දුව පැන ඇවිද්ද පොඩි එකාට නව ග්‍රහයන් කරදර කළේ ඇයි ?


අමනුෂ්‍ය බලපෑම් නිසා ඇත්තෙන්ම මිනිසුන් අසනීප වේද? අමනුෂ්‍යයින්ට පුද පූජා පැවැත්වීමෙන් මිනිසුන් අසනීප කළ හැකිද? අමනුෂ්‍යයින්ට මිනිසුන්ගේ ශරීරවලට වැහෙන්නට පුළුවන්ද? මිනිසුන්ගේ ප්‍රශ්නවලට අමනුෂ්‍යයින්ගෙන් විසඳුම් ලබාදිය හැකිද? අමනුෂ්‍යයින්ට විභාග කඩාකප්පල් කර දැමිය හැකිද? අමනුෂ්‍යයින්ට නොයෙක් වේශයෙන් මිනිසුන්ට දර්ශනය විය හැකිද? මෙම ප්‍රශ්නවලට නිසි පිළිතුරු දීමට ඔබට හැකිද?    


නාරම්මල ප්‍රදේශයේ අම්මාත් තාත්තාත් සමඟ ජීවත් වන කවිඳු කුඩා කල සිටම දඟකාරය. දුව පැන ඇවිදිමින් සෙල්ලම් කරමින් කොයි වෙලේත් කුමක් හෝ කියමින් ගිරවකු සේ කතා කරමින් ඕනෑම අයෙකුගේ සිත් දිනාගන්නා කවිඳු ඇත්තෙන්ම පැහැපත් සුන්දර දඟකාර දරුවෙකි. කොයි කාගෙත් ආදරය ඔහුට නොඅඩුව ලැබිණි. පාසලේ ගුරුවරුන්ගේද යහළු මිත්‍රයන්ගේද අසල්වාසීන්ගේද ආදරයට පාත්‍ර වූ කවිඳු ඉගෙන ගැනීමට ද යම් දක්ෂතාවක් පෙන්වීය. අගහිඟකම්වලින් කිසිදු අඩුපාඩුවක් නොතිබූ නිවසේ එකම දරුවා වූයේද කවිඳුය. 


කවිඳු පහේ ශිෂ්‍යත්වය සමත්ව නව පාසලකට ඇතුළත් කෙරුණි. නව පාසලට ඇතුළත් වී මාසයක් දෙකක් ගතවන විට අධ්‍යාපන කටයුතු කෙරෙහි තිබූ කවිඳුගේ දක්ෂතාවන් ක්‍රමක්‍රමයෙන් හීන වී ගියේය. කිසිදු කටයුත්තක් කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඔහු පාසල් ගියේද ඕනෑවට එපාවටය. අම්මාගේ වදයෙන් බේරීමට බැරිම තැන පාසලට යනවා මිසක් පාසල් යාමට ඔහුගේ කැමැත්තක් නොවීය. 


නිතරම කවුරුන් සමඟ හෝ කතාවට වැටී දඟකාර විලාසයෙන් කතා කරමින් හිත් දිනාගත් කවිඳු එන්න එන්නම හුදකලාවට ප්‍රිය කරන්නට විය. පාසල් යාමද ක්‍රමයෙන් අඩුවී ගියේය. පාසල් යාමට වඩා නිවසටම වී කාලය ගත කරන්නට ප්‍රිය කළ කවිඳු මිදුලටවත් බැස්සේ නැත. පාසලේ පැවැත්වෙන තරගවලදී මෙන්ම වෙනත් විශේෂාංගවලටද ඉදිරිපත් වීමට අකැමැති වූ කවිඳු එම දිනවල පාසල් නොයා මඟහැරියේය. වුවමනාවෙන්ම කුමක් හෝ අසනීපයක් හදාගෙන අම්මාට ඇවිටිලි කරමින් පාසල් යාම මගහැරීම ඔහුගේ සිරිත විය. උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නියැළුණු ඔහු නව විදුහලට පැමිණීමට පෙර එක් දිනෙකවත් පාසල් නොගොස් මඟහැර සිටියේ නැත. නිවසට පැමිණියද පොත පතේම යෙදී සිටි අතර, ඕනෑම දෙයකට ඉදිරිපත් වන, දක්ෂතා පෙන්වන ශිෂ්‍යයෙකු විය. 


කවිඳුගේ නිවසට යම් පිටස්තර පුද්ගලයෙකු එනම් කවිඳුගේ පියාගේ මිතුරෙකු හෝ ඊට පෙර දැක නොමැති කිසිවෙක් පැමිණි විට ඒ අසලකටවත් නොපැමිණෙන කවිඳු තම කාමරයටම වී සිටීමට වගබලා ගත්​ෙත්ය. මෙසේ අමුත්තන් පැමිණෙන අවස්ථාවලදී මෙන්ම බොහෝ දෙනා ගැවසෙන අවස්ථාවකට සහභාගි වීමට සිදුවුවහොත් අසනීපයක් කියා නිවසේ නතරවීමට ඔහු උත්සාහ කළේය. එන්න එන්නම මුළුගැන්වෙන ස්වභාවයක් ඔහුගෙන් දිස්විය. මෙම වෙනස්වීම හොඳින් වටහාගත් කවිඳුගේ අම්මාත් තාත්තාත් මේ ගැන නිතරම කතා කරන්නට පටන් ගත්තේය. 


“මොකක්ද අනේ මේ පුතාට වෙලා තියෙන්නෙ. හොඳට හිටිය දරුවා. දැන් හරියට කන්නෙත් නෑ. තිබිච්ච හුරතලේවත් නෑ. ඉස්කෝලේ යන්නෙත් නෑ හරියට ඉගෙන ගන්නෙත් නෑ. දරුවට මොකක් වෙලාද කියලා මට හිතාගන්නත් බෑ” කවිඳුගේ අම්මා කම්මුලේ අත තබාගනිමින් තම සැමියාට පැවසුවේ දරුවාගේ හැසිරීම එන්න එන්නම වෙනස් වන ස්වභාවය දරාගැනීමට නොහැකිම තැනය. 


“ඒක තමයි මාත් මේ බලාගෙන හිටියෙ කොලුවට මොකක් වෙලාද කියලා. කොහේටවත් යන්න එන්නෙත් නෑ. කාමරේට රිංගගෙනම ඉන්නවා. මේකට මොකක් හරි කරන්නම වෙනවා” කවිඳුගේ තාත්තාට තම දඟකාරයා මුළුගැන්වී සිටිනු දැකීමට බැරිය. 


කවිඳුගේ මිතුරකු අතේ පාසලේ පංති භාර ගුරුතුමිය කවිඳුගේ අම්මාට තමන් මුණගැසෙන ලෙස දන්වා එවූ බැවින් ඇය වහාම ඇඳ පැලඳගෙන පසුදාම පාසල වෙත ගියේ පංතිභාර ගුරුතුමියගෙන් හෝ දරුවාගේ වෙනසට හේතුවක් දැනගැනීමට හැකිවේයැයි සිතුණු නිසාය. 


“මොකද අම්මා කවිඳු හරියට ඉස්කෝලෙට එන්නෙ නැත්තෙ. උගන්වන වෙලාවල්වලදීත් ඇහුම්කන්දීම හරිම අඩුයි. ඇහුවට මුකුත් කතා කරන්නෙත් නෑ. දරුවට අසනීපයක්වත්ද. දරුවව ඩොක්ට කෙනෙකුටවත් පෙන්නුවොත් හොඳයි නේද” පාසලේ පංතිභාර ගුරුතුමියද කවිඳුගේ අම්මා සමඟ කියා සිටියේ කවිඳුගේ දුර්වලතාවන්ය. 


තම දරුවා වෙතින් පෙර දුටු ප්‍රසන්න බව ගිලිහී ගොස් ඇති බව අම්මාටත් තාත්තාටත් වැටහුණි. අසල්වැසියන්ද කවිඳු ගැන නොයෙක් විට අසන්නේ ඔහු වෙනදා මෙන් දකින්නට නොමැති නිසාය. “මොකද අනේ පුතා පේන්නවත් එන්නෙ නැත්තෙ දැන්. ඉස්සර නම් මොනවා හරි කියලා ඇඟේ එල්ලිලා යනවා. දැන් කොල්ලා පේන්නවත් නැහැනේ” කවිඳුගේ අම්මාගෙන් එසේ ඇසුවේ අසල්වැසි කාන්තාවකි. 


“අනේ මන්දා. ගෙදරදිත් එහෙමයි. විශේෂ වෙනසක් නැහැ. කාමරේමයි. ඉස්කෝලේ යන්නෙත් හොරට දැන්. ඉස්සර වගේ දඟල දඟල මගේ ඇඟේ එතීගෙන හිටිය ළමයා. මොකක් වෙලාද දන්නේ නැහැ අලුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ” කවිඳුගේ අම්මා ඇයට පැවසුවේ දුකෙනි. 


“මං කියන්නද ඕකට වැඩක්. හන්දියේ ඉන්නවා හොඳ කපු මහත්තයෙක්. පොඩ්ඩක් දරුවව එක්කගෙන ගියොත් එතනට දැනගන්න පුළුවන් වෙයි අපලයක්වත් ද කියලා” අසල්වැසි කාන්තාව කවිඳුගේ අම්මාගේ සිත සැනසුවේ එසේ කියමිනි. රාජකාරි නිමවී නිවසට පැමිණි කවිඳුගේ තාත්තාට කවිඳුගේ අම්මා තම හිතවතිය කියූ වදන් සැලකර සිටියාය. “හ්ම් එහෙනම් එක්කගෙන යමු බලන්න” 


කවිඳුගේ හැසිරීම දෙස බලා සිටි කපු මහතා කවිඳුගේ අම්මාට කියා සිටියේ දරුවාට අපලයක් බලපාන බවයි. “අපලවලට නවග්‍රහ පූජාවක් කළාම හරියයි. මං කියන්නම් අවශ්‍ය දේවල් ඒවා ලෑස්ති කරලා ගේන්න” කපු මහතා කීය. 


අපේ කතාවේ කපු මහතා කියනුයේ, යසට අගේට සිටි කවිඳුට මේවා ඇතිකර ඇත්තේ, ඇතිකරන්නේ විශ්වයේ බලය වන ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ විසින් නවග්‍රහයන් නිසාය. නවග්‍රහ පූජාව දිශා නවය භාරව සිටින නවග්‍රහයින් වහන්සේලාට ගෞරවයෙන් පිරිනමන පූජාවක් තියනවාය. හරියට පත්තිනි පූජාව වගේ කිව්වොත් හරියටම හරි. ප්‍රථමයෙන් ජන්මපත්‍රය පරීක්ෂා කර දැනගන්න ඕනෑය. දුර්වල වී ඇති ග්‍රහයා නැත්නම් ග්‍රහ කිරණය කුමක්ද කියලා අපි බලන්න උවමනායි. ඒ ග්‍රහයා තමයි කරන ග්‍රහ පූජාවේ ප්‍රධාන ග්‍රහයා වන්නේ” කපු මහතා කියයි. 


ඒ අනුව, ඒ ග්‍රහයා මුල්කරගෙන අනිත් ග්‍රහයන් පිරිවරා සියලුම දේ කළයුතුව තිබෙනවා. මේවා හරියට සාත්තරයට සූත්තරයට කලාවට සංයමයෙන් භක්තියෙන් කළ යුතුයි නැති නම් ගුණේ නැති වෙනවා. අගුණම ඇති වෙනවා. 


“ග්‍රහයෝ නීච හෝ හතුරු තත්ත්වයෙන් ජන්ම පත්‍රයේ සිටිනවා කියලා මේ ජන්ම පත්‍රය බැලුවාම පේනවා. එසේනම් ශරීරයේ ලේ ධාතුවට අධිපති අඟහරු ග්‍රහයා ප්‍රධානව සපිරෙන සේ පූජා කටයුතු කළ තිබෙනවා” යැයි කපු මහතා කීවේය. 


අඟහරු ග්‍රහයන්ට උචිත පංචෝපකාර පූජා භාණ්ඩ සකස් කරන්නට නිවසේ හිමිකරුවන්ට කපු මහතා අණකළේය. මේ අනුව, පලතුරු වර්ග 5 ට වැඩි ඊට අමතරව බුලත්, රතු පාට කන්‍යා නූල් (කපු නූල්) නම පටක්, රතු රෙද්දක්, රතු මල්, රත් කනේරු, රත් නෙළුම්, බෙලි කොළ, රත් කෙහෙල් තිබිය යුතු වෙනවා. මේ දේව ගැත්තන්ට මම හිතන්නේ තේරෙනවා විය හැකිය. 


මේ යාදිනි මන්ත්‍ර සියල්ම වරදන්නේ නැතුව කපු මහතා කියන්නට විය. රතු පාට නම පට නූල් කරන්නට විය. මේ නියමිත පූජා භාණ්ඩ තබා පිළියෙල කරගත් වට්ටියට ”කොලොං” අතු කැබැල්ලක් කපු මහතා අතින් ම තැබීය. “මේ ඒ අඟහරුගේ විමානයයි. දැන් වර වර වරෝ අඟහරුගේ අවතාරය” යැයි කියන්නට විය. 


මේ අනුව, පිළිවෙළින් බුදුන් වැඳ පිං පෙත්දී ආතුරයා ළං කරවා දෙහි ගෙඩි 7 ක් කැපීම සිදු කරන්නට විය. මේ දෙහි කැපීමට කලින් ගුරුන්නාන්සේ ආරක්ෂක මන්ත්‍රවලින් දෙහි සමඟ රතු නම පට නූල මතුරා ප​ෙසකින් තැබීය. ඉන්පසු දෙහි ගෙඩි 7 ක් කපන්නට විය. 


සත්තකින්ම හතර වරම් දෙවියන්ගේ ප්‍රධානත්වයෙන් දෙහි කැපීමට ආරාධනාව කරන්නට උවමනායි. මෙහි දී දෙහි කැපීම කළේ ”ඔඩ්ඩීස නරේන්ද්‍රයාගේ අග්‍රබිසව වූ මැණික් පාල බිසවුන් වහන්සේට බවත් දෙහි රැගෙන ආවේ නාලොවින් බවත්” දෙහි කැපීමෙන් පසු සියලුම දෝෂ අන්ධකාරවල් සමනය වී රෝගාතුර නිමාවට පත් වන්නේ ය. කපු මහතා කියයි. 
ඒ ආකාරයෙන් අපේ කපු මහතා තම සේවාවන් තේවාවන් සිදුකරන්නේය. “සත්‍ය සැබෑ නම් මෙදා මෙසේ සිදුවනවා ඒකාන්ත බවත් යහපත් ගුරුන්නාන්සේ ස්තොත්‍රවලින් හා කවි වලින් ආතුර මහතාට තේරුම් ගත හැකි වන සේ කීමෙන් විස්වාසයක්, සත්‍යතාවක් ඇතිවෙනවා.” කපු මහතා කියන්නට විය. 


“ප්‍රධාන ග්‍රහයා මුල්කරගෙන ඒ ඒ දිශාවන්ට ඒ ඒ විමානවලට නියමිත අධිපති අවතාරයන් මේ විමානයට මම දැන් කැඳවනවා” කියමින් දුම්මල කීරි අහසට පොළොවට ගසමින් ඇසෙන නෑසෙන තරමට මන්ත්‍ර කීවේය. මේ ප්‍රනීතව හා ගෞරවයෙන් සුවඳ හමන සේ පිළියෙල කර කැප කළ පංචෝපකාර පූජාව අවශ්‍ය දේව පිරිස සමඟ පැමිණ භාරගෙන සතුටුවන ආකාරයට සිදුකරන්නට විය. අසුරු සැණෙන් වැරදුණ හොත් විපත් ගෙන දෙන්නේය. 


ඒ නිසා ආතුරයාට ද ගුරුන්නාසේට ද විපාක දොස් ඇතිවන නිසා මෙය අකුරටම කළ යුතුයි. මේ සම්බන්ධයෙන් කපු මහතාගේ කොට්ටෝරු දාසයෝ කපු මහතා මුලින්ම දැනුවත් කරන්නේ නිවැසියනටද ඇසෙන නොඇසෙන ආකාරයෙනි. 


“තමුන්ලාට මම කියන්නේ යමක් වැරදුණ හොත් කම්මුතුයි. කියලා. තේරුණාද? කපු ගුරුන්නාන්සේ සිය ගෝලයන්ට අණ කරමින් විධානය දෙයි. 


“තමුන්ලා දන්නවා. මේ පෘථිවි තලයේ ජීවත්වන දෘශ්‍යමාන, අදෘශ්‍යමාන සියලු සත්වයෝ සතුටට කැමැති නිසයි. ආතුරයා විසින් සපයන ලද පංචෝපකාර පූජාවට අමතරව කපු මහතා විසින් සුවඳ පූජාව ආලෝක පූජාව වස්ත්‍ර පූජාව, වර්ණ පූජාව සහ ශබ්ද පූජාව සම්පූර්ණ කරමින් කටයුතු කරන්නට විය. ඉතා පැහැදිලිව ක්‍රමානුකූලව කරන මේ නවග්‍රහ පූජාව කපු මහතා සිදු කරන්නට විය. 


“දැන් බලන්න කියමින් නවග්‍රහයින් වහන්සේලාගේ පැමිණීම සිදුවෙනවා. සිදු කරනවා. එය ආතුරයාටද දැකිය හැකියි. පේනවා. මේ නවග්‍රහ පූජාවට කලින් දින 14 ක් වත් ගුරුන්නාන්සේ රහමෙරින් තොර කිලි ආහාර අකැපයි. 


කපු මහතා මෙසේ කියන්නටද විය. 


රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු හා ඔවුන්ගේ අවතාර කැඳවයි. ඉන් පසුව ආතුරයාට සුවය මෙන්ම ඇති දෝෂ සමනයට පත් වෙනවා. පෙර සිටි තත්ත්වයට මේ කවිඳුගේ ගතේ සිතේ හිසේ ඇඟපතේ ඇති දොස් සමනය වෙනවා. නිදිමත ගතිය පහවීම, තනියම හිනා රැල්ලකින් සිටීම කුමක් දෝෂ යමක් තොල්පිටින් මිමිනීම අපේ කතාන්දරයේ කතා නායකයා වු කවිඳු සියල්ලෝම බලා සිටිය දී මුමුනන්නට ඇසෙන නොඇසෙන ආකාරයට කියන්ට විය. සියල්ලෝම පුදුමයෙන් බලා සිටියෝ ය. 


“මෙන්න මෙන්න මේ දේව බැල්ම ආතුරයා ලැබෙනවා. දේවාරාධනයේදී ඒ ඒ විමාන වලට එනම්” දිඹුල්, ඉඹුල්, කොලොං, කොහොඹ, බෝ, කරඳ, නුග, වැටකේ, කෙසෙල් විමාන වලින් බැහැරව අප මේ විමානයට වඩින්නට මම ආරාධනා කරනවා. දැන් හොඳයි, අපගේ ආරාධනයෙන් මෙහි සැපැත්වූ තමුන්ලාට දැන් තම තමන්ගේ විමානවලට යන්නට අවසරය තියනවා” කියමින් කපු මහතා මන්ත්‍ර කියන්නට විය. 


මින් පසුව සිදුකරන්න තියෙන්නේ දෙහි කැපීම. දැන් අර තටුවේ ජීවං කළ දෙහි ගෙන එන ලෙස ආවතේව කොට්ටෝරු කුඩා කපු මහත්වරුන්ට ප්‍රධාන කපුවා නියම කළේ හමුදා පෙරහුරුවක් සිදුකරන ආකාරයෙනි. ආතුරයාගේ සියලුම දෝෂ දෙහිවලට බැසීමට කන්නලව්ව කරන්නට විය. ආතුරයා මේ දෙහි ගෙඩි 7 දෙඅතින් දෝතින් රැගෙන ගිරේ මත එක එක රඳවන්නට විය. 


දෙහි කැපීම අවසන් විය. දැන් අපේ ආතුරයාට මානසික සැහැල්ලුව, ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා කියමින් මන්ත්‍රවලින් ජපකරගත් මතුරාගත් නමපට නූල බෙල්ලේ බඳින්නට වූයේ තව තමත් මන්ත්‍ර කියමිනි. 


මෙයට අමතරව අත්තන ගහ මතුරන්නටද කපු මහතා පෙරමුණ ගත්තේ ය. මේ සියලුම කාර්යයන් සඳහා ආගම්, කුල, වර්ණ භේදයක් නැහැ. සියලුම දෙනාටම සෙත සැලසෙනවා. මේ දෙහි කපා අත්ත ගහ මැතිරීමෙන් ඇස්වහ දෝෂ, කටවහ දෝෂ, සිත් සාංකා, ජන්ම පත්‍ර දෝෂ නැති වී සුවයක් මේ ආතුරයාට දැනෙනවා. 


නවග්‍රහ පූජාව කර අවසන් වූ පසු කවිඳුගේ කරට යන්ත්‍රයක් දැමුණි. යන්ත්‍රයට රුපියල් අටදහසක් විය. රුපියල් පනස් දහසක් කපු මහතාගේ ගාස්තුව වශයෙන් අය විණි. කවිඳුගේ අම්මාත් තාත්තාත් නිවසට පැමිණියේ විශාල අස්වැසිල්ලකිනි. 


පසුදින කවිඳු පාසල් ගියේය. දින හතරක් පමණ පාසල් ගිය කවිඳු නැවත දින කීපයක්ම පාසල් නොගොස් සිටියේ අසනීප බව කියමිනි. 


“ඇයි පුතේ මොකක්ද පුතාට තියෙන අමාරුව? අපිට කිව්වොත්නේ හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න පුළුවන්” කවිඳුගේ තාත්තා විමසීය. එහෙත් කවිඳුගෙන් පිළිතුරක් නොවීය. සති කීපයක්ම පාසල් නොගොස් මගහැර සිටි නිසා කවිඳුගේ අම්මාත් තාත්තාත් නැවත කපු මහතා සොයා ගියහ. “හ්ම් සාස්තරයක්ම බලමු. මොකද වෙලා තියෙන්නෙ කියලා” කපු මහතා කීවේය. 


දේව රූප, යක්ෂ රූප පිරී ඇත. සිමෙන්ති බැම්ම යටින් මළගිය ඇත්තෙක් යැයි කිවහැකි පින්තූරයක් විය. එයට පහනක් දල්වා ඇත. හඳුන්කූරු දල්වා පසෙකින් ඇත. බුලත් වට්ටියක්, නොයෙක් මල් ජාති, කපුරු පෙති සිමෙන්ති බැම්ම මත තබා තිබේ. සුදු සරමට උඩින් රතුපාට රෙදි පටියක් බැඳ සිටින කපු මහතාගේ එක් පාදයක සලඹක් බැඳ ඇත. කරේ මාල කීපයක් දමා ඇත. අතේ නොයෙක් පාට නූල් බැඳ ඇත. අත් දෙක ඉදිරියට කර සොලවමින් දේව, යක්ෂ රූප දෙස බලමින් කපු මහතා මොනවදෝ මතුරයි. ඔළුව දෙපසට වනයි. ඇඟ පද්දයි. දෙපා පොළොවට බර කර අඩිය තදින් හප්පයි. එවිට සලඹ හඬ දෙයි. 


මෙසේ පැය භාගයක් පමණ කන්නලව් කිරීමෙන් පසු කපු මහතා ඉතා බැරූරුම් ස්වරූපයක් මවා ගනිමින් කවිඳුගේ අම්මාත් තාත්තාත් දෙසට හැරීය. 


“කොල්ලා ඉගෙන ගන්නවට අකැමැති දෙන්නෙක් අමනුස්ස බන්ධනයක් කරලා. කොඩිවිනයක් කරලා තියෙනවා. ඥාතිවරු කියලයි පෙන්නුම් කරන්නේ. ගැහැනු දෙන්නෙක්. කොණ්ඬේ ඒ හැටි දිග නෑ. තරමක් තරබාරුයි. පැද්දි පැද්දී ඇවිදින්නේ. තළෙලු පාටයි. අනෙක් එකී නම් කෙසඟයි” කපු මහතා කොඩිවිනය කර ඇති අයගේ පෙනුම පැහැදිලි කළේය. “කොඩිවිනය කපලා අමනුස්ස බන්ධනය අයින් කරන්න නම් ලේසි වෙන්නේ නෑ. ලොකු මුදලක් යට කරන්න වෙයි” කපු මහතා කීය. “කීයක් වගේද?” කවිඳුගේ තාත්තා කපු මහතාගෙන් ඇසීය. “බඩුවලටත් එක්ක හැත්තෑ පහක්වත් යයි” කපු මහතා කීවේ දෑස් ලොකු කරමිනි. “හොඳයි අපි ලැහැස්ති කරගෙන කපු මහත්තයා හම්බ වෙන්නම්” කවිඳුගේ තාත්තාත් අම්මාත් නිවස බලා ආවෝය. 


කොඩිවිනය කැපීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා අතරතුරදී කවිඳුගේ තාත්තා තම කාර්යාලයේ මිතුරකු සමඟ මේ සම්බන්ධව කතා කළේය. බොහෝ කලකිරීමෙන් හා දුකින් කතා කරන තම මිතුරා බොරුකාරයෙකුට හසුවී විනාස වීමට යන බව තේරුම් ගත් මිතුරා පුතා කැටුව වහාම පී.එන්. විද්‍යාකුලපති වෛද්‍යවරයා හමුවන මෙන් පැවසීය. වෛද්‍යවරයා ඔය වගේ දේවල් සම්බන්ධව කටයුතු කරන කෙනෙක් බවත් ඒ සඳහා විසඳුමක් ලබාගත හැකි බවත් ඔහු පැවසීය. වෛද්‍යවරයාගේ දුරකථන අංකයද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සොයාගෙන කතා කර තම මිතුරා පත්වී ඇති තත්ත්වය වෛද්‍යවරයාට පැවසීය. වෛද්‍යවරයා තමන් මුණගැසීමට දිනයක් හා වේලාවක් ලබාදුණි. 


“එක එක මිනිස්සු කියන විදියට දොස්තරලා ළඟට ගිහින් මොනා කරන්නද?. අපි මේ අමනුස්ස බන්ධනය අයින් කරන විදියක් බලමු” කවිඳුගේ අම්මා තම සැමියාගේ බහට අවනත නොවී පැවසීය. “කෝකටත් අපි දරුවව මුලින්ම ඩොක්ට ළඟට එක්කගෙන යමුකො. ඊට පස්සේ බලමු” කවිඳුගේ තාත්තා පැවසිය. 


ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත එලෙස මෙම ගැටලුව යොමු කෙරිණි. විස්තර සියල්ල විමසා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා කවිඳුට අවශ්‍ය මනෝ ප්‍රතිකාර ලබාදුණි. මනෝ ප්‍රතිකාරවලින් පසු පාසල් යාමට පැවති බිය කවිඳුගේ සිතෙන් තුරන් විය. කවිඳුගේ තත්ත්වය සුබ අතට හැරුණු අතර, වසර අවසාන වාර විභාගයට පෙනී සිටිමින් පංතියේ පළමුවෙනියා විය. මෙහිදී වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සිද්ධිය මෙසේ විස්තර කළේය. 


‘‘මිනිසුන්ට සෑදෙන සුළු මානසික රෝග අතරින් එකක් තමයි භීතිකා කියන්නේ. මෙහිදී සමහර පුද්ගලයින් ඇතැම් දේට අසාමාන්‍ය බියක් පෙන්නනවා. මෙම භීතිකා අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා. උදාහරණ ලෙස සමහරුන් පිරිසක් ඉදිරියට යන්නට බයයි. තවත් සමහරුන් විභාගවලට බයයි. ලේ දකින්නට බයයි. ඒ වගේම මළමිනීවලට බිය, උස් ස්ථානවලට නැගීමට බිය, වාහනවල යාමට බිය, සුළඟට බිය, වැස්සට බිය, පිරිමින්ට බිය, ස්ත්‍රීන්ට බිය, අකුණු ගසනවාට ඇති බිය, කුරුමිණියන්, කුහුඹින් වැනි සතුන්ට බිය, විවාහයට බිය, ලිංගික ඇසුරට බිය, කැරපොත්තන්, හූනන්, මකුළුවන්, හකරැල්ලන් වැනි සතුන්ට බිය, වතුරට බිය, අඳුරට බිය, වහපු කාමරවල සිටීමට බිය, බල්ලන්ට බිය, ගින්දරවලට බිය, පුළුන්වලට බිය, නොයෙක් වර්ණවලට බිය, තනිව සිටීමට බිය, වේදිකාවල කතා කිරීමට බිය ආදී බොහෝ දේ තිබෙනවා. 


