යාල කැලේ චණ්ඩි අලි


හතළිස් වසරක වනදිවි අත්දැකීම්

 

 

රැකියාව සඳහා 1968 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණු මගේ සේවා කාලය වසර හතළිහකි. (40). ලංකාවේ ප්‍රකාශිත ජාතික වනෝද්‍යාන (National Parks) ස්වභාව රක්ෂිත (Nature Reserves) දැඩි ආරක්ෂිත භූමි (Strict Natural Reserves) සහ අභය භූමි (Sanctuaries) සියල්ලේම මා සේවය කොට තිබේ. අභය භූමියේ විශේෂත්වය, රජයේ ඉඩම් සහ රජයට අයත් නොවන ඉඩම් ඊට ඇතුළත්වීමයි. සංඛ්‍යාත්මකව එම අාරක්ෂිත භුමි ගණන 56 කි.   


යාල වනෝද්‍යානයේ මගේ සේවා කාලය වසර දොළහකි. (12). ඉන් අවසාන වසර පහ (5) සේවය කළේ වනෝද්‍යානයේ භාරකරු හැටියටය. රක්ෂිත ප්‍රදේශ කළමනාකරුවෙකුගේ වගකීම් සහ කාර්ය භාරය ඉතා සංකීර්ණවන අතර, ලොව සෑම රටකම රක්ෂිත ප්‍රදේශ කළමනාකරුවන් හට වගකීම් 06 ක් පැවරී තිබේ. (Protected Area Manager Responsibilities) පිළිවෙළින් සඳහන් කරන්නේ නම් එවා පහත පරිදිය.   


සම්පත් ආරක්ෂා කිරීම (Resource protection), සම්පත් පිළිබඳ දැනුම්වත් වීම (Resource Information), සම්පත් කළමනාකරණය (Resource Management), නීතිය ක්‍රියාත්මක කිරීම(Law Information), කාර්යාලය සහ ගිණුම් පවත්වාගෙන යාම (Office and Accounts), සංචාරකයින් විපත්වලින් මුදා ගැනීම (Rescue Operations). මෙම ලිපියේ අරමුණ මගේ දීර්ඝ සේවා කාලය තුළ මා ඇතුළු මගේ සේවකයින් මුහුණ දුන් අතිශය අවදානම් සහ බිහිසුණු අත්දැකීම් සමුදායෙන් බිඳක් ඔබ හමුවේ තැබීමය.  


යාල උද්‍යාන මූලස්ථානයේ විසූ වලිග කොට අලියාට ඇතකු පහර දී මරා දැමීම.   


යාල නොහොත් රුහුණු ජාතික වනෝද්‍යානයේ (වපසරිය හෙක්. 126786.77) භාරකරු හැටියට මා සේවය කළ වකවානුවේදී උද්‍යාන මූලස්ථානය අවට භූමිය සිය විසුම් බිම කරගෙන සිටි වලිග කොට අලියා ගැන නොදැන සිටියේ උද්‍යානයට නිතර ආ ගිය සංචාරකයින්ගෙන් කිහිප දෙනෙක් පමණි. වලිග කොටා වනාන්තරය තුළට නොයමින් ගැවසුණේ උද්‍යාන මූලස්ථානය සේවක නිල නිවාස අවටය. ඌ ආහාරයට ගත්තේ සේවක නිල නිවාස සහ උද්‍යාන මූලස්ථානයට නුදුරුව පිහිටා තිබූ සංචාරක හෝටල් දෙක වන බ්‍රවුන්ස් බීච් සහ යාල සෆාරි හෝටල් දෙකින් (2004 සුනාමි රළ පහරින් මුහුදුබත් විය) ඉවත ලූ ආහාර ය.   


එක් වැසි බර උදයවරුවක වලිග කොටාගේ විසුම් බිමට අඩි 8 ක් පමණ උසැති ඇතෙක් පිවිසියේය. උෟ ආගන්තුකයෙකි. තම විසුම් බිමට අවතීර්ණය වී ඇති ඇතා දුටු වලිග කොටා, අපි බලා සිටියදීම ලහිලහියේ ඇතා දෙසට දිව ආවේ කෝපයෙනි. වනාන්තරයේ වෙසෙන ඇතුන්ගේ තරම චර්යාවන් අලි හොඳ හැටි දනිති. ඒ නිසාම දෝ දෙදෙනා මුහුණට මුහුණ දීගෙන එක එල්ලේ විනාඩි හතරක් පමණ බලා සිට, ඉක්බිතිව ඔළු දෙක (එනම් නළල් තල) හප්පා ගැනීමට පටන් ගති. මේ වන විට උද්‍යානයට පිවිසීමට පැමිණි දෙස් විදෙස් සංචාරක කණ්ඩායම් දොළහක් පමණ උද්‍යානය තුළට නොයමින් සිද්ධිය බලාගෙන සිටියහ.   


එක් විදේශික සුදු මහතෙක් මා අසලට පැමිණ ඔයා මේ උද්‍යානයේ භාරකරු (Warden) බව අපේ ගයිඩ් කීවා. මට දැනගන්න පුළුවන්ද, මේ අලියගේ වලිගය කොට වුණේ කොහොමද කියලා. මෙහෙමයි පිරිමි අලි දෙන්නා රණ්ඩු කරගෙන එකෙක් පැරදුනාම පැන දුවනවා. සමහර විට එ්ක තාවකාලික සටනක්. ඉතින් දිනාපු අලියා පැන යන අලියාගේ වලිගය හොඬවැලෙන් අල්ලලා අඳිනවා. එයින් වලිගය අග කැඩී යනවා. ඊට පසු ඌ වලිග කොටෙක් වනවා යනුවෙන් මම පිළිතුරු දුනිමි. අලි දෙදෙනාගේ සටන නිමවීමක් නැත. මේ සටන කොතැනකින් කෙළවර වෙයිද? මගේ සිත තුළ ජනිත වූ සිතුවිල්ලයි. බැරි තැන​ සේවයේ නිරතව සිටි නැසීගිය ජ්‍යෙෂ්‍ඨ වන සත්ව නියාමක ජිනදාසට කතා කළෙමි. ජිනදාස ඉක්මනට තුවක්කුවට පතොරම් දාලා මුන් දෙන්නා ළඟට ගිහිල්ලා අහසට වෙඩිල්ලක් තියනවා. ඉක්මනට. මගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ ජිනදාස වෙඩිල්ල තැබුවා පමණි. අලි දෙදෙනා සටන නතර කොට මීටර් 75 ක් පමණ ඈතට දුව ගොස් නැවත සටන ආරම්භ කළෝය. ඉක්බිතිව ජිනදාස මා අමතමින් සර් මුන් දෙන්නට නොම්මර අටේ පතොරම් දාලා කන් පෙතිවලට වෙඩි තියන්නද? ඇසීය. මම පිළිතුරු දෙමින් එපා එපා පතරොම් ගලවලා තුවක්කුව ගිහින් තියන්න. සංචාරකයින් සහ අපි බලා සිටියදීම උන් දෙදෙනා නැවතත් සටනට පිවිසියහ. මෙවර ඇතා වලිග කොටාට මූණ දීගෙනම මීටර් දහයක් පමණ සෙමින් පස්සට ඇවිද ගොස් ඉතා අධික වේගයෙන් ඉදිරියට දුව ගොස් දළ දෙකෙන් වැරෙන් වලිග කොටාට ඇන්නේය. තියුණු​ ලෙස උල් වූ දළ දෙක අග කොටස අඟල් හයක පමණ ප්‍රමාණයක් වලිග කොටාගේ පපුව පසාරු කරගෙන ශරීරය තුළට ගියා පමණි. වලිග කොටා බිම ඇද වැටිණ. ස්වල්ප වේලාවක් බිම වැතිරගෙන සිටි වලිග කොටා අමාරුවෙන් හතර පයින් සිටගති. ඒ අතරතුරේ බලා සිටියවුන්ගේ කෑකෝ ගැසීම් මධ්‍යයේ ඇතා (සටන්කරු) සිටි තැනින් ඉවත් වී වනයට රිංගා ගති. වලිග කොටා අමාරුවෙන් ඇවිදගෙන උද්‍යාන මූලස්ථානයට නුදුරු පලටුපාන වැව අසල ගල් තලාවට පිය නැගීය. වැඩිවේලාවක් ගත නොවීය. වලිග කොටා ගල් තලාව මත ඇද වැටී අවසන් හුස්ම හෙළීය. පශු වෛද්‍ය නිගමනය වූයේ මරණයට හේතුව පෙණහැල්ල තුළට ලේ ගලා යාම සහ ගල් තලාවේ හිස වැදීමෙන් හිස් කබල පුපුරායාම බව ය.   

 

 


ජ්‍යෙෂ්‍ඨ අඩවි සහකාර මන්සුර් අලි පහර දීමෙන් මියයාම.   


මේ වන විට ලංකාවේ වියළි කලාපය තුළ උග්‍ර අලි-මිනිස් ගැටුමක් නිර්මාණය වී ඇති බව නොරහසකි. එම ගැටුම තුළින් වසරකදී අකාලයේ මියයන මිනිසුන් ගණන 80 කි. මිය යන අලි සංඛ්‍යාව 230 කි. වනාන්තර එළිපෙහෙළිවීමෙන් සිය නිජ බිම් අහිමි වූ අලි කෝපයෙන් මිනිසුන් පසුපස හඹා ගොස් පහර දී මරා දැමීමට පෙළඹී තිබේ. මහවැලි ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ විසූ එවැනි මිනී මරන අලියකු අල්ලා ඉවත් කිරීම සඳහා දෙපාර්තමේන්තු පශු වෛද්‍ය කණ්ඩායමට වනජීවී අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබිණ. මෙවැනි අවස්ථාවක මිනී මරු අලියාට නිර්වින්දන බෙහෙත (Tranquilising drug) විදීම පැවරෙන්නේ වන ජීවී අඩවි සහකාර කමල්දීන් මන්සූර් වෙතය. මන්සූර්ගේ ස්ථිර පදිංචිය යාල වන බිමට නුදුරු කිරින්ද ගම්මානයයි. ඔහුගේ සේවා කාලය වසර විසි පහකට වැඩිය. පශු වෛද්‍යවරු සිරින්ජයට නිර්වින්දන බෙහෙත් (Immobilon) ඇතුළු කොට අදාළ බෙහෙත් තුවක්කුව මන්සූර් අතට දුණි. ඔහුගේ පිටුපසින් ගමන් කළේ පතොරම් පැටවූ තුවක්කු අමෝරා ගත් වනජීවී නිලධාරීන් හය දෙනෙකි. මන්සූර් හරියට ඉලක්කය බලා මිනිමරු අලියාගේ වම් තට්ටමට තුවක්කුවෙන් (Capchurgun) බෙහෙත විද්දේය. සිරින්ජය අග ඇත්තේ මී.මි. 2 1/2 මහත උල් කටුවකි. සිරින්ජය අලියාගේ තට්ටම පසාරු කරගෙන මස තුළට ගියා පමණි, ඉන් වේදනාවට පත් මිනීමරු අලියා එක් වරම ආපස්සට හැරී සේවක පිරිස වෙත හඹා ආවේය.   


තුවක්කුකරුවෝ පණ බයේ දුවන්නට වූහ. කිසිම අයෙක් අලියාට වෙඩි තබා බිම හෙළුවේ නැත. මිනිමරු අලියා ඉදිරියෙන්ම සිටියේ අවාසනාවන්ත මන්සූර්ය. අලියා ඔහුට පහර දී මරා දැමීය. ඒ වන විට සහායට පැමිණි තුවක්කු හා රයිපල්කරුවන් මීටර් දෙසීයක් පමණ දුර පැන ගොස්ය. නිර්වින්දන බෙහෙත ක්‍රියාත්මක වී මිනිමරු අලියා මන්සූර්ගේ නිසල දේහය අසල ඇද වැටුණේය. සිහිසුන් වූ අලියා නැවත නැගිටුවීමට දිය යුතු එන්නත් බෙහෙත (Antidote) විඳීමට කෙනෙකු නොසිටියෙන් මිනීමරු අලියා ද මන්සූර්ගේ දේහය අසල නිසල විය. මෙය සිදුවූයේ වසර 2007 අගෝස්තුවේදී වන අතර සිද්ධීය සැලවූ වහාම මම කිරින්දට ගොස් ඒ මළගමේ කටයුතුවලට සහභාගී වුණෙමි.  


රේගිනා හාමි මෝල් ගහෙන් ගසා කොටියා මරා දැමීම.   


යාල උද්‍යාන මූලස්ථානයේ ගොඩේ කළපුවේ තම නිවෙස්වල පදිංචිව සිටි පවුල් හතර වරින්වර කොටියන්ගේ ප්‍රහාරයන්ට ලක් විය. එම නිවසක පදිංචිව සිටි මැදි වියේ පසු වූ රේගිනාහාමි හෙවත් කළු ආත්තාගේ නිවසේ ඉස්තෝප්පුවේ බැඳ සිටි වහුපැටියා ඩැහැ ගැනීමට කොටියකු කුරුමානම් අල්ලන හැටි රේගිනා දුටුවාය.  
ඇය සතුව තුවක්කුවක් නැත. හෙමින් සීරුවේ කුස්සියට ගිය රේගිනා මෝල්ගහ අත්දෙකෙන් අල්ලාගෙන කොටියාව නොපෙනී ළඟට ගොස් වැරෙන් කොටියාගේ හිසට  පහරක් දුන්නේ හෙණයක් ගසන්නාක් මෙනි. ඉන් කොටියාගේ හිස් කබල කුඩු පට්ටම් වී ඌ එතැනම මියගියේය.   


යාල උද්‍යාන භාරකරු හැටියට සේවය කළ මගේ රාජකාරිය වූයේ නීතිය (වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත) ක්‍රියාවේ යෙදවීමය. එනම් වහා රේගිනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමය. එහෙත් එසේ සිදු කිරීම කොතරම් සාධාරණද? රේගිනා කළේ තම දේපළක් ආරක්ෂා කර ගැනීමය. ඊට නීතියෙන් ද ඉඩක් ලැබී තිබේ.   


මම සේවකයකු යවා රේගිනාට මගේ කාර්යාලයට එන්න කියා පණිවුඩයක් යැවීමි. ඇය වහා පැමිණියාය. රේගිනා මොකද වුණේ? ඇය පිළිතුරු දෙමින් ‘අනේ සර් ඔය කොටියා මගේ වහු පැටව් හතර දෙනෙක්ම ඩැහැගෙන ගියා. බැරිම තැන තමයි මෝල් ගහෙන් ගැහැව්වේ. මට සමාවක් දෙන්න. හොඳයි රේගිනා ඔය කොටියාගේ මළ කුණ කාර්යාලයට ගෙනැවිත් භාර දෙන්න.   


දැවැන්ත අලි දෙදෙනෙක් පහර දී අලි නෑම්බිය මරා දමයි.   


1985 මැයි මස දිනක යාල උද්‍යාන භාරකරු හැටියට සේවය කරමින් සිටියදී වන සත්ව නියාමක WLA ජිනදාස මා අමතමින්, ‘සර් අද මුළු දවස තිස්සෙම ඌරණිය පලු ගස් වළේ දැවැන්තම පිරිමි අලි දෙන්නෙක් ළාබාල ගෑනු සතෙක් කොටු කරගෙන උන්​ගෙ හොඬ සහ ඔළුවලින් පහර දෙනවා. නෑම්බියට කැලෑවට යන්න නොදී මැයි මස නිසා උද්‍යානයේ සියල පලු ගස් කහ පාට ගෙඩි වලින් පිරි ඇත. ඒ නිසාම තැන තැන වලසුන්ද හමුවෙති. වලස් පැටවුන් බිය වූ විට මවගේ පිට උඩට පැන ගනිති.   


ක්ෂණිකව ලෑන්ඩ්රෝවර් රථයට නැග ගත් මම ජිනදාස නගින්න වාහනේට. බලන්න යමු. විනාඩි තිහකින් අපි පලුගස් වළට ළඟා වීමු. හැබෑටම ජිනදාස ඇයි මේ අලි දෙන්නා නෑම්බියට පහර දෙන්නේ. ඇගේ වයස අවුරුදු තුනක් පමණය. දැවැන්තයින් දෙදෙනාගෙන් නෑම්බියට ගැලවිල්ලක් නැත. හැඩරුවෙන් දැවැන්තයින් දෙදෙනා පිරිමි සතුන් බව මම නිරික්ෂණය කළෙමි. පිරිමි සතාගේ නළල් තලය ඉදිරියට නෙරා ඇති අතර ගැහැනු සතාගේ නළල් තලය පැතලිය. තවද පිරිමි සතාගේ පිට කොන්ද වලිගයට ඉහළින් ක්‍රමයෙන් පහළට නැමී ඇති අතර (Gradual Drop) ගැහැනු සතාගේ දළ වශයෙන් (90°) අංශක 90° පහළට නැමේ. පිරිමි සතාගේ ගුදයට ඉහළින් එළියට නෙරා තිබේ. ලෑන්ඩ් රෝවර් රථයේ ශබ්දය ද නොතකා දැවැන්තයින් දෙදෙනා නෑම්බියට දිගින් දිගටම පහර දෙනු පෙනිණ. තිදෙනා මෙසේ දින තුනක් (3) පමණ කුසට ආහාරයක් නොමැතිව ගත කළ අතර හතර වන දිනයේ අපි දුටුවේ නෑම්බියගේ නිසල මළ සිරුරයි. මළ සිරුර පරීක්ෂා කළ පශු වෛද්‍යවරුන් මා සමග පැවසුවේ. විල්සන් මේ නෑම්බියගේ ඉළ ඇට බිඳිලා ගොහින්. ප්‍රජනන පද්ධතියත් හරිහැටි හැදිලා නැහැ. ඒ කියන්නේ කාමාසාවක් ඇත්තෙම නැහැ. සංසර්ගයේ යෙදෙන්නන් බැහැ යන්නය. මිනිස් සමාජයේ ද මෙවැනි විකෘති කාමාසාවන්ගෙන් පෙළෙන අය නැත්තේ නොවේ.   

 

 


මහවැලි ගඟේ ඉවුරේදී නිදි පැදුරේ සිටි ඒකනායක අලියකු පාගා මරා දැමීම   


වස්ගමුව උද්‍යානයේ (වපසරිය හෙක්. 39322) එක් මායිමක් වන්නේ මහවැලි ගඟයි. අනෙක් මායිම අඹන් ගඟයි. ගංගා දෙක සම්බන්ධ වන තැන දාස් තොටයි. මහවැලි ගඟ වම් ඉවුරේ කූඩාරම් ඉදි කරගෙන ලැගුම් ගෙන සිටි සංචාරක කණ්ඩායමක මාර්ගෝපදේශක (Guide) හැටියට සේවය කළේ වන සත්ව නියාමක ඒකනායකයි. ඔහු මාතලේ පදිංචිකරුවෙකි. රාත්‍රී ආහාරයෙන් පසු සංචාරකයින් කණ්ඩායම කූඩාරමේ බුදියාගත්හ. ඊට පෙර ඔවුහු ඒකනායක අමතමින් ඒකනායක ඔයාත් එන්න මේ කූඩාරමට. ආරාධනය කළෝය. නැහැ සර්. මම එළියෙ ගිනි ගොඩ කිට්ටුව ඇලවෙනවා. සර්ලා කූඩාරමේ බුදියාගන්න. කෙසේ වෙතත් පසු දින පාන්දර නින්දෙන් අවදි වූ සංචාරකයින් කණ්ඩායම දුටු දර්ශනයෙන් තුෂ්ණිම්භූත වූහ. ඒ තම සගයාගේ නිසල මළ සිරුර දැකීමෙනි. ගිනි ගොඩ නිවී ගොසිනි. පෙරදින රාත්‍රී මහවැලි ගඟෙන් පිපාසය සංසිඳවා ගත් දැවැන්ත අලියෙක් ගඟෙන් එගොඩ වී ආහාර සොයා යන ගමනේදී නිදි පැදුරේ සිටි ඒකනායක පාගා මරා දැමීය. එහෙත් සැම විටම නින්දේ පසුවන අය අලි පාගා මරා දමන බවට උපකල්පනය කළ නොහැකිය. යාල ජාතික උද්‍යානයේ මා සේවය කළ අවදියේ දී උද්‍යානය තුළින් ගලා බසින මැණික් ගඟ මහා සාගරයට සම්බන්ධ වන මෝය කට (Reverestuary) එනම් පිළින්නාවේ මුහුදු වැල්ලේ තවත් සේවකයින් සමග මම කොතෙකුත් නිදා සිට තිබේ.   


​කෙසේ වෙතත් ඊට නුදුරින් වියළි දර කොටන් යොදා ගිනි ගොඩක් ගැසීමට අපි අමතක කළේ නැත. මගේ සිරිත වූයේ පසු දින පාන්දර නින්දෙන් අවදිවූ විගස අප නිදා සිටි තැන ආසන්නයට ඇවිත් ගිය සතුන් පිළිබඳව නිරීක්ෂණය කිරීමය. ඒ පාද සටහන් හැදෑරීමෙනි. (Foot Prints) අලින්ගේ පමණක් නොව වලසුන්ගේ පාද සටහන් ද අප නිරීක්ෂණය කොට තිබේ. කෙසේ වෙතත් පැවසිය යුත්ත නම්, මධ්‍යසාරය බීමෙන් වැළකී සිටිය යුතු බව සහ වරින් වර දෙඇස් විවර කොට අවට නිරීක්ෂණය කළ යුතු බවත්ය. මැණික් ගඟ ආරම්භ වන්නේ මධ්‍යම කඳුකරයේ නමුනුකුළ (උස මීටර් 2036) කඳු ශිඛරයෙනි. උද්‍යානය තුළට පිවිසීමට පෙර මැණික් ගඟ කතරගම පුරවරය හරහා ගලා යන්නේ කඳු සුරිඳුගේ නෙත් සිත් පිනවමිනි.  


මතු සම්බන්ධයි....

 

 



Recommended Articles