන්ද ඉතා සුහදශීලී වන අතර අප නාරංගමුව කනිෂ්ඨවිද්‍යාලයට මීට වසර කිහිපයකට පෙර පැමිණ ආධාර උපකාර කළ අයුරුද සිහිපත් විය. ගමේ පන්සල පිටුපසට ඉතා ඈතින් ඉතා සුන්දර ලෙස මෙම කඳු දැකිය හැකි නමුත් මීමුරේ ලකේගල දක්නට නොලැබේ. 

 

 


නාරංගමුව තුළ එතරම් එනසාල් වගාව ප්‍රචලිත නොවුණද මෙහි ජීවත් වූ බොහෝ දෙනා යාබද ගම වූ රණමුරේ සහ මීමුරේ සමග බොහෝ සමීප සම්බන්ධකම් පැවැත්වූවෝ වෙති. එම නිසාම ගම්වල අවාහ විවාහ පවා සිදු වුණා. අද වන විට මෙම ප්‍රදේශය පල්ලේගම කොට්ඨාසයේ කෙලවර පවතින්නේ දුම්බර කැලයට මායිම් වෙමිනි. මෙම ගමට පවා දැඩි සුළං ප්‍රවාහයක් පැමිණෙන අතර ඇතැම් කාලවලදී එය වහලවල් ගැලවී යන තරම් ප්‍රබල බව අප දුටුවෝය.   


දුම්බර වනපෙතේ අත්හැර දැමූ ඉඩම් අතරට මෙම ගම්මානවල වගාවෙන් අත්හැර දමන ලද කෙත්වතු සේම ඇතැම් ජන ජීවිත අංග අපට දැකගත හැකි විය මන්ද අතීතයේ මෙන් නොව වර්තමාන පරපුරේ බොහෝ තරුණ තරුණියන් සාම්ප්‍රදායික වගාවන් සහ සබැඳියාවන් අතහැර නගරවලට ගොස් නගරයේ රැකියා කරණ බවට අපට දැන ගැනීමට ලැබුණි. තවද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ප්‍රදේශයට පැමිණෙන මාර්ගයන්හි පිහිටි ඇතැම් ගම්මාන හා නිවාස අතහැර දැමූ ගම්වැසියන් ලග්ගල නව නගරයේ පදිංචියට ගියෝය. ඒ බව අප දුටුවේ නාරංගමුවේ සිට පල්ලේගමට යන විටදීය. කැලෑ වැදුණු ගරා වැටුනු ගොඩනැගිලි නිවාස බොහෝමයක් වූ අතර කාලයේ අවෑමෙන් නකල්ස් වනපෙතේ මිනිස් වාස භූමි වනය විසින් නැවත ගිලගෙන වන පෙත තවදුරටත් චිරාත් කාලයක් රැඳෙමින් සශ්‍රීක වනු නොඅනුමාන බව අප දුටුවෙමු.

 

 

සංචාරක සටහන හා ඡායාරූප :
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු