තුන් කුළුඳුල් දරුවා සොයා ආ කළු යක්ෂයා


 

හිම වැටෙන සුන්දර නත්තල උදාවෙමින් තිබියදී බණ්ඩාරගම ප්‍රදේශයේ එක් ගමක සිදු වූ අපූරු සිදුවීමක් මෙම කතාවට පාදකකොට ගැනේ. රංග අවුරුදු විසි හයක් වයසැති තරුණයෙකි. රංගට ඇති තරම් දේපළ තිබේ. අම්මාටත් තාත්තාටත් රංග හැර වෙනත් දරුවකු නොවීය. එකම දරුවා වන රංගට කිසිදු අඩුපාඩුවක් නොතැබීමට මාපියෝ කටයුතු කළෝය. රංගව විවාහ කරදීමට සුදුසු කාලය නිසා මාපියෝ සුදුසු තැනකින් කටයුත්තක් බැලූහ.   


විසිදෙහැවිරිදි වියේ පසුවන නයෝමි ගැන දැනගැනීමට ලැබුණු රංගගේ මාපියෝ ඇය බැලීමට දිනයක් යොදා ගත්හ. රංගගේ අම්මා හා තාත්තාත් ඥාතිවරයෙකුත් රංග කැටුව ගියේ එහා ගමේ ජීවත්වන නයෝමිගේ නිවසටය. නයෝමිගේ අම්මා වසර පහකට පෙර මියගිය අතර, පවුලේ සිටියේ තාත්තාත් සහෝදරයාත් පමණකි. නයෝමිට ද ආර්ථිකයෙන් කිසිදු අඩුපාඩුවක් නොවීය. රංගට සේම නයෝමිට ද රැකියාවකට යාමට අවශ්‍යතාවක් නොවීය.   


නයෝමි රෝස පැහැති ඔසරියකින් සැරසී රංග ඉදිරියට පැමිණියේය. පියකරු ළඳක් වූ නයෝමි ඇත්තෙන්ම නිහතමානී තරුණියක වූවාය. රංගගේ මව්පියෝ නයෝමිට කැමැති වූහ. රංගගේද සිත් ගත් නයෝමි ටික කලකින්ම ඔහුගේ බිරිඳ වූවාය. නයෝමි රංගගේ මහගෙදර පදිංචියට පැමිණියාය. රංගගේ මාපියෝ නයෝමිට බොහෝ ආදරයෙන් සැලකූහ. ඔවුන්ට නයෝමි ලේලියක නොව තමන් බිහිකළ දරුවකු සේ විය. පවුලේ සතුට, සමගිය පිරී ඉතිරී ගියේ එලෙසය. ඒ නිවස, කැදැල්ල සුන්දර වූ කැදැල්ලක් කිරීමට දෙදෙනාම සිහින මැවුහ.   


වසර තුනක් ගතවීත් නයෝමිට දරුවකු පිළිසිඳ ගත්තේ නැත. නයෝමි බොහෝ සේ දුකට පත් විය. රංගට ද එය දුකක් වුවද ඔහු බිරිඳව සැනසුවේ “අපිට දරුවෙක් ලැබෙයි” කියමිනි. තම ලේලියට දරුවකු ලැබෙන්නේ නැත්තේ ඇයි දැයි යන්න රංගගේ මාපියන්ට ගැටලුවක් වූයේ නැත. ඔවුන් කීවේ “කල් ගිහින් හරි දරුවකු ලැබෙයි පුතේ. අපිත් හරි ආසයි මුනුපුරෙකුගේ මුහුණ බලන්න” කියාය. වෙන පවුල්වල ලේලිට දරුවකු ලැබීමට පරක්කු වුවහොත් නොයෙකුත් කතන්දර කියා ඇය හිරිහැරයට පත්කරවන වැඩිහිටියන් සිටින රටක තමන්ට ලැබී ඇත්තේ දෙවිවරුන් වැනි නැන්දම්මා සහ මාමා කෙනෙකු බව නිරන්තරයෙන්ම සිහි කරන නයෝමි දරුවකු ලැබීමට ප්‍රමාද වීම ගැන තැවුණාය.   
නැගණිය විවාහ වී සැමියාගේ නිවසේ පදිංචියට ගිය පසු තමන් ඇය බැලීමට ගියේ කලාතුරකින් දවසක් දෙකක් බව නයෝමිගේ සොහොයුරාට සිහිවිය. “තාත්තේ අපි නංගි බලන්න යමු නේද හෙට” ඔහු ඇසුවේය.   


“හ්ම්.. ඒක තමයි මාත් මේ කල්පනා කර කර හිටියේ. අපි එහෙනම් හෙට උදෙන්ම යමු පුතේ. කෙල්ලට මොනාහරි අරගෙන යන්න ඕනෙ”   


තාත්තා සහ අයියා දැකගත් නයෝමිට ඉහිලුම් නැති සතුටක් දැනුණි. “තාත්තේ... අයියේ අනේ එන්න ඇතුළට. ඉන්න මං රංගට කතා කරන්නම්” නයෝමි ඉහවහා ගිය සතුටින් ගේ තුළට දිවගියේ රංග සොයාය. “ආ තාත්තේ එන්න එන්න” රංග නයෝමි සමඟ සිනාසීගෙනම ඉදිරියට පැමිණ මාමණ්ඩිය හා මස්සිනා පිළිගත්තේ සතුටිනි. “ටික දිනක් ඉඳලාම යන්න නේද ආවේ මේපාර” රංග ඇසුවේ නයෝමිගේ අයියා දෙස බලාය. “අපි දවස් දෙකක් විතර ඉඳලා යන්නම්කො. ඉන්න බලාගෙන ආ ගමනක් නෙමෙයි. චුට්ටිව දැක්කෙත් නෑනෙ ගොඩක් දවසකින්. ගේ එක්කම පාළුවට ගිහින් මෙයා නැතුව” අයියා චුට්ටි යනුවෙන් ඇමතුවේ නයෝමිටය. ගෙදරදී නැගණියට ඔහු කතා කරන්නේ ‘චුට්ටි’ කියාය. සියල්ලෝ ඉතාම සතුටින් දින දෙකක් පමණ ගත කළහ. පසුදින උදේම නයෝමිගේ තාත්තාත් අයියාත් පිටත් විය.   


ටික කාලයක සිට ගමේ කවුරුත් රංගටවත් නයෝමිටවත් මුහුණ දී කතා කළේ නැත. ඔවුන්ට දරුවන් නැති නිසා ගමේ කවුරුත් සුබ දෙයකට ඔවුන්ව කැඳවූයේ නැත. දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් උදේ පාන්දර මුලින්ම මුලිච්චි වෙනවාට පවා කවුරුත් කැමැති වූයේ නැත්තේ දරුවන් නැති ඔවුන් දැකීම අසුභ දෙයක් බව සිතමිනි. සමහරු වටින් ගොඩින් එය කියාපෑහ. එය රංගවත් නයෝමිවත් ඔවුන්ගේ පවුල් ජීවිතයට බාධාවක් කර නොගත්හ. ඔවුන් වෙනදා සේම සතුටින් ජීවත් වූහ.   


කවුරුන් හෝ එය නයෝමිගේ දොසක් බව කී විට රංග ඇය ආරක්ෂා කළේ එහෙම දොසක් ඇයට නැති බව කියමිනි. රංග ගැන අයෙක් වැරදියට කතා කළොත් නයෝමිද එලෙස පවසයි. මේ අතර රංගටත් නයෝමිටත් අපූරු අදහසක් සිතට නැඟුණි. එහෙත් ඔවුනොවුන් එය දෙදෙනාටම දැනගැනීමට සැලසුවේ නැත. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට තරම් කාලයක් නොවූයේය. රංගගේ තාත්තා හිටිහැටියේම අසනීප වී ගියේය. ඊට මාස හයකට පමණ පසු රංගගේ මව ද හිටිහැටියේම අසනීප වී මියගියේ කිසිවකුත් නොසිතූ අයුරකිනි. තාත්තා හා අම්මා හෘදයාබාධවලින් මියයාමත් සමඟම රංගගේ මානසිකත්වය වෙනස් විය. නයෝමිද සිටියේ කිසිවක්ම සිතාගැනීමට නොහැකිවය.   


