දුම්රිය පොළක් ළඟදී සිග්නල් දෙන ‘අත’


 

කෝච්චිය ගමන් කරන්නේ කෝච්චි පීලි දිගේ. පාරේ ගමන් කරන වාහන වාගේ කෝච්චියට, කෝච්චි පාරවල් ගොඩක් තියෙන තැනක නිවැරැදි ගමන් මාර්ගය තෝරා ගෙන ගමන් කරන්න බෑ. ඒ නිසා නිවැරැදි ගමන් මාර්ගයකට යොමු කිරීම, නිවැරැදි අවස්ථාවේදීම කරන්න ඕනි. එහෙම වුණොත් විශාල අනතුරක් සිදුවෙන්න පුළුවන්. ඒ සඳහා දුම්රිය මාර්ගයකට දුම්රිය මාර්ග සංඥා පද්ධතියක් අවශ්‍ය වෙනවා. එවැනි දුම්රිය සංඥා පද්ධතියක් තමයි ෂිමෆෝර් සංඥා පද්ධතිය කියන්නේ. 


විශේෂයෙන් මෙම සංඥා පද්ධතිය දකින්නට ලැබෙන්නේ දුම්රිය ස්ථානයක් ආසන්නයේ. මේකට සිංහලෙන් ‘සිග්නල් අත’ කියලා තමයි කියන්නේ. ඔබත් බොහෝ විට දුම්රියක ගමන් ගන්නා විට දුම්රිය ස්ථානයක් ආසන්නයේ දුම්රිය නතර කරලා ටික වේලාවක් තිබුණොත්, ඔබටත් දැනගන්න ලැබේයි තවම සිග්නල් දාලා නෑ කියලා. 


ප්‍රංසයේ ක්ලවුඩ් චැප්පී තමයි 1794 වර්ෂයේදී ෂිමෆෝර් සංඥා ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ. කුලුනක් මත සංඥ තහඩුවක් සවි කිරීමෙන් තමයි මුල් වරට ෂිමෆෝර් සංඥා නිකුත් කරලා තියෙන්නේ. මේ වැනි සංඥා කුලුනු සැතපුම් 5 සිට 10 දක්වා සවි කරලා ඈත සිටින අයට සංඥා යැවීමේ ක්‍රමෝපායක් වශයෙන් තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ වන විටත් ටෙලිග්‍රාෆ් ක්‍රමය ලොවට හඳුන්වා දී තිබුණේ නෑ. ඒ වාගේම මුල් අවධියේ ෂිමෆෝර් සංඥා ක්‍රමය දුම්රිය මාර්ග සමග සම්බන්ධයක් තිබිලා නෑ. 


ෂිමෆෝර් කියන්නේ ග්‍රීක වචනයක්. මෙහි තේරුම යාන්ත්‍රික සංඥාවක් යන්නයි. මෙම නම ක්ලවුඩ් චැප්පීගේ සංඥා ක්‍රමය සඳහා යොදා ගත්තේ ද චැප්පී විසින්මයි. චැප්පී ප්‍රංසයේ බිරෝලුන් නගරයේ 1763 දී ඉපදිලා තියෙන්නේ. පසුව ඔහු ඉංජිනේරුවරයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණා. එකල යුධ සමයේදී පැරිස් සහ ලිලී නගර අතර යුධ සංඥා හා පණිඩ යැවීම සඳහා මෙම ක්‍රමය භාවිතයට ගත්තා. 


ෂිමෆෝර් සංඥා ප්‍රථම වරට ලන්ඩන් හා ක්රෝයිඩොන් (පසුව බ්‍රිරයිටන්) දුම්රිය මාර්ගය සඳහා යොදාගනු ලැබුවේ චාල්ස් හුටන් ග්‍රෙගරි විසින් 1830 වර්ෂයේදී. මෙම ෂිමෆෝර් සංඥා ක්‍රමය දුම්රිය මාර්ග සඳහා ඉතාමත් සාර්ථක සංඥා ක්‍රමයක් බවට පත් වුණ නිසා 1908 වන විට එම සංඥා ක්‍රමය ඇමරිකාව දක්වාද ව්‍යාප්ත වී තිබුණා. ඒ අතර ලංකාවට ද බ්‍රිතාන්‍යයන් විසින් දුම්රිය මාර්ග හඳුන්වා දීමෙන් පසු මෙම සංඥා ක්‍රමය ශ්‍රී ලංකාවේ ද බහුලව අද දක්වාම භාවිතයට ගැනෙනවා. ඒ අතර අද විදුලි සංඥා පද්ධතියක් ද ලංකාවේ භාවිතයට ගන්නවා. 


දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයක් ආසන්නයේ හෝ දුම්රිය හන්දියක් ආසන්නයේ මීටර් 300ක් පමණ දුරින් මෙම ෂිමෆෝර් සංඥා පද්ධති දෙකක් දෙපැත්තේ සවි කරලා තියෙනවා. දුම්රිය මාර්ගයේ මෙම ෂිමෆෝර් සංඥා අත සවි කරලා තියෙන්නේ දුම්රිය මාර්ගයේ වම් අත පැත්තේයි. අපේ ලංකාවේ නම් කොළඹ සිට යනකොට වම් අත පැත්තේ. මොකද දුම්රිය මාර්ගය සෑම විටම ලංකාවේ දී ආරම්භ වන්නේ කොළඔ කොටුවෙන් නිසා. ඒ වාගේම සිග්නල් අත සෑම විටම දුම්රිය මාර්ගයෙන් පිටතට තමයි සවි කරලා තියෙන්නේ. මෙයට හේතුව දුම්රිය රියැදුරු බොහෝ විට ගමන් කරන්නේ වම් පස අසුනේ වීම නිසා වෙන්නට පුළුවන්. 


සිග්නල් අත උස කණුවක තමයි සවි කරලා තියෙන්නේ. මෙයින් (උසින්) බලාපොරොත්තු වන්නේ එංජිමේ දුමත් සමග සිග්නල් අත දුම්රියේ රියැදුරුට හොඳින් පෙනීමත්, දුම්රියේ පිටුපස පෙට්ටියේ සිටින ගාර්ඩ් වරයාටත් සිග්නල් අත හොඳින් දිස්වීමට සැලැස්වීමත්ය. ගාර්ඩ්වරයාට නියමිත එක් රාජකාරියක් වන්නේ ද සිග්නල් අත නිරීක්ෂණය කිරීමත්ය. 


සිග්නල් අත සවි කරලා තියෙන්නේ දැවමය කඳක වන්නට පුළුවන්. එවන් අවස්ථාවක ඒවා හතරැස් වන අතර දැවමය කඳ සුදු පැහැයෙන් වර්ණවත් කරලා තියෙනවා. නැත්නම් ලැටිස් ආකාරයේ ලෝහමය කුලුනක්, වාත්තු යකඩ කුලුනක්, පැරැණි රේල් පීල්ලක්, හෝ කොන්ක්‍රීට් කණුවක හෝ සවි කරලා තියෙන්න පුළුවන්. 


සිග්නල් අත චතුරාශ්‍රකාර ලෝහ පටියක් වන අතර එය දිගින් වැඩියි. රතු පැහැයෙන් වර්ණවත් කරලා මැද සිරස් අතට සුදු වර්ණ පටියකින් වර්ණවත් කරලා තියෙනවා. 


සංඥා බාරව කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තු සේවක මහතා සංඥාකරු ලෙසට තමයි හඳුන්වන්නේ. මෙම ෂිමෆෝර් සංඥා පද්ධතිය සඳහා ඔහුගේ සේවය අත්‍යවශ්‍යයි. 


පසුගිය සතියක අපි දැනගත්තා ටයර්ස් ටැබ්ලට් එකක් අරගෙන එක් දුම්රිය ස්ථානයක ඉඳන් තවත් දුම්රිය ස්ථානයකට දුම්රියක් ගමන් කිරීමට අවසර ගැනීම සම්බන්ධව. එහෙම අවසර අරගෙන එන දුම්රියකට, ඒ ගමන් වාරයේදී නැවත ටැබ්ලට් මාරු කරන්න සිදුවන දුම්රිය ස්ථානයට එන්න පොර එම දුම්රිය ස්ථානය අසල තියෙන ෂිමෆෝර් සිග්නල් අතකින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම අවහිර කරලා. දැන් මොකද කරන්නේ? 


එහෙ මෙහෙ වෙන්නේ අනෙක් පැත්තෙන් එම දුම්රිය ස්ථානයට තවත් දුම්රියක් එන නිසා වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ඉන්න දුම්රිය, දුම්රිය ස්ථානයේ තියෙන වෙනත් දුම්රිය මාර්ගයක යවන්න ඕනි. ඒ නිසා තමයි සිග්නල් අතින් දුම්රිය මෙතන නතර කරේ. 


සිග්නල් අත පහළට නැවෙන සිග්නල් අත තිරස් අතට තිබුණොත් එය OFF හෙවත් ඉන් එහාට දුම්රිය ගමන් කිරීම තහනම් ලෙසට හෝ මාර්ගය අවහිරයි කියන සංඥාව තමයි එයින් පෙන්නුම් කරන්නේ. චලනය කරන්න පුළුවන් සිග්නල් අත තිරස් අවස්ථාවේ සිට අංශක 45 ආනතියකින් පහළට නැවීම මාර්ගය පැහැදිලි යන්න සහ ON කියන අවස්ථාව කියා පාන සංඥාව ඉන් දුම්රියේ රියැදුරු මහතාට ලබා දෙනවා. 


සිග්නල් අත OFF කියන අවස්ථාවේ තියෙන විට රතු ආලෝකයත්, ON කියන අවස්ථාවේ තියෙන විට නිල් හෝ කොළ ආලෝකයත් රාත්‍රි කාලයේදී ෂිමෆෝර් සංඥාව වශයෙන් ලබා දෙනවා. 


ON සහ OFF කියන අවස්ථාවල දී බොහෝ දුරට දුම්රිය මාර්ගයේ තියෙන පීලිවලින් දුම්රිය ගමන් කරන පීල්ලේ දිශාව මාරු කිරීමක් පොයින්ට්ස්වලින් සිදු කරනවා. මේ සම්බන්ධයෙන් පසු ලිපියකින් තොරතුරු දැනගමු. 
 ෂිමෆෝර් සංඥාවෙන් පසු දුම්රියේ වේගය ද අඩු කිරීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. ඒ වාගේම ෂිමෆෝර් සංඥා පද්ධතියේ ප්‍රධානතම අභිප්‍රාය වන්නේ, එකම මාර්ගයේ පැමිණෙන දුම්රිය දෙකක් එකිනෙක ගැටීම නතර කිරීමයි. 


ෂිමෆෝර් සංඥා එහෙමත් නැත්නම් සිග්නල් අත ON සහ OFF සිදු කිරීම දුම්රිය ස්ථානයේ තියෙන සිග්නල් කුටියේ ඇති ලීවර ක්‍රීයාත්මක කිරිමෙන් තමයි සිදු වෙන්නේ. එම ලීවර දම්වැල් හෝ යකඩ කම්බී මගින් ෂිමෆෝර් සිග්නල් අත හා සම්බන්ධ කරලයි තියෙන්නේ. බොහෝ කාර්යය බහුල දුම්රිය ස්ථානවල සංඥා කාමරයක තමයි මේ ලීවර සවි කරලා තියෙන්නේ. එහෙත් සමහර දුම්රිය ස්ථානවල ෂිමෆෝර් සංඥා ක්‍රියාත්මක කරන ලීවර දෙකක් එක ළඟ සවි කරලා තියෙනවා. ඒවා නියමිත සංඥාකරු හැර වෙනත් අය භාවිත කිරීම වැළැක්වීම සඳහා යතුරකින් එය අගුලු දමා ආරක්ෂා කරලයි තියෙන්නේ. එහෙ මෙහෙ ප්‍රධාන මාර්ගයේ ෂිමෆෝර් සංඥා ON සහ OFF කරලා ද තියෙන්නේ කියලා දුම්රිය ස්ථානයේ තියෙන කුඩා සංඥා පෙට්ටියෙන් දුම්රිය ස්ථානයේ සිටින දුම්රිය ස්ථානාධිපතිවරයාට දැන ගන්න පුළුවන්. 

 

 

 

 


ඉන්දක කරුණාදාස