දුටුගැමුණු රජුගේ අනභිභවනීයත්වයට මග පෑදූ ‘‘ ජය කොන්තය හා බුද්ධ යන්ත්‍රය ’’


ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. වයස අවුරුදු 16 පමණ වන විට ගැමුණු කුමරු තරමක් හිතුවක්කාරී වුවද ආක්‍රමණශීලී හා ශක්තිමත් තරුණයකුද විය. පුරාණ රජ පවුලකින් පැවතෙන කාවන්තිස්ස රජු ගැමුණු කුමරුගේ පියාය. කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය ඔහුගේ මෑණියන්ය. කාවන්තිස්ස රජුගේ හා විහාරමහා දේවියගේ පළමු පුතු ගාමිණී වන අතර දෙවැනි පුතු තිස්ස විය. 


  
ගාමිණී කුමරුගේ චරිත ස්වාභාවය පිළිබඳ අවබෝධයෙන් සිටි කාවන්තිස්ස රජු ආකුණික නායකයන් සමග සටනට නොයන ලෙස ගාමිණී කුමරුට අණකර සිටියේය. නමුත් රජුගේ අණ නොතැකූ ගාමිණී කුමරු රජ මැදුරින් පලාගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදී. ඔහු මෙයින් අදහස් කළේ තම පියා විහිළුවටත් හෑල්ලුවටත් පත් කිරීමයි. මෙහිදී පියා සහ පුතා අතර ඇතිවූ අදහස් හුවමාරුව අවසානයේ ගාමිණීට දුෂ්‍ඨ ගාමිණී හෙවත් දුටු ගැමුණු ලෙස නම පටබැඳුණි. 


රජ රට රජු බලයෙන් පහකිරීමේ අදහසින් ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සඳහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුරු ප්‍රදේශය ආක්‍රමණය කිරීමේ අදහස තම පියාට පැවසීය. රජු මෙම අදහසට ඉඩ නොදුන් බැවින් දුටුගැමුණු කුමරු තම මිතුරන් සමග මලය දේශයට පලාගියේය. 


කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු කණ්‍ඩුල නම්වූ ඇතාද තම මෑණියන් වූ විහාර මහා දේවියද තම භාරයට ගෙන තිබුණි. තම බාල සොහොයුරාවූ තිස්සගෙන් රාජ්‍ය බලය ආරක්ෂා කරගැනීමට දුටු ගැමුණු රජුට අවශ්‍ය විය. එහිදී දෙදෙනා අතර ඇතිවූ ප්‍රථම යුද්ධයෙන් දුටුගැමුණු පරාජය විය. ඔහුගේ පිරිසෙන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූහ. 


පසුව දුටුගැමුණු මහ ගමට පලාගියේය. එහිදී ඔහු නැවත වරක් සේනා සංවිධානය කර තිස්සට එරෙහිව යුද්ධ කළේය. මෙම අවස්ථාවේ ඔහු ජය ගත්තේය. එවිට තිස්ස පලාගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොද‌ා ගෙනය. 


මෙම සිද්ධියෙන් ටික කාලෙකට පසුව විහාර මහා දේවියගේ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු දුටුගැමුණුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත් විය. 


තමාගේ අාරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසු දුටුගැමුණු රජු රජ රට ආක්‍රමණය කිරීමට සැලසුම් කළේය. මෙයට රජ රට පමණක් නොව මුළු උතුරු ප්‍රදේශයම අයත් විය. මෙහිදී අවශ්‍ය සේනාව එකතු කර ගැනීමේදී තම පියාණන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කැඳවා පුහුණු කළ නන්දිමිත්‍ර, සුරනිමල, මහා සෝන, ථෙරපුත්ථාභය, ගෝඨාභය, භරණ, වසභ, වේලුසුමන, ගෝඨයිම්බර හා ඵුස්සදේව නම්වූ දස මහා යෝධයෝද එක්වූහ. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා සර්වඥධාතු අඩංගු ජය කොන්තය නම්වූ හෙල්ලයක්ද ගෙන යන ලදී. 


