ඇතෙකුගේ උදව්වෙන් ගෙන ආ රාජසිංහ ස්මාරකය


ලංකා රාජවංශයට තිත තැබෙමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් අතට පත් වූ ස්ථානයේ ස්මාරකයක් පිහිටුවා මෙම දෙසැම්බර් මාසයට වසර 110 ක් සපිරේ. වසර 110 කට පෙර ස්මාරකය පිහිටුවීම සම්බන්ධ කථාව මේ වනවිට සම්පූර්ණයෙන් යටපත් වී පවතී. එම ස්මාරකය පිහිටුවීම සම්බන්ධ තොරතුරු දන්නා අය අද ඇත්තේ ඉතාම සුලු පිරිසක් පමණි. ඇතැම් තොරතුරු දන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසක් පමණි. 
  
1815 පෙබරවාරි 18 වැනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් අතට පත් වන්නේ බෝමුරේ උඩුපිටිය ප්‍රදේශයේ පිහිටා තිබූ ගම්මුලාදෑනිවරයාගේ නිවසේ සැඟවී සිටියදීය. අත්අඩංගුවට ගත් දිනයේ හදවත් බියෙන් ගැහෙමින් මර බියේ සිටි පිරිසක්ද සිටියහ. ඒ බෝමුරේ හා ගල්ලැහැවත්තේ ගම්වැසියන්ය. ඔවුන් එදා කැලෑවල් හා වෙනත් තැන්වල සැඟවෙමින් කල් ගතකර ඇත්තේ කුමකින් කුමක් සිදු වේදෝයි යන සැකයෙනි. 


රජතුමා අසුවී වසර 92 ක් ගතවූ 1907 වර්ෂයේදී රජතුමා සැඟවී සිටි නිවස තිබූ ස්ථානය ගැන තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවයක් ඉංග්‍රීසි නිලධාරියෙකුට ඇතිවී තිබේ. ඒ වනවිට රජතුමා සැඟවී සිටි නිවස දැනගත්තවුන්ගෙන් අසා තොරතුරු දැනගෙන සිටි කීප දෙනෙක් බෝමුරේ ගමේ සිට ඇත. ඒ අයගෙන් ඉංග්‍රීසි නිලධාරිවරයාට තොරතුරු ලබා ගැන්මට හැකිවී තිබේ. 


තොරතුරු ලබා දී ඇති පුද්ගලයකු වන්නේ හිග්ගහපිටියේ ගෙදර අප්පුවා නැමැත්තාය. පිදුරු සෙවිළි කළ වහළක් සහිත නිවස වළව්වක ස්වරූපය ගත් බවත් නිවස ඇතුළේ අටුවක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙයි. 


රජතුමා අසුවන මොහොතේ තිබූ සියඹලා ගසක් පොල් ගස් දෙකක්ද එලෙසම තිබී ඇත. ඉදිරිපසින් උඩුපිටියේ ඇළ ගලා යමින් තිබූ අතර හාත්පස දක්නට ලැබී ඇත්තේ කුඹුරු යායවල්ය. 


රජතුමා සැඟවී සිටි නිවස තිබූ බිමට අයිතිවාසිකම් කියන පිරිසක්ද සිට ඇත. ඔවුන් නම් රජතුමාට ආරක්ෂාව සපයමින් කෑම බීම ලබා දෙමින් රජතුමා රැක බලාගත් උඩුපිටියේ අප්පුරාළ මුලාදෑනිවරයාගේ දියණියකගේ මුනුපුරකු වන කෝරාළවරයා හා ඔහුගේ පවුලේ උදවියය 1908 දී කෝරාළවරයා හා ඔහුගේ පවුලේ උදවිය බිමට අයිතිවාසිකම් කිව්වත් ඉංග්‍රීසීන් ඒ ඉඩම රජයට පවරා ගන්නට තීරණය කර තිබේ.

 


රජතුමා අල්ලාගත් ස්ථානය සම්බන්ධ සියලු සොයා බැලීම් කර ඇත්තේ මහනුවර මහ දිසාපතිවරයා වශයෙන් ක්‍රියා කළ ජෝන් ​හෙන්රි ලුවිස් මහතාය. ජෝන් ලුවිස් ඉතිහාසගත වැදගත් ස්ථාන ගැන සොයා බලන්නටත් ඒවා පිළිබඳ තොරතුරු එක් රැස් කරන්නටත් එම ස්ථාන සංරක්ෂණය කරන්නටත් උනන්දු වූ කෙනෙකි. 


රජතුමා අල්ලාගත් බෝමුරේ උඩුපිටියේ නිවස තිබූ ස්ථානයේ ස්මාරකයක් ස්ථාපිත කරන්නට ජෝන් ලුවිස් ක්‍රියාකර තිබේ. 


එම ස්මාරකය ගලින් නිම වූ එකකි. ශිල්පීන් ශිලාමය ස්ථම්භය තනා ඇත්තේ බෝමුරේ හා ගල්ලැහැවත්ත මැදින් ගලා බස්නා ඔයේ ඉහළ කොටසේ ස්ථානයකදීය. ඇතෙක් ස්ථම්භය රජතුමා අල්ලාගත් ස්ථානයට රැගෙනවිත් තිබේ. ඉතා පරෙස්සමෙන් ස්ථම්භය රැගෙන ඒමට ඇත්ගොව්වෝ ක්‍රියා කර තිබේ. 


ස්ථම්භය ස්ථාපනය කර තිබෙන්නේ 1908 දෙසැම්බර් මාසයේය. ඒ බව ස්ථම්භයේ කොටා ඇත්තේ A.D. ERECTED 1908 යනුවෙනි. 


ස්මාරකය ඇති ස්ථානය එකළ අයත්ව තිබී ඇත්තේ උඩදුම්බර ඌරුගල මැදිසියපත්තුවේ බෝමුරේටය එහෙත් වර්තමානයේදී මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මැදමහනුවර බෝමුරේට එය අයත්ය. 


එකළ එක් පළාතකට පවසා තිබෙන්නේ ඌරුගල යන්නය. එහෙත් දැනට වසර 40 ක පමණ පෙරදී ඌරුගල යනුවෙන් පැවසූ පෙදෙසට මැද මහනුවර යන නම භාවිත කරන්නට පටන්ගෙන තිබේ. 


බෝමුරේ උඩුපිටිය පෙදෙසේ පදිංචි යූ.ජී. තිලකරත්න (53) මහතා සීමාසහිත තෙල්දෙණිය විවිධ සේවා සමුපකාර සමිතියේ වසර 24 ක් පුරා ක්ෂේත්‍ර නිලධාරිවරයෙක් ලෙස සේවය කරන්නෙකි. ඔහු පැවසුවේ මෙවන් දෙයකි. 


මගේ සීයලා අත්තම්මලා හිග්ගහපිටියේ ගෙදර පරපුරේ අයයි. මගේ සීයා මට කිව්ව දෙයක් තියෙනවා. අපේ ගෙදරට යාබදින් තියෙන ඔයේ ඉහළ තැනකදී ස්මාරකය හැදූ බවත් ස්මාරකයට අවශ්‍ය ගල ඔයේ තිබුණ විශාල ගලකින් කපලා ගත්ත බවත් කියලා තියෙනවා. 


ඔය ගල කපලා ගත්ත තැනට ඒ කාලේ ඉඳන්ම කියන්නේ ගල කපපු තැන කියලයි. ස්මාරකයට අවශ්‍ය ගල එතනින් ගත්ත හින්දයි ඒ තැනට ගල කපපු තැන කියලා කියන්නේ. 


වසර 5 ක කාලයක සිට ස්මාරකය ආරක්ෂා කිරීමේ කාර්යය කරන්නේ බෝමුරේ පදිංචි ඊ.එම්. ලොකුබණ්ඩා (52) මහතාය. ඔහු කියන්නේ මෙවන් කථාවක්. 


ස්මාරකයට ඉස්සරහින් තියෙන ඇළට කියන්නේ උඩුපිටියේ ඇළ කියලයි. ඉස්සර ඉඳන්ම ඒ ඇළට කියලා තියෙන්නේ ඒ නමයි. මේ ඇළ මාර්ගය දිගේ රජතුමා මෙතනට ආවා කියලයි අහල තියෙන්නේ. 

 

 

 


සටහන හා ඡායාරූප 
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