කරේ පළඳන ඉලෙක්ට්‍රොනික උපකරණ මොළයේ පිළිකා අවදානම වැඩිකරනවා


නවලොව

 

ලෝකයේ දියුණුවත් සමගම නවීන තාක්ෂණයට අද බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ජංගම දුරකථනය, පරිගණකය, ලැප්ටොප් මෙන්ම ඇතැම් දුරකතන සහ පරිගණක සඳහා භාවිත කරන හෙඩ් සෙට් ප්‍රධාන තැනක් ගනී.  


මෙම උපකරණ භාවිත කළ ද වැඩිදෙනාට ඉන් සිදුවන හානි පිළිබඳ නිසි අවබෝධයක් නැත. ඇතැම්විට මේ තුළින් ඉතා භයානක රෝග කාරක අවස්ථා සඳහා යොමුවිය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි.  


එම හානිකර තත්ත්වයන් පිළිබඳ අප විමසීමක් කළේ වෛද්‍ය දිලීප වික්‍රමසේකර මහතා සමගයි.  


අද භාවිත කරන තාක්ෂණික උපකරණ අත්‍යවශ්‍යම දේවල් විදියට මිනිස්සු වැඩි වශයෙන් පරිහරණය කරන්න පෙලඹිලා ඉන්නවා. ජංගම දුරකථනය, පරිගණකය, රූපවාහිනිය සහ එම දුරකථන සහ පරිගණක භාවිතයේදී යොදාගන්නා ශ්‍රවණ රැහැන් ආධාරකයන් (Head Set) ඊට උදාහරණයි.  


මෙම උපකරණ භාවිතයේදී අපට වාසි වගේම අවාසිත් සිදුවනවා.  


එබැවින් මෙම උපකරණ අත්‍යවශ්‍ය භාණ්ඩ වුණත් වැඩිපුර භාවිතයට සුදුසු දේවල් නෙමෙයි. මේ භාණ්ඩ මගින් විද්‍යුත් චුම්භක ධාරා මොළයේ හා ස්නායු පද්ධතියේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා.  


ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ලෙම පාහේ ඒ දේ සිදුවෙනවා. විද්‍යුත් චුම්බක ධාරා මගින් මිනිසාගේ මොළේ න්‍යාය පද්ධතියේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන බව හෙළිවී තිබෙනවා.  


නමුත් විද්‍යාඥයන් තවම අවසන් තීරණයකට එළඹිලා නැත්තෙ එහි ප්‍රතිශතය කොච්චරක්ද කියලා හරියටම හොයාගෙන නැති නිසායි. සමහරු කියනවා 30%ක් කියලා. තවත් අය කියනවා 50% කියලා. පිළිකා ඇති බව තහවුරු​ වෙලා තිබුණත් අවදානමේ ප්‍රතිශතය නිශ්චිතවම හොයාගෙන නැහැ.  


අපි නිතරම ජංගම දුරකථනයේ එල්බගෙන ඉන්න නිසා එමඟින් පිළිකාවලට අමතරව ස්නායු පද්ධතියේත් වෙනම බලපෑමක් සිදුවෙනවා. විශේෂයෙන්ම නිතර හිසරදය ඇතිවීම, යමකට අවධානය අඩුවීම, ඉවසීම අඩුවීම, නිදිමත වෙනස්වීම, මානසික ආතතිය ඉහළ යාම වැනි දේවල් සිදුවෙන්න පුළුවන්.  


ජංගම දුරකථනය වැඩි වශයෙන් භාවිතයේදී ඒ දේට වැඩිව යොමුව සිටීම නිසා මානව බැඳීම අඩුවෙනවා. එහිදී අදහස් හුවමාරු කිරීම්ද වෙනස් වෙන්න පුළුවන්. වෙනම මවාගත් ලෝකෙක සීමාවෙනවා. එහිදී ඉවසීම අඩුකම මූලිකම ප්‍රශ්නයක්.  


ඒ වගේම ස්වභාවික අයුරින් පුද්ගලයන් හා අදහස් හුවමාරු අඩුවීම, අන්‍යයන්ගේ අදහස්, අංග චලනයන් ගැන අවබෝධය අඩුවීම යනාදිය සිදුවෙන්නට ඉඩ තියෙනවා.  
එමගින් ක්ෂණික කෝපය, සබඳතා බිඳීයාම, සාමාන්‍ය සිතිවිලිවලින් වෙනස්වීම ආදිය සිදුවෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම දීර්ඝ වේලාවක් දුරකථනයේ සිටීමත්, SMS විශාල වශයෙන් යැවීමත් මගින් දුරකථනයට ඇබ්බැහිව සිටීම මගින් තාත්වික ලෝකයෙන් වෙන්වීම, මානසික රෝගවලට නැඹුරුව වැඩිවීම සිදුවෙන්නට ඉඩ තියෙනවා.  
විශේෂයෙන් ඉගෙනගන්න ළමයින්ට ජංගම දුරකතනය භාවිතයට එතරම් සුදුසු දෙයක් නෙමෙයි. අද ඊට ඇබ්බැහි වුණු ළමයි ඉන්නවා. ඒ වගේම දුරකථනයෙන් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. ඇත්තටම මේ තුළින් මනසට ලොකු බලපෑමක් සිදුවෙන්නෙ. මේ දේට ඇබ්බැහි වීමේදී මතක ශක්තිය අඩුවීමක් වැඩි වශයෙන් සිදුවෙනවා.  
චීනයේ නම් මේ දේවල්වලට වැඩි වශයෙන් ඇබ්බැහිව සිටින ළමුන් වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ.  


ජංගම දුරකථනය හරහා ළමයින්ගෙ සන්නිවේදනය වැඩිවෙන්න වැඩිවෙන්න ඔවුන්ගෙ හැකියාවන් දුර්වල කරනවා. කතා කිරීමේ හැකියාව, අදහස් ඒත්තු ගැන්වීමේ හැකියාව ආදිය අඩු කරනවා.  


වට්ස්අැප් (Whatsapp), වයිබර් (Viber), ඉමෝ (IMO) ආදියත් ළමයින් අද වැඩි වශයෙන් පාවිච්චියට යොමුවෙලා තියෙනවා.  


ඇත්තටම මේ තුළින් අදහස් හුවමාරු කර ගැනීමේදී හා අදහස් ලිඛිතව සටහන් තැබීමේදීයි හැඟීම් නොමග යවන්නෙ. ඒ නිසා ජංගම දුරකථනය අවශ්‍ය දේට පමණක් යොදාගත යුතුයි.  


සමහරු ජංගම දුරකථනය නිදාගන්නා විටදීද තමා ආසන්නයේ තබාගෙන ඉන්නෙ. ඇඳ මත හෝ කොට්ටෙ යට තබාගන්නෙ. එය නොකළ යුතු දෙයක්.  


එමඟින් විද්‍යුත් චුම්බක තරංග පිටවෙනවා අපේ ශරීරයට. විශේෂයෙන් ජංගම දුරකථනයෙ විද්‍යුත් තරංග දුරකථනය භාවිත කිරීමෙන් පසුව නැවත ඇමතුමක් එනවිට හෝ කෙටි පණිවිඩයක් එන විට එය ග්‍රහණය වන වෙලාවට විද්‍යුත් තරංග ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා දුරකථන ළඟ තබාගෙන ඒ මොහොතේ කතා කරන අවස්ථාවට අවදානම වැඩියි.  


ඒ වගේම ජංගම දුරකථනයත් සමග අප භාවිත කරන හෑන්ඩ් ෆ්‍රී (Hand Free) එමඟිනුත් ශරීරයට ඇතිවන බලපෑම වැඩියි. එමගිනුත් චුම්බක ක්ෂේත්‍රයක් නිපදවෙනවා. ඒ තුළිනුත් පිළිකා හැදීමේ අවදානම වැඩියි. නමුත් අලුත් තාක්ෂණේ තියෙනවා Hand Free එකට විද්‍යුත් චුම්බක තරංග වළක්වන පැතිකඩ ඇති උපකරණයක්. එය භාවිත කිරීමෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. නැතහොත් සාමාන්‍ය පාවිච්චියේදී අවදානම වැඩියි.   


ගර්භණී මව්වරුන්ට වැඩි වශයෙන් මේ විද්‍යුත් භාවිතය ඉතා අහිතකරයි. ජංගම දුරකථන ළඟ තබා ගැනීමේදී පිටවෙන තරංග මගින් කළලයේ සිතිවිලිවලට බලපෑම්, බබාගේ සිතිවිලි තරංග හරහා ක්‍රියාකිරීම නිසා කළල වර්ධනයත් සමග මීටර් 1.5ක අවම වශයෙන් ඈත්ව තබාගැනීම සුදුසුයි.   


ගර්භණී මවක් නිවසක සිටිනවා නම් එම කාමරයෙන් දුරකථන ඈත් කර තැබීමත් ඉතා වැදගත්. විශේෂයෙන් මීටර් 1.5ක ඈත්ව තැබිය යුතුමයි.  


ඊට අමතරව පිරිමි පාර්ශ්වයට කියන්න ඕනෑ ජංගම දුරකථනය තම කලිසම් සාක්කුවල නොදැමිය යුතුයි. ඒ තුළින් දරුඵල අඩු කිරීම්, වෘෂණ කෝෂ පිළිකා ඇතිවෙන්නට ඉඩ තියෙනවා. අඩුම අවදානම තියෙන්නෙ උඩ සාක්කුවෙ දුරකථනය රඳවා ගැනීමෙන්.   


පොඩි දරුවන්ට මේ දේවල් පාවිච්චියට දෙනවා නම් වැඩසටහන් වෙලාවකට අනුව ලබාදීම වඩාත් වැදගත්. නමුත් වීඩියෝ ගේම් ආදිය ලබාදීම නොකළ යුතුයි. ඒ තුළින් විද්‍යුත් තරංගවලට අමතරව ඇස්වලට බලපෑම් එල්ලවීමටත් පුළුවන්. එහිදී පෙනීමේ දුර්වලතා ඇති වෙනවා.  


හෙඩ් සෙට් (Head Set) පාවිච්චි කිරීමෙනුත් අධික තරංග හා ශබ්දය නිසා ඇසීම අඩුවීම, ප්‍රතිචාර දැක්වීමේ වේගය හා මතකය අඩුවීම නිසා හිසට ආසන්නයට විශාල චුම්බක නිසා මතකයට හානි ඇති කරනවා. වැඩිදෙනෙක් අද ව්‍යායාම් කිරීමට යද්දී පවා හෙඩ් සෙට් පාවිච්චි කරනවා. ඉස්සර බොහෝදෙනෙක් Hand Free එකෙන් ගීත ඇහුවා. දැන් පාවිච්චි කරන Head Set. එමගිනුත් අධි විද්‍යුත් තරංග සංඛ්‍යාවක් නිකුත් කෙරෙනවා.  


එය කෙළින්ම කනටයි බලපාන්නෙ. ඒ තුළින් පිළිකා ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වැඩිපුර මේ දේවල් ළඟට නොගැනීම වැදගත්.  


රූපවාහිනිය වැඩි වශයෙන් නැරඹීමෙනුත් ක්ෂණික රූප රාමු වෙනස්වීම මඟින් ළමයින්ගේ සිතුවිලි වේගය අඩාළ වීම සිදුවෙනවා. එමඟින් මතකය තාර්කික බුද්ධිය අඩුවීම විශේෂයෙන් සිදුවෙනවා.  


ඒ වගේම රූපවාහිනි, පරිගණක, ජංගම දුරකථනවල තියෙන විකිරණ නිසා පෙනීම අඩුවීම, ඇස් යට කළුවීම, ඇස් රැළි වැටීම, මුහුණ රැළි වැටීමත් සිද්ධ වෙනවා.  
ඒ වගේම වැඩි වශයෙන් මේ උපකරණය භාවිතයේදී පීඩනයක්නෙ ඇතිවෙන්නෙ. එහිදී හිසකෙස් යාම, නින්ද අඩුවීමත් එක්ක එය ශරීරයේ හැඩරුව පවත්වාගෙන යාමටත් බලපාන්න පුළුවන්.  


මේ දේවල් වළක්වා ගන්නට නින්දට යන විට දුරකථනය විසන්ධි කිරීම, අනවශ්‍ය වෙලාවට දුරකථනය ඈත්ව තැබීම, පරිගණකය භාවිතයේදී මොනිටර් ෆිල්ටරයක් භාවිත කිරීමත් රූපවාහිනිය, පරිගණකය දිගටම භාවිත කරනවා නම් පැයක් එක දිගට එදෙස බලා සිටියහොත් විනාඩි 5ක විවේකයක් ගැනීම කළ යුතුයි.  


නව තාක්ෂණයේ ඇති විද්‍යුත් චුම්බක තරංග වළක්වන පැතිකඩ සහිත උපකරණ භාවිත කිරීම, විද්‍යුත් උපකරණ භාවිත කරන කාලය සීමා කිරීම ආදියත් හරි නින්දක් පවත්වාගෙන යාමෙනුත් මේ දේවල් රැකගන්නට හැකිවේවි.  

 

 


ධනු විජේරත්න