දුම්රිය ටිකට් බුක්කර ගන්න ලොරියෙන් ගිය ‘ටිකට් කන්තෝරුව’


පාසල් නිවාඩු කාලයක එසේ නැතහොත් විවේකී අවස්ථාවල, අලුත් අවුරුද්දට වෙසක් පොසොන් සමයට විනෝද සංචාර වන්දනා ගමන්, නෑ ගමන් යාම අපේ අයගේ සිරිතයි. ක්‍රිස්තු භක්තික ජනතාවට නම් දෙසැම්බරයේ එළැඹෙන නත්තල, රට පුරා විසිර තිබෙන සුවිශේෂ දේවස්ථානවල වසරක් පාසා පැවැත් වෙන විශේෂ පුද පූජා බෞද්ධයන්ගේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය. කතරගම ඇසළ උත්සවය යන මේවා සංචාරවල යෙදෙන අවස්ථා උදාකර දේ. 


 නඩ පිටින් කෙරෙන සිරිපා වන්දනාව වැනි චාරිකාවල දී කණ්ඩායම් එකතුව ගමනේ යෙදෙන අතර ඇතැම් විට මෙවැනි චාරිකා තම තමන්ගේ පවුල්වලට, පමණක් සීමා වේ. තමන්ටම කියා වාහනයක් නොමැති උදවිය මෙම ගමන් සඳහා බොහෝ විට භාවිත කරනුයේ දුම්රියයි. චාරිකාවේ ගමන් මාර්ගය දුම්රිය මාර්ග පද්ධතියෙන් ආවරණය නොකෙරෙන ප්‍රදේශයක නම් පමණක් බස්රියෙන් ගමනේ යෙදේ. 


 බස්රථවල පිහිට පතන්නේ වැඩි වශයෙන්ම සිංහල අලුත් අවුරුදු දුර බැහැර වෙසෙන විවාහක දූ දරුවන් එසේත් නැතිනම් නෑසියන් බැලීමට යාම වෙනුවෙනි. එවැනි කාලවලදී දුරගමන් බස්රථ කොට්ටපොල් ඇසුරුවක් මෙන් මගීන්ගෙන් පිරී ඉතිරී යයි. දුම්රියත්ද එසේමය. පොසොන් සමයට අනුරපුර වන්දනාව සඳහා යන පැමිණෙන බැතිමතුන් ගේ පහසුව වෙනුවෙන් කොළඹ, ගාල්ල, මාතර ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සිට අතිරේක බස් සේවා හා දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරේ. කතරගමට, මහනුවරට, තලවිල හා මඩු දේවස්ථානවලට ද එසේ අතිරේක මගී ප්‍රවාහන සේවා සැපයේ. 
 මෙවැනි ගමන්වල දී මහ මඟ බස්රියට වඩා කෝච්චියෙන් යාමට හුදී ජනයා ඉතා කැමැතිය. මන්ද ගමන් පහසුව හේතුකර ගෙනය. ‘හිටගෙන ගියත් කෝච්චිය ගමන සැපයි.’ යන්න සමාජ ගතවී ඇත්තේ ද එහෙයිනි. දුර ගමනක දී දුම්රියක හිටගෙන ගමන් කළත් තිබහට වතුර උගුරක් බී හදිසි අවශ්‍යතාවක් ඇතිවුවහොත් වැසිකිළියට ද ගොස් මුල්ලක් අල්ලාගෙන ගමනේ යා හැකිවන අතර ඕනෑම නම් නැළවි නැළවි යන ගමනේදී කිසිවෙකුටත් කරදරයක් හිරිහැරයක් නොවන පරිදි හිටගෙනම වුවත් අතරින් පතර නිදා ගැනීමට ද හැකියාව ලැබේ. 


 සිරිපා වාරයේදී වන්දනා නඩ බොහොමයක් සිරිපා කරුණා කිරීමේ මූලික පියවර ලෙස භාවිත කරන්නේ ද දුම්රියයි. උඩරට කඳුකරයේ සිසිල විඳගෙන සොබාව ධර්මයේ මනරම් සොඳුරු දසුන් මැදින් චාරික කරන්නේ නම් ඒ ඒ සඳහා දුම්රියම තෝරාගත යුතුය. 
 කොළඹ සිට බදුල්ලට දහවලේ දුම්රිය ගමනක් යනු පාසල් යන දරු දැරියන්ට නම් අධ්‍යාපන චාරිකාවකි. මන්ද බදුල්ල දක්වා වන සැතපුම් 181.07 ක දුර ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණ කඳු කපා, හාරා ඒවා තරණය කිරීමට එදා බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් යෙදූ උපක්‍රම මහා දිග බිම් ගෙවල් දරුවන්ට පාඩම් කියා දෙන හෙයින් උඩරට දුම්රිය මාර්ගයේ ඕනැම තැනක කුමන හෝ විශේෂත්වයක් තිබේ. 


මෙවැනි විශේෂ චාරිකාවන් වෙනුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම වර්තමානයේ ඉතාමත් පහසු ඉතාමත් ලෙහෙසි කටයුත්තෙකි. තම අතේ රැඳි ජංගම දුරකථනයකින් වුවත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටම කෝච්චියෙන් යාමට ඕනෑම දවසක ඕනෑම මොහොතක ප්‍රවේශපත් වෙන්කරගත හැක්කේ නවීන තාක්ෂණයට පින්සිදු වෙන්නටය. 
 නමුත් 1950 දශකයේදීත් දුම්රිය පොළකට නොගොස් ප්‍රවේශපත් ලබාගත හැකි ක්‍රමවේදයක් ලංකාවේ ක්‍රියාත්මක වී ඇතැයි පැවැසුවහොත් එය පුදුමයට කරුණක් නොවේ ද? එය සත්‍යයකි. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙම කලින් ප්‍රවේශපත් වෙන් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාවට නංවා ඇත්තේ මහ පාරේ ගමන් කරන වාහනයක් තුළදීය. 
 දුම්රිය ස්ථානයක ප්‍රවේශ පත් වෙන් කරවාගත හැකි කාර්යාලය හැඳින් වෙනුයේ ටිකට් කන්තෝරුව නමින් ඉංගිරිසියෙන් නම් මෙය Booking Office නම් විය. මේවා තුළ සිට ප්‍රවේශපත් අලෙවි කරන නිලධාරීන් ‘බුකිං ක්ලාක්ලා’ වූහ. අද වන විට මෙම බුකිං ක්ලාක් තනතුර අහෝසිව ගොස් ඇති නමුත් ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ ක්‍රමවේදය නම් නොවෙනස්ව පවතින අතර වර්තමානයේ බුකිං ක්ලාක්වරුන්ගේ රාජකාරිය දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත පැවරී තිබේ. 
 එහෙත් මේ කියන්නට යන අනික කලින් ප්‍රවේශපත් වෙන් කිරීමේ ක්‍රියාවලිය දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව ඒකාබද්ධව යථාර්ථයක් බවට පත්කර ඇත. 


