එදා පොසොන් පොහොයට සිතුල්පව්ව වඳින්න ගිය හැටි


ෆැන්සිනා හාමිගේ මතකයෙන්   

 

යල කන්නයේ හීන් වැසි හැළෙනා එහෙත් දිගු නියං කාලයක අව්ව පොළොව වේළන්නට කුරුමානම් අල්ලන, නිරිත දිග මෝසම් සුළං කොයිවේලාවෙත් හමා යමින් පරිසරයට සුළං කෝඩයන්ගේ විසුමක් නැති ජුනි මාසය හෙවත් සිංහලේ පොසොන් මාසය ලාංකිකයිනට මහින්දාගමනයේ අරුණෝදය කියාපාන්නේ මීට වසර 2300 කට එපිටදී සිදුවූ ඒ අසිරිමත් ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරයේ නව හැරවුම් ලක්ෂ්‍යයක පුනරාගමනය යළි යළිදු මතක් කරලන්නටයි. 
 
රුහුණු මාගම් පත්තුවේ ඓතිහාසික චිත්තලපබ්බත නොහොත් සිතුල්පව්ව පුණ්‍යභූමිය ලාංකික බොදු ජනී ජනතාවගේ දෙවන මිහින්තලය ලෙස ප්‍රචලිතව ඇත්තේ මීට වසර දහස් ගණනකට ඉහත එහි වැඩවිසූ දොළොස් දහසක් රහතන් වහන්සේලාගේ උතුම් පුණ්‍යභූමියක් වූ බැවිනි.  


ලෙන් ගුහාවලින් මනරම්ව සැදුණු ඝන වනාන්තරයෙන් වැසී ගිය මේ පුණ්‍ය භූමිය එවක කාවන්තිස්ස මහ රජු විසින් වෙහෙර විහාර කරවා ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරලන්නට යෙදුණි.  
සාධු ජනී ජන හදවත් බොදු බැතියෙන් ඔප් නැංවෙනා අසිරිමත් පොසොන් පොහෝ දිනයේදී ලක්ෂ ගණනින් බැතිමතුන් ඓතිහාසික සිතුල්පව්ව කරා එක්රොක්වන්නේ මහින්දාගමනයත් එයින් ලද ශාසනික සමාජීය දායාදයක් සිහිපත් කරලන්නටයි.  


අදටත් දියුණු යැයි කියවෙන යුගයක යාල වනෝද්‍යානයේ එක් කොටසක පිහිටි මේ උතුම් පුණ්‍ය භූමිය 1950 ගණන්වල වැඳ පුදා ගත්, තිස්සමහාරාම යෝධකණ්ඩියේ පදිංචි හේවාගීගනගේ ෆැන්සිනාහාමි නම් අසූ හතර වියැති මාතාව පොසොන් පොහොයට සිතුල්පව්ව වන්දනාවේ ගිය හැටි මෙසේ මතකය අවදි කළාය.  


සැබැවින්ම, ෆැන්සිනාහාමි මාතාව පවසන පරිදි වන්දනා ගමනක අරුත සම්බන්ධව එදා ජන සමාජයේ තිබූ හැඟීම් සැබෑ ලෙසම ආගමික මුහුණුවර අද හා සසඳනවිට මහත් පරස්පරය.  


එහෙත් එදා වන්දනාව වූ කලී, හද සසල කරවන බැති පූරණයකි. බුදුදහමට අනුව කර්ම විපාකයන්, සද්ධාව, පිංපව් මේ හැම කාරණාවක්ම වන්දනාවේ සෑම තැනම පිරී තිබුණේය.  


ෆැන්සිනාහාමි පවසන පරිදි පොසොන් පොහොයට පෙර දින ගොන් බැඳි කරත්තවලින් ගමේ විස්සක විතර වන්දනා නඩයක් සිතුල්පව්ව වන්දනාවට යෑමට සූදානම් වන්නේය.  


වන්දනා නඩයේ සැවොම මස් මාළුවලින් තොරව මේ දින කිහිපයේ කල්ගත කිරීමත් විශේෂත්වයක් වුණි.  


පොසොන් පොහොයට සිතුල්පව්ව වඳින්න නෙළුම් මල් පූජා කරන්න යෝධ වැවෙන් ඇති තරම් රතු සුදු නෙළුම් මල් කඩා ගන්න වන්දනා නඩයේ කොලු ගැටව් කටයුතු කරලා තිබුණා.  


නඩයේ ගෑනු උදවිය දවස් දෙකකට ඇතිවෙන්න කෑමට හාල්, පොල්, මුංඇට, කොස් වාගේ කෑම ජාති අඩුවක් නොමැතිව අරන් යන්න සූදානම් කර ගත්තා.  


ඒ කාලේ අද වාගේ තේ වතුර බිව්වේ නැහැ. එක්කො බෙලිමල් වතුර, කොත්තමල්ලි වතුර, වාගේ දේවල් තමයි ගිමන් හරිනකොට බිව්වේ. අපි කුරක්කන් හැලප, වණ්ඩු එහෙමත් හදාගෙන ඉදිච්ච කෙසෙල් කැන් දෙකකුත් හොයාගෙන ඕඃ නමෝ බුද්ධං කියලා පෝයට පෙර දවසේ හවස සිතුල්පව්වට කරුණා කළා.  


අපේ වන්දනා ගමනට හුළුඅතු හදලා පත්තු කරන්න සූදානම් කරගෙන අරන් ගියා.  


පොල් අහුගෙඩි කොප්පරා වේළලා සෙක්කුවෙන් තෙල් හිඳගෙන පහන් සහ පන්දම් පත්තු කරන්න අරගත්තා.  


ඒ කාලේ මේ තිස්සමහාරාමේ හැමතැනම මැලේරියා වසංගතයක් පැතිරිලා තිබුණා ගොඩාක් පුංචි ඈයෝ, නාකි ඈයෝ මියපරලොව යන්න වුණා.  


ඒත් කතරගම දෙවියන්ට භාරහාර වෙලා කවුරුත් ගමන් බිමන් වන්දනාවේ ගියා. මදුරුවන්ගෙන් බේරෙන්න, මදුරුතලා, කොහොඹ කොළ ගිනිමැල ගහලා ඒවාට දමලා ඒ දුම් වදින්න කටයුතු කළා. ඔන්න ඔහොම අපේ සිතුල්පව්ව වන්දනාව පටන් ගත්තෙ.  


පොසොන් මාසය කියන්නේ මේ පළාත්වල පලු ගස්වල ගෙඩි මෝරලා හොඳට කහපාට වෙන්න පැහෙන කාලයයි. සිතුල්පව්වට යෝධකණ්ඩියේ සිට යන පාරේ ඕනෑ තරම් පලු හිඹුටු, වීර, මාදං ඇති තරම් ගස්වල පිරිලා තිබුණා.  


මටත් ඒ වෙනකොට අවුරුදු දහසයක්, දාහතක් විතර ඇති 1950 වරුසෙ ලබලා තිබුණේ. මගෙ මතකයේ හැටියට.  


අපේ නඩේ හිටියෙ තරුණ කෙල්ලො කොල්ලෝ. ඉතිං උන් ආදර ලෝකවලත් මේ ගමන්වලදී තනි වුණානේ. ඒවාට ඕන තරම් කාලයක් මේ වන්දනා ගමන්වලදී ඉඩ ලැබෙනවා. මහ එවුන් පුංචි දරු පැටව් එක්ක තනි වෙනකොට ගැටව්, ගැටිස්සියෝ ඉතිං විවිධ හාදකම් හදාගත්තා. ඒවාත් ඉතිං එහෙම වුණානේ.  


සිතුල්පව්වට යන පාරේ පිරිලා තියෙනා පලුගෙඩි කන්න අපි හරිම ආසයි. අපි සෑම වාරයකම මේ පලු කඩාගෙන කනවා.  


අපි වගේම මේ පලු කන්න මහ කැලයේ ඉන්න වලස්සුත් හරිම ආසයි. වලස්සුන්ගේ ප්‍රියතම කෑමක් තමයි පලු, ඔන්න ඔහොම යනකොට අපි පලු කන්න පලුගස් මංඩියක් ළඟ නතර කළාම ඒ ගස් උඩ වලසුන් තුන්දෙනෙක් විතර ලැගගෙන පලු කනවා පෙනුණා.  


රෑ බෝවේගෙන එන්න කලින් සිතුල්පව්වට යන්න ඕනැ නිසා අපේ නඩයේ හිටපු වෙද මාමා වලස්සුන්ට කියනා මන්තරයක් කියලා වලස්සුන් ගහෙන් බස්සවන්නත් මහ කැලයට දක්කන්නත් කටයුතු කළා. ඒ වලස් මන්තරය මට අද වාගේ මතකයි.  


ඕඃ අරණීය ධරණීය බුත්සරණීය  


ධාතු වඩාගෙන ධාතු හිස තබාගෙන  


පසේ බුදුන්ට යන්ට....  


ඉඩහැර කළුවා.... ඉඩහැර....  


ඉතිං ඒ වළසුන් අපිට කරදර කළේ නැහැ. අපි ගොන් කරත්ත හතරකින් තමයි මේ වන්දනාවට පිටත් වුණේ.  


කරත්තවල මිණිගෙඩි එල්ලලා තිබුණා. ඒවා ටාං ටාං ටාං ගාලා වදිනවා. ගල් බොරළු පාරක් තිබුණේ. ඒවායේ වළගොඩැලි පිරිලා මහ කැලෑවෙන් පාරවල් වහගෙන තිබුණේ.  


නඩේ තරුණයින් එකතුවෙලා සුද්ද බුද්ද කරගෙන තමයි වන්දනාවේ ගියේ.  


යෝධකණ්ඩියේ, ඉඳලා හැතැප්ම දහයක් දොළහක් ගියාට පස්සේ මඟුල් මහා විහාරය හම්බවෙනවා. එතකං උද්දකන්දර, කොරගහඋල්පොත, තඹරවහන්දිය, බලිහන්දිය, බැඹෑව, යන තැන් පසුකරගෙන තමයි සිතුල් පව්වට යන්නේ.  


සමහර කාලවලදී වන්දනා නඩ මඟුල් මහා විහාරයේ නවාතැන් ගන්නවා. මඟුල් මහා විහාරය කියන්නේ කාවන්තිස්ස රජ්ජුරුවොයි, විහාර මහාදේවියයි විවාහවෙලා මධුසමය ගතකරපු තැනයි.  


එකේ ගල්ලෙන් කිහිපයක් තියෙනවා විශාල ගල් පර්වතයක් මැදිකරගෙන තමයි විහාරය කාවන්තිස්ස රජ්ජුරුවෝ හදලා තියෙන්නේ. මේ තැන් අද වනවිට යාල වනෝද්‍යානයේ යටතට හසුවෙලා තියෙන්නේ.  


ඒකාලෙත් මේතැන්, යාල වුණාට අපිට ඒ ගැන නිච්චියක් නැහැ. අපට ඉතිං මේ මූකලං වනාන්තර දැකලාම දෑසට සතාසීපාවා ගහකොළ හොඳට පුරුදුයි.  


මඟුල් මහා විහාරය පිහිටි ප්‍රදේශයත් රහතන් වහන්සේලා වැඩසිටිය තැනක්.  


සිතුල්පව්වට යන මාර්ගය පුරාවටම අලි ඇතුන් ඕන තරම් කරක් ගහනවා. දැන් අද කාලේ වාගේ නිතරම මිනිස්සු මරන්න අලි ආවේ නැහැ. හැබැයි, මද කිපුණු අලි නාම්බෙක් හමුවුණොත් ටිකක් කරදර තමයි. ඒත් එ්කාලේ මේ වගේ අලි මන්තර කියලා වල් අලි දපනෙ දාගන්න අපේ වැඩිහිටියෝ කටයුතු කරලා තියෙනවා.  


ඕඃ අරි අරි සක්ක්‍රාම්  
ගුරු ගුරු සක්ක්‍රාම්  
ගිනි ගිනි සක්ක්‍රාම්  
විෂ්ණු නාරායනේ ගිනි කිලම්බු දිරිසුං  
ඕඃ අදික්කාල්පන්නේරුම්  
තේවායේ තුක්කාඩාල්  
මුරුවදිපාදම් දරණ හෙරණ  
විමල මෝහිණී  
අව කීල රූපිගං  
අද්දත්දහිරේදහ්...  
අද්දත්දහිරේ මරු දිරි දහ්....  


ආඃ එහෙමයි, ඒ කාලේ අලි මන්තර කියලා වල් අලි මෙල්ල කර ගත්තේ.  


සිතුල්පව්වට යන වන්දනා කාරයෝ පෝයට පෙරදින මඟුල් මහා විහාරයේ රෑ නතර වුණොත් පෝයදා උදෙන්ම යළිත් සිතුල් පව්වට යන්නට පිටත්වෙනවා. උදේ රැයින්ම පාන්දරම පන්සලට වන්දනා නඩය එනවා. අද වාගේ බණ මඩු එහෙම එදා තිබුණේ නැහැ. මහ රූස්ස ගස් යට පැදුරු එළාගෙන කවුරුත් කාලය ගත කළා. මට ඒ කාලේ හොඳට පැදුරු වියන්න පුළුවන්. ඒ මම වියපු පැදුරු තුන හතරක් මේ ගමනට අරගෙන යනවාමයි.  


පොසොන් පොහෝ දිනයට පෙර දින කවුරුත් කඩාගෙන අරගෙන ආපු නෙළුම් පොහොට්ටු පුප්පලා උඩමළුවේ චෛත්‍යයට පූජා කරනවා. ගල යට ලෙන් විහාරයේ බුදු පිළිමයටත් පූජා කරනවා. විහාර මළුවේ සෑම තැනම මුවෝ, ගෝන්නු, ඌරෝ, අලි ගැවසෙනවා.  


ඒ සතුන් සමග වන්දනාකාරයොත් කිසි කලබලයක් නැතුව ජීවත්වුණා. අද වාගේ එදා පොසොන් පිංකම් ජයට කළේ නැහැ. වන්දනාවේ ආපු සෙනඟ ටිකක් මළුව පුරාවටත් තැනින් තැන ලැගගෙන හිටියා.  

 

 

මෙහිදී හැමෝම බොහෝම සංවරව කටයුතු කළා. සිතුල්පව්වේ කොටස් හතරක් ගැන අතීතයේ ඉඳලාම කියැවෙනවා.  


මහ සිතුල්පව්ව, කුඩා සිතුල්පව්ව, දෙකුන්දරකන්ද, කොරවක්ගල මේ හැම තැනම සිතුල්පව්වයි මේවායේ, ලෙන්විහාර විශාල ගණනක් තියෙනවා. කාවන්තිස්ස රජ්ජුරුවෝ තමයි මහ මළුවේ මංගල සෑය හදලා තියෙන්නේ.  
කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ පුතා දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයින්ගේ නන්දිමිත්‍ර යෝධයා, පුස්සදේව යෝධයා, ​වේළුසුමන යෝධයා, ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳත්, මේ විහාරයේ ලෙන් ඉදිකරලා මහරහතුන් වහන්සේලාට වැඩ ඉන්න පූජා කරලා තියෙනවාලු.  


රජ කාලේ දොළොස්දහසක් රහතන් වහන්සේලා වැඩසිටි උතුම් පුණ්‍ය භූමියක් නෙවැ මේ සිතුල්පව්ව කියන්නේ.  


එදා වන්දනාවේ යනකොට සුදුපාටම කියලා වස්ත්‍ර ඇඳගෙන යෑම සිදුවුණේ නැහැ.  


ඒ කාලේ මම ඇඳගෙන ගිය කම්බායක් තවමත් මං ආරක්ෂා කරලා අරන් තියාගෙන ඉන්නවා. ඒ කම්බායට දැන් අවුරුදු 70 කට වැඩියි.  


මේ වාගේ වන්දනා ගමනකදී දරුවෙක් නාකි මනුස්සයෙක් වැටිලා අතක් පයක් උළුක්කු වුණොත්, මස්බැද්ද කොළ, කැකුළ කොළ, වරාකොළ, ගුඩුපොල් කොටාලා අරගෙන කහ ලුණු එකතු කරලා මළවා උලුක්කු තැනේ බඳිනවා. වරුවයි, උළුක්කුව හොඳ වෙනවා.  


ඉතිං අපි කට්ටියම කෑම උයාපිහාගෙන සිතුල්පව්ව වැවෙන් මූණකට හෝදාගෙන පොසොන් පොහොයදා විහාරයේම ගත කරනවා.  


බණ භාවනා කරන එකනම් බොහොම අඩුවෙන් තමයි සිදුකෙරුවේ. හැබැයි අපේ වැඩිහිටි ඈයෝ තුන් සරණය මහ හයියෙන් ශබ්ද නගා ලස්සනට කිව්වා මට මතකයි.  

 

 

සිතුල්පව්ව පුරාවට නටබුන් ගල් කණු පිළිම හැමතැනම තිබුණා. අද කාලේ නම් ඒවා ලස්සනට හදලා තියෙන්නේ.  


මහ ලෙන් විහාර ගෙයි උඩ ගලේ බිතුසිතුවම් චිත්‍ර ඇඳ තිබුණා. එදත් ඒවා ගොඩාක් විනාශ වෙලා තිබුණේ. අපේ වැඩිහිටියෝ කිව්වා නුවර රජකාලේ ඒ සිතුවම් ඇඳලා කියලා. මහ විහාරගෙයි සැතපෙන විශාල බුදු පිළිමය දකින්න දකින්න ඇසට පින් පිරෙනවා. අපි හැමෝම විහාර ගෙයි ඇතුළේ තුන් සූත්‍රය සජ්ජායනා කළා.  


මෙහෙම පොහොය දවස ගෙවලා පසුදා උදේ රැයින්ම අපි ආපසු යෝධකණ්ඩිය බලා එන්න පිටත්වෙනවා.  


මේ හැම වන්දනාවකදීම අපි කාටවත් කිසිදු කරදර ආන්තරාවක් සිදුවුණේ නැහැ.  


සැවොම බොදු භක්තිය සිත්තුළ රඳවාගෙන තමයි කටයුතු කළේ. ඒකයි තුනුරුවන්ගේ ආරක්ෂාවයි. කතරගම දෙවියන්ගේ පිහිටයි නිරතුරුවම අපිට ලැබුණේ.  


අද කාලේ නම් පොසොන් පොහොයට ලක්ෂ ගණනින් සිතුල්පව්වට මිනිස්සු එක්රොක් වෙනවා. සිල් සමාදාන පිංකම් ජයටම කරනවා. දන්සල් සිය ගණනක් තියෙනවා. මුළු පූජා භූමියම විදුලි බුබුළු වලින් ආලෝක කරනවා. රාජ්‍ය නායකයෝ මැති ඇමැතිවරුන් එනවා.  


ඒ කාලේ මේ වාගේ නැහැ. ගමේ ගොඩේ වන්දනා නඩවල මිනිස්සු ටිකක් ඇවිල්ලා හදවතින්ම මල් පහන් පූජා කළා ඒකයි එදා මෙදා වෙනස... 

 

 

 


කතරගම විශේෂ රුක්මන් රත්නායක