වසංගතයකින් බේරෙන්න ගෙන ගොස් දැමූ රෝගීන්ගෙන් බ්හි වූ ලංකාවේ එකම ගම


මේ එදා ලාදුරු රෝගීන් ගෙන් පිර වූ අම්පාරේ බණ්ඩාරදූව ගමේ කතාවයි

නවගිරියාව ජලාශය

 

මේ දිනවල කොරෝනා වෛරසය නිසා ලොව පුරා හටගෙන ඇති තත්ත්වය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. එය මහා වසංගත තත්ත්වයකි. එයට ඇති එකම පිහිට නව තාක්ෂණය, නවීන වෛද්‍ය විද්‍යාව සහ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමම පමණකි. අද මෙන්ම මෑත අතීතයේත් ඈත අතීතයේත් ලෝකය පුරා මෙවන් වසංගත තත්ත්වයන් පැතිර ගිය අතර ඒවා ජය ගත්තේ ඉහති කී ක්‍රමෝපායන් මගිනි. එදා මැලේරියාව, ක්‍ෂය රෝගය සහ ලාදුරු තත්ත්වයන් ලොව පුරා පැතිර ගිය අතර මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය ගිය අතර සමහරු ඉන් මහත් පීඩා වින්දෝය 


මේ අතුරින් ලාදුරු රෝගය ද අප රටේ පැතිර ගිය අතර එයින් අසාධනයට පත්ව පීඩාවට පත් බොහෝ දෙනෙක් වූහ. ලාදුරු රෝගය ගැන මතකය අවදි කරන විට අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි බණ්ඩාරදූව ගම්මානයත්, මඩකලපුවේ පිහිටි මාන්තිව් ලාදුරු රෝහලත් හැඳල ලාදුරු රෝහලත් නිතැතින්ම සිහියට නැගේ. ලන්දේසීන් විසින් 1871 වර්ෂයේ දී හැඳල ලාදුරු රෝහල ආරම්භ කර ඇති අතර බ්‍රිතාන්‍යයන් විසින් 1921 දී මඩකලපුව මාන්තිව් ලාදුරු රෝහල ආරම්භ කර තිබේ. එම කාල සීමාවන්වල දී ලාදුරු රෝගීන් මෙම රෝහල්වල නිරෝධායනය කර ඇත. 


එක්තරා කාලයක ඇතමුන් බණ්ඩාරදූව ගම්මානය ලාදුරු කොදෙව්වක් ලෙස හඳුන්වා තිබුණි. එහි සැබෑ කතාව සොයා පසු ගිය දිනක අපි බණ්ඩාරදූව ගම්මානයට ගියෙමු. අම්පාර නගරයේ සිට උහන හරහා නුවර පාරේ කිලෝ මීටර් 19 ක් ගිය තැන හමුවෙන ගොනාගොල්ල තරමක් කුඩා නගරයකි. ගොනාගොල්ලෙන් වමට හැරි තවත් කිලෝ මීටර් 08 ක් ගිය තැන හමුවෙන්නේ බණ්ඩාරදූව ගම්මානයයි. ගමට යන මාර්ගයට තාර දමා සකස් කර ඇති නමුත් නිසි නඩත්තුවක් නොමැති කමින් එය කැඩී බිඳී ගිය දඩි බිඩි මගකි. මාර්ගයට දකුණු පසින් ගමට පහළින් ඇති නවගිරියාව ජලාශය ගල්ඔය වම් ඉවුරට සම්බන්ධ විශාල ජලාශයකි. එහි ඉහත්තාවේ කොටසක් ගම ආසන්නය දක්වා විහිද ඇත. 


අර්ධ වශයෙන් තැනුණු නිම වෙන්නට ආසන්න නිවාස රැසක් මග දෙපසය. ගම්මානයේ මධ්‍යයේ ඇති තුංමංහදිය ආසන්න වෙද්දී ශෝචනීයත්වයක් ගෙන එන සුවිසල් සිහිවටන ඵලකයකි. ඒ 1990 අගෝස්තු 07 වෙනිදා රැයක් එළිවෙන විට කොටි ත්‍රස්තවාදීන් මෙගම පවුල් 15 ක 32 ක් කපා කොටා මරා දැමීමෙන් පසුව එම දේහයන් තැන්පත් කළ ස්ථානයයි. ගම පසු කර තරමක් ඉදිරියට ගිය විට ගම කෙළවරේ කඳු වැටි දෙකක් යා කරමින් ඉදි කළ විශාල ජලාශයකි. හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතාගේ අදහසක් සහ යෝජනාවක් අනුව ඉදි කර ඇති මෙම ජලාශය ගමට සම්පතකි. ගම වටවෙන පරිදි ඇති වනාන්තරයද ගමට සොබා සිරියක් එක් කර ඇත. 

ගම මැද

 

බණ්ඩාරදූවේ ලාදුරු රෝගීන්ගේ කතාව සොයා බලන්නට ගිය ගමනේදී මා හට මග පෙන්වූයේ එම වසමේ ග්‍රාම නිලධාරි එස්.ඒ. සිසිර කුමාර මහතාය. ගම්මානය මධ්‍යයේ වූ 3/2 නිවසේ පදිංචි ගමේ පැරැන්නෙකු වන විෂ වෛද්‍ය ටී.බී. කිරිබණ්ඩා මහතා (70) අපට මුලින්ම හමු විය. මෙම ගම්මානයේ සිටි ලාදුරු රෝගීන් ගැන ඔහු අදහස් පළ කලේ මෙසේය. 


“මට හොඳට දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලා මේ ගමේ ලාදුරු රෝගීන් කීප දෙනෙක්ම හිටියා මුලින්ම මම දැකපු අය තමා මේ ගමේ හිටපු ඒ. එම්. පුංචි බණ්ඩා, එතුමාට ‘ලෙඩා මුත්තා’ කියලත් ගමේ ව්‍යවහාර කළා. ඊ ළඟට ටී.බී. හීං බණ්ඩා, අනිත් එක්කෙනා ‘නැකැත් මුත්තා.’ ඒ අය විවාහකයි. ළමයි පවා හිටපු අය. ඔය ලෙඩා මුත්තා කියන කෙනාගේ අතේ පයේ ඇඟිලි පවා හැලිලා තිබුනේ. නිතරම අතේ පයේ තුවාල තිබුණා . ඒවට නොයෙකුත් බෙහෙත් කලත් ඵලක් වු​ණේ නෑ. ඇඟ පුරා රතු පැල්ලම් තිබුණා. මූණ විකෘති වෙලා වගේ. හැබැයි මේ අයට රෝගය තිබුණට නිතරම වැඩපොළ කළා. ඇඟේ සමහර තැන් හිරි වැටිලා කියලත් කියනවා. මම දන්න කාලේ මේ ගමේ ලාදුරු රෝගීන් සේරම 12-13 ක් වගේ හිටියා. 1960 ගළන්වලින් පස්සෙ තමයි ඒ ප්‍රමාණය හිටියේ. මුල් කාලයේ දෙන්නා තුන් දෙනෙක් වගේ තමා ඉඳලා තියෙන්නෙ. .ඒ අය අතරින් කයිවාරු බාප්පා කියලා කෙනෙක් හිටියා, එයාටත් මේ ලෙඩේ හැදුණා. එයාගේ පුතෙකුටත් බෝ වුණා. එයා හොඳ කයිවාරු කාරයෙක්. ඒ වගේම හොඳ විහිළු කතා කියන කෙනෙක්, ඒ නිසා තමා එයාට කයිවාරු බාප්පා කියලා නම පටබැඳුනේ. එයාගේ නෝනාගෙ නම වල්ලි. එයාටත් බෝ වෙලා තිබුණා.  


ගමේ ගෑනු 05 දෙනෙකුට විතර හැදිලා තිබුණා. සමහර අයගේ අතේ පයේ ඇඟිලිවල නිතරම තුවාල දකින්න ලැබෙනවා. මේ ලෙඩේ නිසාම මිය ගිය අය අපේ ගමේ හිටියේ නෑ. හැබැයි මේ අය ගොඩක් කාලයක් පීඩා වින්දා. මේ අයට හොඳට කන්න බොන්න පුළුවන්. සමහර ගෙවල්වල මේ අයට කන්න බොන්න දුන්නේ වෙනම. ඒ අයට වෙනම කෝප්ප වෙනම පිඟන් ආදිය තිබුණා. වෙනම කාමරයක් හෝ එලි මහනේ තැනක් තිබුණා. සාමාන්‍යයෙන් ගමේ අය ඒ අයව පිළිකුල් කළේ නෑ. නමුත් වැඩි ඇසුරක් පැවැත්වුවෙත් නෑ. ඒ අයගෙන් සමහර අය වැඩිය සමාජ ඇසුරට ආවේ නෑ. 
“මෙහෙම කාලය ගෙවෙද්දි බණ්ඩාරදූව ගමේ ලාදුරු රෝගීන් ඉන්නවා කියලා අවට ගම් වල පැතිරුණා. මේ බව උහන හිටපු කෝරාල එච්.එම්. සභානායක මහත්තයාටත් ආරංචි වුණා. එතුමා ඔය අම්පාරෙ හිටපු නියෝජ්‍ය ඇමැති එච්.එම්. වීරසිංහ මහත්තයාගේ තාත්තා. ඉතින් දවසක් එතුමා කරත්ත දක්කන කොල්ලෙක් එක්ක තනි ගොං කරත්තයක නැගලා ආවා. ඒ කාලේ ඉතින් මේවට එන්න හරි හමන් පාරක් තොටක් තිබුනෙත් නෑ. කෝරලේ මහත්තයා කැලේ මැදින් තමා ආවේ. කෝරලේ මහත්තයා ඇවිල්ලා ගමේ හැමෝම හීංගමරාලගේ ගෙදරට කැඳෙව්වා,  


කැඳවලා කිව්වා ‘‘මේක තව දුරටත් උඹලගේ ගමේ අනිත් මිනිස්සුන්ට බොවෙන්න පුළුවන් ඒ නිසා ලෙඩේ තියෙන උන් පුලියන්දූවේ (මඩකලපුවේ) මාන්තිව් ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති වෙයල්ලා’’ කියලා.  
නමුත් මිනිස්සු ඒ ගැන එතරම් උනන්දු වුණේ නෑ. අපි එහේ ගියොත් අපේ ගෑනු, අපේ පැටූ (ළමයි) බඩගින්නේ නේ’’ කියලා මිනිස්සු කියන්න ගත්තා.  


‘‘එහෙම කියලා හරි යන්නේ නෑ ඉක්මනින් එහේ යන්න ලෑස්ති වෙයල්ලා’’ කියලා කෝරලේ මහත්තයා යන්න ගියා. කෝරලේ මහත්තයාගේ නියෝගයට බය වුණ ලෙඩ්ඩු ටික හැංගුණා. ඒ අයව මඩකලපුවට ගෙනියයි කියලා බය වුණා. 


“මෙහෙම මාසයක් දෙකක් ගියාට පස්සේ උහන හිටපු අමුණුගම මහත්තයා (එන්.එස්.බී. අමුණුගම මහතා ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සේවය කල ජනපද නිලධාරියෙකි. පසු කලෙක ඔහු එහිම සහකාර සාමාන්‍යාධිකාරි - ඉඩම් තනතුර හෙබවීය.) වෛද්‍යවරු කීපදෙනෙක් එක්ක බණ්ඩාරදූවට ආවා. ඇවිල්ලා මේ ලෙඩ්ඩුන්ව පරීක්‍ෂා කළා. මේ අය ලාදුරු රෝගීන් කියලා එයාලා අඳුන ගත්තා. රෝගය පැතිරීම වළක්වගන්න හැටි පැහැදිලි කරලා දුන්නා. සෞඛ්‍ය පිළිවෙත් සියල්ලම ගමේ අයට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ගමේ ගොඩක් දෙනෙකුගේ ලේ අරගෙන පුළුන් කෑල්ලක පොඟවලා පොඩි කුප්පිවල දාගෙන අරගෙන ගියා. ඉන්පසුව ඒ අය තවත් වෛද්‍ය පිරිසක් එක්ක මාස කීපයකින් ගමට ආවා. ඒ අය වාහනවලින් එන නිසා ගමට එන පාර සුද්ධ කරන්න ඕන කියලත් අමුණුගම මහත්තයා කලින්ම දැනුම් දීලා තිබුණා. ගමේ මිනිස්සු බොහොම කැමැත්තෙන් ශ්‍රමදානයකින් පාර සුද්ද කරලා වාහන එන්න පුළුවන් විදිහට සකස් කළා. 
ඒ අය ගමට ඇවිත් බෙහෙත් පෙති වගයක් දුන්නා. එක බෙහෙත් පෙති පැකට් එකක බෙහෙත් පෙති 09 ක් තිබුණා. සමහර අයට එන්නතකුත් දුන්නා. එදා ඒ වෛද්‍ය කණ්ඩායම ඉතාමත් පැහැදිලිවම ගමට උපදෙස් දීලා. ලාදුරු රෝගීන් සියලු දෙනාම මඩකළපුවේ මාන්තිව් දූපතේ රෝහලට යන්න ලෑස්ති වෙන්න කියලත් කිව්වා. ඒ වෙලාවෙත් සමහර අය අදි මදි කළා. නමුත් කිසි දෙයකට බිය විය යුතු නැති බවත් සියලු පහසුකම් එහි තිබෙන බවත් ප්‍රකාශ කළාට පස්සේ කීප දෙනෙක් ඒකට කැමති වුණා. ඒ අනුව ලෙඩා මුත්තා ටී.බි. හීංබණ්ඩා, තලාවේ හීං බණ්ඩා යන තුන් දෙනා මුලින්ම මාන්තිව් ලාදුරු රෝහලට ගියා. සාමාන්‍යයෙන් ඒ තුන් දෙනා වයස අවුරුදු 60, 65, සහ 80 වයසේ උදවිය. 


 හතර දෙනෙකු විතරක් වෙනදා වගේම “අපේ ගෑනුන්ඩ පැටුන්ට කන්න දෙන්නේ මුකූ ” (අපේ කාන්තාවන්ට අපේ ළමයින්ට කන්න දෙන්නේ කවුද? ) කියලා මාන්තිව් යන්න බෑ කියලා වසං වුණා. නමුත් ලාදුරු රෝහලට ගිය අය මාස ගණන් එහේ නතර වෙලා ප්‍රතිකාර අරගෙන ආවා. එක්කෙනෙක් මාස 06 ක් ප්‍රතිකාර ගත්තා, ඒත් ලෙඩේ නිට්ටාවටම සුව වුණේ නෑ. එහෙම ගියපු අය නැවත නැවත ගිහිල්ලා නතර වෙලා ප්‍රතිකාර අරන් ආවා. ඒ කාටවත් නිට්ටාවට සුව වුණේ නෑ. ඒකට හේතුව තමා ඒ වෙනකොට ලාදුරු රෝගය නිට්ටාවට සුව කරන බෙහෙතක් සොයා ගෙන නොතිබීම. ” 


මේ පිළිබඳව අදහස් දැක් වූ ගමේ පැරැන්නෙකු වන ටී.බී. කරුණාරත්න මහතා (71) 


“ඒ කාලේ ඉඳලම ගමේ ගොඩක් දෙනෙකුගේ විශ්වාසයක් තිබුණේ මේ රෝගය බෝ වෙන්නෙ වඳුරන්ගෙන් කියලයි. මේ ලෙඩේ හැදිලා තිබුණ වඳුරන්ගේ මස් කාපු නිසා මේ රෝගය බෝ වුණ බව තමයි ගමේ අය වැඩියෙන්ම විශ්වාස කළේ. තවත් සමහරු හිතුවා, මේක භූත දෝසයක් එහෙම නැත්නම් යක්‍ෂ දෝෂයක් කියලා. ඉතින් මේ විශ්වාසයන් නිසා නිතරම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැඩ, කරලා ලෙඩේ සනීප කර ගන්න උත්සහ කළා. තවත් සමහර අය කැලේ තියෙන ගස් කොල පොතු ආදියෙන් බෙහෙත් වර්ග හදාගෙන තුවාලවලට තියලා බැන්ඳා. නමුත් ඒ එකකින්වත් මේ රෝගය නිට්ටාවට සනීප වුණේ නෑ.  


මෙහෙම කාලය ගෙවිලා යනකොට මගේ මතකයේ හැටියට 1980 දි විතර කොළඹින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ගමට ආවා. වෛද්‍ය භාතිය කියලා මහත්තයෙකුත් ආවා මට හොඳට මතකයි. ඒ අය කලින් සැලසුම් කර ගත්ත විදිහට බණ්ඩාරදූව ඉස්කෝලෙ විශේෂ ලාදුරු වෛද්‍ය සායනයක් පැවැත්තුවා. රූප සටහන් පවා ඇඳලා පෙන්වමින් එදා ඉතාමත් හොඳට ලාදුරු රෝගය ගැන දැනුම්වත් කළා. රෝගය බෝ වෙන හැටිත් ඒක පැතිරීම වළක්වා ගන්නා හැටිත් කියලා දුන්නා. බෙහෙතුත් දුන්නා. මඩකලපුවේ මාන්තිව් රෝහලට යන්න කියලා ගොඩක් දෙනෙකුට උපදෙස් දුන්නා. 

 
මට මතකයි එදා ලෙඩා මුත්තත් කැන්වස් සපත්තු දෙකක් වගේ දෙයක් දාගෙන තමයි ඇවිල්ලා හිටියේ. එයාගේ කකුල් දෙකේ ඇඟිලි තුවාල වෙලා තිබුණේ. අත් දෙකෙත් එහෙමයි. කොහොම නමුත් වරින් වර වෛද්‍ය කණ්ඩායම් ගමට ඇවිල්ලා කරපු දැනුම්වත් කිරීම් නිසා මේ රෝගය බෝ වෙන්නෙ කටේ කෙළ බිඳිති වලින් බව සහ ඒකෙන් වැළකෙන විදිහිත් ගම්වැසියන් ඉගෙන ගත්තා. රෝගය තියෙන අයව පුළුවන් තරම් වෙන් කරලා තිව්වා.  


ගමේ තවත් පැරැන්නෙකු වන 3/1 නිවසේ පදිංචි ටී.බී. හීං බණ්ඩා මහතා (75) ලාදුරු කතාව දිග හැරියේ මෙසේය. 


“ලාදුරු වර්ග දෙකක් තියෙනවා කියලා හැම වෛද්‍යවරයෙක්ම ගමේ අයට කියලා දුන්නා. එකක් දරුණුයි ඒක බෝ වෙනවා, අනිත් එක බෝ වෙන්නෙ නෑ. ලාදුරු හැදුණම ඇඟට දැනීමක් නැති නිසා අත පය තුවාල වුණාම මේ ගම්වල මිනිස්සු ඒක ගණන් ගන්නේ නෑ. මොකද වේදනාවක් දැනෙන්නේ නෑනේ. මට මතකයි සමහර අය ඒ දවස්වල කුප්පි ලාම්පු දැල්ලට අත අල්ලගෙන ඉන්නවා. ඒ වගේම මට හොඳට මතකයි අපේ ගමේ ලාදුරු හැදිලා තිබුණ කෙනෙකුට සිද්ධ වුණ තවත් දෙයක්. හේනේ පැලේ පොඩි ගිනි මැලය ළඟම මෙයා පැදුරේ හාන්සි වෙලා වගාව කන්න සත්තු එනවද කියලා විමසිල්ලෙන් හිටියා. පාන්දර දෙක තුන වෙනකොට මෙයාට හොඳටම නින්ද ගියා. මෙයාගේ කකුල් දෙක පාමුල තමා ගිනි මැලය තිබුණේ. නින්දෙන් එහෙ මෙහේ වෙනකොට මෙයාගේ කකුල් දෙක ටික ටික ගිනි මැලේට පිච්චිලා. ඉතා තදින් නොවුණත් යම් ප්‍රමාණයක් පිච්චිලා.  


පාන්දර පහට විතර අවදි වෙලා කකුල් දෙක දකින තුරු මෙයාට මේක දැනිලා නෑ. ඒ කාලේ බණ්ඩාරදූවෙන් පිට ප්‍රදේශ වලට ගිය කීපදෙනෙකුටත් ලාදුරු තිබුණා. සමහර අවස්ථාවලදි මඩකලපුවෙන් ආව දෙමළ දොස්තර මහත්තුරු ගලපිටගල, පාලඩිවත්ත, කොහොඹාන යන ගම්වල වෛද්‍ය සායන පැවැත්වුවා. මට මතකයි 1960 දි විතර දොස්තර ස්පිට්ල් මහත්තයා බණ්ඩාරදූවට ආවා එයා ගොඩක්ම මේ අවට හිටපු වැද්දො එක්ක තමා සම්බන්ධ වෙලා ඉඳලා තියෙන්නේ. මම දන්න තරමින් ස්පිට්ල් මහත්තයා ලාදුරු වලට බෙහෙත් කළේ නෑ.” 
අපි මෙම රෝගය පිළිබඳවත් එය අම්පාර දිස්ත්‍රික්කයේ පවතින ආකාරය කෙසේද යන්න පිළිබඳවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ අම්පාර මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඒ.එම්. නිසාර් මහතාගෙන් කරුණු විමසුවෙමු. 
“ලාදුරු කියන්නේ ශරීරයේ ස්නායු පද්ධතියට සහ හමට බලපෑම් ඇති කරවන රෝගයක්. ඒ නිසා තමයි ශරීරයේ දැනීම් නැති කරවන්නේ. ලාදුරු රෝගය වර්ග දෙකකින් යුක්තයි. ඒ බෝ වෙන සහ බෝ නොවෙන ලෙසයි.” 


“සිරුරේ නිතර හිරිවැටීම් වගේ තිබෙනවා.සම මතු පිට ළා පැහැති දුර්වර්ණ දැනීමක් නැති ලප තමයි මේ රෝගයේ මූලික ලක්‍ෂණය.. මෙවැනි ලප එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිසේ හැර සිරුර පුරා තිබීමත් කන්පෙති සහ ශරීරයේ සම ගන වීමත් තවත් ලක්‍ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සිරුරේ ලප පහකට වඩා අඩුනම් එය හඳුන්වන්නේ බො නොවෙන වර්ගයේ ලාදුරු රෝගයක් ලෙසයි.  