මව්පියන්ගේ අභාවයෙන් මාස කීපයක්ම ගතවිය. මේ අතර දිනක් නයෝමි කෑ ගැසුවේ මහා හයියෙන් බෙරිහන් දෙමිනි.   


“අයියෝ කළු යක්ෂණිය එනවා. කළු යක්ෂණිය එනවා. මගෙන් තුන් කුලුඳුල් බිල්ලක් ඉල්ලනවා. අනේ මාව බේරගන්න” මේ අතර රංගටද කළු යක්ෂයා කරදර කළේය. “අනේ මාව බේරගන්න. මගෙන් තුන් කුලුඳුල් බිල්ලක් ඉල්ලනවා. කළු යක්ෂයා මට ඉන්න දෙන්නෑ. මාව මරයි” කියමින් රංගද එහෙ මෙහෙ දුවන්නට පටන් ගත්තේය. සැමියාටත් බිරිඳටත් එකවරම කළු යකා වැහිච්ච එක නිසා ගම්මු සිතුවේ ඔවුන්ට දරුවන් නැත්තේ මේ අමනුස්ස බලපෑම නිසා බවයි. සමහරුන් “පව්” කීවේය. සමහරුන් “ඒක තමයි මේ දෙන්නට දරුවො නැත්තේ” කීය. එක්වරම “අනේ මාව වෙව්ලනවා. කැරකෙනවා” කියා නයෝමි ඇද වැටෙන විට රංග ද ඇද වැටෙන්නේ “අයියෝ මගේ ඔළුව කැරකෙනවා” කියමිනි.   
දෙදෙනාව රෝහලට රැගෙන ගියත් වෙව්ලීම හෝ කරකැවිල්ල නැති වූයේ නැත. කළු යකා ද ඔවුන් දෙදෙනාව හැරගියේ නැත. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලිතොවිල් කොතෙක් කළද කිසිවකින් හෝ පලක් නොවීය. ටික දිනක් හොඳින් සිටියත් නැවත කළු යකා රංගව සොයා එයි. නැවත නයෝමිව සොයා එයි. ආතභූත කරයි.   


තුන් කුලුඳුල් බිල්ලට ගන්නේ පියා එම පවුලේ වැඩිමලා විය යුතුය. මව ද එම පවුලේ වැඩිමලා විය යුතුය. ඔවුන්ට දාව උපන් දුව හෝ පුතා තුන් කුලුඳුල් බිල්ලට ඉතා අගනේය. යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයන්ට බිල්ලට දෙන්නටද, නිදන් ගන්නට බිල්ලට දෙන්නට ගන්නේද එවැනි දුවක හෝ පුතකු පමණි. මේ බව දන්නා ගම්මු ගමේ සිටින තුන් කුලුඳුල් තරුණයින් හා තරුණියන් ගමෙන් පිටමං කළේ තුන් කුලුඳුල් බිල්ලක් ඉල්ලා පැමිණි කළු යකා තම දූ දරුවන්ව බිල්ලට ගනීවි යන බියෙනි.   


මිනිසුන් හෝ සතුන් ඝාතනය කර යක්ෂයන්ට, පිශාචයන්ට බහිරවයන්ට බිලි පූජා පවත්වන ඇදහීම්ද ලංකාවේද විවිධ රටවලද මේ වන විටත් ක්‍රියාත්මකයි. සාමූහිකව එක්රැස් වී සියදිවි නසා ගැනීම දේව පූජාවක් වශයෙන් සලකන ඇදහීම්ද තිබෙන බැවිනි. සත්ත්වයන් දහස් ගණනින් ඝාතනය කර බිලි පූජා පවත්වන ඇදහීම්ද දැකිය හැකිය.   


අප දන්නා පරිදි ශිෂ්ට ලෝකයා විසින් මෙබඳු ඇදහීම් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබනවා පමණක් නොව තදබල පිළිකුලකටද භාජන කෙරෙයි. ලෝකයේ දියුණු රටවල නම් මෙබඳු පාපතරයන් අල්ලා සිරගත කරනු ලැබේ. එසේ කිරීමට පමා වූ හෝ අසමත් වූ හෝ අවස්ථාවල ලෝකයේ බොහෝ රටවල සමාජ ඒවාට වන්දි ගෙවා ඇත්තේ අහිංසක ජීවිත සිය ගණනකිනි.   


සත්තකින්ම ලෝකයේ කිසිදු ප්‍රධාන ආගමකට, කිසිදු සම්බන්ධයක් නැති මෙම මිථ්‍යා ඇදහීම් ලෝකයේ ප්‍රචලිතව පවතින්නේ අනාදිමත් කාලයක සිටය. දෙවිවරුන් සහ යක්ෂයන් වෙනුවෙන් සතුන් මරා බිලි පූජා පැවැත්වීම මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තෙක්ම පැරැණිය. මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේද සතුන් මරා චිත්තරාජ - කාලවේල වැනි යකුන් පිදූ සමාජයක් පැවැති බවට ඓතිහාසික වාර්තා දැකිය හැකිය. එහෙත් මහින්දාගමනයට පසු ලංකාව සත්ත්ව බිලි පූජා තරයේ ප්‍රතික්ෂේප කළ සහ පිළිකුල් කළ ඉතාම උතුම් ගණයේ සමාජයකට හිමිකම් කියන්නක් වූයේය. නමුත් අදටද ලංකාවේ බිලි පූජාවන් පිළිබඳව අසන්නට දකින්ට හැකිය.   


අප අද ජීවත්වන වර්තමාන ශ්‍රී ලංකාවද අයත් වන්නේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට දායාද කරනු ලැබූ ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතියටය. එහි ජනතාව සේම නායකයෝද සත්ත්ව හිංසාව පිටුදකිති. සත්ත්ව බිලි පූජා මහා පාප කර්ම සේ සලකති. ශිෂ්ට ලෝකයා කවුරුනුත් විසින් හෙළාදකිනු ලබන සත්ත්ව බිලි පූජා වැනි තිරශ්චීන වතාවත්වලට හැර වෙනත් කිසිදු ඇදහිල්ලකටවත් වතාවකටවත් මේ රටේ ජනතාව තම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ නැත. අප දන්නා පරිදි, උගත් බුද්ධිමත් විනයගරුක, ශිෂ්ට සමාජයක ප්‍රසිද්ධියේ සිදුවන අශිෂ්ට කාරණාවක් පිළිබඳ ප්‍රශ්නයක් පමණි. බිලි පූජා නාමයෙන් සිදුවන අමානුෂික සත්ත්ව වද හිංසාව පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය මෙය බොරුවකි මුළාවූවකි. වැරදි දෙයකි.   


මේ රටේ සමස්ත මනුෂ්‍ය සමාජයත්, මනුෂ්‍ය ශිෂ්ටචාරයත්,මනුෂ්‍ය සංස්කෘතියත් වටහා ගනිමින් මෙම සත්ත්ව ඝාතන සතුන් මරා දැමීමේ සංස්කෘතිය අපේ රටෙන් පමණක් නොව සමස්ත ලෝක සමාජයෙන්ම ඉවත් කළ යුතුව ඇත. සත්ව ඝාතනය මගින් තමාගේ ජීවිතයේ අනාගත ප්‍රාර්ථනා ඉටු කර ගැනීමද සිදුකරති. ඒ අතර, නිදන් වස්තු ගැනීම අනවින කොඩිවින කැපීම ආදි දේ සඳහා මිනිසුන් අයත් වන්නේ ඉතිහාසයේ පැරණිතම වූත් අඳුරුතම වූත් යුගයකට මිස වර්තමානයට නොවේ. විසල් නුවණක් ඇති මිනිසුන් මෙය වටහාගත යුතුව ඇත.   


කුලුඳුල් දරු උපතක් යනු විවාපත් යුවළකට පළමුව ලැබෙන දරුවා හෝ දැරියයි. කුලුඳුලේ උපන් එවන් දරුවෙකු හා දැරියක යොවුන් වියට එළඹි පසුව ඔවුනොවුන් විවාපත් වනවා නම් එය එදා ජන සමාජය තරයේ ප්‍රතික්​ෙෂ්ප වූවකි. එදා තරමටම නොවුවද අද පවා පවුල් දෙකක කුලුඳුලේ උපන් තරුණයෙකු හා තරුණියක විවාහ වීම නුසුදුසුය යන්න සහමුලින්ම බැහැර වී නැත.   


සත්තකින්ම, මෙම මතයට හේතු වී ඇත්තේ ගතානුගතිකව සමාජගත වූවකි. ඊට මුල් වී ඇත්තේ තුන් කුලුඳුල් දරු උපතක් සම්බන්ධයෙන් ඈත අතීතයේ පටන් පවතින භීතිකාවකි. බැහැර කළ නොහැකි ආකාරයෙන් අදටත් සමාජගතව ඇති මෙම තුන්කුලුඳුල් කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න විමසා බැලිය යුතුව තිබේ. එය සත්තකින්ම බියකරු වුවක්ද නැද්ද යන්න මේ සටහන කියවු පසුව දැනගත හැකිය.   


තුන්කුලුඳුල් කතාව ආකාර කිහිපයකින්ම පෙන්වාදිය හැකිය. ඉන් බොහෝ අය දන්නා ආකාරයට තුන්කුලුඳුල්ය යනු පවුලක කුළුඳුල් තරුණයෙකු තවත් පවුලක කුලුඳුල් තරුණියක හා විවාහ වූ පසුව ඒ යුවළට උපදින පළමු නැත්නම් කුළුඳුල් දරුවා තුන්කුලුඳුල්ය යන කතාවයි.   


මේ ආකාරයට තුන්කුලුඳුල් දරු උපත් එතරම් දුර්ලභ සිදුවීම් නොවේ. එහෙත්, තුන්කුලුඳුල්ය යන්න විග්‍රහ වන තවත් ආකාරයත් කලාතුරකින් සිදුවිය හැකි දුර්ලභ අවස්ථාවකි. තුන්කුළුඳුල් කතාවේ දෙවන විග්‍රහයට අනුව යම් විවාහපේක්ෂිත තරුණයෙක් හා තරුණියක එම පවුල් දෙකෙහි කුලුඳුල් දරුවෝ විය යුතුය. ඊට අමතරව තරුණයාගේ මවත් පියාත් තරුණියගේ මවත් පියාත් යන හතර දෙනාම ඒ ඒ පවුල්වල මුලින්ම උපන් දරුවන් නැතිනම් කුලුඳුලේ උපන් අය විය යුතුය. තුන්කුලුඳුල් දරුවා ලෙස මෙහිදී විග්‍රහ වන්නේ විවාහපේක්ෂිත එම තරුණයා හා තරුණිය විවාහ වූ පසුව ඔවුන් දෙපළට ලැබෙන පළමු දරුවායි.   


තුන්කුලුඳුල් දරුවන් සම්බන්ධයෙන් පවතින බියට හේතුව මිහි ගැබ තුළ නිදන් කොට ඇති රන් රිදී ආදි වටිනා දේ ලබා ගැනීමට බිලි පූජා වශයෙන් එවන් තුන්කුලුඳුල් දරුවන් බිලි දෙනවාය යන මතයයි. කුලුඳුල් තරුණයෙකු හා තරුණියක විවාපත් වූ පසුව ඒ දෙපළට පළමුව ලැබෙන දරුවා තුන්කුලුඳුල් වන බවත් එවන් දරුවන් පැහැරගෙන ගොස් ගෙල කපා බිලි පූජා පවත්වන බවටත් අතීත සමාජය තුළ මුල් බැස පැවති විශ්වාසයකි. මේ නිසාම පවුල් දෙකක වැඩිමහල් තරුණයෙකුගේ හා තරුණියකගේ විවාහ නුසුදුසු ලෙස බැහැර කිරීමක් පැවතියේ තුන්කුලුඳුල් දරු උපතක් වැළැක්වීමටය.   


තුන්කුලුඳුල් දරු උපත් සම්බන්ධයෙන් එදා පැවති ඒ බියට හේතුවද එවන් සිදුවීම් ඈත අතීතයේ සිදුව තිබීමය. ඒ ආකාරයට ඉතා අපහසුවෙන් තුන්කුලුඳුල් දරුවකු සොයාගෙන බිලි පූජා පැවැත් වූ කිසිවෙකු ලබාගත් ධන නිධානයක් නැති වුවද සිදු කර ගත් පාප කර්මය නම් ආත්ම ගණනාවකට ගෙවා නිම කළ නොහැකි වන්නකි.   


එහෙත්, නවීන තාක්ෂණයෙන් දියුණු අද සමාජයේ එවන් දේ සිදුවනවා නම් එතැන්හිදී යන්ත්‍ර මන්ත්‍ර වෙනුවට භාවිතා වන්නේ යන්ත්‍ර සූත්‍රයි. යන්ත්‍රසූත්‍ර මගින් සිදු කරන කටයුතු සඳහා බිලි පූජා, බහිරව පූජා හෝ ආරක්ෂක විධි අවශ්‍ය වන්නේ නැත. ඒ නිසාම නිදන් වස්තු ලබාගැනීමට යැයි තුන්කුලුඳුල් පුද පූජාවන්හි අවශ්‍යතාවයක්ද නැත. එහෙයින් තුන් කුලුඳුල් දරු උපතක් සිදුවීම අද සමාජයේ බියවීමට කාරණයක් වන්නේ නැත.   


ඉතිං මේ ආකාරයට කුළුඳුල් දරුවන් වී ඉපදීමේ පවින් ආදරයෙන් බැඳුණු පෙම්වතුන් යුවළකට විවාහය තහංචි වීම අදට කාලෝචිත දැයි සිතිය යුතුව තිබේ. තුන් කුළුඳුල් විවාහ සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය කුමක්ද යන්න දැකිය හැකිය.   


තුන්කුලුඳුලේ උපන් තරුණයෙකුගේ හා තරුණියකගේ විවාහයට එදා වැඩිහිටියෝ තහංචි පැනවූවද නෑනා මස්සිනා විවාහය හිස්මුදුනින් පිළිගත්හ. ලේ ඥාතීන් අතර විවාහ සේ සලකන මෙම නෑනා මස්සිනා අතර විවාහය වෛද්‍ය විද්‍යානුකූලව සුදුසු යැයි පිළිගැනීමක් නැත. ඒ ඔවුන්ගේ පරම්පරාවල ජානමය බලපෑම හේතුවෙන් උපදින දරුවන් කායිකව හා මානසිකව ගැටලු සහිත වීමට ඇති වැඩි හැකියාවයි. තුන්කුලුඳුල් විවාහ සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යානුකූල මතය නම් ඔවුනොවුන් ලේ ඥාතීන් නොවනවා නම් තුන්කුලුඳුල් බව විවාහයට ගැටලුවක් නොවන බවය. 

 
නොයෙක් යාගහෝම මිථ්‍යා විශ්වාස පැවති අතීත යුගයේ මෙන් නොව අද අප ජීවත් වන්නේ ඉතා සංකීර්ණ සමාජයකය. අදටත් නොනැසී පවතින මෙම තුන්කුලුඳුල් කතාව දකුණු ඉන්දීය වෛදිකයින්ගෙන් පැමිණ සිංහල බෞද්ධ අපේ සංස්කෘතිය තුළ පමණක් ඉතිරි වූ හුදු මිථ්‍යාවකි. බොරුවකි. නොදන්නා දෙයක් වැරදි දෙයක් සමාජගත වී ඇති සෙයක් දැකිය හැකිය.   


රංග හා නයෝමිව සොයා ආ කළු යකාව එලවා දමන්නට රංගගේත් නයෝමිගේත් නෑදෑයෝ කොපමණ උත්සාහ දැරුවද එමගින් කිසිදු සහනයක් ලැබුණේ නැති නිසා ඔවුහු එයට පිළියමක් සොයා ගැනීමට වෙහෙස වූහ. ගමක්ම බිය ගන්වන කළු යකා සම්බන්ධ මෙම සිද්ධිය මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාටද දැනගැනීමට ලැබුණි. වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම මෙම සිදුවීමට සම්බන්ධ රංග හා නයෝමි සොයා බණ්ඩාරගම ප්‍රදේශයේ එම ගම්මානයට පිවිසියහ. ගම්මුන්ගෙන් සියලු සිදුවීම් එකින් එක වෛද්‍යවරයා අසා දැනගත්තේය. මුළු ගමක්ම බිය ගන්වන කළු යකාව එළවන්නට විද්‍යාකුලපති මහතා භාරගත්තේය.   


නයෝමි හා රංගගේ නිවසට පිවිසි වෛද්‍යවරයා නයෝමිව හා රංගව වෙන වෙනම ගෙන කරුණු අසා දැනගත්තේය.

   
“අම්මයි තාත්තයි අපේ දරුවෙක් බලන්න ආසාවෙන් හිටියේ. ඒත් ඒ ආසාව ඉෂ්ට කරලා දෙන්න අපිට බැරිවුණා. ඒ දෙන්නා අපි දෙන්නට හරිම ආදරෙන් හිටියේ. ඒ නිසා මට තාත්තා වැහුණා” රංග එසේ කීවේය. “මට අම්මා වැහුණා” නයෝමි කීවේ මියගිය රංගගේ මව ගැනය. වෛද්‍යවරයා මුලින්ම රංගව මෝහන නිද්‍රාවට පත් කළේය.   


“මම හිතුවේ තාත්තා අපේ දරුවෙක් වෙලා ඉපදෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ” රංග මෝහන නිද්‍රාවේදී පැවසුවේය. “මම හිතුවේ අම්මා අපේ දරුවෙක් වෙලා ඉපදෙයි කියලා. ඒ බලාපොරොත්තුව ඉටු වුණේ නෑ. ඒ නිසා අපේ දුක නැති වුණේ නෑ. මට මොනවා වෙනවද කියලා මමවත් දන්නෙ නෑ. අපි දෙන්නා කරන කියන දේවල් මොනවද කියලා අපිටවත් හිතාගන්න බැරිවුණා. අපි හිතුවේ කළු යක්ෂයයි කළු යක්ෂණියයි එහෙම කරනවා කියලයි. ගම්මු අපිට වඳ මිනිහා වඳ ගෑනි කියලා කියනවා. ඒකට අපි කැමති නෑ. ඒ නිසා මම කළු යක්ෂණී වැහුණු විධියට හැසිරුණා.” මෝහන නිද්‍රාවේදී නයෝමි පැවසුවේ එලෙසය. 

 
රංගද මෝහන නිද්‍රාවේදී පැවසුවේ “අපිට ගම්මු නින්දා කරන්නෙ නෑ ආයෙත් වඳ ගෑනි වඳ මිනිහා කියලා. ඒ නිසා මම කළු යක්ෂයා වැහුණු විධියට රඟපෑවා” යනුවෙනි. වෛද්‍යවරයා ඔවුන් දෙදෙනාට සියලු කරුණුවල සත්‍යතාව පැහැදිලි කරදුන්නේය.   


දැන් සියල්ල පැහැදිලිය. මෙය යකෙක් හෝ ප්‍රේතයකු කළ දෙයක් නොව, ගම්මුන්ගේ අනුකම්පාව දිනා ගැනීමටත් ඇනුම්පද වලින් බේරීමටත් නයෝමි හා රංග කළ ක්‍රියාවන්ය. අම්මා හා තාත්තා මියයාමෙන් අනතුරුව තම කුසේ ඔවුන් දරුවකු වී ඉපදේවි යැයි සිතුවත් එයද ඉටු නොවීම නිසා දෙදෙනාට ඇති වූ මානසිකත්වයෙන් ද ගම්මුන්ගේ අවමානවලින් ද බේරීමට කළ ක්‍රියාවන්ය.   


මෙයින් මාස කීපයක් ගත විය. සඳ පායා ඇති පොහෝ දින කීපයක්ම ගෙවුණි. නයෝමි හා රංග තම කිරිකැටියාට අහස් කුසේ සිනාසී බලා සිටින හඳ මාමා පෙන්වමින් සතුට බෙදා ගත්හ. සීතල නත්තලේ පිනිමුවන් බැඳි කරත්තයෙන් නත්තල් සීයා මෙවර ද නයෝමී හා රංගගේ පුතු සොයා නත්තල් තෑගි මල්ලක් රැගෙන එන දිනය උදා වී තිබිණි.   

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර සත්‍ය සිදුවීමකි.)   

 


සටහන: 
හබරාදුව නිමල් අල්ගෙවත්ත