ධනය ඇතත් විවාහයක් හරිනොයන හේතු


ඇය ඉතාමත් රූමත්ය. එක් වරක් බැලූ කෙනෙකුට තවත් කීපවරක් බැලීමට සිත් දේ. ඔහුද ඉතා කඩවසම්ය. ඕනෑම තරුණියක් ඔහු කැමැතිවීමට දෙවරක් සිතන්නේ නැත. එපමණක්ද? ඔවුන් උගත්කමින් ඉහළට ගිය දෙදෙනෙකි. තම දෙමාපියන් සතු දේපළ, ඉඩකඩම්, යානවාහන සියලු සම්පත් ඔවුන්ටය. රැකියාවක් අත්‍යවශ්‍ය වුවත් පරම්පරාවෙන් ලැබෙන දේපල ඔවුනට හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් උගත්කමින් වැඩක් ගැනීමට ඔවුන් රජයේ හෝ පුද්ගලික අායතනයක විධායක තනතුරු දරන්නෝය. මේ සියලු සැප සම්පත් ලැබීමට වාසනාව ඇතත් වයස තිස් හතළිස් ගණන් ගතවීත් විවාහයක් නැත. බො​හෝවිට මොවුන් පවුලේ එකම දරුවා වන්නට ඉඩ ඇත. මෙවැනි අය අද ශ්‍රී ලංකාව තුළ බහුලව දකින්නට ඇත.

   
ජ්‍යොතිර්වේදීන් වශයෙන් අප ඊට හේතු සොයා බලමු. බොහෝ අවස්ථාවල විවාහයක් නොවීමට හෝ ප්‍රමාදවීමට බලපාන ප්‍රකට ග්‍රහ පිහිටීම්වලට අමතරව සියුම් ලෙස පරික්ෂා කිරීමට සිදුවන අවස්ථා උදාවේ. ප්‍රකට විවාහ බාධක වන්නේ, කුජ භෞම දෝෂය විෂ කන්‍යා යෝගය 7 වැන්න අධිපති 22 වන දේර්කණාධිපතිවී 7 වැන්නේම තැන්පත් වීම, 7 වැන්නේ පාපී ග්‍රහයින්වූ රවි, කුජ, රාහු, කේතු, ශනි යන ග්‍රහයින් සතුරුව තැන්පත් වීම, 7 වැන්නට පාපි ග්‍රහ දෘෂ්ඨි ලැබීම යනාදියයි.   


විවාහ විය යුතු වයස පසු කරන හෝ විවාහයක් සිදු නොවන සියුම් ග්‍රහ පිහිටීම් බලමු.   


මේෂ ලග්නයෙන් උපත ලබා මේෂ, වෘෂභ, මිථුන නවාංශකය නම් කුජ ග්‍රහය 7 වැන්නේ නම් කුජ මහ දශාව හෝ අතුරු දශාවක් ගත කරමින් සිටියදී එම දශා අතුරු දශා ගෙවනතුරු විවාහය ප්‍රමාදවීමට හෝ විවාහයක් සිදුනොවීමට ඉඩ ඇත.   


මේෂ ලග්නයෙන්ම උපත ලබා කටක, සිංහ, කන්‍ය නවාංශකයක්වී ගුරු ග්‍රහයා 7 වැන්නේ සිටියදී එම මහ දශාව හෝ අතුරු දශාවක් ගෙවමින් සිටියදී විවාහය ප්‍රමාද වේ. විවාහයක් සිදුනොවීමටද ඉඩ ඇත.   
මේෂ ලග්නයෙන්ම උපත ලබා තුලා වෘශ්චික ධනු නවාංශකයක් වී සඳු ග්‍රහයා 7 වැන්නේ නම් එම මහ දශාව හෝ අතුරු දශාවක් ගෙවමින් සිටින කාලය තුල විවාහය ප්‍රමාද වේ.   


මේ අන්දමට සෙසු ලග්නවලටද අදාළ ග්‍රහයාගේ මහ දශාව හෝ අතුරු දශාවක් ගත කරමින් සිටියදී විවාහය ප්‍රමාද වේ. සමහරවිට විවාහයක් සිදු නොවීමටද ඉඩ ඇත.   


වෘෂභ ලග්නයෙන් උපත ලබා මකර, කුම්භ, මීන නවාංශකයක්වී ගුරු ග්‍රහයා 7 වැන්නේ තැන්පත් වීමද මේෂ, වෘෂභ, මිථුන නවාංශකයක්වී නම් 7 වැන්නේ කුජ ග්‍රහයා තැන්පත්වීම සහ කටක සිංහ කන්‍යා නවාංශකයක් වී රවි ග්‍රහයා 7 වැන්නේ වීම.   


මිථුන ලග්නයෙන් හා තුලා වෘශ්චික ධනු නවාංශකයක්වී ශනි ග්‍රහයා 7 වැන්නේ වීම මකර කුම්භ මීන නවාංශකයක්වී සිකුරු ග්‍රහයා 7 වැන්නේ වීම මේෂ වෘෂභ මිථුන නවාංශකයක්වී 7 වැන්නේ බුධ ග්‍රහයා තැන්පත් වීම.   
කටක ලග්නය එම ලග්නයෙන් හා කටක, සිංහ, කන්‍ය යන නවාංශකයකින් උපත ලබා සෙනසුරු ග්‍රහයා 7 වැන්නේ නම් එම මහ දශාවද ගත කරමින් සිටීද, එම ලග්නයෙන්ම උපත ලබා තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයකින් උපත ලබා බුධ ග්‍රහයා 7 වැන්නේ තැන්පත් වීම සහ එම මහ දශාව හෝ අතුරු දශාවක් ලබා තිබීම එම ලග්නයෙන්ම උපත ලබා මකර, කුම්භ මීන නවාංශකයක් වී සිකුරු ග්‍රහයා 7 වැන්නේ තැන්පත්ව එම මහ දශාව හෝ අතුරු දශාවක් ගත කරමින් සිටීද එම දශා කාල අවසන් වනතුරු විවාහය ප්‍රමාදවීම හෝ විවාහයක් නොවීමට ඉඩ ඇත.   


සිංහ ලග්නයෙන් උපත ලබා මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයක්වී ගුරු 7 වැන්නේද කටක, සිංහ, කන්‍යා නවාංශකයක් නම් සඳු ග්‍රහයා 7 වැන්නේද තුලා වෘශ්චික ධනු නවාංශකයක් වී නම් කුජ ග්‍රහයා 7 වැන්නේ නම් එම මහ දශා ගත කරන කාලය තුළ විවාහය ප්‍රමාදවීම හෝ විවාහයක් නොවීමට ඉඩ ඇත.   


කන්‍යා ලග්නයෙන් උපත ලබා මකර, කුම්භ, මීන, නවාංශකයක්වී කුජ ග්‍රහයා 7 වැන්නේ වීම මේෂ, වෘෂභ, මිථුන නවාංශකයක් නම් රවි ග්‍රහයා 7 වැන්නේ නම්ද කටක, සිංහ, කන්‍යා නවාංශකයක් නම් ගුරු ග්‍රහයා 7 වැන්නේ නම් වී එම මහ දශා හෝ අතුරු දශා ගත කරන කාලය තුළ විවාහය ප්‍රමාදවීම හෝ විවාහයක් නොවීමට ඉඩ ඇත.   


තුලා ලග්නයෙන් උපත ලබා තුලා වෘශ්චික ධනු නවාංශයක් නම් සිකුරු ග්‍රහයා 7 වැන්නේද මකර, කුම්භ, මීන නවාංශකයක් නම් 7 වැන්නේ බුධ ග්‍රහයාද මේෂ වෘෂභ මිථුන නවාංශකයක් නම් 7 වැන්නේ ශනිද එම මහ දශා ගත කරන කාලය තුළ විවාහය ප්‍රමාදවීම හෝ විවාහයක් නොවීමට හෝ ඉඩ ඇත.   


වෘශ්චික ලග්නයෙන් උපත ලබා කටක, සිංහ, කන්‍යා නවාංශකයක් නම් 7 වැන්නේ බුධ තැන්පත් නම් තුලා, වෘශ්චික ධනු නවාංශකයක්වී 7 වැන්නේ සිකුරු නම් හා මකර, කුම්භ මීන නවාංශකයක්වී 7 වැන්නේ ශනි නම්ද එම මහ දශා හෝ අතුරු දශා ගත කරන කාලය තුළ විවාහය ප්‍රමාදවීම හෝ විවාහයක් සිදු නොවීම විය හැකිය.   


ධනු ලග්නයෙන් උපත ලබා මේෂ, වෘෂභ, මිථුන නවාංශකයක් නම් සඳු ග්‍රහයා 7 වැන්නේවූ විටද කටක, සිංහ, කන්‍යා, නවාංශකයක්වී 7 වැන්නේ කුජ තැන්පත්වූ විටදීද තුලා වෘශ්චික ධනු නවාංශකයක්වී ගුරු ග්‍රහයා 7 වැන්නේ නම් එම ග්‍රහයින්ගේ මහ දශාවලදීද අතුරු දශාවලදීද විවාහය කල් යවයි. විවාහයක් නොවීමටද අවකාශ අැත.   


මකර ලග්නයෙන් උපත ලබා මකර, කුම්භ, මීන යන නවාංශකයක්වී රවි ග්‍රහයා 7 වැන්නේ නම්ද මේෂ, වෘෂභ, මිථුන නවාංශකයක්වී ගුරු ග්‍රහයා 7 වැන්නේද කටක, සිංහ, කන්‍යා නවාංශකයක්වී 7 වැන්නේ කුජ තැන්පත් නම්ද එම මහ දශා සහ අතුරු දශා ගත කරන කාලවකවානු තුළ විවාහය ප්‍රමාද වීම හෝ විවාහයක් නොවීම සිදුවිය හැකිය.   


කුම්භ ලග්නයෙන් හා තුලා වෘශ්චික ධනු යන නවාංශකයක්වී බුධ ග්‍රහයා 7 වැන්නේද මකර, කුම්භ මීන යන නවාංශකයක්වී 7 වැන්නේ ශනි ග්‍රහයා තැන්පත් නම් හා මේෂ, වෘෂභ, මිථුන නවාංශකයක්වී 7 වැන්නේ සිකුරු ග්‍රහයා තැන්පත් නම් හෝ එම ග්‍රහයාගේ මහ දශා අතුරු දශා ගත කරන කාලය විවාහය ප්‍රමාදවීම පොදු විවාහයක් සිදුනොවීම විය හැකිය.   


මීන ලග්නයවී කටක, සිංහ, කන්‍යා නවාංශකයක්වී සිකුරු ග්‍රහයා 7 වැන්නේද තුලා, වෘශ්චික, ධනු නවාංශකයක්වී ශනි 7 වැන්නේවූ විටදීද මකර, කුම්භ, මීන නවාංශකයක්වී 7 වැන්නේ බුධ තැන්පත් නම්ද එම ග්‍රහයින්ගේ මහ දශා අතුරු දශාවලදී විවාහ ප්‍රමාද විය හැකිය. විවාහයක් නොවීමටද ඉඩකඩ පවතී.   


කෙසේ වෙතත් මේෂ ලග්න හිමියන්ගේ සිකුරුද වෘෂභ ලග්න හිමියන්ගේ කුජද මිථුන ලග්න හිමියන්ගේ ගුරුද කටක ලග්න හිමියන්ගේ ශනිද සිංහ ලග්න හිමියන්ගේ ශනිද, කන්‍යා ලග්න හිමියන්ගේ ගුරුද තුලා ලග්න හිමියන්ගේ කුජ ද වෘශ්චික ලග්න හිමියන්ගේ සිකුරුද ධනු ලග්න හිමියන්ගේ බුධද මකර ලග්න හිමියන්ගේ සඳුද කුම්භ ලග්න හිමියන්ගේ රවිද මීන ලග්න හිමියන්ගේ බුධද ඒ ඒ කේන්දරවල ශුභ රාශිවල උච්චව, ස්වක්ෂේත්‍රව සිටී නම් විවාහය ඉක්මන් වේ.   


මුලින් සඳහන් කර ඇති පරිදි ඒ ඒ ග්‍රහයින් 7 වැන්නේ හැර වෙනත් රාශියක තැන්පත් නම් එම මහ දශා හෝ අතුරු දශා අවසන් වූ පසු විවාහයක් සිදුවීමේ අවස්ථාව වැඩිය. එම ග්‍රහයා 7 වැන්නේම තැන්පත්ම අන් ග්‍රහයින්ද දුබලව නම් විවාහයක් සිදුනොවීමට අවකාශ වැඩිය. තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුය. අප පැරණි ජ්‍යොතිර්වේදීන් පිරිමි දරුවෙකු උපත ලද විට ස්ත්‍රී නවාංශකයක් වූ විට උපන් වේලාව මදක් එහාට මෙහාට කර පුරුෂ නවාංශකයක තබා ඇත. ගැහැනු දරුවෙකුගේ කේන්දරය සකස් කිරීමේදී පුරුෂ නවාංශකයක් යෙදුනවිට ඒ අන්දමට වෙනස් කර ස්ත්‍රී නවාංශකයක තබයි. එය වැරදිය. වර්තමානයේ සමහර ජ්‍යොතිර්වේදීන් මෙම වරද කරනු ලබයි. එබැවින් ඔබේ නවාංශකයේ නිවරදිතාවය තහවුරු කරගන්න.   

 

 

 

 


ජ්‍යොතිර්වේදී   
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන   
113 සී. ජයන්ති පාර දොම්පේ