1956-60 දශකවල දී ක්‍රියාත්මක කර තිබෙන මෙම ක්‍රමවේදය සඳහා උපයෝගී කරගෙන ඇත්​තේ ජංගම ලොරි රථයකි. ඇමෙරිකාවේ නිෂ්පාදනයක් වූ ස්ටුඩි බේකර් (Stude baker) වර්ගයේ ලොරි රථයක මෙම ජංගම ටිකට් කාර්යාලය ස්ථාපිත කර තිබේ. CN 1316 වශයෙන් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙන මෙම ලොරි රථය රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ දී ජංගම ටිකට් කන්තෝරුවකට පරිවර්තනය කර ඇත. සාමාන්‍ය ලොරි බොඩිය වෙනුවට වෙනත් හැඩයකින් යුතුව මෙය බොඩි ගසා ඇති අතර මෙහි වම්පස බඳෙහි ප්‍රවේශ පත් නිකුත් කිරීමේ කවුළු 3 ක් තිබී ඇත. 
 පළමු කවුළුව පළමු හා දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර සඳහා වෙන්ව ඇති අතර අනෙක් කවුළු දෙක තෙවැනි පන්තියේ ටිකට් නිකුත් කිරීම වෙනුවෙනි. ටිකට් කවුළුවල රාජකාරි කරන නිලධාරින් නොඑසේ නම් බුකිං ක්ලාක්ලාට අමතරව, ස්ථානභාර නිලධාරියෙකු ද මෙම ජංගම රථයේ රාජකාරි සඳහා යොදවා තිබේ.
 මොවුන් සඳහා නිදාගැනීමේ පහසුකම් ද රථය තුළ තිබී ඇත. එසේම රටේ ඕනැම තැනකදී ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් හා විදුලි ජනන යන්ත්‍රයකින්ද මෙම ජංගම ටිකට් කන්තෝරුව සමන්විතව තිබී ඇත. මෙම ජනන යන්ත්‍රය මගින් රථයේ ඇතුළත පමණක් නොව එය නවතා තිබෙන ස්ථානය අවට ද විදුලියෙන් ආලෝක කරගෙන අද‌ාළ කටයුත්තේ යෙදීමට හැකියාව ලැබී තිබේ. 


මෙහි පෙර සඳහන් කලාක් මෙන් දිවයිනේ විවිධ පළාත්වල පැවැත්වෙන නොඑකුත් උත්සව, මහනුවර ඇසළ පෙරහැර තලවිල දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යය, මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය. වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය. හිනිඳුම කල්වාරියේ පැවැත්වෙන උත්සව අවස්ථාවලදී මෙන්ම පොසොන් සමයේදී අනුරාධපුරයටත් මෙම ජංගම ටිකට් කන්තෝරුව පැමිණ ඇත්තේ මෙම උත්සව සඳහා දුම්රියෙන් පැමිණෙන ජනතාවගේ පහසුව පිණිස ආපසු යාමට කරදරවීමකින් තොරව ප්‍රවේශපත් ලබා දීමටය. මඩු මංගල්‍යය වෙනුවෙන් අද ද විශේෂ දුම්රිය සේවා යෙද වේ. මෙම ජංගම ටිකට් කන්තෝරුව මගින් නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර හඳුනා ගැනීම සඳහා ඒවායේ මතුපිට VAN යනුවෙන් මුද්‍රණය කර තිබී ඇත. මෙම ජංගම ටිකට් කන්තෝරුව සැලකිය යුතු දෙපාර්තමේන්තුවලට ලැබී ඇති අතර තාක්ෂණයේ වැඩි දියුණුවක් නොතිබූ ඒ කාලයේ මෙම ක්‍රමය මගීන් අතර ද ජනප්‍රිය වී තිබේ. 


 කෙසේ වෙතත් වර්තමාන නවීන තාක්ෂණ ලෝකයක දිනෙන් දින මොහොතින් මොහොත අලුත් වන තාක්ෂණය හමුවේ අතරමං වී සිටින අපට මෙම කතාව විහිළුවක් සේ පෙනෙන නමුත් 1950 තරම් ඈත යුගයක අපේ දුම්රිය දෙපාර්තමේන්තුව මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා දීම පැසසිය යුත්තකි. මෙම ජංගම ටිකට් කන්තෝරුව ප්‍රථම වරට සේවය ආරම්භ කර ඇත්තේ 1950 ජූලි මස 20 වනද‌ාය. 


එසේම මෙහි සේවාව මුළුමනින්ම පාහේ ලබා දී ඇත්තේ කොළඹින් බැහැර ප්‍රදේශවලට බව දුම්රිය ඉතිහාසය පෙන්වා දෙයි. 
තිලක් පුෂ්පකුමාර 
ස්තූතිය - තොරතුරු ලබා දීමෙන් හා ඡායාරූපය ලබා දීමෙන් සහාය දැක්වූ නලින් අබේසිංහ මහතාට