හොල්මන් කාමරයක පලහිලව්ව


හැමිල්ටන් වයිට්ලර්, එක්දහස් අටසිය නවයේ දිනයක පෝස්ට්මත් නගරයට පැමිණියේ තමන් සේවය කළ බ්‍රිතාන්‍ය නෞකාව පෝස්ට්මත් වරායට එනතුරුය. ඔහු නගරයට පැමිණෙන විට නගරයේ සෑම නවාතැන්පොළක්ම පාහේ අමුත්තන්ගෙන් පිරී පැවතුණ බැවින් ඔහුට නවාතැන් ගැනීමට ස්ථානයක් සොයා ගැනීමට ඉතාමත් අසීරු කරුණක් විය.


දවස මුළුල්ලේම නවාතැන්පොළක් සොයා ඉතාමත් වෙහෙසටත් කනස්සලුභාවයටත් පත්ව සිටි ඔහු සවස් යාමයේ එක් මුඩුක්කු මාවතක් ඔස්සේ ගමන් කළේ රාත්‍රිය ගතකිරීමට එහිදී හෝ කිසියම් ස්ථානයක් සොයා ගැනීමට හැකි වේ යැයි සිතාය. අවසානයේ ඔහු මාවතේ වූ පැරණි පන්නයේ හෝටලයක් දැක එයට ඇතුළු වූයේය. හෝටලයේ ඉදිරි කාමරයේ වූ කවුන්ටරය අසල මහලු කාන්තාවක හිඳගෙන සිටියාය.


‘අද රාත්‍රිය ගතකිරීමට මට කාමරයක් වෙන්කර ගන්න පුළුවන් ද? වෙහෙසට පත් හඬකින් ඔහු එම කාන්තාවගෙන් විමසුවේය.
‘මුළු හෝටලයම පිරිලා. ඔබට උදව් කරන්න බැරිවීම ගැන කනගාටුයි? ඇය පිළිතුරු දුන්නා ය.


‘මම හුඟක් වෙහෙසට පත්වෙලා ඉන්නේ. එච්චර සැප පහසු කාමරයක් අවශ්‍ය නැහැ. මට රාත්‍රිය ගතකරන්න ඇඳක් තියෙන තැනක් හම්බ වුණත් ඇති.’ ඔහු ආයාචනාත්මක හඬින් පැවසීය.
‘හ්ම්. ඒකත් එහෙම ද? එක කාමරයක් තියෙනවා. හැබැයි තව කෙනෙක් ආවොත් එයත් එක්ක කාමරය පාවිච්චි කරන්න කැමැති නම් ඒ කාමරය දුන්නැකි’ ඇය කීවාය.


‘එහෙම නම් ඒ ඇඳට නියමිත මුදලක් මම ගෙවන්නම්. මට තනියම කාමරය පාවිච්චි කරන්න දෙන්න.’ හැමිල්ටන් තම පිටුපස සාක්කුවෙහි වූ මුදල් පසුම්බිය ඉවතට අදිමින් පැවසුවේය.


‘එහෙම නම් මට ගැටලුවක් නැහැ ඇඳවල් දෙකටම ගෙවනවා නම් තනියම කාමරය පාවිච්චි කරන්න පුළුවන්. හෝටලය හිමිකාර මහලු කාන්තාව හිස සලමින් කීවාය.
හෝටලයේ වූ භෝජනාගාරයෙන් රාත්‍රී ආහාරය සප්පායම් වූ හැමිල්ටන් කාමරයට ඇතුළු වී එහි දොරගුලු තදින් වසා දැමීය.
‘මැරුණා වගේ නින්දක් ද‌ාන්න ඕනේ.’ තමන්ටම පවසා ගත් හැමිල්ටන් ඇඳ සිටි ඇඳුම උනා තබා සයනයෙහි වැතිරුණේය. දැඩි වෙහෙසට පත්ව සිටි ඔහුට නින්ද එනතුරු එතරම් වේලාවක් කල් මරන්නට සිදුවූයේ නැති නමුත් එම නින්දේ ඔහුට සිටීමට හැකි වූයේ පැය දෙකකට අඩු කාලයකි. ඝෝෂාකාරී ශබ්දයක් ඇසී ඔහු තිගැස්සී පිබිදුණේය. සයනයේම ඇලවී සිටි ඔහු මොහොතක් හොඳින් ඇහුම්කන් දී සිටියේය.


කාමරයේ වූ ජනේලයෙන් සඳඑළිය ඔහු නිද‌ා සිටි කාමරයට අපූරුවට ගලා එමින් තිබුණි. ඔහු තමාට අඩි දෙක තුනක් ඈතින් වූ සයනය දෙස නිකමට මෙන් නෙත් හෙළුවේය. ඒ දුටු දෙයින් ඔහුගේ දෙනෙත් විස්මයෙන් මහත් විය. නිද‌ා සිටි ඇඳේම සිට ඔහු දෙවැලමිට සයනය මත තබා උඩුකය ඔසවා අසල වූ සයනය දෙස වඩාත් පරීක්ෂාකාරීව බැලුවේය.
රතු පැහැති ලොකු ලේන්සුවකින් හිස ඔතා ඇඟටම හිරවුණ දුඹුරු පැහැති කලිසමක් ඇඳගත් පුද්ගලයකු හතරගාතෙන් ඇඳ මත වැතිර සිටියේය. තමන් සම්පූර්ණ කාමරයටම නියමිත මුදල ගෙවා තිබියේදීත් වෙනත් කෙනෙකුට ඒ කාමරය නොදෙන බවට පොරොන්දුව සිටියදීත් තමන්ගේ කාමරය තවත් පුද්ගලයකුට නිද‌ා ගැනීමට ඉඩදීම ගැන හැමිල්ටන්ගේ සිතෙහි ඇතිවූයේ තද කෝපයකි.


ඊළඟට ඔහුට සිතුණේ ඇඳේ නිද‌ා සිටින මිනිහා බෙල්ලෙන් අල්ලා කාමරයෙන් දොට්ට දැමීමටය. නමුත් නැවියෙකු සේ පෙනෙන මේ හැඩිදැඩි පුද්ගලයා සමග මේ රාත්‍රියේ ආරවුලක් ඇතිකර ගැනීම ප්‍රඥ‌ාගෝචර නොවේ යැයි සිතූ හැමිල්ටන්, මේ වනතුරු එම පුද්ගලයාගෙන් අවහිරයක් හෝ කරදරයක් නොවූ නිසා කිසිවක් සිදුනොකර නැවත නින්දට වැටුණේය.
උදෑසන හිරු රැස් කාමරය පුරා පැතිර පවතින විට හැමිල්ටන් නින්දෙන් අවදි විය. පෙරදින රාත්‍රියේ රන් පැහැයෙන් දිදුලු, එම තැනැත්තාගේ හිස බැඳි ලේන්සුව ඒ අවස්ථාවේ අඳුරු පැහැයක් ගෙන තිබීම හැමිල්ටන්ගේ විස්මයට හේතුවක් විය.


ඒ පිළිබඳව සිතූ හැමිල්ටන් ඒ ගැන ඔහුගෙන් ඇසීමට සිතා පොරෝනය ඉවත්කර ඇඳෙන් නැගිට ඒ පුද්ගලයා නිද‌ා සිටි ඇඳ වෙත යෑමට හැරුණේය.
හැමිල්ටන්ගේ සිතෙහි පුදුමයක් ඇති කරමින් ඒ ඇඳ හිස්ව තිබුණි. සයනය පුරා අතපය විසිරුවා විකාරයක් ලෙස ඇඳෙහි වැතිර සිටි පුද්ගලයා, දොරත් විවෘත නොකර මේ ක්ෂණයකින් බැහැර වී ගියේ කෙසේ දැයි හැමිල්ටන් කල්පනා කළේය. අමුත්තාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට ඔහු ඇඳන් යට පරීක්ෂා කර බැලුවේය. බිත්ති අත ගා ඒවායෙහි රහස් දොරක් ඇත්දැයි බැලීය. නමුත් එවැනි කිසිම සලකුණක් ඔහුට සොයා ගැනීමට නොහැකි විය.
හැඳ පැලඳගෙන ඔහු කාමරයෙන් පිට වූයේ එම කරුණු පිළිබඳවත් විමසා හෝටලයෙන් පිටත් වී යාමට සිතාගෙනය.
‘නෝනා ඔබ කළ වැඩේ නම් හරිම කැතයි. ඔබ මගේ කාමරය වෙනත් කෙනෙකුට නොදෙන පොරොන්දුව පිටයි මම මුළු කාමරයටම ගෙව්වේ. නමුත් එය ඉටුකළ හැටි නම් හරිම කැතයි.’ හැමිල්ටන් පැවසුවේ කෝපයෙනි.
‘මොනවද ඔබ මේ කියන්නේ? මම ඔබට කාමරය දුන්නෙ හුඟක් අඩු මුදලකට. දැන් මේ විකාර කතා කියන්නේ ගාස්තුව අඩුකර ගන්න ද? හෝටලයේ අයිතිකාරිය ද පැවසුවේ හැමිල්ටන්ටත් වඩා කෝපයෙනි.


ගාස්තුව අඩුකරන්න? බල්ලට ද‌ාන්න ගාස්තුව. මගේ කාමරේ හිටිය මිනිහගෙන් කරදරයක් සිදුවුණේ නැති නිසා කමක් නැහැ. නමුත් ඔබ පොරොන්දු වූ ආකාරයට කටයුතු නොකළ එකනම් ලැජ්ජාවට කරුණක්.
‘ඔබ මොනව කියනව ද කියල මට තේරෙන්නේ නැහැ. මම කොහොමද ඔබේ කාමරයට තවත් මිනිහෙකුව එවන්නේ? ඔබම නේද කාමරය ඇතුළෙන් යතුරුලාගෙන හිටියේ. එහෙම නම් කාවහරි ඇතුළුකර ගන්න පුළුවන් ඔබටමනේ.’ නොසන්සිඳුණු කෝපයෙන් ඇය ඇසුවාය.
‘මම දොර වහගත්ත බව ඇත්ත. ඒත් මගේ කාමරේ ඔළුව තුවාල වුණ නැවියකු වගේ සද්දන්ත මිනිහෙකු හිටිය එකත් ඇත්ත’. හැමිල්ටන් තම ගමන් බෑගය ද රැගෙන හෝටලයෙන් පිටත්ව යෑමට සූද‌ානම් විය.
හැමිල්ටන්ගේ කතාව ඇසූ හෝටල් අයිතිකාරිය දැඩි ලෙස බියට පත් වූ බව පෙනී ගියේය.
‘පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. මුහුණ පුරා රැවුල, ඔළුවෙ තුවාලයක් තියෙන... කියන්න මහත්තයා කියන්න.’ ඇයගේ වදන් ඇසූ හැමිල්ටන් මොහොතක් නතර විය.
‘එන්න මෙහාට එන්න.’ වටපිට බැලූ ඇය කිසිවෙකු නොමැති තැනකට ඔහු කැඳවාගෙන ගියාය.
‘වෙන මොනවද වුණේ?’ ඇය නොඉවසිල්ලෙන් ඇසුවාය.


‘ඊට වඩා දෙයක් මම දන්නෙ නැහැ. වෙරිමතින් කෝලහාලයකට පැටලුණ කෙනෙක් ඒකෙන් බේරෙන්න මගෙ කාමරයට ආවද දන්නෙ නැහැ. මට පුදුම ඔහු ආවෙ කොහොමද? පිටවුණේ කොහොමද කියලා.
‘හරි... හරි... ඔබ කියන දෙය හරි. එහෙම නම් ඒකෙ තේරුම මගෙ ව්‍යාපාරය කම්මුතුයි කියලා. අනේ දෙවියනේ මොකද වෙන්න යන්නේ? ඇය තම දෙඅත් ළයතුරෙහි හොවා ගනිමින් මහත් වූ වික්ෂෝපයකින් පැවසුවාය.
‘කනගාටුවෙන්න එපා මැතිනිය. මේ සිද්ධියෙ සම්පූර්ණ තොරතුරු මට නොවළහා කියන්න. මම සතුටුයි එය දැනගන්න.’ හැමිල්ටන් මහත් උද්යෝගයකින් ඇසීය.
‘නැහැ. නැහැ. එහෙම අමුතු මොකවත් නැහැ.’හෝටල් හිමිකාරිය විස්තරය පැවසීමට මදක් පැකිළෙන ස්වභාවයක් පළ කළාය.
‘නැතිවෙන්න බැහැනේ නෝනා. ඔබගේ මුහුණ භීතියෙන් සුදුමැළිවෙලා. මොකක් හරි බියකරු සිද්ධියක් ඔබේ හිතේ හංගගෙන තියෙනවා. මට කියන්න. සමහරවිට ඒක ඔබේ හිතට සැහැල්ලුවක් වේවි.’ හැමිල්ටන් පැවසීය.


‘හොඳයි ඔබ ඔච්චර බලකර ඉල්ලා සිටින නිසා මම සිද්ධිය කියන්නම්. හැබැයි එක පොරොන්දුවක් පිට ඔබ මේ පිළිබඳව කිසිම කෙනෙකුට වචනයක්වත් නොකියන බවට ඔබ මට පොරොන්දු වෙන්න ඕනෙ. ඔව්. ඔබ මේක රහසක් විදියට රකින්න ඕනෙ.’‘ඒක සිද්ධ වුණේ හරියට දවස් හතරකට ඉස්සර.’ කතාව ආරම්භ කළ ඇය මොහොතක විරාමයක් ගෙන අවට බැලුවාය.
‘ඔව් දිගටම කියන්න.’ හැමිල්ටන් ඇය උනන්දු කළේය.
‘එද‌ා රාත්‍රියේ නැවියන් පිරිසක් හෝටලයේ බාර් එකේ මත්පැන් බොමින් හිටියා. ඒ වෙලාවෙම තවත් නාවික භටයින් පිරිසකුත් මත්පැන් බොමින් හිටියා. මේ ​දෙගොල්ලොම හොඳට වෙරිවෙලයි හිටියෙ. මොකක් හරි හේතුවකින් මේ දෙගොල්ලො අතර අරගලයක් ඇතිවුණා. අනේ දෙවියනේ ඒක මතක් වෙද්දිත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.’
‘ඔව්. ඉතින් අරගලයේදී මොකද වුණේ?’


‘ඒක හරි භයානකයි. එක නාවික භටයෙක් බීර බෝතලයකින් තව නාවිකයෙකුගේ නළලටම දැඩි පහරක් එල්ල කළා. ඒ නැවියා හොඳ හැඩිදැඩි සිරුරක් තියෙන කෙනෙක්. නමුත් ඒ පහර ඔහුට ඔරොත්තු දුන්නේ නැහැ. ගහක් කඩා වැටෙනවා වගේ ඒ නැවියා බිම වැටුණා. ඒ එක්කම පහර දුන්න නාවික භටයින් හෝටලයෙන් පැනල ගියා. උන් මහා වලත්ත මිනිස්සු වගයක්. මගේ බිලත් ගෙවන්නෙ නැතිවයි පැනල ගියේ. යකාටම යන්න ඕනෙ ඒ වලත්තයො කට්ටිය.
බිම වැටුණ නාවිකයාගේ සගයන්ට කිව්වා ඉක්මනට ඔබ හිටිය කාමරයට තුවාලකාරයා අරන් යන්න කියලා. ඔවුන් තුවාල කාරයව ඔසවාගෙන ගිහිල්ල ඔබේ කාමරයේ අර ඇඳේ තමයි තිබ්බෙ.
‘ඉතින් මිනිහට මොකද වුණේ?’
‘අපි මිනිහගෙ නළලට අයිස් කැබැලි තිබ්බා. තද රෙද්දකින් තුවාලය බැන්ද‌ා. ඒත් තුවාලයෙන් ලේ එන එක නවත්වන්න බැරිව ගියා. අන්තිමේදී ඒ ඇඳ උඩ ඔබ ඊයේ දැක්ක විදියට මියගියා.’


‘ඔබ පොලිසියට සිද්ධිය කිව්ව ද? හැමිල්ටන් අතුරු පැනයක් නැගීය.
ඇය හිස දෙපසට සෙලෙව්වාය.
‘ඇයි ඒ?’
‘පොලිසිය ආවොත් අපි ඔක්කොටම මරණය ගැන වගඋත්තර කියන්න වෙනවා. ඔහු එක්ක හිටිය අනික් නැවියන් කිව්වා ඒ රාත්‍රියේම වත්ත පිටිපස්සෙ වළක් කපලා මිනිය වළලමු කියලා. ඔහු නැවෙන් නිදහස් කළ අයෙකු නිසා ඔහු ගැන හොයන එකකුත් නැහැයි කිව්වා. ඒ හින්ද‌ා රහසේම මිනිය වළලා දැම්මා.’ එසේ කියා අවසන් වන විට හෝටල් හිමිකාරියගේ මුළු සිරුරම දහඩියෙන් නැහැවී තිබුණි.
‘අපරාධයක් කළොත් කොහොම හරි ඒක එළිවෙනවා. ඔය කාමරේ තවත් කාටවත් දෙන්නෙ නැහැ’ ඇය කීවාය.
නමුත් සෑම රාත්‍රියකම ඒ කාමරයෙන් වේදනාවෙන් කෙඳිරිගාන හඬක් ඇසෙන්නට විය.
හෝටලයට එන අමුත්තන්ට ද එය ඇසෙන බවක් ඇයට හැඟී යන්නට විය. අවසානයේ ඇය එම හෝටල් ගොඩනැගිල්ල වෙනත් කෙනෙකුට විකුණා දැමුවාය.

 

 


පීටර් කැනියුට් පෙරේරා



Recommended Articles