ඔබේ අත ඔබම බලාගන්න


කාර්මික අත   


කාර්මික අත් දෙකකි. පළමු වැන්න ඇඟිලි විහිදූ විට ඉතා පළල්ව ද මැණික් කටුව ආසන්නයේ කෙටිව ද පිහිටයි. එය වටාපතක් සේය. දෙවැන්න ඇඟිලි මුල කෙටිවත් මැණික් කටුව දෙසින් පළල්වත් පිහිටයි. තාරා හොටවල් මෙන් ඇඟිලි තුඩ පැතලිය. තද මාංශ පේෂී සහිත අල්ල මෘදුය. තැන තැන උස්ව පිහිටයි. ඇඟිලි එතරම් ශක්තිමත් නැත. පහසුවෙන් එහෙට මෙහෙට කළ හැක. මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි හා බැලීමේදී තරමක් විශාලය. ජීවන රේඛාවට සම්බන්ධ වූ දෛව රේඛාවක් ඇත. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය විශාලය. 


කාර්මික අත්හිමියා අලුත් අලුත් දේවල් සොයා බලයි. ඉපැරණි සිරිත් විරිත් ආදිය ගරු නොකරන තරම්ය. ප‍්‍රවේශමෙන් කරුණු තෝරා බේරාගෙන කටයුතු කිරීමට දනී. ඕනෑම සමාජ තත්ත්වයක් යටතේදී වුවද ජීවිත්වීමට හැක. කාර්මික ඥානය බලපවත්වයි. සාක්ෂි නැතිව යමක් පිළිගන්නේ නැත. සමාජ සේවකයෙකි. තම මතය ගරුකොට කටයුතු කරයි. කිසි දෙයකින් පසුබට නොවේ. 


දාර්ශනික අත 


දාර්ශනික අතේ රේඛා බහුලය. අත කෝණාකාර හැඩයක් ගනී. දිගු නිය පිහිටයි. ඇඟිලි දිගය. අල්ල විශාලය. ඇඟිලිවල දිග ප‍්‍රමාණයට වඩා අල්ල දිගු විය හැකිය. පිටි අල්ලේ ඉලිප්පී පෙනෙන නහර දැකගත හැක. විශාල මහපට ඇඟිල්ලක් පිහිටන අතර එහි පුරුක් දෙකම එක හා සමානව පිහිටයි. මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල අතර පරතරය විශාලය. මහපට ඇඟිල්ල හැර අතේ සියලුම ඇඟිලි මැද ඇඟිල්ල දෙසට නැමී ඇත. ජීවන, ශීර්ෂ හා හෘදය රේඛා ප‍්‍රබලව පිහිටයි. 


දාර්ශනික අත හිමිකරුවාට උසස් අයගෙන් හා රජයෙන් තනතුරු ලාභ වරප‍්‍රසාද අත් වේ. සෑම වැඩක්ම පිළිවෙළක් ඇතිව කරයි. හොඳට ඉවසන්නට පුළුවනි. කතාවට ද දක්ෂය. ළබැඳි මිතුරන් අල්පයි. ප‍්‍රවේශමෙන් කරුණු තෝරා බේරාගෙන කටයුතු කිරීමට දනී. තම ඥාණය දියුණු කර ගැනීමට නිතරම උනන්දු වේ. අනුන්ට උපදෙස් දිය හැකි පණ්ඩිතයෙක් වේ. ලේඛකයින්, දාර්ශනිකයන්. කවියන්, ජ්‍යොතිර්වේදීන් ආදීන් මෙම අතේ හිමිකරුවන්ය. ලෞකික ජීවිතයට එතරම් සමීප අය නොවෙන්නට පුළුවනි. එතරම් ධනවතකු නොවුණත් හොඳ සමාජ සේවකයෙකි. තමා සතු වටිනා වස්තු සම්පත් නොමැත. කෙසේ වෙතත් ඔහු නොකැළැල් කීර්ති නාමයක් දරන්නෙකු වෙයි. 


කලාකාමී අත 


මෙම අත් වර්ගයේ මහපට ඇඟිල්ල තරමක් කෙටිව පිහිටයි. නිය පිහිටි කොටස් අනෙක්වාට වඩා කෙටිය. ඇඟිලි පුරුක්වල හරි මැදක් වන තුරු නිය දිව යයි. ඇඟිලි පැතලිය. එම ඇඟිලි අග සිහින්ය. උල්ය. ඇඟිලි විහිදූ විට දුන්නක් ආකාරයෙන් පිටුපසට නැඹුරු වෙයි. ජීවන රේඛාව එතරම් ප‍්‍රබල නැත. හෘදය රේඛාව අනෙක් රේඛාවලට වඩා ප‍්‍රමාණයෙන් දීර්ඝය. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයට විහිදෙයි. සමහර විට ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ද සම්බන්ධ වේ. මෙම අත්වල සිකුරු සහ චන්ද්‍ර මණ්ඩල මනාව පිහිටා තිබේ. අත් අතර ප‍්‍රිය මනාපම අත යැයි කිව හැකිය. 


කලා අංශයන් ප‍්‍රිය කරයි. ඒවායේ දක්ෂතාව ද පිහිටයි. අන්‍යයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමේ මනා හැකියාවක් වෙයි. ධන ධාන්‍යාදී සැප සම්පත්වලට උරුමකම් තිබේ. උතුම් ගුණාංග හදවතෙහි ඇති අතර අන්‍යයන්ට උදව් උපකාර කිරීමට ද උනන්දු වේ. රසකාමී හැඟීම් බහුලය. ඉක්මනට කේන්ති ගියත් එය වැඩි වේලාවක් නොපවතී. දුර දිග නොබලා වැඩ කටයුතු කිරීම දුර්වලකමකි. දුක් දොම්නස් මැඩගෙන කටයුතු කිරීමේ ශක්තිය ඇතත් ආදරයේදී බොළඳය. වහා උණුවෙන මෘදු හදවතකි. ප‍්‍රසිද්ධිය පතා කටයුතු කරයි. වාහන ලාභ සහිතය. 


චෛතසික අත 


චෛතසික අතේ අල්ල කුඩාවට පිහිටයි. ඇඟිලි ක‍්‍රමයෙන් සිහින්ව ගොස් උල් ස්වභාවයක් ගනී. සියලු ඇඟිලි එක හා සමාන වීමට පුළුවනි (මහතින්) අල්ල වටකුරු හැඩයක් ගන්නා අතර සියුම් රේඛා බහුලව ඇත. ප‍්‍රධාන රේඛා කැඩී බිඳී ගිය ආකාරයෙන් පිහිටයි. ඇඟිලි එතරම් ශක්තිමත් බවක් නොපෙනේ. පහසුවෙන් එහෙට මෙහෙට නැමිය හැකියි. නිය පිහිටි ඇඟිලි පුරුක සෙසු පුරුක්වලට වඩා දිගුය. චෛතසික අතෙහි විශාල චන්ද්‍ර මණ්ඩලයක් පිහිටයි. 


මෙම අත් හිමියන් බොහෝ විට මනෝ ලෝකයේ ජීවත්වෙයි. හෙවත් නිතර කල්පනා කර කර සිටී. අද කළ යුතු වැඩ හෙටට කල් දමයි. රැවටිලි වංචාදියට ද ලෙහෙසියෙන්ම හසුවෙයි. බොරු ආගම් භක්තියක් පෙන්වයි. තමාට අවශ්‍ය දේ කපටිකමින් බොරුවෙන් කරගන්නට දනී. බොරු සෙනෙහස දක්වයි. තම දුබලකම් ප‍්‍රසිද්ධ වනවාට කැමති නැත. ඒවා හංගන්නට බොහෝ විට උත්සාහ ගනී. වැඩට කම්මැලිය. ගුප්ත විද්‍යා විශ්වාස කරන කෙනෙකි. මානසික රෝග ඉස්මතු වීමේ ප‍්‍රවණතාවක් පවතී. චරිතයට කැළැල් වන විදිහේ වැඩ කටයුතු කරයි. පහසුවෙන් මුදල් උපයාගත හැකි වෘත්තීන් තෝරා ගනී. 


මිශ‍්‍ර අත 


ඉහත දැක්වූ අත් දෙකක හෝ ඊට වැඩි ගණනක පවතින ගති ලක්ෂණ මිශ‍්‍ර වී ඇති අත මිශ‍්‍ර අතයි. මිශ‍්‍ර අත් හිමියකුට පලාපල කියන විට එම අතෙහි මිශ‍්‍ර වී ඇති වැඩි නෑකමක් ඇති අත් වර්ගයේ පලාපල ප‍්‍රමුඛ කොට කිය යුතු බව ද මතක තබා ගන්න. කොහොම වෙතත් මිශ‍්‍ර අත් හිමියාට බොහෝ කටයුතු කෙරේ දක්ෂතාවන් පවතී. බොහෝ දේවල් ගැන ටික ටික හෝ දනී. හොඳට හොඳ මෙන්ම නරකට නරකය. ඕනෑම සමාජ තත්ත්වයක වුවද ජීවත්වීමට දනී. නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති වේ. තමන් ගැන අගය කරනවාට මනාපය. බොහෝ ක්ෂේත‍්‍රයන් පිළිබඳව දැනුම සොයා ගනී. හොඳ මතක ශක්තියක් තිබේ. 

 

 

 

 

 

 

 

 


මංජුල තරුකෙම 
වැල්ලවාය