යම් හෙයකින් ලප පහකට වඩා තියෙනවානම් ඒක බොවෙන වර්ගයේ ලාදුරු රෝගයක්  ලාදුරු රෝගය හැදුණම දුබලතා රැසක් ඇති වෙනවා. සමේ ඇති ලප රතු පැහැවෙලා ඉදිමීම ඒවා වේදනාකාරි වීම, අලුතෙන් ලප ඇති වීම, ශරිරයේ කුමන ස්ථානයක හෝ හිරිවැටීම, ඇස් සම්පූර්ණයෙන් පිය වීමට නොහැකි වීම. අත පය පණ නැති වී, වළලු කරෙන් පාදය එසවීමට නොහැකි වීම අත්පාවල වේදනා රහිත තුවාල ඇති වීම තමයි ප්‍රධානතම දේ.  


සමහර අය තමන්ගේ අල්ල තියුණු දෙයකින් කපාගෙන මේ බලන්න මට දැනෙන්නේ නැහැනේ කියනවා. ඒ වගේ මෝඩ වැඩ කරපු අයත් හිටියා.


ලාදුරු රෝගය බෝවෙන්නේ ප්‍රතිකාර නොගන්නා ලාදුරු රෝගියෙකුගේ කැස්ස කිවිසුම මගින් පිටවන බිඳිති මාර්ගයෙන්. ඒ කෙළ බිඳිතිවල තියෙන බැක්ටිරියාවක් තවත් කෙනෙකුගේ ස්වසන පද්ධතිය හරහා ශරීර ගත වෙලා තමයි ස්නායූ පද්ධතියට සහ සමට බලපෑම් ඇති කරවමින් රෝගය හැදෙන්නේ. වර්තමානයේ පවතින කොරෝනා රෝගය ඇති වෙන්නෙත් කෙළ බිඳිති මාර්ගයෙන් එහිදි ශරීර ගත වෙන්නේ වෛරසයක්. ඒ වෛරසය මගින් ආසාධනය ඇති කරවන්නේ ස්වසන පද්ධතියට.  


ලාදුරු රෝගය වඳුරන්ගෙන් බෝ වෙනවා කියන එක අසත්‍යයක්. මේ රෝගයේ ආරම්භය අප්‍රිකානු රටකින් සිදු වූ බවයි සඳහන් වෙන්නේ. ARMADILLO (ආමඩිලෝ) කියන සත්තවයාගෙන් තමයි මේ බැක්ටීරියාව බෝ වෙලා තියෙන්නේ මේ බැක්ටීරියාව සොයාගෙන තියෙන්නේ නෝර්වේ රටේ G.H.A. HANSEN කියන විද්‍යාඥයා .  
“බණ්ඩාරදූවෙන් ලාදුරු රෝගය තුරන් කරලා දැන් වසර ගණනාවක් වෙනවා. නමුත් ලාදුරු රෝගයෙන් ආසාධනයට පත්වීම නිසා අතපය වෙහෙසලා වැඩ කරන්න බැරි 06 දෙනෙක් තවමත් අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්නවා. ඒ අයට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් මාසික ජීවනාධාරයක් ගෙවනවා. 


 මෙහිදි අදහස් දැක්වූ අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්‍ෂ මහතා. 
“ලාදුරු පිළිබඳව අපි නිරන්තරව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් කරනවා. පාසල් ළමුන් වගේම සාමන්‍ය ප්‍රජාවත් ඒ සඳහා සම්බන්ධ කරගන්නවා. දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වගේම අම්පාර මහ රෝහලේ පැවැත්වෙන චර්ම රෝග සායනවලදි ලාදුරු රෝග ලක්‍ෂණ ඇති රෝගීන් හිටියොත් පරීක්‍ෂා කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම ගෙයින් ගෙට ගිහිල්ලා ලාදුරු සමීක්‍ෂණ සිදු කරනවා. සෞඛ්‍ය කාර්්‍ය මණ්ඩල සඳහා පුහුණු වැඩ සටහන් කරනවා. අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ප්‍රසංග සේරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම සියලු වැඩ සටහන් ක්‍රියාත්මකයි. ලාදුරු කියන්නේ නිට්ටාවට සුව කල හැකි රෝගයක් කිසිවෙකු ඊට බිය විය යුතු නෑ. නිසි උපදෙස් අනුව නිසි පරිදි ගන්නා ප්‍රතිකාර තුළ ඔබට සුව දායක දිවියක් ගත කරන්න පුළුවන්.” 

 

 

ඌව සහ නැගෙනහිර සීමාසන්නයේ නැගෙනහිරට අයත්ව අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි බණ්ඩාරදූව ගම්මානයට දිගු ඉතිහාසයක් ඇති බව ජනප්‍රවාදයේ කියැවේ. ඒ අනුව 1818 විමුක්ති අරගලයෙන් පසුව පසු බැස පැමිණි පිරිසක් ක්‍රම ක්‍රමයෙන් තැන තැන නැවතී හේන් කොටමින් සිට අවසානයේ දී බණ්ඩාරදූවට සේන්දු වී ඇත. ජනප්‍රවාදයකට අනුව බණ්ඩාර මැණිකා නම් කාන්තාවකට භාර දුන් ප්‍රදේශය නැත්නම් දූපතක් වැනි වෙන් වූ කොටස බණ්ඩාරදූව ලෙසින් නාමකරණය වූ බවක්ද කියැවේ.  


තලා බණ්ඩාරලාගේ පරම්පරාවෙන් පැවැත එන අය මෙහි බොහෝ සෙයින් සිටිති.ලාදුරු රෝගය තිබූ කීප දෙනෙකුම වෙල්ලස්ස කැරැල්ලෙන් පසු බැස එන පිරිස සමග සිටීම නිසා ඒ අයගෙන් දිගටම රෝගය බෝ වී ඇති බවද කතාවකි. පවුල් 10 කින් 12කගෙන් පැවත ආවේ යැයි කියන බණ්ඩාරදූවේ අද පවුල් 540 ක් පමණ සිටින අතර ජනගහනය 1600 ක් පමණ වෙති. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන 53 දෙනෙකු හමුදාවේ 30 දෙනෙකු සහ පොලීසියේ කීපදෙනෙකු ඇතුළු රාජ්‍ය සේවයේ නියුතු බොහෝ පිරිසක් මෙගම වෙති. මෑතක් වන තුරුම ඔවුනගේ ප්‍රධානම ජීවන මාර්ගය වූයේ හේන් ගොවි තැනයි.  


මීට වසර 15 කට පමණ පෙර තෙක්ම ඔවුහු සංවර්ධනයේ අරුණලු දක්නට නොමැතිව අපා දුක් වින්දෝය.කළුගල් ඔය වාරිමාර්ග ව්‍යාපාරයේ වැඩ නිම වීමත් සමග දෙක්නනයේම වී වගාව සඳහා ජලය සැපයේ. කළුගල්ඔය වාරි ව්‍යාපාරය බණ්ඩාරදූව ගමට පෑයූ අලුත් ඉරක් වැනිය. ගමට විදුලිය සහ පානීය ජලයද ලැබී ඇත. දුප්පත්කමෙන් ද ලාදුරු රෝගය ඇතුළු නෙක රෝග වලින් ද පීඩා විඳි ඔවුන් අවසානයේ කොටි ත්‍රස්තවාදයෙන්ද හොඳටම බැට කෑවේය. ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් හමුවේ දුප්පත් කමේ පතුලේ කල් ගෙවූ බණ්ඩාරදූව ගම් වැසියෝ අද නව ගොවි ජනපදයක සාඩම්බර උරුමකරුවන් ලෙස දියුණුවේ අරුණලු දකිමින් කල් ගෙවති.  

 


සටහන සහ සේයා රූ:
දිගාමඩුල්ලේ - සමන් දිසානායක 



Recommended Articles