ඇමේසන් වනයෙන් මතුවූ සිතුවම්


 

මහා ඇමසන් වැසි වනාන්තරය ඇත්තේ දකුණු ඇමෙරිකාවේය. ඇමසන් වනාන්තරයේ සැඟවුණු අබිරහස් බොහොමයකි. දකුණු ඇමෙරිකාවට අයත් රටවල් බොහොමයක් පුරා ඇමසන් වැසි වනාන්තරය පැතිරී පවතී. ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක්, එනම් සියයට 60ක් අයත් වන්නේ බ්‍රසීලයටය. සියයට 13ක් පේරු රාජ්‍යයටත්, සියයට 10ක් කොලොම්බියාවටත් අයත් වෙයි.   


කොලොම්බියාවේ ‘චිරිබිකෙත් ජාතික වනෝද්‍යානය’ යනුවෙන් හඳින්වෙන වනාන්තර ප්‍රදේශය ඇමසන් වනාන්තරයට අයත් කොටසකි. පසුගිය පනස් වසර පුරා, කොලොම්බියාවේ බෙදුම්වාදී ‘ෆාර්ක්’ ගරිල්ලන් සහ කොලොම්බියා රජයේ හමුදාව අතර යුද්ධයක් පැවැතිණි. ෆාර්ක් ගරිල්ලන් සැඟවී සිටියේ මෙම චිරිබිකෙත් ජාතික වනෝද්‍යානයේය. එහෙයින් කිසිවකු මෙම වනෝද්‍යානයට ඇතුළු වූයේ නැත. වනාන්තර ප්‍රදේශ ගවේෂණයට ලක්වූයේ ද නැත. කෙසේ නමුත් ෆාර්ක් ගරිල්ලන් සහ රජය අතරේ සාම සාකච්ඡා ඇරැඹීමත් සමඟ අද වනවිට ගැටුම් නිමාවට පත් වී තිබේ. අද ෆාර්ක් ගරිල්ලන් නොසිටියත්, තෙත් අඳුරු චිරිබිකෙත් වනාන්තරය, අනතුරුදායක තැනකි. අබිරහස් පිරුණු තැනකි.   

 

ගවේෂණ කණ්ඩායම සිතුවම් ඇඳි ගල් බිත්තිය සොයා ගැනීමෙන් පසු   

 

 


හරිහැටි ගවේෂණයට ලක් නොවුණු වනාන්තරයට ඇතුළු වී, ගවේෂණයක් ඇරැඹීම සිදුවූයේ බ්‍රිතාන්‍යය සහ කොලොම්බියානු රාජ්‍ය දෙකේ එකමුතුවෙනි. ඒ අනුව, බ්‍රිතාන්‍යය සහ කොලොම්බියානු ගවේෂණ කණ්ඩායමක් වනාන්තරය තුළට පය තැබුවේය. ඔවුන්ට යුරෝපීය පර්යේෂණ කවුන්සිලයේ මූල්‍ය අනුග්‍රහය හිමි විය. ගවේෂණ කණ්ඩායමට නායකත්වය දුන්නේ එක්ස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හොසේ ඉරියාවේ ය. ගවේෂණ කණ්ඩායම වනාන්තරයට ඇතුළු වූයේ සත්ව ලෝකයට ආගන්තුක සත්ව විශේෂ හෝ ලොවෙන් සැඟවුණු ස්වදේශ ගෝත්‍රිකයන් සිටිනු ඇතැයි අපේක්‍ෂාවෙනි. ගවේෂණ කණ්ඩායම සමඟ රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායමක් සහ කැමරාකරුවෝ ද එක් වී සිටියහ.   


ගල් පර්වත අතරින්, වනාන්තරය මැදට පිවිසි ගවේෂණ කණ්ඩායම මවිතයට පත්විය. ඒ, ඔවුන් ඉදිරියෙන් වූ ගල් බිත්තියක් පුරා සැතැපුම් 8ක් දිගට සිතුවම් කළ චිත්‍ර දැකීමෙනි. මේ චිත්‍ර වසර 12,500ක් පැරැණි බව සිදු කළ කාලනිර්ණ පරීක්‍ෂණවලින් අනාවරණය විය. වසර දහස් ගණනක් එම සිතුවම් සුරැකිව තබා ගැනීමට වනාන්තරය සමත් වීම, කාගේත් පුදුමයට හේතුවක් විය. සිතුවම් පමණක් නොව, සිතුවම්වලින් නිරූපණය කළ සතුන් දැකීමෙන් ගවේෂණ කණ්ඩායම තවත් පුදුමයට පත් විය.   

 

සිත්තරුන්ගේ අත් සලකුණු   

 

 

සැතැපුම් 8ක් දිගට සිතුවම් කර තිබුණු චිත්‍රවලින් නිරූපණය වූයේ මිනිසුන් සහ සතුන්ය. අයිස් යුගයට අයත් ලොවෙන් වඳ වී ගිය සතුන්ය. අද ලතින් ඇමෙරිකාවේ දකින්න නොලැබෙන, යුරෝපයටත් අප්‍රිකාවටත් ආසියාවටත් පමණක් සීමා වූ සතුන් පවා මෙම සිතුවම් අතර දකින්නට ලැබුණි. අලි ඇතුන් වැනි යෝධ මැමත් සතුන්, ගෝනුන්, අශ්වයන්, යෝධ මන්දයන්, රයිනෝසිරස් සතුන් ආදිය සිතුවම් අතරේ ඇති බව පැවැසෙයි. ඊට අමතරව, ඔටුවන්ගේ පවුලට අයත් ‘පැලේලෝ-ලාමා’ සතුන් ද සිතුවම් අතරේ දකින්නට ලැබීම තවත් සුවිශේෂත්වයකි. ලාමා සතුන් ලතින් ඇමෙරිකාවට ආවේණික වුවත්, සිතුවම් අතරේ දකින්න ලැබෙන යෝධ ලාමා සතුන් අද වනවිට ලොවෙන් වඳ වී ගොස් ඇති බව ගවේෂණ කණ්ඩායම පැහැදිලි කර තිබේ. සිතුවම් පිරි ගල් බිත්තිය පිහිටි මෙම ප්‍රදේශය හැඳින්වෙන්නේ ‘සෙරනිනා දෙ ලා ලින්ඩෝසා’ යනුවෙනි.   


ගවේෂණ කණ්ඩායම ගල් බිත්තිය ‘පැරැන්නන්ගේ සිස්ටන් දෙව් මැඳුර’ ලෙස නම් කළේය. ‘සිස්ටන් දෙව් මැඳුර’ තිබෙන්නේ රෝමයේ වතිකානයේය. පාප්තුමන්ගේ නිල නිවස වන්නේ ද මෙම දෙව් මැඳුරය. ලොව ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලොගේ චිත්‍ර මෙම දෙව් මැඳුරේ බිත්තියේත් සිවිලිමේත් දකින්නට ලැබේ. දෙවියන් වහන්සේ ආදම් මැවූ ආකාරය දැක්වෙන සිතුවම ඒ අතරින් කැපී පෙනෙයි.   


පුරාණ මිනිසුන්ගේ අත් සලකුණු ද සිතුවම් අතරේ දකින්නට ලැබේ. මීට අවුරුදු 17,000කට පෙර අද ලතින් ඇමෙරිකාව ලෙස අප හඳුන්වන භූමි ප්‍රදේශය යුරෝපය හා ගොඩබිම් පාලමකින් සම්බන්ධ වී තිබෙන්න ඇති බවත්, සයිබීරියාවේ ආදි ගෝත්‍රික වැසියන් ඒ හරහා උණුසුම පිරුණු ලතින් ඇමෙරිකා භූමියට සංක්‍රමණය වන්න ඇති බවත් විද්‍යාඥයන්ගේ මතය වෙයි. ඒත් සිතුවම් ඇඳි චිත්‍ර ශිල්පීන් කවුරුන්දැයි යන්න නොවිසඳුණු අබිරහසකි. ගවේෂණ කණ්ඩායම අනුමාන කරන පරිදි, මේ ඉපැරැණි සිත්තරුන් ‘යනෝමානී’ හෝ ‘කයාපෝ’ ගෝත්‍රිකයන් විය යුතු බවය. ‘යනෝමානී’ හෝ ‘කයාපෝ’ වසර දහස් ගණනක් ඇමසන් වනාන්තරේ ජීවත් වී ඇති බව පැවැසෙයි. ‘යනෝමානී’ ගෝත්‍රික වැසියන් ගැන ලෝකයා පළමුවෙන් දැනගත්තේ 1759 දී ස්පාඤ්ඤ දේශගවේෂකයන්, ‘යනෝමානී’ ගම්මානයකට ගොස් ‘යනෝමානී’ ගෝත්‍රික නායකයකු හමුවීමෙන් පසුවය. ‘කයාපෝ’ ගෝත්‍රිකයන් ගැන දන්නා දේ අල්පය. මොවුන්ගේ ගහණය 8,600ක් පමණ යැයි පැවැසෙයි. ‘යනෝමානී’ හෝ ‘කයාපෝ’ ගෝත්‍රිකයන් ජීවත් වූ බව පැවැසෙන්නේ බ්‍රසීල සහ වෙනිසියුලා දේශ සීමා ප්‍රදේශයේ ඇමසන් වනාන්තරයේය.   


ගවේෂණ කණ්ඩායම සමඟ මෙම ගවේෂණයට එක්වුණු රූපවාහිනී කණ්ඩායමේ කිසිවකු පවා වනාන්තරය තුළ සැඟවුණු චිත්‍ර පිරි ගල් බිත්තියක් හමුවේවි යැයි කල් තියා දැන සිටියේ නැත. කැමරා කණ්ඩායම අපේක්‍ෂා කළේ සත්ව ලෝකයට ආගන්තුක ගෙම්බකු, මාළුවකු, මකුළුවකු, සර්පයකු හෝ කුරුල්ලකු දකින්නට ලැබේවි යැයි පමණි. කෙසේ නමුත් හමුවුණු බිතු සිතුවම් ඒ සියල්ල වෙනස් කළේය. ගවේෂණ කණ්ඩායමේ ත්‍රාසජනක වික්‍රම රූගත කෙරුණු අතර, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවෙන් ඒවා මේ වනවිට විකාශය කෙරේ. ඒ, ‘ජංගල් මිස්ටරි: ලොස්ට් කින්ඩම්ස් ඔෆ් ඇමසන්’ යන වාර්තා වැඩසටහන ඔස්සේය. මෙම වාර්තා වැඩසටහන් පෙර ඉදිරිපත් කරන්නේ, ගවේෂණ කණ්ඩායම සමඟ එම වීර වික්‍රමයට එක්වුණු බ්‍රිතාන්‍ය ජාතික, පුරාවිද්‍යාඥයකු මෙන්ම, දේශගවේෂකයකු ද වන නිවේදිකා මහාචාර්ය එලා අල් ෂමාහි ය. මැය ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවකි.

 

 

ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි