ග්‍රහ අපලවලින් මිදීමට ගොස් අතරමං වූ අයට


අගනා ශාස්ත්‍රයක් වූ ජ්‍යොතිෂය ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්ය. ඒ සමඟ ඉන්දියාවේ පැවැති ආගමික විශ්වාස හා ඇදහිලි ක්‍රමද ලංකාවට පැමිණ තිබේ. ජ්‍යොතිෂය සමඟ අත්වැල් බැඳ ගත් එම විශ්වාස ඒ අයුරින්ම අද දක්වා පැවතෙමින් තිබේ. ග්‍රහ අපලවලින් මිදීමට ඉන්දියාවේ භාවිත කළ ක්‍රම, එහි තිබුණු ආගමික විශ්වාස සමඟ ලංකාවේ ද ඒ අයුරින්ම භාවිත වන බව පෙනේ.  

ලෙඩ රෝග වලින් මිදීමට, හදිසි අනතුරු ඇති වීම වැළැක්වීමට, විභාගවලින් සමත් වීමට මෙන්ම ධනවත් වීමට ද ඉන්දීය විශ්වාසයන් ලංකාවේද වෙනසක් නොවීම පවතී. දෙව්වරුන් වෙත මහා බලයක් ඇතැයි විශ්වාස කරමින් ඔවුන්ගෙන් පිහිට පැතීමට බොහෝ බෞද්ධයෝ පුරුදු වී සිටිති.  


අපේ දෙමවුපියන්, මුතුන් මිත්තන් දෙවියන් වෙත තබා ඇති විශ්වාසය පරම්පරාවෙන් පරම්පරාවට පැවැතෙමින් යයි. කතරගම, විෂ්ණු පමණක් නොව ගැටබරු, රජ්ජු බණ්ඩාර වැනි දෙවියන් තමන් ආරක්ෂා කරතියි සිතා ඔවුන් වෙත පුද කිරීම සිරිතය. මේ බෞද්ධ වත්පිළිවෙත් නොව හින්දු ආගමේ සහ හින්දු ආගම ආශ්‍රයෙන් ගොඩ නගා ගත් ප්‍රාදේශීය වත්පිළිවෙත්ය. එම කටයුතුවලින් හින්දු ආගමිකයන්ට පිහිට ලබා ගැනීමට ඉඩදී බෞද්ධයන් බෞද්ධ ප්‍රතිපත්ති මත කටයුතු කර ග්‍රහ අපල අඩුකර ගත යුතුය.  


විවාහ ප්‍රමාද වීම සහ දරු ඵල නැතිවීම තරුණ තරුණියන්ටත් ඔවුන්ගේ දෙමවුපියන්ටත් ඇතිවන දැවෙන ප්‍රශ්නයන්ය. පෙර භවයන්හිදී කරන ලද කුසල් අකුසල් අනුව මෙළොව සැපවත් වීම හෝ දුක් කරදර සහිත වීම සිදුවේ. වාසනාවන්ත බව හෝ අවාසනාවන්ත බව ඇති වේ. ධනවත් පවුලක ඉපදී සැප සම්පත් විඳින්නේත් දුප්පත් පවුලක ඉපදී දුක් විඳින්නේත් පෙර කරන ලද පින් පව් නිසාමය.  


මෙය කෙනකු උපදින විට ඇතිවන ග්‍රහ පිහිටීම් අනුව ජ්‍යොතිෂයෙන් පැහැදිලි කෙරේ. මෙය බුදුදහමට ද එකඟය. පරම සත්‍යයක් වූ මෙය ඇස් ඉදිරිපිට පෙනී යද්දී ග්‍රහ අපලවලින් බේරීමට දෙවියන්ට භාර දෙන්නේ ඇයි? මෙම ග්‍රහ අපල සම්පූර්ණයෙන් නැති කළ නොහැකි වූවත් යම් පමණකින් අඩු කර ගත හැකිය. ඒ කුසලකර්ම කිරීමෙනි. ද‌ාන, සීල, භාවනා, බෝධි පූජා ආදී පින්කම් කර අවසානයේ මෙම අපල දුරු වේවායි පැතීම නුවණට හුරුය. ප්‍රාර්ථනා කළත් නැතත් කුසළ කර්මවල බලයෙන් ග්‍රහ අපල අඩු වනු ඇත. තමන් කරන ලද කර්මයන් ගෙවීමට තවත් කෙනකුට භාර දිය නොහැකිය.  


හරියට පන්සිල් රැකීම මහත් ඵල මහානිසංස ලැබෙන දෙයකි. පන්සිල් කියවීමෙන් පමණක් ඇති වැඩක් නැත. වැඩිපුරම අපේ රටේ සිටින්නේ පන්සිල් කියවන අයය. හරියාකාරව පන්සිල් රැකිය යුතුය. නිර්මාංශ ආහාර ගන්නේ නම් පන්සිල් රැකීම අර්ථවත් වේ. ප්‍රාණ ඝාතයට උදව් නොකෙරේ. සිල් පද පහම එකසේ වැදගත් ය. බෝධි පූජාද වැදගත් වේ. පැන් කළයක් රැගෙන ඉතිපිසෝ ගාථාව කියමින් වරින් වර බෝධියට පැන් වත්කරමින් බෝධිය වටේ යෑම හොඳ බෝධි පූජාවකි.  


අපේ දෙමවුපිය ගුරුවරාදීන් අපට උගන්වා ඇත්තේ විපතක දී දෙවියන්ගෙන් පිහිට යැදීමටය. බොහෝ ජ්‍යොතිෂවේදීහු ද ග්‍රහ අපල නැති කර ගැනීමට දෙවියන් ගෙන් පිහිට යැදීමට සාමාන්‍ය ජනයාට කියා දෙති. බෞද්ධයන්ට තෙරුවන් සරණ හැර වෙන සරණක් කුමට ද? හින්දු ආගමේ දෙවියන්ගෙන් පිහිට යැදීම බෞද්ධකමට නිගාවකි. සමාජයේ පැතිර පවතින දුර්මතවලට ගැති නොවී ආත්ම ශක්තිය ඇති කරගෙන පෙරට යමු. බොහෝ දෙනකුට අවශ්‍ය වන්නේ දෙවියන්ට පලතුරු වට්ටි හා කපු මහතුන්ට මුදල් පූජා කිරීමටය. පරම්පරාවෙන් එන අදහස් මෙවැනි ලිපියකින් වෙනස් කිරීම අමාරුය.  


දරුවකුට පළමුවෙන් අකුරු කියවන විට සරස්වතී පූජාව හා ගණ දෙවි පූජාව තැබීමට දෙමවුපියෝ පුරුදු වී සිටිති. පහේ ශිෂ්‍යත්ව විභාගය සහ වෙනත් විභාගවලට යන විට දෙමවුපියෝත් ගුරුවරුන් දෙවියන්ගෙන් පිහිට පතති. ඔබ හින්දු ආගමිකයකු නම් එසේ කළාට කමක් නැත. බෞද්ධයකු නම් බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරනවා විනා අඳුරේ අතපත ගා අඳුරටම යන්නේ ඇයි? ගෘහ නිර්මාණයේදී බහිරව පූජාව තැබීම ද එවැනිම දෙයකි. මිථ්‍යාවට බර වී කටයුතු කිරීම ඔබේ ධනයක් කාලයත් වැය වී යාම විනා ඇති වන ශුභ සිද්ධියක් නැත.  


තමන්ට ශුභ වර්ණය යොද‌ා ගැනීම ද අපල අඩු කර ගැනීමට හොඳ මාර්ගයකි. ශුභ වර්ණයෙන් යුත් මැණිකක් රත්රන් මුද්දක අල්ලා පැළඳීම භාග්‍යය උද‌ා කරයි. නිතර ඇස ගැටෙන ඇඳුම් පැළඳුම්, දොර ජනෙල් රෙදි, ඇඳ ඇතිරිලි සහ වෙනත් කටයුතු සඳහා ශුභ වර්ණ යොද‌ා ගන්න. නොයෙක් දෙනා ශුභ වර්ණ නියම කරනුයේ එක එක ආකාරයටය.  


