සත්සමුදුර වැලිකතර ඔස්සේ බක්මහ දීගයට


හැටේ දශකයේ සිංහල චිත්‍රපට ගීත -2

 

 

මහැදුරු සුනිල් ආරියරත්නයන් ලියු සිංහල චිත්‍රපට ගීතාවලිය (1967-1971) සහ සිංහල චිත්‍රපට ගීතාවලිය (1972-1976) යන ග්‍රන්ථ ද්විත්වය ඉකුත්දා එළිදුටුවේ ගොඩගේ ප්‍රකාශන ලෙසිනි.   


එකී යුගවල සිංහල චිත්‍රපට ගීත කරණය පිළිබඳ අංගසම්පූර්ණ විස්තරයක් එම කෘති ද්විත්වයේ අඩංගුව ඇත. මෙහි පළ වන්නේ 1967-1971 යුගයේ චිත්‍රපට ගීත පිළිබඳ මහැදුරු ආරියරත්නයෙන් කරන විග්‍රහයෙන් තවත් කොටසකි.   


61-71 කාලය තුළ වැඩිම මධුර ගී තනු සංඛ්‍යාව නිර්මාණ කර ඇත්තේ ප්‍රේමසිරි කේමදාස බව පැහැදිලි වේ. මනමාලයෝ ආදරවන්තයෝ වැනි නිසරු චිත්‍රපටවල පවා කේමදාසගේ මධුර ගී තනු තිබිණ. ඔහුගේ එකඳු ගී තනුවක් හෝ ජනප්‍රියත්වයට පත් ​නොවුයේ “සමනල කුමරියෝ” හරි මඟ පෙන්ව නේද? මොකද වු​ණේ? “හතර පෙරළිය” යන චිත්‍රපටවලය.   
“ලක්සෙට කොඩිය” “අබුද්දස්ස කාලෙ” යන චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අමරදේවගෙන් එම චිත්‍රපටවලට කිසිඳු යහපතක් සිදු නොවීය. ජනප්‍රිය ගී තනුවක් හෝ එම චිත්‍රපටවලට එක් කරන්නට හෝ අසමත් විය.   


එම චිත්‍රපටවලට ගී රචනා කළෝ මහගමසේකර, ඩෝල්ටන් අල්විස් වැනි ප්‍රශස්ත ගේය කාව්‍ය කර්තෘවරුය.   


ප්‍රවීණ සංගීතඥයකු වූ ලයනල් අල්ගමගෙන් “ඉඳුනිල” චිත්‍රපටයට ද ප්‍රථම වරට සිනමා සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවිශ්ට වූ සංගිත් නිපුන් පී.වී. නන්දසිරිගෙන් පිනිබිඳු චිත්‍රපයට ද මෙහෙයක් සිදු වූයේ නැත.   


චිත්‍රපට ගීත ගැන විනා චිත්‍රපට සංගීතය ගැන සංගීතය උන්නදුවක් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තුළ මෙන්ම සංගීත අධ්‍යක්ෂවරුන් තුළ ද නොතිබුණු තරම්ය. මීට ඉහත අමරදේව “රන්මුතුදූව”, “ගම්පෙරළිය”, “දෙලොවක් අතර” ඔස්සේ ද කේමදාස “සැනසුම කොතැන ද?” ඔස්සේ ද අවස්ථාවෝචිත සංගීතයක් පිළිබඳ ඉඟි පළ කර තිබුණි. අමරදේව සහ කේමදාස දෙදෙනාම සිනමානුරූපී සංගීතයෙහි කූටප්‍රාප්තියට පැමිණියේය මේ සමයෙහිය. අමරදේව “රන්සළු” චිත්‍රපටයට ද කේමදාස “ගොළු හදවත” චිත්‍රපටය ද සුවිශිෂ්ට සිනමානුරූපී සංගීත සම්ප්‍රදානයක් සිදු කර තිබිණ.   


ගීත රහිත “ගොළු හදවත” ට එබඳු සාධාරණත්වයක් ඉෂ්ට කළ කේමදාසට ගීත රහිත “ප්‍රියංගා” ට එම සාධාරණත්වය ඉෂ්ඨ කළ නොහැකි විය. ඊට හෙතු වූයේ “ප්‍රියංගා” කවර අංශයක හෝ සාධනීය ලක්ෂණ නොපෙන්වූ නිසරු චිත්‍රපටයක් වීමයි. ගීත රහිත අක්කර පහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ට කෘතියක් නොවූවත් සංගීතයෙන් ඊට ලැබෙන්නට තිබුණු පිටුබලය හෝ අමරදේවන්ගෙන් නොලැබිණ. 

 
සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට සිනමානුරූපී සංගීතයෙන් සපුරා පෝෂණය වූ චිත්‍රපට ද්විත්වය ලෙස “ගොළු හදවත” සහ “රන්සළු” හඳුන්වා දිය හැකිය. එහෙත් “ගොළු හදවත” තිර ගත වූ සමයෙහි එහි සංගීත භාවිතයට එරෙහිව ලාල් හෑගොඩ කවියා ලිපියක් ලීවේය. 70 ජුනි 19 වැනි දින විසිතුරු පත්‍රයෙහි පළ වූ එම ලිපියෙහි මාතෘකාව වූයේ චිත්‍රපයට අනුචිත වූ අවස්ථානුරූපී සංගීතය යනුයි. එම ලිපියට ලියු පිළිතුරක් ජුනි 26 වැනි දින විසිතුරේ පළ වී තිබිණ. “ගොළු හදවතට සංගීතය නොතිබුණා නම්” නමැති එම ලිපිය ලියා තිබුණේ “ගොළු හදවත” වාද්‍ය වෘන්දයේ ග්ලොකැන්ස්පිල් වාදනය කළ සේන ජයන්ත වීරසේකරය.   


“සොරුන්ගෙත් සොරු”, “හාර ලක්සෙ” මේ සමයෙහි තිරගත වූ ගීත රහිත සෙසු චිත්‍රපටය. “සොරුන්ගෙත් සොරු” චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂවරයෙක් නොසිටියේය.   
සෝමදාස ඇල්විටිගල “සත්සමුදුර” සහ “වැලිකතර” චිත්‍රපටවලට ප්‍රශස්ත සිනමානුරූපී සංගීතයක් නිර්මාණය කළේය. 

 
චිත්‍රපටය සහ සංගීතය ගැන කරන කතිකාවක දී දයානන්ද ගුණවර්ධනගේ “බක්මහ දීගේ” චිත්‍රපටයත් එල්.එම්. පෙරේරාගේ, හතර පෙරළිය චිත්‍රපටයත් අමතක කළ නොහේ. මන්දයත් ඒවා “සංගීතමය චිත්‍රපට” පිළිබඳ අත්හදා බැලීම් බැවිණි. ගීත බහුල වූ පමණින් කිසියම් චිත්‍රපටයක් “සංගීතමය චිත්‍රපටයක්” ලෙස හඳුන්වා දිය නොහැකිය. “බක් මහ දීගේ” ගීත එහි චරිත හා සිද්ධි ඔස්සේ උද්ගත වන්නේ බටහිර ඔපෙර නාටක සිහි ගන්වමිනි. සැබැවින්ම එහි මුල් කෘතිය ප්‍රංශ භාෂාවෙන් රචිත සංගීත නාටකයකි. දයානන්ද ගුණවර්ධන කළ “බක් මහ අකුණු” (1963) නමැති සිංහලානුවාදය ද සංගීත නාටකයකි. “බක්මහ අකුණු” නාටකයේත් ඒ ඇසුරින් නිර්මාණය කළ “බක්මහදීගේ” චිත්‍රපටයේත් ආ ගීවල දකින්නට ලැබුණු විශේෂත්වය නම් ඒ සියල්ල සාම්ප්‍රදායික ආකෘතිය සහිත ගීත නොවීමයි. (උදා- “පබුලිනෝ” ගීයෙහි පද 04කි, “මුදලිතුමනි මම එකක් කියන්නං”, ගීයෙහි පද 04 කි, “ගන්නං පලි මම” ගීයෙහි පද 04 කි.) නාට්‍යයෙහි ආ “ආදර මී වද හද බැඳ ගන්නයි.” “මලකට වත් බඹරෙකු පැණි බොන්නේ”, “හිරු රැස් නොලැබී”, උතුරා ගිය ඒ පිවිතුරු ආලය, “ගුවන ගුගුරා රං අකුණු කොටලා” යන ගීත චිත්‍රපටයෙන් ඉවත් කර තිබිණ.   


“හතර පෙරළිය” වනාහි සංගීතය විසින් “බක්මහ දිගේට” ද වඩා ඔබ්බට ගිය චිත්‍රපටයකි. එහි ගද්‍ය සංවාද කිසිවක් නැත. සියල්​ලෝ ගීත වලින් ම කතා කළෝය. මෙහි කේමදාසගේ සිය ගණනක් ගී තනුත් නන්දා මාලිනී ජේ.ඒ. මිල්ටන් පෙරේරා, වික්ටර් රත්නායක ආදීන්ගේ සිය ගණන් ගායනාත් ඇතුළත් වී තිබේ. මේ සියලු දේ මෙසේ වීමට හේතුව. 1969 මැයි 22 වැනිදා කොළඹ දී වේදිකා ගත වූ සුදාස් මාසකෝරාළගේ “බැරිසිල්” නමැති ගීත නාටකය “හතර පෙරළිය” චිත්‍රපටයට පාදක වීමයි. “බැරි සිල්” ගීත නාටකයෙහි සංගීත නිර්මාණකරුවා ද කේමදාසමය. සිනමා රසිකයෝ මේ අපූරු අත්හදාබැලීම නොපිළිගත්හ. විචාරක ප්‍රශංසා ද නොලැබිණ.  


එහෙත් එය බොක්ස් ඔෆිස් වාර්තාත් බිඳ හෙළුවේය. මන්ද යත් “හතර පෙරළිය” සමග ප්‍රදර්ශනය කළ දඹදිව වන්දනාව පිළිබඳ වාර්තා චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය වීම නිසාය. එවක රුපවාහිනි යන්ත්‍ර නොතිබිණ. බොහෝ දෙනා දඹදිව දැක තිබුණේ ඡායාරූප වලින් පමණි. මේ තත්ත්වය වටහා ගත් එල්.එම්. පෙරේරා “හතර පෙරළියේ” රඟපෑ ස්ටැන්ලි පෙරේරා සමග දඹදිව ගොස් දඹදිව වන්දනාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සකස් කළේය. බෝපිටියේ පඤ්ඤාලංකාර හිමියෝ එහි රූප රාමුවලට යෝග්‍ය පරිදි විස්තර කථනයක් රචනා කළහ. විස්තර කථනය කළේ කරුණාරත්න අබේසේකරයි. ගම් පළාත්වල බෞද්ධ බැතිමත්හු පොල් මල් බැඳ ගත් බස් රථ වලින් “දඹදිව වන්දනාවේ” ආවේය. ඇතැම් සිනමා හල්වල “හතර පෙරළිය” නොපෙන්වා “දඹදිව වන්දාව” පමණක් ප්‍රදර්ශනය කළ බව ද එවක වාර්තා විය. මේ වාණිජ්‍යමය සාර්ථකත්වය කවරාකාර වීද යත් “හතර පෙරළිය” ට සම්බන්ධ වූ ශිල්පීන්ට බෝනස් පවා ගෙවන ලදි.   


“බක්මහ දීගේ” සහ “හතර පෙරළිය” සංගීත අධ්‍යක්ෂවරුන් විෂයෙහි අභියෝගාත්මක චිත්‍රපටය. ඇල්විටිගල සහ කේමදාස ඒ අභියෝග ජය ගත්හ. එහෙත් ඒ සංගීත අධ්‍යක්ෂවරුන්ට හෝ ඒ චිත්‍ර්‍රපට අධ්‍යක්ෂවරුන්ට සිනමා විචාරකයන්ගෙන් කිසිඳු අනුග්‍රහයක් නොලැබිණ. “බක්මහ දීගේ” ගී, කථාන්තරයේ චරිත සහ අවස්ථා සමග අත්‍යන්තයෙන් බැඳි තිබියදීත් ජයවිලාල් විලෝගොඩ කියා සිටියේ එය “සංගීතමය” චිත්‍රපටයක් නොව “සින්දු සහිත” චිත්‍රපටයක් බවයි. එම සින්දු කතාව තුළින් අනායාසයෙන් මතු නොවූ අතර කතාව මොහොතකට නවත්වා “අමුත්තන්” ලෙස චිත්‍රපටයට පැමිණි බවයි. (දිනමිණ 71.02.7) ජයවිලාල්ගේ ප්‍රකාශය සාවද්‍යය. “බක්මහ දීගේ” වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “සංගීතමය චිත්‍රපටයකි”   


“ඇමැතිකම” ද ඔපරා ලක්ෂණ පළ කළ “සංගීතමය” චිත්‍රපටයක් ලෙස සැලකිය හැකි වේ. අධ්‍යක්ෂ නිහාල් ඒ ජයසිංහ පවසන්නේ බටහිර ඔපරා ශෛලිය මුල් වරට සිංහල සිනමාවට ගෙන ආවේ “ඇමැතිකම” බවයි. “ඇමැතිකමේ” ඡන්ද ව්‍යාපාරය පිළිබඳ ජවනිකා පෙළට තමා ඒ ඔපරා ලක්ෂණ ආරූඨ කළ බවයි. (විසිතුරු 73 අගෝ 25)   
සින්දු පොත් ව්‍යාපාරය   


67-71 කාලය වන විටත් සින්දු පොත් ප්‍රකාශනය සරුසාර වෙළඳාමක් බවට පත්ව තිබිණ. මෙම පොත් පළ කළේ චිත්‍රපටය සින්දු පොත් පළ කළ ඇම්.කේ. පොන්නයියා පිල්ලෙල හැරුණු විට මරදාන, මාලිගාකන්ද පාරේ අංක 03 දරන තැන පිහිටි ඇම්.ජී. ධර්මදාස සහෝදරයෝ සහ මරදාන, පංචිකාවත්ත පාරේ, අංක 57 දරන තැන පිහිටි ආනන්ද පොත්හලයි. ඔවුන් පළ කළ සින්දු පොත් ලැයිස්තුවක් මතු දැක්වේ. එවක ජනප්‍රියත්වය දිනා සිටි ගායක ගායිකාවෝ කවරහුද? යන වගත් එවක ජනප්‍රිය ගීත මොනවා ද යන වගත් පිළිබඳ ඉඟි මේ පොත් ලැයිස්තුවෙන් දැක ගත හැකි වේ.

 
පොන්නයියාපිල්ලෙල දෙව් දව පළා ගියාදෝ (මිල්ටන් පෙරේරාගේ ගීත) සිහින ලොවේ මිහිර මැවූ මාලි (සී.ටී. ප්‍රනාන්දුගේ ගීත), තරුණ නෙත් (බෙග්, ජෝතිපාල, මිල්ටන්ගේ ගීත), පෙම් අප්සරාවී, ඔය හද පතාල ආමී, මමයි ටැක්සිකාරයා, මහද නමැති වන බඹරා, ඔබ කවුද ප්‍රියෝ, ​ෆ්‍රෙඩී සිල්වාගේ ආරෝන් මාමා, ජෝතිපාලගේ යාය් යාය් හිප්පි හිප්පි, කණ්ඩායම් ගීත පමණක් අඩංගු, බොම්බෙ මෙරී හායි, “කණ්ඩායම් ගීත පමණක් අඩංගු දිල්හානි, මිල්ටන්ගේ කල්‍යාණියේ මංගලම්, ඇන්ටන් රුද්‍රිගොගේ, මද්දුම බණ්ඩාර, ජෝතිපාලගේ දෙවඟන වාගේ ලස්සනයි, ෆ්‍රෙඩී සිල්වාගේ ඤාණවතී අක්කේ සහ කැකිල්ලේ රජ්ජුරුවෝ, වෝල්ටර් ප්‍රනාන්දුගේ කපටි නරියාගේ කොළඹ කාක්කාට, ඇම්.ඇස්.ගේ. බේබි බේබි, ඉන්ද්‍රාණි පෙරේරා සහ මුන්ස්ටෝන්ස්, ජෝතිපාලාගේ කඳුළැල් සලා, මිල්ටන් කල්‍යාණිට ගැයූ ඔබ තරමට මා නැළවූ, මිල්ටන් මල්ලවාරච්චිගේ ඔබ නිල් නුවන් තලාවේ, ජෝතිපාලගේ ආදර හද මල්, ඇම්. ඇස්ගේ සුදු කෙල්ලෙ ඔයා, බෙග්ගේ සුදු සඳ රැස්, ඇම්.ඇස්.ගේ. රං එතනා.   


අැම්.ජී. ධර්මදාස සහ සහෝදරයෝ, බයිලා මාස්ටර් (ඇන්ටන් ජෝන්ස්, ඇම්.ඇස්. ප්‍රනාන්දු, උපාලි ලියනගේ, වොලි බැස්ටියන්ගේ බයිලා) ආදරේ කියයි. මෙසේ (ජනකාන්ත ගායක ගායිකාවන්ගේ ගීත) ස්වර්ණහංසි (සංගීත අම්බරේ දීප්තිමත් තරුවක් ලෙසින් දිළෙන අපේ සදාදරණීය ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ අලුත් පැරණි ගීත විශාල ගණනක් අඩංගු පොතකි මේ.)   


අානන්ද ​පොත්හල ප්‍රේම ශිඛාව (ජෝතිපාලගේ ගීත) මධුභාෂිණි, (බෙග්, මිල්ටන්, ජෝති), මිල්ටන් සහ ජෝති ගීත මංජරී (මිල්ටන්, ජෝති, බෙග්), මදුවන්ති (බෙග්) ඔංචිල්ලාව, මධු ආකරේ, වල්පොල සහ ලතා, ආදරියේ මධු මිහිරේ, සිසිර සහ ඉන්ද්‍රාණි, රුක්මනී දේවි, මොරිස් දහනායක සහ පුෂ්පරාණි ජී.ඇස්.බී. රාණි සහ සී.ටී. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න සහ ඇන්ජලින්, රෙදි පෝලිම (ඇම්.ඇස්. ඇන්ටන්, වොලි) බයිලා සක්වල, මල්සරා, වොලී බැස්ටියන්ස්ගේ බයිලා, පෙම් වීණාව, සංගීත අම්බරේ, සිඳ දා ප්‍රේම තටාකේ, මහද නමැති වන බඹරා, ආදරේ රන් දෙවොලේ, ආදර මධුර අතීතේ, ඇම්.ඇස්. ප්‍රනාන්දුගේ හලෝ ගර්ල්, ඇන්ටන් ජෝන්ස්ගේ මිනි ගවුම, ජෝතිපාලගේ කළු මැණිකා, මගේ සෝමාවතී, ඇම්.ඇස්.ගේ. මාල ගිරවි, ඇම්.ඇස්.ගේ. කොළඹ කාක්කා, ඇම්.ඇස්.ගේ බයිලා ආසියා, ඇම්.ඇස්.ගේ මම කොළඹ හාදයා, ඇන්ටන් ජෝන්ස්ගේ මම බඳින්නේ නෑ. බෙග්ගේ මාගේ දුකින් මා බේරා, ජෝතිපාලගේ මැණිකෙගෙ මල් හිනා, මිල්ටන්ගේ සිහින දෙව්දුවේ, මිල්ටන්ගේ ආදරේ උපත ඔබයි. ​ෆ්‍රෙඩී සිල්වාගේ ඔන්න බබෝ බිල්ලෝ එනවා, බෙග්ගේ, ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා, මිල්ටන් මල්ලවාරච්චිගේ රන් කූඩුව, කෙසෙල් කෙසෙල්, මධු මල, බේල් බේල් බේල්, ඩුම් ඩුම් ඩුම්, ඇවිලුණු ගිනි දැල්.   


පොන්නයියාපිල්ලෛ, සිංහල අකුරින් මුද්‍රණය කළ හින්දි සින්දු සහිත පුස්තිකා මාලාවක් ද පළ කළේය. ස්ත්‍රී, ආයි මිලන් කි බේලා, ඩීඩාර්, බාබුල්, අවාරා, ජනක් ජනක් පායල් බාජි, ෂබ්න්, ජංග්ලි ආදී වශයෙනි. මේ හින්දි චිත්‍රපට සින්දු පොතක මිල ශත 20 ක් හෝ 15 ක් විය. එහෙත් ඉහත දැක්වුනු සිංහල සින්දු පොතක් රුපියලක් හෝ ශත 60 ක් විය. සිංහල සින්දු පොතක් තැපෑලෙන් යැවීමට ශත 50 ක් හෝ 25 ක් අය කෙරිණි.   


පොන්නයියාපිල්ලෛගේ වෙළඳ දැන්වීම්වල මෙසේ සඳහන් වී ඇත. ලංකාවේ පිටවන ඕනෑම ගීත පොතක් චිත්‍රපටි ගීත පොතක් මාරක කතා, චිත්‍රකතා සහ ජනප්‍රිය ලේඛකයන්ගේ නව කතා ද අපෙන් ලබා ගත හැක. වී.පී.පී. ඕඩර් විශේෂයි. ඒ අනුව පොන්නයියාපිල්ලෛගේ ජනප්‍රිය ලේඛකයා නම් කරුණාසේන ජයලත්ය. ජයලත්ගේ ගොළු හදවත (රු.4.50යි) ගැහැණු ළමයි (රු. 5.50යි) බඹා කෙටූ හැටි (රු. 4.50යි) යහලු හෙහෙළි (රු. 4.75යි), පිරුණු හඳක් (රු. 5.00යි) ආදිය පොන්නයියාපිල්ලෙ සිය සින්දු පොත් සමග විකුණා තිබේ.   
සින්දු පොත් වෙළෙඳාමේ පුරෝගාමියා වූ පොන්නයියාපිල්ලෛගේ සාර්ථකත්වය පෙනී යන්නේ 1971 වනවිට ඔහුගේ ආයතනය ‘ඇම්.කේ. පොන්නයියාපිල්ලේ සහ සමාගම’ බවට පත්වී තිබිමෙනි.   


සදොස් සින්දු පොත්   


ඇම්. කේ. පොන්නයියාපිල්ලෛ විසින් හෝ ඇම්.ජී. ධර්මදාස විසින් හෝ ආනන්ද පොත්හල විසින් හෝ පළ කරන ලද චිත්‍රපට සින්දු පොතක මුළුමනින් නිදොස් පද මාලාවක් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නීතිමය සිදුරකින් රිංගා යෑම සඳහා හෝ නොසැලකිල්ල නිසා හෝ සාවද්‍ය පදමාලා පළ කිරීමේ සම්ප්‍රදාය සින්දු පොත් ප්‍රකාශකයෝ අඛණ්ඩව පවත්වාගෙන ආහ. 67-71 පස් වසට අයත් සින්දු පොත් කිහිපයකින් උපුටා ගෙන මතු දක්වන ගීත ඛණ්ඩ පමණක් වුව එම සාවද්‍යතාවේ තරම පිළිබඳ සාක්ෂ්‍ය සපයනු ඇත.   


මතු සම්බන්ධයි...