ජය කොන්තය දුටුගැමුණු රජතුමා තමන් යන සෑම තැනකම රැගෙන යාමට පුරුදුව සිටි බව පැවසේ. මෙය සර්වඥ ධාතු ඇතුළත් කර සාදන ලද හෙල්ලයක් වැනි වස්තුවකි. එතුමා භාවනාවේ යෙදෙන අවස්ථාවල මෙම කොන්තය තමන් ඉදිරියෙන් සිටුවා භාවනා කර ඇත. 


ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජතුමා තම අන්තඃපුර බිසවුන් සමග දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම මෙම කොන්තය වැව් වෙරළේ සිටුවා ඇත. ආපසු මාළිගාවට යාමට සූදානම්වී කොන්තය ආපසු ගැනීමට උත්සාහ කළ නමුත් රජුට හෝ එතැන සිටි කිසිවකුට එය ආපසු ගලවා ගැනීමට නොහැකි විය. මෙය සුවිශේෂී සිද්ධියක් ලෙස සලකා එම ​කොන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියමකරන ලදී. 


රජ රට ආක්‍රමණ යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු රජ විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් පරාජය කරනු ලැබිණ. මෙම කාලයේදී රජු ගැමි ප්‍රධානියකුගේ දියණියක වූ රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ සිටි එළාර රජුට තුටු පඬුරු යවමින් සිටි කෙනෙකි. දුටුගැමුණු රජුගේ උපායශීලී බවත් කණ්ඩුල හස්තියාගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට හේතු විය. 


යුද්ධය උච්ච අවස්ථාවට පැමිණියේ අනුරාධපුරයේ නැගෙනහිර දොරටුවේදීය. එහිදී කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු, මහාපබ්බත නම් ඇතු අරා සිටි මහලු එළාර සමග සටන් කර අවසානයේ හෙල්ලයකින් ඇන එළාර ජීවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම්වලින් එකකි. එළාර චෝල අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්තිගරුක හා ධාර්මික රජෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබිණ. එබැවින් දුටුගැමුණු රජු මියගිය එළාර රජුට පූජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආද‌ාහනය කර සොහොන් කොතක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. 


දුටුගැමුණු රජතුමා හා ඔහුගේ පුතා අතර තිබුණු භේදයද සැලකිය යුතු කරුණකි. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිය රාජකුමරු අශෝකමාලා දේවි නොහොත් අශෝකමාලා නම් රොඩී කුලයේ තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යැයි සලකන රොඩී කුලයේ තරුණියකි. සාලිය කුමරු ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුනද ප්‍රතික්ෂේප කළේය. රජු හා පුතා අතර ඉන් පසු සිදුවූ සමගියක් ගැන මහාවංශයේ සඳහන් නොවෙතත් ජන කතාවල කියැවෙන්නේ රජතුමාගේ ආශිර්වාදය දෙදෙනාට ලැබුණු බවයි. 


අනුරාධපුරය අලංකාර මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරීමට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුණ මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකළ පළවෙනි නිර්මාණය මිරිසවැටියයි. ලෝවාමහාපාය නම්වූ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුණු ලැගුම්ගෙයද රුවන්වැලි සෑයද අග්‍රගණ්‍ය නිර්මාණයන්ය. එසේම ස්වර්ණමාලි ද‌ාගැබ සහ රත්නමාලි මහා ද‌ාගැබ වැනි ද‌ාගැබ් හා මහාස්තූප, ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් කර්මාන්තය අතින් පළමු ස්ථානයට පත්ව ඇත. 


රුවන්වැලි සෑය ඉදිකරමින් සිටියදී දුටුගැමුණු රජතුමා රෝගාතුර විය. නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වූ ද‌ාගැබට වන්දනා කර තම අවසන් හුස්ම හෙළීමයි. මේ බව දන්නා රජුගේ සොයුරු සද්ධාතිස්ස රජතුමා ගොඩනගමින් සිටි ද‌ාගැබ සුදු රෙදිවලින් වටකර වැඩ නිමකරන ලද අලංකාර රුවන්වැලි සෑය ද‌ාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලදී. 


සත්‍ය වශයෙන්ම මෙය තමා නිර්මාණය කරන ලද රුවන්වැලි සෑය ද‌ාගැබ යැයි සිතූ රජු සුදු පැහැයෙන් බබළන ද‌ාගැබ දෙස බලාගෙනම එයට වඳිමින්ම තම අවසන් හුස්ම පොද වාතලයට මුද‌ා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකු ලෙස ඉපදුණි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිමවා රුවන්වැලි සෑය ද‌ාගැබ වන්දනාමානයට පූජා කරන ලදී. අවසානයේදී සද්ධාතිස්ස රජතුමාද තුසිත දෙව්ලොවම ඉපදූ බව සඳහන් වෙයි. 
ජයේන්ද්‍ර රාජ බුද්ධ යන්ත්‍රය 


දුටුගැමුණු රජතුමා තමන්ගේ ආරක්ෂාවට, අරමුණු ජය ගැනීමට හා අධිෂ්ඨානය බිඳ නොවැටීමේ මහා බලයක් ඇති බුද්ධ මන්ත්‍ර දෙකක් භාවිත කර ඇත. එතුමා යුද්ධ භූමියට පිවිසෙන අවස්ථාවලදී එය සුරයක් ලෙස දකුණු බාහුවේ උඩු කොටසේ පැලඳගෙන ගියේය. එහි ආකෘතිය මෙහි දැක්වේ. 


මෙය කපා රාමුකර ඔබගේ නිවසේ ව්‍යාපාරයේ හෝ වාහනයේ එල්ලා තබන්න. උදේ හවස සුවඳ ධූපයකින් දුම් අල්ලන්න. 


මෙය ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරයේ එල්ලා තැබීමෙන් භූමි දෝෂ අනවින දෝෂ, අමනුෂ්‍ය දෝෂ හා ඇස්වහ කටවහ දෝෂ දුරු වී සෞභාග්‍යය උද‌ාවේ. මෙය තඹ තහඩුවක ඇඳ ජීවම්කර සුරයක දමා කරේ පැලඳීමෙන් ග්‍රහ අපල දුරු වේ. නඩු හබවලින් ජය ලැබේ. සතුරු බලවේග දුරු වේ. තරග විභාගාදියෙන් ජය ලැබේ. පවුල් අසමගිකම් සමනය වේ. විවාහ දරුඵල හෝ ඔබ ඉටු කර ගැනීමට වෙරදරන වෙනත් අපේක්ෂාවන් ඉටුකර ගැනීමට මග පෑදෙනු ඇත. 


මල් බුලත් තටුවේ තබා තුනුරුවන් වැඳ ආකෘතියේ සඳහන් ආකාරයට කවය තුළ ඇති ගාථාවෙන් 334 වාරයක් ජීවම් කරගන්න. ඉන්පසු බුද්ධෝ තිලෝක සරණෝ ගාථාවෙන් 1108 වාරයක් ජීවම් කරගන්න. කිළි කුණු ආදියට හසුවුවත් බලය නොනැසී පැවතීම මෙම යන්ත්‍රයේ ඇති අග්‍රගණ්‍ය විශේෂත්වයයි. (යන්ත්‍රය පිළිබඳ විස්තර ලිවීමේදී විජිත කුමාර කපු මහතාගේ ගුරු උපදේශද මහෝපකාරී විය) 

 

 


ප්‍රසන්ජන සිල්වා 
ජ්‍යෙතිර්වේදී පාරම්පරික වෛද්‍ය 
වෙද ගෙදර 
අංක 19, මිනුවන්පිටිය පාර, පානදුර.