ඕනෑම හඳහනක බලවත්ව ග්‍රහයා වනුයේ දහය අධිපතියාය. දහය අධිපතියාගේ වර්ණය ඔබට වැඩියෙන්ම ශුභ වර්ණය ලෙස යොදා ගැනීම නුවණට හුරුය. උද‌ාහරණයක් වශයෙන් දස වැන්න මේෂ හෝ වෘශ්චික නම් එහි අධිපතියා වන්නේ කුජය. මෙවැනි කෙනෙකුගේ ශුභ වර්ණය වනුයේ ලේ රතුපාටය. දස වැන්න මකර හෝ කුම්බ නම් එහි අධිපතියා ශනිය. ශනිට නියමිත වර්ණය වනුයේ නිල්ය. මේ අයුරින් ඔබේ ශුභ වර්ණය තෝරා ගන්න.  


සෙත් ශාන්ති කිරීමට බෞද්ධයන් වන ඔබ ඒ සඳහා යොද‌ා ගත යුත්තේ බුදු ගුණ විනා දෙවියන්ට කන්නලව් කිරීම නොවේ. සෙත් කවි සකස් කිරීමේදී බො​හෝ දෙනා කරන්නේ හින්දු ආගමේ දෙවියන්ගේ නම් කියා ඔවුන්ගෙන් පිහිට ඉල්ලීමය. අනන්ත වූ බුදුගුණ බලයෙන් ධර්මයෙහි හැසිරී පිහිට ලබා ගන්න. පන්සිල්වත් නො රකින කෙනකුට කාගේවත් පිහිටත් නැත. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කිරීම බොහෝ ග්‍රහ අපල අඩු කර ගැනීමට හේතු වේ. එය ඕනෑම ආගමිකයකුට පොදු දෙයකි. භික්ෂූන් වහන්සේ සියක් නමකට දෙන සාංඝීක දානයකට වඩා එක් ඇසිල්ලක් මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් ආනිසංස ලැබේ යයි බණ පොතේ සඳහන් වේ. පන්සිල් රැකීමද ඉතා බලවත් වේ.  


ග්‍රහ අපලවලින් මිදීමට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද අද සමාජයේ කෙරෙන බව පෙනේ. ගින්නෙන් සිසිල බලාපොරොත්තු වන විදියේ මෙවැනි වැඩවලින් සෙත් ශාන්තිය ලැබෙන්නේ ඔබට නොව ඒවා කරන අයටය. අහිංසක මිනිසුන් රවටාගෙන් ඔවුන් දුක සේ උපයා ගන්නා මුදල සුරාකන ගිහි පැවැදි දෙගොල්ලම සිටින බව ඔබටත් පෙනෙනු ඇත.  


සිවුරට මුවා වීමෙන් මිනිසුන් රැවටීම පහසුය. ආරක්ෂාවට යන්ත්‍රයක් දැමීමට රුපියල් පන්දාහේ සිට පනස් දාහ පමණ දක්වා ගිහි පැවිදි උතුමෝ අය කරති. එමෙන්ම රැවටීමට අසු වුණු ඔබ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට වැය කිරීමට තිබෙන මුදල් වුණත්, දරුවන්ට කෑම දීමට තිබෙන මුදල් වුණත් බිරිඳගේ කනකර උකසට තබන ලද මුදල් වුණත් කිසිම ලෝභ කමක් නැතිව, මිත්‍යාවෙන් අන්ධ වී ඔවුන්ට පූජා කරන අන්දම කනගාටුදායකය.  

 

 

 

 


විශ්‍රාමලත් විදුහල්පති,  ජ්‍යොතිෂවේදී, සාම විනිසුරු,   
එඩී. කරුණාතිලක  
32, ගලවැටි මෝදර පාර, නල්ලූරුව, පානදුර.