උතුවන් කන්දේ සරදියෙල් එල්ලා මැරුවේ මෙහෙමයි


රජකාලේ මරණ දඬුවම දුන් උඩරට වධක බ්ම

සරදියෙල් දුප්පත් මිනිසෙකුට මුදල් ලබා දෙන ආකාරය (උතුවන්කන්දේ සරදියෙල් ගම්මානයේ සිමෙන්තියෙන් කළ නිර්මාණයකි)   

 

සරදියෙල් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාසිටි බෝගම්බර බන්ධනාගාර සිරකුටිය

සරදියෙල් සහ මම්මලේ එල්ලන ආකාරය (උතුවන්කන්දේ සරදියෙල් ගම්මානයේ සිමෙන්තියෙන් කළ නිර්මාණයකි)   

 

සරදියෙල් සහ මම්මලේට මරණ දඬුවම ලබා දුන් ස්ථානය (බෝගම්බර බන්ධනාගාරයේ බැම්මේ කෙළවර තිබූ ගසක එල්ලා ඇත)  

 

 

 

 

ක්‍රි.ව. 1818, 1848 යන වර්ෂවලදී මෙන්, ඊට සමගාමීව තවත් විමුක්ති සටනකට පාර කැපේවි යැයි ඉංග්‍රීසීන් තුළ බියක් පැවති කාලයක් තිබුණි. ඒ ක්‍රි.ව. 1864 වසරයි. ඊට හේතුව වූයේ සරදියෙල් වටා 300ක පමණ කණ්ඩායමක් එක් රොක්ව සිටි නිසාය. අවසානයේ ඊට පෙර පැවති සටන්වලදී, මෙන්ම සරදියෙල්ගේ සටනත් අවසන් වූයේ තමන්ගේම සගයෙකු විසින් ඔහු පාවා දීමෙනි.   


ඉංග්‍රීසින් සහ සිංහල රදල පැලැන්තියෙන් මුදල් ලබාගෙන දුප්පත් ජනතාවට බෙදා දුන් ශ්‍රී ලංකාවේ රොබින්හුඩ් නැතිනම් සරදියෙල් ඉංග්‍රීසින්ගේ කාලයේ මෙරට වාසය කළ නිර්භීත එහෙත් සිහින් සිරුරක් හිමි තරුණයෙකි. අවසානයේදී ඔහු එල්ලා මරනු ලබන්නේ කන්ද උඩරටම හඬවමිනි. ඉංග්‍රීසින් විසින් මෙරට දී එල්ලා මරණ ලද අවසන් දෙදෙනාගෙන් එක් කෙනෙක් සරදියෙල් වන අතර අනෙක් තැනැත්තා ඔහුගේ හොඳම මිතුරා වන මම්මලේ මරික්කාර්ය. රාජකාරි අවස්ථාවේදී මැරුම් කෑ පළමුවෙනි පොලිස් නිලධාරියා සබාන් වන අතර, ඔහු මියයන්නේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට යාමේදී මරික්කාර් අතින් වීම විශේෂත්වයකි.   


බොහෝ අපරාධකරුවන්, මිනීමරුවන්, සොරුන් බිහිවන්නේ සමාජයේ කිහිප දෙනෙකු අතින් සිදුවන වරදිනි. අද මෙන් එදා ද, ආදරය, සෙනෙහස, කරුණාව පමණක් නොව වරදට සමාව ලබාදීමට බොහෝ දෙනෙකු අකමැතිය. එසේ ලබා දුන්නේ නම් සරදියෙල්ට ද විනයගරුක යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට අවස්ථාව තිබුණි. ඉංග්‍රීසීන්ගෙන් පමණක් නොව සිංහල ධනවත් රදලයින්ද සරදියෙල් පීඩාවට පත් කළේය. ඔහු දාමරිකයෙකු වන්නේ සමාජයේ වරදින් නිසා යැයි කීවේ ඒ නිසාය.   


අවසානයේදී ඔහු කළ පාප ක්‍රියාවලට වන්දි වශයෙන් ලැබෙන්නේ පෝරකය වේ. එසේ වුවත්, එදා සරදියෙල් වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ එල්ලුම් ගසය. අදටත් ඔහු එල්ලා මැරූ ස්ථානය ගැන බොහෝ දෙනෙකුට ඇත්තේ ප්‍රශ්නයකි. මරණයට නියම වූ පසු ඔහු සිරකර සිටියේ බෝගම්බර සිරගෙදර නිසා, එල්ලන්නට ද ඇත්තේ බෝගම්බරදී බව සිතීමේ වරදක් නැත. තවත් අය පවසන්නේ එළිමහන් ගසක එල්ලා ඇති බවය. ඇත්තෙන්ම ඔහු එල්ලා මැරුවේ කොහේ දී ද? 

 

 

 


ඊට පෙර සරදියෙල් එල්ලීමට තුඩු දුන් හේතූන් මොනවාද යන්න ගැන දැනගැනීමට ඔබ කවුරුත් කැමති වනු නිසැකය. ඒ සඳහා උතුවන්කන්දට පිය නැගිය යුතුය.   


ඒ ඔහුගේ රාජධානිය පිහිටා තිබුණේ උතුවන්කන්දේ වන නිසාය. සැබවින්ම අදටත් එහි දක්නට ලැබෙන්නේ අතිශය චමත්කාරජනක සුන්දර පරිසරයකි. මාවනැල්ලේ සිට කෑගල්ලට දිවෙන ප්‍රධාන පාරේ කිලෝමීටරයක පමණ දුරක් ගිය පසු, උතුවන්කන්දට යන මාර්ගය හමුවේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් කොළඹ සිට මහනුවර දක්වා සෑදූ ප්‍රධාන මාර්ගය වැටී තිබෙන්නේ මෙම උතුවන්කන්ද පාමුලිනි. එම මාර්ගයේ තවත් කිලෝමීටරයක පමණ දුරක් ගිය පසු වෙල්යායක් හමු වේ. එම වෙල්යාය අවසන් වන්නේ කඳුගැටයක පාමුලිනි. එතැන් සිට උතුවන්කන්ද තරණය කළ යුතුය. එහි මුදුනේ විශාල කුලුණු තුනකි.   


උතුවන්කන්දේ පිචෝ හාමිට සහ අ‌ද‌ාසි අප්පුට දාව 1832 මාර්තු මස 25 දින බිළිඳෙක් උපදිනවා. මවුපියෝ එම දරුවාට “දී කිරි කෑවගේ සරදියෙල්” යනුවෙන් නම් තබනවා. පසු කාලයේ දී, මෙරට හෙල්ලු ශූර සරදියෙල් නම් චරිතය බිහිවෙන්නේ ඒ ආකාරයෙනි. ඔහුගේ රාජධානිය බවට පත් කරගන්නේ මෙම උතුවන්කන්දේ ගල මුදුනේ පිහිටා ඇති ගල් ගුහාවයි. එහි විශේෂත්වය වන්නේ ගල් ගුහාවට ඇතුළු වූ පසු පිටවීමට හෝ ඉදිරියට තවත් මාර්ග දෙකක් ඇති අතර, එහි අවසානය කොහාටදැයි අදටත් සොයා ගත නොහැකි වීමයි.   


රූමත් තරුණියක වන පිචෝහාමිගේ තේ කඩය උතුවන්කන්දේ මොල්ලිගොඩ පිහිටා තිබුණි. අදාසි අප්පු ගැටවරයෙකි. ඔහු ජීවිතය ගැට ගසා ගත්තේ කරත්ත රස්සාවෙනි. අදාසි අප්පු විවිධ බඩු භාණ්ඩ කරත්තයේ පටවා ගෙන මහනුවර ඇතුළු විවිධ ප්‍රදේශවලට ගමන් කළේය. ඒ යන අතරමඟ පිහිටා ඇති පිචෝහාමිගේ තේ කඩයට ගොඩවැදීමට අමතක කරන්නේ නැත. එහිදී දැන හඳුනාගන්නා ඔවුහු පසුව විවාහ වෙති. ඔවුන්ට ලැබුණු පළමු දරුවා සරදියෙල්ය. පේදුරු, ගේබ්‍රියෙල්, මාර්තා සහ ඇන්ටනි යනුවෙන් සහෝදර සහෝදරියන් හතර දෙනෙක් ලැබෙන්නේ ඉන් පසුවය.   


අදාසි අප්පු පසු කාලයකදී සරදියෙල් සහ පිචෝහාමි අතහැර දමා, අනෙක් දරුවන් සමඟ හාල්දඬුවන ප්‍රදේශයට පදිංචියට ගියේය. ඊට හේතු වන්නේ සරදියෙල්ගේ දඩබ්බර වැඩය. මවගේ තේ කඩය නිසා ඇය යාමට අකමැති වූහ. ඒ අනුව ඔවුන් දෙදෙනා උතුවන්කන්දේ නැවතුණාහ. එහෙත් තම බිරිඳ සහ දරුවා අමතක කරන්නේ නැත. ඉඳහිට ඔවුන් බැලීමට ද පැමිණියහ.   


කුඩා සරදියෙල් මුරණ්ඩු ගති පැවතුම් සහිත පුද්ගලයෙකි. නිතරම පාහේ සම වයසේ දරුවන් සමඟ කෙළිදෙලෙන් ගත කළේය. රදල දරුවන්ගේ අසාධාරණ වැඩවලට එරෙහි වූ අතර ඒ නිසා, මව, ඔහුගේ කේන්දරය බැලුවාය. එහිදී නක්ෂත්‍රකරුවෙකු පවසා තිබෙන්නේ ලංකාවේ එඩිතර, ශූරයෙකු වී, ඒ වෙනුවෙන් ජීවිතය පූජා කරන බවයි. එපමණක් ද නොව පංචමහා පුරුෂ යෝගය, සිංහාසන යෝගය පිහිටා තිබූ බව ද සඳහන් විය.   


මේ අතරේ ඉංග්‍රීසි ජාතිකයෝ කෝපි ඵලදාව කන්ද උඩරට සිට කොළඹට රැගෙන ඒම සඳහා මහා මාර්ගය උතුවන්කන්ද පාමුලින් කොළඹ සිට මාවනැල්ල හරහා මහනුවරට හැදූහ. එදා අශ්ව කෝච්චි එම මාර්ගයේ නිතරම එහා මෙහා ගියහ.   


සරදියෙල් මූලික අධ්‍යාපනය ලැබූවේ තලවිල පල්ලියේ පියතුමාගෙන් සහ ඉලුක්ගොඩ ස්වාමීන්වහන්සේගෙනි. කුඩා කළ අධ්‍යාපනයට මෙන්ම, චිත්‍ර ශිල්පයට ද දක්ෂ මොහු ගැන රදල දරුවන් ඊර්ෂ්‍යා කළහ. ඒ අතරේ ඉලුක්ගොඩ හාමුදුරුවන්ගෙන් හෙණරාජ තෛලය හොරකම් කළ බව කියති. පසුකාලීනව කාල අංජනම ද ඔහු සතු වූ බව පැවසෙනවා. මේ නිසා නොපෙනී සිටීමේ හැකියාව ලැබෙනවා. කෝරළේ මහත්තයාගේ පුතෙකු සමඟ ඇති කර ගන්නා ආරවුලක් නිසා, ඔහුට පහර දීමේ ප්‍රතිඵලයක් වශයෙන් සරදියෙල් අපරාධකාරයෙකු ලෙස මහනුවර පොලිසියෙන් රැගෙන යන ලදී. වර්තමානයේ මහනුවර පුෂ්පදාන බාලිකාව අසල පිහිටි පොලිසිය ඉදිරිපිට මාර ගස යට පිහිටි කුඩා නිවෙසක හිර කර ඇති අතර ඒ එදා පොලිස් ස්ථානයට අයිති කුටියකය. මාර්ගය පළල් කිරීම නිසා, අද එම නිවෙස දක්නට නැත. මෙය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වේ. පසුව හිරෙන් පැන ගන්නා සරදියෙල්ගේ නිවහන වන්නේ උතුවන්කන්දේ ගල්ලෙනයි.   


සරදියෙල්ට බොහෝ දෙනෙකුගේ සිත දිනාගැනීමට හැකියාව ලැබෙන්නේ, ඉංග්‍රීසින් සහ රදලයින්ගෙන් පැහැර ගන්නා මුදල් අහිංසක දුප්පතුන් වෙනුවෙන් බෙදා දීමෙනි. ඒ වනවිට තුන්සීයක පමණ පිරිසක් ඔහුගේ සහායට සිටියහ. මාවනැල්ලේ ගඩොල් පාලම වෙඩි බෙහෙත් දමා පුපුරවා හැරීමත්, දුම්රිය පාරේ වැඩකරන මිනිසුන්ට වැටුප් ගෙවීමට ගෙන ගිය මුදල් පෙට්ටියක් පැහැර ගැනීමත් ඔහු කළ දාමරිකකම්වලින් දෙකකි. මුදල් පෙට්ටි රැගෙන යන අශ්ව දුම්රිය කොල්ලකෑමේ දී සරදියෙල් තම කානු හයේ පිස්තෝලෙන් හය දෙනෙකුට වෙඩි තබා ඇති අතර ඉන් දෙදෙනක් ඒ අවස්ථාවේ දීම මරණයට පත් වූහ. ඉතිරි හතර දෙනාටද තද බල අයුරින් තුවාල සිදු වූ බවත් වාර්තා වේ.   


මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එවකට කෑගල්ල දිස්ත්‍රික්කයේ උප දිසාපති එෆ්.ආර්. සෝන්ඩර්ස් භට පිරිසක් යැවූ අතර සරදියෙල් වටකර ඇල්ලීමට උත්සාහ කිරීමේදී ඔහුගේ වෙඩි පහරින් දෙදෙනෙකු තුවාල ලැබූහ. තවත් දෙදෙනෙක් වෙඩි වැදී මිය ගියහ. එහෙත් ඔහු අල්ලා ගැනීමට හැකියාව නොලැබිණි.   


අවසානයේදී සරදියෙල් අල්ලා ගැනීමට යුද්ධයක් කිරීමට සිදු වූ අතර කෑගල්ලේ ඒජන්ත මහනුවරින් සහ කොළඹින් ජා රෙජිමේන්තුවේ සොල්දාදුවෝ විශාල පිරිසක් කාලතුවක්කු සමඟ උතුවන්කන්දට ගෙන්වා ගන්නා ලදී. ඒ බව එදවස ලක්රිවිකිරණ පුවත්පතේ පමණක් නොව එක්සැමිනර්, ටයිම්ස් හා ඔබ්සර්වර් යන ඉංග්‍රීසි පත්තරවල ද පළ වූ බව සිරි තිලසිරි මහතා විසින් රචිත “19 වන සියවසේ ශ්‍රී ලංකාවේ සරදියෙල් ඇල්ලීම හා ඇල්ෆ්‍රඩ් කුමරු පිළිගැනීම” යන කෘතියේ සඳහන් වේ.   


සරදියෙල් අල්ලාගත් ආකාරය පිළිබඳ ඇහින් දුටු සාක්ෂියක් පිළිබඳ ඉහත කෘතියේ සඳහන් වේ.   


“සරදියෙල් ඇල්ලීම සඳහා ගිය උතුවන්කන්දේ වැදගතෙකු (නම සඳහන් කර නොමැත) විසින් කොළඹ සිටින තමන්ගේ හිතවත් කෙනෙකුට ලියන ලද රහස් ලිපියක සඳහන් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.   


මාර්තු මස 17 වෙනිදා රෑ සරදියෙල් තම මවගේ නිවසේ සිටි බවත්, එදින සවස 7ට පමණ සරදියෙල් අල්ලා ගැනීමට ගිය කණ්ඩායමට කිත්තෝ හාමිගේ පුතා වන ජෝර්ජ් ද ඇතුළත් විය. සරදියෙල් ඔහුට වෙඩි තැබූ බවත්, එම වෙඩිල්ල ඔහුගේ පපුවේ වැදී මහපාරේ කානුව ළඟ මැරී වැටුණ බවත් සඳහන් වේ. ක්‍රිස්තියන් අප්පුට ජෝර්ජ් මැරුණු බව ආරංචි වී බලන්න ගොස් සරදියෙල් සිටි ගෙයි බිත්තියට වෙඩි තබා බැන වැදී ඇත.   


කෝපයට පත් සරදියෙල් තැබූ වෙඩි පහරින් ඔහු ද මිය ගිය අතර ගනේතැන්නේ පොලිසියේ සාජන්ට් මුත්තුසාමිට තැබූ වෙඩි පහර, වැදුණේ ඔහුගේ පිටටය. එහෙත් ඔහු මැරුණේ නැත. නසර්දීන් නමැති තරුණයාගේ ඇසක් අන්ධ වූ බවත්, පක්කීර්ට මුනිස්සන් කැටයක් වැදී පිට කැපී ගිය බවත් ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.   


එම වෙඩි තැබීමෙන් පසු කෑගල්ලේ ඒජන්තට පණිවිඩයක් යවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් කෑගල්ලෙන් මිනිස්සුන් 20 ක්ද, මොලගොඩ වසමෙන් මිනිසුන් 50ක් ද දොස්තර කෙනෙක් සහ චාර්ලිස් ද සමඟ ඒජන්ත ද පැමිණ තිබේ. ඒ වනවිට රාත්‍රී 10ට පමණ ඇත.   


ඉන්පසු ඒජන්තත්, සියඹලාපිටියෙ කෝරාළ ඇතුළු සියලු දෙනාම ගොස් මාවනැල්ලේ පිහිටි කාදර්ගේ ගේ වටකර තිබේ. ඔවුහු එළිවෙන තුරු කෝපි ලඳුවල ගත කර, එළිය වැටුණු වහාම නිවෙස ඇතුළ පරීක්ෂා කර තිබේ. එහෙත් සරදියෙල් එහි සිට නැත. ඒ වෙනුවට කාදර් සහ ඔහුගේ බිරිඳ, සරදියෙල්ගේ බාප්පා, පියා අදාසි අප්පු, කාදර්ගේ බිරිඳගේ නැගණිය ද, රාල කෙනෙක් ද මාංචු දමා රැගෙනවිත් කෑගල්ලේ සිරගෙදර රඳවා ගෙන ඇත.   


18 වෙනි දින නුවරින් අශ්ව කෝච්චි දෙකකුත්, කොළඹින් අශ්ව කෝච්චියකුත් ජා සොල්දාදුවෝ සමඟ පැමිණ තිබෙනවා. ඔවුහු භාරව කපිතන් කෙනෙකු ද සිටි බව සඳහන් වී ඇත. 21 වෙනිදා උදේ හයට පමණ මාවනැල්ලේ පිහිටි කාදර්ගේ නිවෙස වට කර, සිරිමල්ට නිවස ඇතුළට ගොස් විපරම් කරන ලෙස ඒජන්ත අණ කර තිබෙනවා. සිරිමල් සරදියෙල්ගේ පැරණි මිතුරෙකි.   


ඒ අනුව සිරිමලා එම නිවස ඇතුළට ගොස්, විපරම් කර බලනවිට සොල්දරය උඩ නිදා සිටින සරදියෙල් දුටුවේය. ඒ බව ඒජන්තට පැවසීමට යන අතරතුර ඔහු ඉදිරියට පැමිණි පොලිස් නිලධාරීන්ට ඒ බව පවසා තිබේ. ඒ සමඟම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පිළිකන්න පැත්තෙන් ගෙට ඇතුළු වෙනවා. ඉන් එක් අයෙක් වන සැරයන් අහමත් සරදියෙල්ට වෙඩි තබනවා. එම වෙඩිල්ල ඔහුගේ අතට සහ කකුලට වැදුණා. මේ බව දුටු මම්මලේ බරාදයේ සිටි අනෙක් පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇති අතර, එය ඔහුගේ හිසට වැදී තුවක්කුවත් සමඟ ඔහු මැරී වැටුණේය. (පොලිස් දිනය සමරන්නේ ද මෙදිනටය)   


ඒ සමඟම කාදර් සිටි නිවෙසට ඉංග්‍රීසින් වෙඩි තැබීමට පටන් ගෙන තිබේ. සරදියෙල් සහ මම්මලේ ද ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ඒ අතරේ ඒජන්ත විසින් තව සොල්දාදුවන් සහ කාලතුවක්කු හතරක් රැගෙන එන ලෙස නුවරට පණිවුඩයක් ද යැවීය.   


එදින දහවල් 12 පමණ වනවිට සරදියෙල් සිටි නිවෙස ඇතුළෙන් කිසිදු ශබ්දයක් ඇසී නැහැ. එම නිසා ඔවුන් මැරුණ බව සිතා, ඒජන්ත විසින් නිවසට ගොස් තට්ටු කර කතා කරන ලෙස සොල්දාදුවන්ට කීව ද, කිසිවක් ඉදිරිපත් වන්නේ නැහැ. එහෙත් කිඹුල්පනේ දෙහිවෙදරාල ඒ සඳහා ඉදිරිපත් විය.   


වෙඩි අත්හිටෙව්වොත් එළියට එනවා යැයි සරදියෙල් එවිට පැවසීය.   


ඒ ආකාරයෙන් අල්ලා ගත් සරදියෙල්ට විරුද්ධව වූ නඩුව, 1864 අප්‍රේල් මස 4 දින තොම්සන් විනිශ්චකාරයා විසින් විභාග කරන ලදී. මැයි මස 4 දින සරදියෙල් සහ මම්මලේට මරණ දඬුවම නියම කෙරිණ. ඒ අසා ඔවුන් දෙදෙනාම නොසැලී සිටි බවද නඩුව විභාග කර හිරගෙදරට රැගෙන යන ආකාරය බැලීමට මඟ දෙපස හාර දහසක් හෝ පන් දහසක ජනතාවක් රොක් වී සිටි බවද කියැවේ.   


සරදියෙල් එල්ලා මැරීමට දවසකට පෙර බවුතිස්ම කර ක්‍රිස්තියානි ආගමට බඳවා ගත්තේ එෆ්.එෆ්. ඩුෆෝ පියතුමාය. ඉන් පසුවදා (සෙනසුරාදා) ඔවුහු උදේ නවයේ පැයට හිරගෙයින් පිටතට ගෙන හේවායින් කිහිප දෙනෙකු සමඟ මහනුවර අලුත් පාර ඉදිරිපිට තිබෙන එල්ලන ස්ථානයට රැගෙන ගියේය. වර්තමානයේ බෝගම්බර බන්ධනාගාරය සහ බෝගම්බර ක්‍රීඩාපිටිය අතරින් දිවෙන පාරේ බෝගම්බර බන්ධනාගාරය කෙළවර මුල්ලක තිබූ ගසක ඔවුන් එල්ලා තිබෙන බව මහනුවර එච්.එම්.යු.බී හේරත් මහතා පවසයි.   


ඔහු පුරාවිද්‍යාත්මක කරුණු ගැන අධ්‍යයනයක යෙදෙන විද්වතෙකි. සරදියෙල් ඍජුව පොතක් කියවමින් ගමන් කළත්, මම්මලේ ගමන් කර තිබෙන්නේ හිස බිමට නමා ගෙනය. අනතුරුව මහත් වූ බැගෑපත් වීමකින් සහ යාච්ඤා වෙමින් කතෝලික පාදිලි තැන සමඟ පෝරකේ ළඟට ගොස්, එහිදී දණ නමස්කාර කර පාදිලි තැනගෙන් ආශිර්වාදය ඉල්ලා ඇත. පසුව ඒතැනට පැමිණි සිටි සමූහයා අමතා මම්මලේ මෙසේ පවසා තිබෙනවා.   


“මම කළ වැරදිවලට මාව මරණවාට මම සංතෝසයි. සියලුම ක්‍රිස්තියානිකාරයෝ මට ක්ෂමා වෙයල්ලා. මාගේ මේ අච්චු බලා මා ලෙස වරද නොකරන ලෙස දැනුමැති වෙයල්ලා.”   
වෙනදා මිනිසෙකු එල්ලීමට ගෙන යන විට කැඳවා ගෙන යන හේවායින්ට වඩා තුන් ගුණයක හේවායෝ, හෝවා මුලාදෑනියෝ, පිස්කල්වරු, පොලිස්කාරයන් කිහිප දෙනෙක්, රෝමානු කතෝලික පාදිලි කෙනෙක් සහ මරක්කල පාදිලි කෙනෙක් ද, මෙම අවස්ථාවේ දී, වධක භූමියට කැඳවා තිබෙනවා.   


ඉන්පසුව සරදියෙල්ගේ මුහුණ වසා බෙල්ලට තොණ්ඩුව දැම්මේය. පය ගසාගෙන සිටි ලෑල්ල පහතට වැටුණි. ඒ ආකාරයෙන් මම්මලේ ද එල්ලා මරණ ලදී. 1864 මැයි මස 7 දින දී, ඔවුහු මරණයට පත් කළ ද, එය සිදු කිරීමට නියමිතව තිබුණේ මැයි 4 දා ය. එය කල් දැම්මේ ඇයි ද යන්න ගැන, එදා වගේම අදටත් පවතින්නේ රහසක් වශයෙනි. ඔවුන්ගේ මෘත දේහයන් කටුගස්තොට කනත්තට රැගෙන ගොස් මිහිදන් කළ බව වාර්තා වෙනවා.   


ලබන සතියේ මහනුවර තවත් වධක භූමියක් වෙත ඔබ රැගෙන යන්නෙමු.   


ස්තුතිය - ලේවැල්ල ගංගාරාම විහාරස්ථානයේ ආචාර්ය මඩාටුගම සෝරත ස්වාමීන් වහන්සේට, හිටපු ක්‍රීඩා උපදේශක එච්.එම්.යු.බී. හේරත් මහතාට, විශ්‍රාමලත් දිසා විනිසුරු (විශේෂ ශ්‍රේණිය) පර්ල් කරල්ලියද්ද මහත්මියට සහ මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාලයේ නිලධාරි මහත්ම මහත්මියන්ට.   

 

 

සරදියල්ගේ රාජධානිය - උතුවන් කන්ද

 

 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර