බුදුන් වහන්සේ උදෙසා තම දිගු වරලස පිදූ ලංකාවේ පංච කල්‍යාණිය


 

 

අමාමෑණි බුදුපියාණන් වහන්සේ ජීවමාන සමයෙහි උන්වහන්සේගේ පරිහරණය වෙනුවෙන් ආරාම උයන්වතු පොකුණු ආදිය සාදවා පිදූ මහා දානපතියන් ගැන බෞද්ධ සාහිත්‍යයේ අපූරුවට දක්වා තිබේ. එසේම උන්වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සඝරත්නය විෂයෙහි දවසේ පැය 24 පුරාම නොනවතින ‘දන් වැට’ පැවැත් වූ උවසු උවැසියන් පිළිබඳව වතගොත බොහෝය. ඒ උන්වහන්සේ​ ජීවමානව වැඩ සිටි සමයේය.


නමුත් උන්වහන්සේ පිරිනිවන් පෑවායින් අනතුරුව අද දක්වාත් ඒ වෙනුවෙන් අඛණ්ඩව දන්පින් කරණා උදවිය නැතුවා නොවේ. එවන් ‘උද්දේසිකව’ කරන්නා වූ පින්දහම් ගැන අරුමයක් නම් නැත. එහෙත් බුදුපියාණන් වහන්සේ ජීවමානව සිටි යුගයෙහි ජීවත් වූ සේමා, උත්පලවන්නා වැනි රූපමදයෙන් මත්ව සිටි සුරූපිනියන් අතින්වත් නොවුණු තම රූපයට අංගයක් වූ කේශ කලාපය උන්වහන්සේ වෙනුවෙන් පිදූ ‘‘පංචකල්‍යාණියක්’’ පිළිබඳව බෞද්ධ පොතපතකවත් සඳහනක් නැති තරම්ය.


එහෙත් රූපමදයෙන් මත් නොවූ ගුණවත් පංචකල්‍යාණියක් තම දිගු වරලස බුදුන්වහන්සේ වෙනුවෙන් පුදා තම නම ඉතිහාසයට එකතු කළ අප්‍රකට රූබර කතකගේ ජීවන වතගොත සොයා ගියේ කුරුණෑගල වදුරාගල වලව්වේ පදිංචි ‘‘නීතිඥ රංජනී හේරත් නිලනොලත් මහේස්ත්‍රාත්තුමියගේ’’ ආරාධනයක් පරිදිය.


එතුමියගේ දයාබර මෑණියන් වූ එම පංචකල්‍යාණිය ශීලා කුමාරිහාමි නම් වන අතර ඉතිහාසයෙන් මැකී ගිය අපූරු ඓතිහාසික වෘත්තාන්තයක් බැවින් සුවහසක් ඉරිදා ලංකාදීප පාඨක පිරිස වෙනුවෙන් මෙසේ දිග හැරෙයි.


ශීලා කුමාරි හාමි නම් වූ මෙම සුරූපී පංචකල්‍යාණියගේ ඉතිහාසය ද ‘හුළුගල්ල’ වලව් පරපුර හා සම්බන්ධය. යටත් විජිත පාලන සමයෙහි සත්කෝරළය කරවූ ‘හුළුගල්ල මහාධිකාරම්’ තුමාගේ දියණිවරුන් පස් දෙනාගෙන් අන්තිම දියණිය නමින් “මැණික්හාමි කුමාරිහාමි” නම් වූවාය. එදා අසල්වාසීන් කව්රුත් විසින් ඇය අමතන ලැබූවේ “සිට්ටම්මා මැණිකේ” ලෙසටය.


අැය විවාහ වී සිටියේ ශ්‍රී ලංකාවේ ‘ප්‍රථම සිංහල මහේස්ත්‍රාත්’ වරයා වන “පුංචි බණ්ඩාර හේරත් පළාපත්තල” මැතිතුමා සමඟය වයස අවුරුදු 38 දී එතුමා සදහටම දැයෙන් සමුගත්ත ද දරුවන් තිදෙනෙකුගේ පියෙකු වීමේ භාග්‍යය ලද්දේය.


ඉන් පළමුවැන්නා ‘සුරසේන ආරියසිංහ හේරත්’ වන අතර දෙවැන්නා පසු කලෙක ශ්‍රී ලංකා දේශපාලන කරළියේ නොමැකෙන නමක් හදාගත් ‘කවිසේන හේරත්ය’ එකම දියණිය ‘වන්නිහත්පත්තුව’ කරවූ රටේ මහත්මයා වන ‘ඉලංගන්තිලක’ මහතාගේ බිරිඳය.


අද මේ කතාවේ මාතෘකාව හෝ කතා නායකයා වන්නේ වැඩිමහලු පුත් ‘සුරසේන ආරියසිංහ’ හේරත් මහතාගේ දයාබර බිරිඳ වූ රූබර ළඳක් වන ‘ශීලා කුමාරිහාමි’ ය.
සුරසේන ආරියසිංහ හේරත් මහතා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රජයේ ආහාර පාලකවරයෙකු වශයෙන් රැකියාව තෝරා ගත්තේය. කුරුණෑගල කච්චේරියේ සේවය කළ මොහු කිසිවිටෙකත් හොර බොරු නැති අවංක රාජ්‍ය සේවකයෙකු විය.


කුරුණෑගල වැදුරාගල වලව්වේ පදිංචි වී සිටි සුරසේන මහතාට එම අයිතිය මව් පාර්ශ්වයෙන් ලැබී තිබිණ. මේ කෙසේ නමුත් රජ​යේ ඉහළ තනතුරක් දරන තම පුතාට සුදුසු සහකාරියක් සෙවීමට ඉමහත් වෙහෙසක් ගත්තේ පුතාට වඩා මවය. විශේෂයෙන්ම තම වරිග පරම්පරාවට සරිලන අයුරින් මේ මංගල්‍යය සිදු කිරීම මවගේ එකම අභිප්‍රාය සහ බලාපොරොත්තුව විය.


මෑණියන්ගේ ප්‍රාර්ථනයත් සුරසේන ආරියසිංහ හේරත් මහතාගේ වාසනාවත් නිසා ඔහුට ගැළපෙන හොඳ සහකාරියක් ලැබිණ. ඇය සුන්දර මහනුවරට ආසන්න ‘පල්ලෙතලවින්න’ මහවාසල වලව්වේ වාසල නිලමෙතුමාගේ රූබර දූ කුමරිය වූ ශීලා කුමාරිහාමි මහවාසල කුමාරිහාමි මහ වාසල කුමාරිහාමියි. රූමත්කමේ උගත්කමේ ගුණවත්කමේ ප්‍රතිමූර්තියක් වූ ඇය කිසිදු රදල ගතියක් නොපැවැත් වූ තැනැත්තියක වූවාය. කාටත් සමසේ දයාව දක්වමින් කුරුණෑගල වඳුරාගල වලව්ව සැමගේ නිදහස් පරාදීසයක් බවට පත් කිරීමට ඇයට හැකියාව ලැබී තිබිණි.


සුරූපී ශීලා කුමාරිහාමි ආර්යාවගේ උපත සිදුවී ඇත්තේ වර්ෂ 1923 පෙරවාරී මස 25 වැනි දින මහනුවර පල්ලෙතලවින්න මහවාසල වලව්වේදීය. සැප සම්පතින් ආඪ්‍ය ජීවිතයක් ගත කළ ඇය අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර ජනප්‍රිය කාන්තා විදුහලක් ලෙසට එදත් අදත් ප්‍රකට “හිල්වුඩ්” (Hilwood Collage) බාලිකා විද්‍යාලයේය. උපතේ පටන්ම රූබර ලලනාවක් වූ ඇය විදුහල පුරාත් ප්‍රදේශය පුරාත් ජනප්‍රිය වී සිටියේ දිගු වරලසකට හිමි තැනැත්තියක් හැටියටය.


ඒ භාග්‍යයට​ෙදා් ඇය තම 16 වැනි විය පසුකරත්ම වර්ෂ 1939 දී “කඳුරට පංචකල්‍යාණිය” ලෙසට කිරුළු පැලඳුවාය. තම පියාණන් වූ මහ වාසල නිලමේතුමාට හොරෙන් මෙම පංචකල්‍යාණි තරගයට ඉදිරිපත් වී ජය ලැබුව ද ඔහු මෙයට විරෝධය පෑවේය. ඒ වෙනකක් නිසා නොව තම දියණිය සමාජයෙන් සඟවා තබා ගැනීම අසීරු වන නිසාය.
ඔහුගේ සිතුවිල්ල සත්‍ය වූයේ ඇය පංචකල්‍යාණිය වූවා හා සමඟම ලංකාවේ විවිධ වලව්වලින් මංගල යෝජනා ගලා ඒමත් සමඟය. එපමණක් නොව ඒ වකවානුවෙහි ලංකාවේ සිනමා කර්මාන්තයෙහි ප්‍රබවයට අඩිතාලම වැටෙන මොහොතක ‘මිනර්වා’ නාට්‍ය කණ්ඩායමේ නායකයින් වන බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවී යන අයගෙන් මෙම පංචකල්‍යාණියට “නිළි වරම” ලබා දෙන්නටද මහන්සි විය.


ඒත් ඇයගේ පියා මෙවැන්නකට දියණිය භාරදීමට කිසිසේත්ම අකමැති මෙන්ම විරෝධය ද පෑවේය. හුළුගල්ල වලව් පරපුරටම ​සම්බන්ධ ජනප්‍රිය සිනමා නළුවෙකු වූ “හර්බි සෙනවිරත්න” පවා ඇය සිනමාවට සම්බන්ධ කරන්නට උත්සාහ ගත්ත ද ඒ සියල්ල ව්‍යාර්ථ වී ගියේය. එහෙත් විවාහ යෝජනා නම් නිමා නොවෙන තරම්ය. එවන් සංකීර්ණ අවස්ථාවකදීය. වඳුරාගල වලව්වේ සුරසේන ආරියසිංහ හේරත් මෙම සුරූපිනිය වෙතට මංගල යෝජනාවක් ඉදිරිපත් කළේය. දෙපාර්ශ්වය කැමති වුවත් විශේෂයෙන්ම මෙම මංගල්‍යය සුරසේන මහතාගේ මෑණියන්ගේ ධෛර්යයේ ප්‍රතිඵලයක්ම විය. ඒ අනුව වර්ෂ 1942දී මේ දෙදෙනාගේ විවාහ මංගල්‍යය දොස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහභාගිත්වයෙන් මහ ඉහළින්ම සිදු කෙරිණ.


“ශීලා කුමාරිහාමි” ආර්යාව කුරුණෑගල වඳුරාගල වලව්වට පැමිණි පසු සිය නැන්දනිය වූ “සිට්ටම්මා මැණිකේගේ” දැඩි අවධානය හා ආරක්ෂාව වැඩිවෙමින් තිබිණ. තම ලේළිය සතු දිගු වරලස පිටස්තර අය විසින් දැක “ඇස්වහ කටවහ” වදීවිදෝ ඇයගේ සිත තුළ මහත් බියක් සහ චකිතයක් ඉපදී තිබීම මෙයට හේතුවය. ඇතැම් අවස්ථාවලදී සිය ලේළියගේ දිගු වරලස රෙදි පටකින් මනාව වැසීමද කළාය.


විසි වයස් එළඹි කළ ශීලා කුමාරිහාමි නම් වූ පංචකල්‍යාණියගේ වරලස අඩි අටක් තරම් දිගුවීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහාම සේවිකාවක්ද තබා ගන්නට යෙදිණ. ඇයගේ කාරිය වූයේ කුමාරිහාමි දියනෑමෙන් අනතුරුව දිගු රෙද්දක් කේශකලාපයේ ඔතා එහි දිය මිරිකා දැමීමත්, ඉක්මනින්ම වේළීම සඳහා ගසා දැමීම සහ හිස පීරා එය වේල් පටක් ​සේ පසු පසින් අල්ලා ගෙන යෑමත්ය.


කෙසේ නමුත් පසුකලෙක ඇය පංචකල්‍යාණියක් කරන්නටම එක් හේතුවක් වූ ඇගේ දිගු වරලස ඇයට අප්‍රිය තත්ත්වයට පත් වූ බවද කියා තිබේ. මේ අයුරින්ම දරුවන් නව දෙනෙකුම බිහිකරන්නට වාසනාව ලැබුවද එක කෙසේ රොදක්වත් ගැලවී නොගිය බව එතුමියගේ දියණිය වූ නීතිඥ රංජනී ​​හේරත් මහත්මිය පැවසුවාය.


ලොවට මෙම කේශ කලාපය හැඩවැඩ වුවද එය හිමිකාරියට මහත් වදයක් වූ යුගයක් උදාවී තිබිණි. තම රූසපුවට මිණි කිරුළක් වූ මෙම පංචකල්‍යාණියගේ දිගු කේශ කලාපය ඇයට මහත් හිසරදයක්ව තිබුණ මොහොතක සැමියෙකු නැති පවුලක ඇතෙක්වන් පුතුන් දෙදෙනෙකුත් සුරූපී දියණියකුත් හදා වඩා ලොවට දායාද කළ වීර මාතාවක් වූ නඩුකාරතුමාගේ දයාබර බිරිඳ වූ ‘‘මැණික්හාමි කුමාරිහාමි’’ හෙවත් “සිට්ටම්මා මැණිකේ” වර්ෂ 1948 දී සදහටම දෙනෙත් පියාගත් අතර සුරූපිනියට තම කරදරකාරී කේශ කලාපයෙන් මිදෙන්නට අවශ්‍ය සැලසුම් සැකසීමට අවස්ථාව උදාවිය.


පූර්වේ පිනක් හේතුවෙන් තමන්ට දිගුවරලසක් ලැබී ඇති බැවින් මෙය අනිසි සේ නොයෙදවීම සුදුසු බව සිතූ ශීලා කුමාරිහාමි ආර්යාව කළ යුතු දේ කතිකා කර ගත්තාය. ඇයගේ වරලසට අදාළ කටයුතු කරන්න යොදාගෙන සිටි සේවිකාව කැඳවූ ශීලා කුමාරිහාමි තමාගේ ඉන ප්‍රදේශය පෙන්වා අඩි අටක් පමණ දිගැති මොනර පිලක් බඳු කෙස් වැටිය එතැනින් කපා දැමීමට නියම කළාය.


නමුත් මුලින් සේවිකාව ඊට එකඟ නොවූ අතර කුමාරිහාමිගේ අණ අනුව කේශ කලාපය කපා වෙන් කෙරිණ. කපා ගත් කෙස් වැටිය අතිදක්ෂ ‘“හුලවාලී” මිනිසෙකු ලවා දර්ශනය පාපිස්නාවක් වියවාගත් ඇය මෙම මාහැඟි වස්තු බුදුපියාණන් වහන්සේට පාපිස්නාවක් වනසේ ශ්‍රී දළදා මැදුරට පූජා කිරීමට තමන්ට මහත් ආශාවක් ඇති බව තම පවුලේ ඥාතියෙකු වූ එවකට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර හෙබවූ “කුඩා බණ්ඩා නුගවෙල” නිලමෙතුමාට (1947-1961) පවසන ලදී.


මෙය මහත් වූ දුර්ලභ ගණයේ පිංකමක් බව පැවසූ දියවඩන නිලමේතුමා මේ ශුභ ආරංචිය එවකට මල්වතු මහා නායකත්වය දැරූ අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී සෝභිත (1942-1955) හිමිපාණන් වහන්සේ වෙත සැලකර සිටියේය.


උන්වහන්සේගේ ආශිර්වාදයෙන් සහ ඥාති මිත්‍රාදීන්ගේ සහභාගිත්වයෙන් යුතුව කේශ කලාපයකින් වියන ලද දර්ශනීය සේම විරල ගණයේ වූ කෙස් පාපිස්නාව වර්ෂ 1950 දී පමණ අමාමෑණි බුදුපියාණන් වහන්සේ උදෙසා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩවසන “වැඩ හිටින මාලිගය” වෙතට පූජා කරන ලදී.


මේ මාහැඟි දුර්ලභ වූ කිසිවෙකුත් නොකළ අසදෘශ මහා පුණ්‍යකර්මය කළ ශීලා කුමාරිහාමි හේරත් නම් වූ රූමත් ගුණවත් කාන්තාව මෙය පූජා කොට ප්‍රාර්ථනා කොට ඇත්තේ “අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයට මාගේ සිරස පාපිස්නාවක්ම වේවා! උපදිනා හැම ආත්මයකම මිනිසත් බව ලැබ මෙවන් පාරමිතාවන් පුරන්නට ඥානය පහළවේවා!” යන්නයි.


ශීලා කුමාරිහාමි ආර්යාව සුරසේන ආරියසිංහ හේරත් මහතාට දාව දූ දරුවන් නව දෙනෙකුම මෙලොවට බිහිකරන ලද අතර ඒ සියලුම දෙනාගේ කටයුතු හා ගෙදර දොර කළමනාකාරීත්වය කරන ලද්දේ ඇය විසිනි. රාජකාරිය මිස කිසිවිටෙකත් දරු පවුල පිළිබඳව සොයා බලන්නට තම සැමියා අපොහොසත් වුව ඒ සියල්ලම නොපිරිහෙළා ඇගෙන් ඉටු විය. එබැවින්ම එම දරුවන් යහපත් පුරවැසියන් සේම රටට වැඩදායක උසස් රැකියාවල සහ සුපතළ ව්‍යාපාරවල යෙදවීමට මෙම මවට හැකි විය.


සිය දරු දැරියන්ගෙන් නිදහස ලැබූ මොහොතක දේශපාලනය කෙරෙහි සිත යොමුකළ ශීලා කුමාරිහාමි ආර්යාව තම සැමියාගේ මලණුවන් වූ නිකවැරටිය පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි “කවිසේන හේරත්” මහතාගෙන් ද අභාසයකට හෝ ආරාධනාවකට අනුව කුරුණෑගල බෝයගනේ ගම්කාර්ය සභාවට තරග කොට විශිෂ්ට ජයක් ලබා එහි ප්‍රථම සභාපතිනිය වූ අතර “ශ්‍රී ලංකාවේ ප්‍රථම ගම්කාර්ය සභාපතිනිය” ලෙසට ඉතිහාස ගතවන්නට ද ඇය වාසනාව ලැබුවාය.


ඇගේ ආදරණීය සැමියා වූ “සුරසේන ආරියසිංහ හේරත් මහතා වර්ෂ 1984 දෙසැම්බර් 30 වැනි දින” අභාවප්‍රාප්ත වූ අතර එතැන් පටන් එතුමිය පුණ්‍ය කටයුතු සහ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන්ම දිවිය කැප කළාය.


වඳුරාගල විහාරස්ථානයේ දියුණුවට ඉමහත් මෙහෙවරක් කරමින් අවට සියලුම පුණ්‍ය ස්ථාන දියුණු තත්ත්වයකට ගෙන එන්නටත් අප්‍රමාණ වෙහෙසක් ගත්තාය. තම ආදරණීය දරු මල්ලන්ගේ නොමඳ ආදරයට ලක්ව පුරා වසර 78ක් පමණ ආයු වැලදූ ශීලා කුමාරිහාමි හේරත් නම් වූ අපේ කාලයේ කෙස්වැටියක් දන් දුන් පින්වන්තියක් ලෙසට නම තබා වර්ෂ 2001 නොවැම්බර් මස 02 වැනි දින සදහටම දෙනෙත් පියා ගත්තාය.


විශේෂ ස්තුතිය කුරුණෑගල වඳුරාගල වලව්වේ නීතිඥ රංජනී හේරත් නිලනොලත් මහේස්ත්‍රාත්තුමියට සහ හුළුගල්ල අධිකාරම් වලව්වේ සිට නැසීගිය කේ.සී. හේරත් හෙවත් බබා මහත්මාට
නාලගමුවේ
උබේසේකර කුමාරසිංහ