මෙහිදී යමෙක් සාමාන්‍ය දේට බියවීම භීතිකා ලෙස නොසලකයි. උදාහරණයක් ලෙස යමකු දරුණු සතෙකුට බියවීම සාමාන්‍ය බියක්. නමුත් බිය නොවිය යුතු දේවලට අසාමාන්‍ය ලෙස බියක් දැක්වීම රෝගී තත්ත්වයක්. මේවා මනෝ ප්‍රතිකාර මගින් සුව කළ හැකි බව බොහෝ දෙනා දන්නෙ නැහැ. ඒ නිසා පීඩා විඳිමින් ජීවත් වෙනවා. කවිඳුගේ ඇත්තේ එවන් තත්ත්වයක්. ඔහු සබකෝලය නැතහොත් සමාජ භීතිකාවෙන් පෙළී සිට ඇත. ඒ වගේම පාසල් යාමට අකැමැත්තක් තිබූ අතර, වැඩි වශයෙන්ම ඔහුට බලපෑවේ සබකෝලයයි. එම නිසා ඔහුට මිනිසුන් ඉදිරියේ කතා කිරීමට බය, අපහසුව, වෙව්ලීම වැනි තත්ත්වයන් ඇති වී තිබෙනවා. නව පාසලට යාමේදී එහි ගොස් අලුත් අය සමඟ මුසුවීමට හා එම අවස්ථාවන්ට මුහුණ දීමට ඇති බිය නිසා පාසල් යාම ප්‍රතික්ෂේප කළා. විශේෂයෙන් සබකෝලයෙන් පෙළෙන්නෙකු තුළ පහත ලක්ෂණ තිබිය හැකියි. 


එනම්, පිරිසක් ඉදිරියට යාමට බිය, පිරිසක් ඉදිරියේ කතා කිරීමට බිය, අනෙක් අය තමා දෙස බලා සිටියි යන බිය, අන් අය ඉදිරියේ කතා කිරීමේදී වෙව්ලීම, අන් අය දකින විට දහඩිය දැමීම, හෘද ස්පන්දනය වැඩිවීම, තොල කට වේළීම, වචන පැටලීම, අන් අය බලා සිටින විට ලිවීමට බැරිවීම, ඔවුන් තමාට හිනා වේයැයි සිතීම, තමන් ගැන ඇති හීනමානය හෝ අවතක්සේරුව ආදී බොහෝ කරුණු තිබිය හැකියි. 


මෙවන් කරුණු නිසා ඔවුහු තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු අවුල් කරගත්හ. මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර කිරීමෙන් මෙම භීතිකා තත්ත්වයන් සුව කළ හැකියි. මේක මගේ කරුමය, පූරුවේ අකුසල්, මේක මගේ අපල කාලයක්, හතුරෙක් කරපු අනවින, කොඩිවිනයක්, ගෙදර දෝෂයක්, දේව කෝපයක්, අමනුෂ්‍ය බලපෑමක් ආදී අසුබවාදී සිතුවිලිවල නොරැඳී නිසි විසඳුම් ලබාගැනීමෙන් ජීවිතයේ සතුට, සැහැල්ලුව, නිරෝගී බව වැඩිකර ගත හැකි බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා තවදුරටත් පහදා දුණි. 


තමාට වැලඳෙන කායික මානසික රෝගවලට හේතුව නොපෙනෙන බලවේගයක් පිට පවරා නිකරුණේ විනාශ නොවන ලෙසත් මිථ්‍යාවන් පසුපස නොගොස් යම් කිසි අසාමාන්‍යතාවක් යමෙකු පෙන්වනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවෙන ලෙසත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පැවසුවේය. 


(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

 

 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත