ගැහැණු වැසිකිළියට රිංගන මිහිපිට පෙරේතයා


 

ප්‍රේතයෝ මෙන්ම භූතයෝ, කුම්භාණ්ඩයෝ, යක්කු එදා පමණක් නොව අදද මිහිමත සිටිති. 


​ෙනාපෙනෙන කොටසකට අයත් යැයි සැලකූ සමහර දේ අද පෙනෙන්නටම තිබේ. ‘අමනුස්සයින්’ හෝ ‘නොපෙනෙන බලවේග’ ලෙස හැඳින්වූ නමුත් අද මනුෂ්‍යයින් ද ප්‍රේතයින්, කුම්භාණ්ඩයින් මෙන් ක්‍රියා කරන බව දැක ගන්නට ලැබෙන අවස්ථා බොහෝය. ඇතැම් අය ​මේවා මිත්‍යා විශ්වාස ලෙස පිළිගත්ත ද ඇතැමීහු තවමත් මෙම මත තුළම එල්බ ගෙන සිටිති. 


අතීතයේ සිටම නොයෙකුත් හාස්කම්, නොයෙකුත් අද්භූත බල, විවිධ හැකියාවන් තිබෙන බවට පුරාජේරු පවසන්නෝ බොහෝ වූහ. නමුත් ඒවායෙහි සත්‍යතාවන් සොයා බලන විට එවැනි බලයන් තිබේ ද යන්න සනාථ කළ හැකි කිසිවක් නොමැත. එසේම අවතාර හා භූතයන්, ප්‍රේතයන් සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර ද ඇත. ඇතැම් අද්භූත හැකියාවන් ලෙස සලකන දේවල් පවා විද්‍යාත්මකව බලන විට එහි අද්භූත බවක් නොමැත. ඒවායේ තිබෙන්නේ ද විද්‍යෘත්මක න්‍යායක් පමණි. 


දමිත, කුලියාපිටිය නගරයේ ජීවත් වන තිස් තුන් හැවිරිදි අවිවාහකයෙකි. පවුලේ වූයේ ඔහුගේ මවත් පියාත් ඔහුත් පමණි. දමිත වගා බිමක් බලා ගැනීම රක්ෂාව වශයෙන් කළේය. ඔහුට යහළුවන් සිටියේ නැත. ඔහු කාන්තා ඇසුරට බොහෝ ප්‍රිය කරන්නෙකු විය. වැඩබිමේ රක්ෂාව කරන කාන්තාවන් බොහෝ දෙනෙක් දමිතට දැක් වූයේ අකමැත්තකි. එයට හේතුව වූයේ ඔහු අමුතු හැසිරීම් ඇත්තෙකු ලෙස ඔවුනට දැනුණු හෙයිනි. 


දමිත තමන් බලා ගන්නා වගා බිමේ රක්ෂාවට එන කාන්තාවන් වැසිකිළියට ගිය පසු වැසිකිළි යාම පුරුද්දක් කරගෙන සිටියේය. ඔහුට තිබුණේ අමුතු ආසාවකි. කාන්තාවන්ගේ වැසිකිළියට යැමේ ආසාවකින් පෙළුණු දමිත වගා බිමේ රක්ෂාව කරන කාන්තාවක වැසිකිළියට ගොස් ආ පසු වැසිකිළියට යයි. 


දමිතගේ හැසිරීමේ තිබුණු අමුතු ලක්ෂණ නිසාම වගා බිමේ රක්ෂාව කරන කාන්තාවන් සිටියේ ඔහු ගැන බොහෝ සෝදිසියෙනි. නමුත් සමහර දිනවල කාන්තාවන් වැසිකිළියට ගිය පසු දමිත වතුර ලයින් වසා දමයි. වැසිකිළියට ගිය අය පිටතට පැමිණි පසු වැසිකිළියට රිංගයි. මේ ගැන බොහෝ විපරමෙන් සිටි වැඩිහිටි කාන්තාවක් දමිත වැසිකිළියට ගිය පසු දමිත කුමක් කරන්නේ දැයි එහි දොරේ දාරයකින් විපරම් කළාය. 


දුටු දසුනෙන් ඇයගේ ඇස් අදහා ගත නොහැකි විය. 


පසුව කීප දෙනෙක්ම දමිතගේ පුරුද්ද දිහා විපරමින් බලා සිටි අතර, එම වැඩිහිටි කාන්තාව පැවසුවේ සත්‍යයක් යන්න විශ්වාස කළෝය. 


දමිතගේ අමුතු හැසිරීම නිසා ලජ්ජාවටත් ඔහු ගැන ඇති වූ අප්‍රසන්න හැඟීම නිසාත් මේ බව දමිතගේ මාපියන්ට පැවසීමට වගා බිමේ කීප දෙනෙක්ම සිතා ගත්තෝය. ඒ අනුව කාන්තාවන් කීප දෙනෙකු දමිතගේ අමුතු හැසිරීම ගැන ඔවුන්ට විස්තර කළෝය. ‘තමන්ගේ පුතා මෙවැනි දෙයක් කරයිදෝ’ යන හැඟීම දමිතගේ මාපියන්ට ඇති වුවත් මොවුන් පවසන්නේ සත්‍ය්‍යක් ද යන්න ඔවුන් විශ්වාස කළේ නැත. 


මෙම කාන්තාවන් දමිත සමඟ ඇති යම් අමනාපයක් හේතුවෙන් මෙවැනි දෙයක් පවසන්නේ ද යන්න දමිතගේ මාපියන් විසින් විමසූ විට ‘අපි මොකට ද මේ වගේ දෙයක් එයා ගැන කියන්නේ. අපි කියන්නේ ඇත්ත. ඇස් දෙකින්ම දැකපු නිසයි. අපි මේ ගැන කියන්න ආවේ. දමිත තරුණ කෙනෙක්. එයාව දැන්ම හදා ගන්න. මේකට හේතුව හොයලා බලන්න.’ යැයි වැඩ කරන තැන කාන්තාවෝ දමිත​ෙග් මාපියන්ට පැහැදිලි කළහ. දමිත එවන් දෙයක් සිදු නොකරන බවට මාපියෝ තදින්ම විශ්වාස කළෝය. 

 

 


​ෙම් අතර දමිතගේ ඥාතිවරියක හා ඇගේ සැමියාත් දියණියත් දමිතගේ නිවසට පැමිණියේ දින කීපයක් නැවතීමටය. දින දෙකක් පමණ යන විට මෙම ඥාතිවරියගේ දියණිය විසින් තම නැන්දණියට පැවසුවේ වැසිකිළියට වතුර නොඑන බවය. ටැංකියේ වතුර ඉවර වී තිබෙන්නට ඇති බවත්, වැසිකිළියට යන විට ටැංකිය පිරෙන්නට දමා යන ලෙසත් ඇය ඥාති දියණියට පැවසුවාය. එහෙත් දින කිපයේම ඇය වැසිකිළියට යන විට වතුර නැති බවට පැමිණිලි කළාය. ඒ නිසාම දමිතගේ මව මේ ගැන විපරමින් සිටියාය. ඥාති දියණිය වැසිකිළියට ගොස් පැමිණි පසු දමිත වැසිකිළියට රිංගන අයුරු දමිතගේ මව දුටුවාය. දමිත නිවසට පැමිණි පසු ඔහුට බණිමින් දමිතගේ මව කරුණු විමසුවාය. දමිත සියල්ල තම මවට කීවේ තවදුරටත් බොරු කියන්නට තමන්ට නොහැකි නිසාය. දිමිතගේ මවගේ ඉහමොළ රත් විය. මේ මොකක්ද තම පුතාට සිද්ධ වෙලා තියෙන්නේ. මොකක්ද මේකට කරන්නේ යැයි සිත සිතා සිටි දමිතගේ මව තම සැමියා පැමිණි පසු දමිත රක්ෂාව කරන තැන කාන්තාවන් කීවේ සත්‍යයක් බවත් තමන් සියල්ල දුටු බවත් පැවසුවාය. 


අවසානයේ දමිතගේ මාපියෝ ඔහු සමඟ ගමේ ප්‍රසිද්ධ කපු මහතකු කරා ගෙන ගියෝය. 


මෙම විස්තරය ඇසූ කපු මහතා දේවාලය තුළට ඔවුන් කැඳවා ගෙන ගියේය. නොතේරෙන භෘෂාවකින් මොනවදෝ තෙපළමින් සිටි කපු මහතා විනාඩි පහළොවකින් පමණ මොවුන්ගෙන් ඇසුවේ ‘පවුලේ කිසිවකු ළඟදී මිය ගියාද’ යන්නයි. දමිතගේ සීයා වසර තුනකට ඉහතදී මිය ගිය බව ඔවුහු පැවසූහ. නැවත කපු මහතා දේවාරූඪයෙන් මොනවදෝ දොඩමින් සිට යළිත් දමිත වෙත හැරි ඔහුගේ හිසට අත තබා හිස වනමින් නොතේරෙන භාෂාවකින් කථා කළේය. 


ආරූඪයෙන් කියවුණේ සීයා ප්‍රේත ආත්මයක් ලබා දමිතගේ ඇඟට වැසී ඇති බවත්, ඒ නිසා කාන්තා වැසිකිළියට යාමටත් එලෙස හැසිරීමටත් ප්‍රිය කරන බවත්ය. මෙයින් දමිත මුදවා ගැනීමට නම් එම ප්‍රේත ආත්මය දමිතගේ ඇඟෙන් ඉවත් කරවිය යුතු බවත් එයට ශාන්ති කර්මයක් කොට දමිතගේ කරට යන්ත්‍රක් දැමිය යුතු බවත් කපු මහතා පවසා සිටියේය. 
සීයාගේ ප්‍රේත ආත්මය නිසා තම දරුවා සමාජයෙන් කොන් විමට ඉඩ ඇති බැවින් ඉක්මණින් මෙයින් දමිත ගලවා ගැනීමට යමක් කළ යුතු යැයි දමිතගේ මාපියෝ කතිකා කර ගත්හ. ඒ අනුව ශාන්ති කර්මයක් කොට යන්ත්‍රයක් දැමීමට අවශ්‍ය මුදල් ලෑස්ති කරගත් ඔවුන් කපු මහතා මුණ ගැසුණි. පසු දින ශාන්තිකර්මය කිරීමට යොදා ගත් අතර, අවශ්‍ය බඩු බාහිරාදිය ද ලෑස්ති කෙරුණි. මේ දින කීපයේම දමිත රක්ෂාවට පිටත් නොකොට නිවසේ රඳවා ගැනීමට දමිතගේ මාපියෝ කටයුතු කළෝය. 


දමිතගේ ඇඟේ සිටින ප්‍රේත ආත්මයෙන් දමිත ගලවා ගැනීමට විශාල මුදලක් වියදම් කිරීමට දමිතගේ මාපියන්ට සිදු විය. කපු මහතා පැවසූ පරිදි ශාන්තිකර්මය සිදු කොට යන්ත්‍රයක් ද කර පළඳා දමිත ප්‍රේත ආත්මයෙන් ආරක්ෂා කර ගත්තේය. 


නමුත් දමිතගේ හැසිරීමේ කිසිදු වෙනසක් සිදු නොවීය. වෙනදා මෙන් රක්ෂාවට ගිය දමිත වැඩ කරන කාන්තාවක වැසිකිළියට ගිය පසු එහි රිංගයි විකාර ලෙස හැසිරෙයි. 
දමිතට කළ ශාන්තිකර්මයෙන් කිසිඳු ප්‍රයෝජනයක් සිදු වී නැති බවත් ඔහු වෙනදා මෙන්ම හැසිරෙන බවත් දමිත රක්ෂාව කරන තැන කාන්තාවන්ගෙන් දැනගත් දමිතගේ මාපියෝ මෙයට විසඳුමක් පතා පන්සලේ නායක හාමුදුරුවන්ට දමිතගේ සියලු විස්තර දන්වා විමසූහ. 


දමිතගේ හැසිරීමේ ඇති අමුතු ලක්ෂණ ඔහු සමඟ කතා බහ කරද්දී හාමුදුරුවන්ට තේරුම් ගියේය. මෙයට එකම විසඳුම කපුවන් පස්සේ යාම නොවන බව දමිතගේ මාපියන්ට වටහා දුන් පන්සලේ නායක හාමුදුරුවෝ දමිතව වහාම මානසික වෛද්‍යවරයෙකුට පෙන්විය යුතු බවත් ඔහුව පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත රැගෙන යන ලෙසත් දමිතගේ මාපියන් දැනුම්වත් කළේය. 


තමන්ගේ දරුවාට ඇත්තේ ප්‍රේත දෝෂයක් නොවන බවත් මානසික ගැටලුවක් බවත් පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් දැනගත් දමිතගේ මාපියෝ ඔහු පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත රැගෙන යාමට කටයුතු කළෝය. ඒ අනුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන්  සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත තරුණයා යොමු කරන ලදී. 


විද්‍යා කුලපති මහතා දමිතගෙන් සියලු විස්තර අසා මාපියනන් ද වෙන වෙනම ගෙන්වා විස්තර අසා දැන ගත්තේය. ඉන් පසු දමිතට මනෝ ප්‍රතිකාර ලබා දී ඔහු සංයමයට පත් කළ අතර, මනෝ විද්‍යාවේ ප්‍රධාන අංගයක් වන (Aversion Therapy) එනම් එපා කරවීමේ ප්‍රතිකාර දමිතට ලබා දුන්නේය. මාස දෙකක් යන විට දමිතගේ එම පුරුද්ද සම්පූර්ණනේම නැති වී ඔහු සුව විය. 


මෙය බැලු බැල්මට ඉතා අප්‍රසන්න දෙයක් ලෙස හැඟුණත් එහි ඇති ස්වභාවය නිසාම පැරණි මිනිසුන් සිතුවේ මෙය ප්‍රේත දෝෂයක් ලෙසයි. නමුත් අද වන විට මනෝ විද්‍යාත්මකව බලන විට මෙය Coprophagia (Poop Eating Behavior) ලෙස හඳුන්වන මනෝ ලිංගික ආබාධයකි. මෙවැන්නන් අප සමාජයේ සිටී නම් කළ යුත්තේ ඔවුන් සමාජයෙන් කොන් කිරීම නොව, ඔවුන් නිසි ප්‍රතිකාර සඳහා යොමුකොට ඔවුන් මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමයි. 


(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇත.) 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත