පානදුරේ අරියධම්ම හිමියන් අපවත් වුණේ වස ශරීර ගත වෙලාද ?


අවසන් ගමන් යන අරියධම්ම හිමි

අපවත් වී වදාළ අරියධම්ම හිමි

 

 

රන් වන් පාටින් දලු ලන බෝධිය 
නිල් වන් පාටින් කොළ ලන බෝධිය 
ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය 
අපිත් වඳිමු ජය සිරිමා බෝධිය

 

ලා දලු බෝපත් වල සිලි සිලි නාදයත් සමග මුසුව එන එම බණ පද මිහිරිය. පින් බරය. ළයාන්විතය. සිතට ගෙන එනුයේ පින් බර හැඟීම්ය. අප මහා ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු අනිමිස ලෝචන පූජාවෙන් බෝධිය පිදූ සේක. ඒ තමන්ට භාවනුයෝගී වීමේදී සෙවණ හා රැකවරණය දී උපකාර කිරීමට කළ ගුණ දැක්වීම සඳහාය. එවන් වූ බෝධිය පිළිබඳ මේ ආකාර වූ පින්බර සිතුවිලි අකුරු කර ළයාන්විත හඬින් සිව්වනක් පිරිස එදා අමතන ලද්දේ පානදුරේ අරියධම්ම හිමියෝය. පන්සලෙන් දුරස් වී සිටි බෞද්ධයන් යළි පන්සලට ඒකරාශී කර ගැනීමට මේ බණ පද බොහෝ උපකාරී විණ. බාල තරුණ මහලු සියලු දෙනා ඒ ඉමිහිරි ළයාන්විත බුදු ගුණ අසමින් පන්සලට රැස් වූහ. මේ නිසා බොදු සමාජයේ නව පිබිදීමක් ඇති විය. එවන් වූ මහා අසිරියක් සිදු කළ පානදුරේ අරියධම්ම හිමියන් හදිසියේම අපවත් වීම ජනතාව අතර අදටත් සැක සංකා මතු කරන්නකි.

උන්වහන්සේ හදිසියේ අපවත් වුණේ ඇයි? 


මේ අරියධම්ම හිමියන්ගේ ජීවිත කතාවයි. 


පානදුර නල්ලුරුව ප්‍රදේශයේ විසූ ​ෙගා​වි යුවළකට 1940 ජුනි 22 වැනි දින පුත්රුවනක් ලැබුණෝය. ඔහු ලාල් බුද්ධදාස ප්‍රනාන්දු නම් විය. සොයුරු සොයුරියන් හය දෙනෙකු සමග වැඩුණු බුද්ධදාස කුඩා කල සිටම ආගමට දහමට ළැදි අයෙක් වූවේය. නල්ලුරුවේ  සිරි සීවලී විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු පාණදුරේ සිරිල් ජෑන්ස් විදුහලෙන් සහ හොරණ විද්‍යාරතන පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය ලැබුවේය. 


ඉතා සරල හා ආගමානුකූල දිවිපෙවෙතකට හිමිකම් පෑ බුද්ධදාසගේ ප්‍රථම රැකියාව වූයේ ලිපිකරු තනතුරකි. ඒ ඔහු ප්‍රිය කළම නගරයක් වූ අනුරාධපුරයටය. ඔහුගේ රැකියා ස්ථානය වූයේ ශුද්ධ සංරක්ෂණ මණ්ඩලයයි. එම කාර්යාලයේ ඔහුට අසුන්ගැනීමට ලැබුණු ස්ථානය ද ප්‍රිය ජනකය. එහි සිටින විට ඔහුට දක්නට ලැබුණේ අනුරපුර පුණ්‍ය භූමියේ ඇති විවිධවූ පින්බර දසුන්ය. 


සිත ඇද බැඳ ගන්නා ඒ පින් සිරියාව බැලීමට බුද්ධදාස තරුණයා නිතැතින්ම ක්‍රියා කළේය. ඒ නිසාම ජය සිරිමහා බෝ සමිඳුන් අබියසට, රුවන් වැලි සෑය අසලට හා සමාධි පිළිමය පාමුලට විවේකය ලද හැම මොහොතකම පැමිණියේය. 


දවසින් දවස ඔහු භාවනාව ප්‍රගුණ කළේය. ගිහි ගෙයි ඇති සංකීර්ණ බවත් පැවිදි ජීවිතයෙහි ඇති සෞම්‍යත්වය හා ගැඹුරත් අවබෝධ කර ගත්තේය. ඒ නිසාම ඔහු ආරණ්‍ය සේනාසනයක තම ආගමික කටයුතු සඳහා තෝරා ගත්තේය. මෙවන් අවස්ථාවකදී මිහින්තලේ ආරණ්‍යක භාවනානුයෝගී වූ දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ හඳුනාගැනීමටද ඔහුට හැකි විය. එම කතා බහ ප්‍රබුද්ධ විය. සිත නිවනසුලුවිය. එය අවසන් වූයේ 1966 වසරේ දෙසැම්බර් 22 වැනි දින කලපළුවාවේ ගෝතම තපෝවනයේ දී තපෝවනයේ අත්ථකුසල නමින් පැවිදිවීමෙන්ය. අත්ථ කුසල හිමියන්ගේ ආචාර්යවරයා පූජ්‍ය පාද කඩුවැල්ලේ වංගීස හිමියෝ වෙති. කෙටි කාලයකට පසුව අත්ථකුසල හිමියෝ පාණදුරේ අරියධම්ම නමින් උපසම්පදාව ලැබූහ. 

 

රත්නපුර පින්කමේදී

 


1970 දශකය මෙරට පීඩාකාරී යුගයක් වූවේය. 1971 කැරැල්ලත් සමග රට පුරා භීෂණය පැතිර ගියේය. දරුවන් තෙරුවනට භාර කරනවා වෙනුවට දෙවියන්ට භාර කිරීමට මව්පියන්ට සිදුවිය. දුක්ඛ දෝමනස්සවලට පිළියම් කළේ අදෘෂ්‍යමාන දේව කන්නලව්ව හරහාය. විවිධ දුර්මත ද සමාජය අරක්ගෙන තිබිණි. 


අරියධම්ම හිමියන්ට මේ ශාසනික විනාශය බලා සිටිය නොහැකි විය. පන්සලින් දුරස් වූ තෙරුවනින් දුරස් වූ පුද්ගලයා යළිත් පන්සලට ගෙන්වා ගැනීමට ඇවැසි වූවේය. සත්‍ය දහමක් වූ තෙරුවන පිළිබඳ අවබෝධ කර ජීවිතයේ යථාර්ථය කියා දීමට අවැසි වූවේය. එම පින්බර සිතිවිල්ල සාක්ෂාත් කර ගැනීමට අරියධම්ම හිමියන්ගේ පද්‍ය රචනා කුසලතාවත් ළයාන්විත හඬත් මහෝපකාරී විය. 

 

 


බුදු ගුණ ගැයීම මුල් කරගත් බෝධි පූජා පින්කම් උන්වහන්සේ ඇරඹුවේ එයට පිළියමක් ලෙසය. දවසින් දවස සැදැහැවත්හු පන්සල් භූමියට එක් රොක් වන්නට වූහ. පහන් වැට දල්වමින් සුවඳ මල් පහන් පුදමින් පින් බිම ඒකාලෝක කළහ. මල් සුවඳත් සඳුන් සුවඳත් සිල් සුවඳත් පූණ්‍ය භූමියේ පින් බර බව වැඩි කළේය. අපේක්ෂාභංගත්වයට පත් වූ ජනතාවට මෙම බෝධි පූජා මහත් අස්වැසිල්ලක් විය. බැතිබර ජන ගඟ හමුවේ ආගමානුකූලව ධර්මය දේශනා කිරීමත් නිතැතින්ම සිදු විය. 


යළිත් බෞද්ධ පුනරුදයක් ඇති වූවේය. පාණදුරින් ආරම්භ වූ ඒ පුනරුදය රටපුරා පැතිර ගියේය. බෝධි පූජා දාන ශීල භාවනා වැඩසටහන් රාශියක් සංවිධානය කෙරිණ. 


දවසට පැය දෙක තුනක් පමණක් නින්දට වෙන් කළ අරියධම්ම හිමියෝ මුළු කාලයම ධර්ම ප්‍රචාරයට වෙන් කළහ. සිය ශරීර සෞඛ්‍ය ගැන පවා නොතැකූ එහිමියෝ ආගම් භේදයෙන් තොරව ලක්වැසි ජනතාවගේ යහපත සඳහා වෙහෙසුණහ. 


ඒ 1986 වසරයි. නොකඩවා ආගමික මෙහෙවරක යෙදුණු අරියධම්ම හිමියෝ එක් වරම දැඩිසේ ගිලන් වූහ. පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අරියධම්ම හිමිපාණෝ සියලු දැහැමි ජනතාවගේ නෙතට කඳුළු එක්කරමින් මැයි 26 වැනි දින හවස් යාම​යේ අපවත් වූහ. වසර කීපයක් තුළ විශාල ආගමික පුනර්ජීවනයක් ඇති කළ අරියධම්ම හිමියන් අපවත් වී වසර ගණනාවක් ගත වුවද එහිමියන්ගේ කවි බණ අදද ජීවමාන මිනිස් සිත් සුවපත් කරවයි. 


එදා එලෙසින් බෞද්ධ පුනරුදයක් ඇතිකළ එම බුද්ධාංකුරයාණන්ගේ සමීප ඇසුර ලද පුද්ගලයෙකු වූ තායි සුමේදා ආයතනයේ අධිපති සුමේද ඇල්පිටිය මහතා දැක් වූයේ මෙවැනි අදහසකි. 


මට අරියධම්ම හාමුදුරුවන් මුණගැහෙන්නේ 1976 වසරේදී. කොටහේන පරමානන්ද පුරාණ විහාරයේ බෝධි පූජාමය පින්කමකට උන්වහන්සේ වැඩම කළා. එදා මමත් පන්ති නොගිහින් පන්සලට ගියා. එතන කටයුතුවලට උදව් කළා. ගොඩක් ආසාවෙන් හිටියේ හාමුදුරුවන් දකින්න. දවල් වෙනකොට මුළු පන්සල් භූමියම සෙනඟින් පිරුණා. හවස අරියධම්ම හාමුදුරුවෝ පන්සලට වැඩියා. උන්වහන්සේත් සමග තව වයසක හාමුදුරුවන් වහන්සේ කෙනෙකුත් වැඩියා. ඒ වෙලාවේ මම කිසිවෙකු කියන්නට පෙරම වයසක හාමුදුරුවන්ට වඩින්නට උපකාර කළා. අරියධම්ම හාමුදුරුවෝ මගේ දිහා බලලා හිනා වුණා. වැඩ සටහන ඉවර වෙලා යද්දී මට කතා කළා. මම වයසක නායක හාමුදුරුවන්ට උපකාර කළ එකට ස්තූති කළා. ඒ වගේම මම කළ ක්‍රියාව අගය කළා. හාමුදුරුවන් වැඩ සිටියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ. එතනට නිවාඩු වෙලාවක එන්න කිව්වා. ඒ ආකාරයට තමයි මම හාමුදුරුවන්ගේ සමීප බැතිමතෙකු වුණේ. 

 

අරියධම්ම හිමි රෝපණය කළා යැකි කියන බෝධිය

 

 


මේ කාලයේ මිනිස්සු පන්සල් යන එක අඩු වෙලා තිබුණා. කෝවිල්වල දේව පූජාවට එක් රොක් වීම් වැඩිපුර දක්නට ලැබුණා. මට මතකයි මම ඉස්කෝලේ විභාගයට යන්න ඉස්සෙල්ලා ගණ දෙවි කෝවිලට ගිහින් බාරයක් වෙලයි පාසලට ගියේ. බෝධි පූජා පිළිබඳ අවබෝධයක් තිබුණෙත් නෑ. මේ අතරෙයි අරියධම්ම හාමුදුරුවෝ මිනිස්සු අතරට එන්නේ. හාමුදුරුවන්ගේ බෝධි පූජා කවි ළයාන්විත ස්වරයෙන් අහන්න මිනිස්සු ආශා වුණා. ඒ අනුව මිනිස්සු පන්සලට එකතු වුණා. බෝධි පූජාවෙන් පස්සේ සෑහෙන වෙලාවක් බණ කිව්වා. ඒක තමයි වැදගත්කම. පන්සලෙන් දුරස් වූ මිනිස්සු බෝධි පූජාවෙන් පන්සලට රැස් කරලා ජීවිතයට අර්ථවත් බණ දේශනා සිදු කිරීමයි හාමුදුරුවෝ කළේ. පන්සලෙන් පන්සලට කළ පින්කම් නගරයෙන් නගරයට ව්‍යාප්ත කළා. 


​ෙම් ධර්මදූත සේවාව දුටු බී.ආර්. දිසානායක හාමු මහත්තයා හාමුදුරුවන්ගේ ගමන් පහසුව සඳහා රියැදුරෙක් සහිත වාහනයක් දුන්නා. එහෙම ධර්ම ප්‍රචාරයට උදව් කරපු ඔහු එදා මේ ටයර් එක වැඩියෙන් කැරකෙන තරමට මම කැමති කියලා කිව්වා. 

 


මතු සම්බන්ධයි...

 


සටහන - කුමාරි හේරත්
ඡායාරූප - චානුක කුලසේකර
පැරණි ඡායාරූප සහ තොරතුරු ලබාදුන් සුමේද මහතාට විශේෂ ස්තූතිය