මාළු බිත්තර දාන්න එන කල්ලරාවේ ‘ගැහැනු මුහුද’


යාන් ඔය මෝය කට අවට මාළු ගැවසීම වැඩි ඇයි?

මා දැලක් අදින අයුරු

 

 

තිරියායේ ගිරිහඬු සෑය පිහිටි කඳු ගැටය මතට නැග බැලූ විට නැගෙනහිර පැත්තෙන් පෙනෙන්නේ සුදුවන් පෙණ නංවන නිල්වන් මුහුදු ජල කඳ සහ හරිතවන් තුරුගොමුවත් අතර රන්වන් පීත්ත පටියක් සේ ඈතට දිවෙන අපූරු වෙරළ තීරයත්ය.  


අතීතයේ මේ දසුන දුටු තපස්සු භල්ලු‍ක වෙළෙඳ දෙබෑයෝ ඉන් වශීකෘතව මේ කඳු මුදුනේ බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය කරවන්නට ඇත. අද එය නටබුන්ව ගොසිනි. ඊට පහළින් වෙරළ ආසන්නයේ තැන තැන පොල් අතුවලින් තැනුණු ධීවර වාඩි රැසක් පෙනෙන්නට තිබේ. දහවල ඒවායින් දුම්රොටු අහසට නගින්නේ ඔවුන් තම ආහාර පිළියෙල කරගන්නා බව පසක් කරමිනි.  


මේ කල්ලරාව මුහුදු තීරයයි. පුල්මුඬේ සිට ත්‍රිකුණාමලය දෙසට යන මාර්ගයේ යාන් ඔය පාලම පසුකළ විට කල්ලරාව ධීවර ගම්මානයට යන මාර්ගය හමුවේ. කල්ලරාව ධීවර ගම්මානය යනු මෙරට ජනතාව තම අවශ්‍යතා වෙනුවෙන් සංක්‍රමණය වෙමින් ජනාවාස ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳ අපූරු සජීවී සාක්ෂියක් සපයයි.  
“මේ ගමට අපේ කට්ටිය ඇවිත් තියෙන්නේ අදට අවුරුදු 60-70කට විතර කලින්.  ජාඇල, පමුණුගම, උස්වැටකෙයියාව. හලාවත, වත්තල පැත්තේ ඉඳලා. ධීවර රස්සාවට. එයාලා එනකොට මේ ගමේ ඉඳලා තියෙන්නේ මුල් පදිංචි පවුල් දෙකක් විතරයි. අපේ අය මාර්තු මාසයේ විතර ඇවිත් සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකන් මාස හයක් මාළු අල්ලලා නැවත වාරකන් කාලය ආවම තමන්ගේ ගම් රටවල් බලා යනවා. කීප දෙනෙක් අර පවුල් දෙකේ හිටපු ගෑනු දරුවන් එක්ක විවාහ වෙලා නතර වෙලා. ඉන් පස්සේ අනිත් අයත් ටික ටික කසාද බැඳගෙන ඇවිත් මෙහේම නතර වෙලා. ඒ විදියට තමයි මේ ගම නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපිත් අපේ දරුවනුත් ඒ දරුවන්ගේ දරුවනුත් මේ ගමේ මිනිස්සු.”‍ යැයි කල්ලරාව ගම්මානයේ වැඩිහිටියෙක් අතීතය ගැන පැවසුවේය.  


ඔවුන් කල්ලරාවට පැමිණ විවාහ වී දරුවන් වදන්නා සේම මුහුදේ සිටින මාළු ද තම පරපුර බිහිකිරීමට තෝරාගත් අපූරු භූමියක් වන්නේ කල්ලරාවයි. ඒ නිසාම ධීවරයන් කල්ලරාව ගමේ මුහුදු තීරයට කියන්නේ “ගැහැනු මුහුද”‍ යනුවෙනි.  


“මේ මුහුදේ මාළු අල්ලනකොට අපිට පෙනෙනවා බිත්තර දාන්න ඉන්න මාළු ගොඩක් මේ ප්‍රදේශයට එන බව. ඒ වගේම මාළු පැටවුනුත් ගොඩක් මේ මුහුදේ කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙනවා. අපි කල්ලරාව කළපුව කියලා කියන්නේ ඇත්තටම යාන් ඔයේ මෝයකටින් ඇතුළේ තියෙන කඩොලාන පරිසරයට. ඒ තැන්වල මාළු ගොඩක් බිත්තර දානවා. මේ නිසා මේ ප්‍රදේශයට ධීවරයන් හැමෝම කියන්නේ ‘ගැහැනු මුහුද‘ කියලා.”‍ එසේ කීවේ ධීවර කර්මාන්තයේ නිරත කාන්තාවකි.  
බස්නාහිර පළාතෙන් පැමිණ නැගෙනහිර පළාතේ පදිංචිවූ ඔවුන් දැන් මේ ගම්මානයේ ස්ථිර පිදිංචිකරුන් පමණක් නොව එහි ජන්මලාභීන්ය. නමුත් ඔවුන්ගේ ජීවිතය සුන්දර නැත. හැටේ දශකයේ පමණ සිට ඉතා සාමකාමීව තම ධීවර වෘත්තිය කරගෙන ගිය ඔවුන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවන්නට වූයේ 1983 දී ඇති වූ වර්ගවාදී අර්බුදය සමගිනි.  
“ අපි බොහොම සැහැල්ලු‍වෙන්, සමගියෙන් ජීවත් වුණා. අවට ගම්මානවල දෙමළ අය හිටියා. සිංහල ගම්මාන ගොඩක් මේ පැතිවල තිබුණා. හැමෝම එකතුවෙලා ධීවර රස්සාවත් කළා. වී ගොවිතැන් කළා. ලූනු, රටකජු වගේ වගාවන් කළා. නමුත් කොටි ත්‍රස්තවාදීන් ඇවිත් අපිට 83න් පස්සේ කරදර කරන්න ගත්තා. ගොඩක් ගම්වලට ඇවිත් ඒ අය යන්න කියලා තර්ජනය කළා. සිංහල අය ගොඩක් මේ ප්‍රදේශවලින් ගියා. අපිටත් තර්ජනය කරන කරන වතාවට අපිත් මේ සියලු‍ම දේවල් දාලා ගියා. 83 ඉදලා වරින් වර අපි අපේ අම්මලා තාත්තලාගේ ගම් පළාත්වලට ගිහින් හිටියා. සැරින් සැරේට ආවා. නැවත යනවා. ”‍ 
ඔවුන්ටත් ප්‍රදේශයටත් ආරක්ෂාව සලසා දීම සඳහා මේ ප්‍රදෙශයේ ආරක්ෂක කඳවුරු පවා ඉදිකර තිබිණි. නමුත් 1995 මැයි 25 වැනි දා රාත්‍රියේ සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. සිය ගණනක් සන්නද්ධ කොටි වෙඩි තබමින් මෝටාර් ප්‍රහාර එල්ල කරමින් ගමට කඩා වැදුණේ දකින දකින පුද්ගලයන් මරා දමමිනි. ගම අසලම තිබූ හමුදා කඳවුරේ සිටි සෙබළුන් ද මේ කොටි ප්‍රහාරය හමුවේ පසු බැස යද්දී ගමේ 45 දෙනකු අමු අමුවේ ඝාතනය කෙරිණි. පසු දා යළි හමුදා භට කණ්ඩායම් පැමිණෙන විට කොටි යාන් ඔය හරහා බෝට්ටුවල නැගී පලා ගියහ. ගමේ ඉතිරිවූ පිරිස් මිය ගිය තම ඥාති හිතවතුන්ගේ මළ සිරුරු ද රැගෙන හමුදාවේ සහායෙන් අනුරාධපුරයට ගොස් යළි නොඑන්නටම යැයි සිතා තම වැඩිහිටියන්ගේ ගම්බිම් බලා ගියහ. රජය නැගෙනහිර පළාත කොටි ත්‍රස්තයන්ගෙන් මුදාගත් පසු ඔවුන් යළි ධීවර කර්මාන්තය සඳහා පැමිණියේ තමන්ට හුරු පුරුදු රැකියාව සඳහා මහ සමුදුර සමග ඔට්ටු ඇල්ලීමේ අපේක්ෂාවෙනි.  


“අපි ආපහු එනකොට මේ ප්‍රදෙශ වල්බිහිවෙලා තිබුණේ. ඒ කාලේ අපි ජීවත්වුණේ පැල්පත් වගේ පොල්අතුවලින් හදා ගත්තු ගෙවල්වල සිමෙන්තියෙන් හදපු ගෙවල් අපිට තිබුණේ නැහැ. ඉතින් අපි අම්මලා තාත්තලා එක්ක ඇවිත් පොල් අතු සපයගෙන මේ තැන්වල නැවත ගෙවල් හදාගෙන පදිංචිවෙලා ධීවර රස්සාව පටන්ගත්තා. සුනාමියෙන් අපේ මුළු ගම්මානයම විනාශ වුණා. නැවත වතාවක් ගොඩක් දෙනෙක් මැරුණා. අපි දුවලා ගිහින් ගල් කුළුවලට නැගලා තමයි සුනාමියෙන් බේරුණේ. ඉන් පස්සේ අපිට රතුකුරුස සංවිධානයේ මැදහත් වීමෙන් ගෙවල් හදලා දුන්නා. ඒවා සිමෙන්තියෙන් හදපු ගෙවල්. අපි තාම ඉන්නේ ඒ ගෙවල්වල.”‍ රොෂාන් සුරනිමල් (41) එසේ කීවේය.  
තවත් වසර කිහිපයක ඇවෑමෙන් 2009 වර්ෂයේ දී යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් විය. 1960 පමණ සිට කල්ලරාව ගම්මානයේ ජීවත් වූ ඔවුන් තමන් එදවස සිටි ඉඩම් සොයා හෙළි පෙහෙළි කර ධීවර රස්සාවේ යෙදිය නොහැකි කාලයේ දී වගා කටයුතුවල යෙදෙන්නට සූදානම් වුව ද නීතිය එයට හරස් වී තිබේ. ඔවුන් පවසන්නේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් කොළඹ කාර්යාලවල සිට චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිතියම් බලා වන අඩවිවල සීමා මායිම් ලකුණු කර ඇති බැවින් දැන් තමන්ට පැරණි ඉඩම් සියල්ල අහිමි වී ඇති බවයි. හරිහැටි නිවෙසක් නොතිබූ තමන්ට සුනාමියෙන් පසු නිවෙසක් ලැබුණ ද මුහුදු රස්සාව කළ නොහැකි කාලයේ දී වගාකරන්නට ඉඩමක් නොමැති වීම බරපතළ ගැටලු‍වක් බව ද මේ ධීවර ගම්මානයේ වැසියෝ පවසති.  
කල්ලරාවේ ධීවර කර්මාන්තය කළ හැකිවන්නේ මාර්තු සිට ඔක්තෝබර් ආසන්නය දක්වා මාස හයක කාලයක් පමණි. කල්ලරාව යනු මා දැල් කර්මාන්තය සිදුකරන වෙරළ තීරයකි. වාරකන් නොමැති මේ කාලයේ දී මා දැල මසුන්ගෙන් බරවෙයි. වෙරළේ ඩිංගි බෝට්ටු හා ඔරු කිහිපයක් තිබෙන අතර කිහිප දෙනක් ඒවායින් මුහුදු ගොස් මසුන් මැරීමට පුරුදුව සිටිති.  

ගැහැනු මුහුදේ බිත්තර දැමීමට පැමිණෙන මසුන්

 


කල්ලරාව ධීවර ගම්මානයේ අදින් වසර 70ක පමණ සිට පදිංචි වූවන් සිටිය ද එහි කර්මාන්තය කෙරෙන්නේ වෙනස් ආකාරයකිනි. වෙරළ කොටස් දහයකට බෙදා ඇත. මේ කොටස් දහයට මා දැල් දහයක් තිබේ. මා දැලක් වෙනුනේ ධීවර දෙපාර්තමේන්තුවට බදු මුදලක් ගෙවා එය අත්පත් කරගෙන ඇත්තේ මාළු මුදලාලි කෙනෙකි. මේ මාළු මුදලාලිලා අතර ගමේ පදිංචිකරුවන් ඉන්නේ එක් අයෙක් පමණි. මා දැලක හිමිකාරීත්වයක් ඇති තවත් මුදලාලි කෙනෙක් ගමේ සිටින තරුණයකුට තම මා දැල කරගෙන යාමට භාර දී ඇති බැවින් ගමේ දෙදෙනකුගේ නායකත්වයෙන් මා දැල් දෙකක් ක්‍රියාත්මක වෙයි. තවත් එක් මා දැලක හිමිකාරීත්වය ඇත්තේ ගමේ ධීවර සමිතියටය. අනෙක් මා දැල් හතේම හිමිකාර මුදලාලිලා පිටගම් කාරයෝය. මේ අතර දේශපාලකයන් ද සිටින බව ගැමියෝ කියති.  
ධීවර ගමේ පදිංචිකරුවෝ ද මේ මාදැල් මුදලාලිලාගේ මා දැලේ වැඩ කරන්නේ මාසික වැටුපකට හෝ අත්තම් කොටසක් ලබා ගැනීමටය. මා දැල ගොඩටගත් පසු ඔවුන්ට ලැබෙන පංගුව ලොරි මුදලාලිලාට විකුණා ඔවුහු තම ජීවිතය ගැටගසා ගනිති.  


ගමේ කාන්තාවන් මා දැලට සහය දුන්න ද බෝට්ටුවලින් මුහුදු යන්නේ නැත. නමුත් බෝට්ටුවෙන් සහ ඔරුවෙන් මුහුදු ගොස් පන්න යොදා මාළු අල්ලන කාන්තාවක් මේ ගමේ සිටියි. ඇය එවැනි දෙයක් කරන එකම කාන්තාවයි. ශාන්ත අන්තෝනි ධීවර සමිතියේ ලේකම්ධූරය හොබවන ඇය නමින්  එච්.පී.චන්ද්‍රිකා මානෙල් මහත්මියයි. ඇය මෙසේ පැවසුවාය. 
“ මම වගේම බෝට්ටුවලින් මුහුදු යන තවත් ගැහැනු අය කිහිප දෙනෙක් මේ ගමේ ඉස්සර හිටියා. දැන් ඒ අය වෙන ප්‍රදේශවල පදිංචියට ගිහින් දැන් ඉතුරුවෙලා ඉන්නේ මම විතරයි. මගේ තාත්තා මේ ගමට ඇවිත් තියෙන්නේ එයා පොඩි කාලෙම කරවල වේළන වාඩියක කාක්කෝ එළවන්න. පස්සේ අම්මා එක්ක විවාහ වෙලා මේ ගමට ඇවිත් පදිංචි වුණා. ඒ කාලෙත් පිටින් එන මාළු මුදලාලිලාගේ මාදැල්වල තමයි අපි වැඩ කළේ. දැන් සමිතියෙන් මා දැලක් පවත්වාගෙන යනවා. ගමේ හැමෝටම එතනින් ආදායමක් ලැබෙනවා. නැත්නම් ඉතින් මුදලාලිලාගෙන් ලැබෙන ගාණකින් අපිටත් ජීවත් වෙන්න වෙනවා.”‍ 


ඇය පවසන්නේ මා දැලක හැත්තෑවක පමණ පිරිසක් දිනකට වැඩ කරන බවයි. මේ සඳහා අලු‍ත්ම ක්‍රමයක් දැන් යොදාගනී. මා දැල් හිමිකාරීත්වය දරන මුදලාලිලා මඩකළපුව ප්‍රදේශයෙන් ද්‍රවිඪ තරුණයන් මේ කර්මාන්තය සඳහා කැඳවාගෙන එති. ඔවුන්ට ගෙවන්නේ රුපියල් 25,000 ක මාසික වැටුපකි.  


“ අපේ ගමේ අය රුපියල් 25,000ක් වගේ මාසික වැටුපකට වැඩ කරන්න කැමති නැහැ. ඒ නිසා මුදලාලිලා මඩකළපුවෙන් කට්ටිය ගෙනවිත් වැඩ ගන්නවා. ඒ අය ඉතින් වැල්ලේ හදාගත්තු වාඩිවල නැවතිලා මාස හයක් හතක් මේ රස්සාව කරලා යනවා. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා ඇතැම් මා දැල් අවුරුද්ද පුරාම අදිනවා. ඉතින් ඒ නිසා මාළු අඩුයි. මූදෙ ඉන්න මාළු ඔක්කොම අල්ලගන්නවානේ. පැටවු දාන්න එන මාළු ඇල්ලු‍වාම පැටව් නෑ. ඉතින් මාළු දැන් අඩුයි. ඒ විතරක් නෙවෙයි වෙන පැතිවල ධීවරයෝ ඇවිත් මේ හරියේ ඩයිනමයිට් ගහනවා. තහනම් පන්න දානවා. ඒවා පාලනය කරන්නවත් කෙනෙක් නැහැ. දැන් මාදැලත් නවීකරණය වෙලා තියෙන්නේ. ඉස්සර වගේ කට්ටිය ගොඩක් එකතුවෙලා අතින්ම අදින්නේ නැහැ. දැන් අදින්නේ ට්‍රැක්ටර්වලින්. ”‍ 

 

 


එච්.එම්.මේරි ජසින්තා මහත්මිය (55) මෙසේ කීවාය.  


“ මේ ගමේ සුනාමි ගෙවල් 59ක් තියෙනවා. මේ ගෙවල් හැදුවේ ස්ථිර ගෙවල් කියලා. නමුත් දැන් ඒවා කඩා වැටෙනවා. දොර ජනෙල් කැඩිලා. මේ ගෙවල්වල ඉන්න බැහැ. නමුත් අපිට අපි ඉස්සර හිටපු ඉඩම්වල කැලෑ කපලා ගෙයක් හදාගන්නවත් රජයෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ අය කොටි ගහන කාලේ අපි මේ ගම දාලා ගිය අතරේ එවා කැලෑ කියලා ලකුණු කරලා. දැන් ඒවාට අපිට ඇතුළුවෙන්නවත් දෙන්නේ නැහැ. ”‍ 


ගමේ තරුණ ක්‍රිස්තියානි සමිතියේ ලේකම් සුදර්ශන කුමාර මහතා (28)  


“ දැන් මේ ප්‍රදෙශයේ තියෙන එකම සිංහල ගම්මානය කල්ලරාව. අපි හුදකලා වෙලා ඉන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත් එතැන ලේකම්තුමාගේ ඉදලා සියලු‍ම නිලධාරීන් දෙමළ හා මුස්ලිම් අය ඉන්නේ. ඒ අයට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ. අපිට එයාලා කියන දේ තේරෙන්නේ නැහැ. ඉතින් වැඩක් කරගන්න හරිම අමාරුයි. අපි පුදුම දුකක් විඳිනවා. මේ ගැන රජයේ අවධානය යොමුකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.”‍ 


මේ ගැමියන්ට ඇති තවත් ගැටලු‍වක් වන්නේ දරුවන්ට ඉගෙන ගැනීමට ඇති පාසල්වල පහසුකම් නොමැතිවීමයි. කල්ලරාව ගම ආසන්නයේ ම සිංහල මාධ්‍ය ප්‍රාථමික විද්‍යාලයක් පිහිටා ඇති අතර ද්විතීක අධ්‍යාපනය සඳහා ඔවුන් පුල්මුඬේ ඛනිජ වැලි සිංහල විද්‍යාලයට යා යුතුය. එහි ද විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන්ගේ විශාල අඩුවක් ඇත. විද්‍යාගාර පහසුකම් පවා නොමැති මේ විද්‍යාලයෙන් තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම අපහසු බව ගැමියන්ගෙන් නැගෙන චෝදනාවකි.  


සජිත් චන්දන (20)  


“මම අවුරුදු 15 දී තාත්තා නැතිවුණා. එදා ඉදලා මුහුදු රස්සාවට ආවා. දැන් මා දැලක වැඩකරනවා. ඉස්සර තාත්තලාගේ කාලේ හිටපු තරම් මාළු දැන් නැහැ. ඒ නිසා ආදායමත් ගොඩක් අඩු වෙලා. අපි ජීවත්වෙන්නේ අමාරුවෙන්. මේක ගොඩක් දුෂ්කර ජීවිතයක්.”‍ 


ගම්මානය අසලින් මුහුදට ගලා බසින යාන් ඔය මෝය කඩොලානවලින් බහුල පරිසර පද්ධතියක. ඉතා විශාල වපසරියක පැතිරී ඇති මේ කඩොලාන පරිසර පද්තිය වඩදිය බාදිය හේතුවෙන් වරින් වර මුහුදු ජලය හා සම්මිශ්‍රනය වී කළපුවක් ආකාරයනේ ක්‍රියා කරයි. එවැනි පරිසර පද්ධතියක් යනු මාළු‍න්ට, ඉස්සන්ට, කකුළුවන්ට හා බෙල්ලන්ට තෝතැන්නකි. බොහෝ කරදිය මසුන් ද කලපු පරිසරයේ තම වර්ගයා බෝ කිරීම සඳහා බිත්තර දැමීමට පැමිණේ. අතීතයේ සිට කල්ලරාව වෙරළ අසල මුහුදු තීරය ගැහැනු මුහුද යැයි නම් ලබන්නට ඇත්තේ යාන් ඔය විසින් නිර්මාණ කර ඇති මේ සුවිසල් කඩොලාන පරිසර පද්තිය හේතුවෙන් විය යුතුය.  


නමුත් දැන් ධීවරයන් නගන චෝදනාව වන්නේ එදා තරම් අද කළපුවේ ඉස්සන්ද කකුළුවන් ද නැති බවයි. එමෙන්ම බෙල්ලන් අල්ලන්නට ඔවුන් නොමැති බවත් මේ නිසා මා දැල් කර්මාන්තයේ යෙදිය හැකි මාස හයෙන් පසු ගතවන මාස හයක කාලයේ දී කිසිම ආදායමක් නොමැති බව ඔවුහු කියති.  


මේ ගැන සොයා බැලූවිට පී.පී.ඒ.දිනේෂ් දයාන් මහතා (42) මෙසේ කීවේය. 

 
“ යුද්දෙ ඉවර වුනාට පස්සේ දේශපාලන බලවතකුගේ සහයෝගයෙන් පුද්ගලික සමාගමක් මේ ගමට ඇවිත් හෝටලයක් හදන්න කියලා ඉඩම් වගයක් වෙන් කළා. මේ ඉඩම පල්ලිය ළඟ ඉදලා මෝයකට දක්වාම තිබුණා. මෙන්න ටික දවසකින් මේ අය වැලි කොට්ට දාලා යාන් ඔයේ මෝයකට වැහුවා. එදා මෝයකට තිබුණු තැනට වඩා එහායින් පොඩි මෝයකටක් හැදුවා. මේක කළේ 2013 අවුරුද්දේ දී. අපි කියන්න තියෙන හැමතැනටම මේ ගැන කිව්වා. නමුත් අපේ වචන තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. බැරිම තැන අපේ ගමේම අය එකතුවෙලා ආපහු අර පරණ මෝයකට තිබුණ තැන එයාලා දාපු වැලි කොට්ට අයින් කරන්න පටන්ගත්තා. පොලිසිය ලොරි වලින් පනහක් හැටක් විතර ඇවිත් අපේ අය අත්අංඩංගුවට අරන් ගිහින් නඩු දැම්මා. අපි නිෂ්ශබ්ද වුණා. අද අපිට තියෙන්නේ කෘත්‍රිමව හදපු මෝය කටක්. ඉස්සර තිබුණු මෝය කට පළල්. ඒක කාලෙකට වැලි පිරෙනවා. දැන් තියෙන මෝය කට පොඩියි. ඉතින් මුහුදු වතුර දැන් ඉස්සර වගේ ගඟට එකතුවෙන්නේ නැහැ. ඒ නිසා මාළු‍ බෝ වෙන්නේ නැහැ. දැන් මේ ගැහැනු මුහුද තව ටික දවසකින් මළ මුහුදක් වේවි.”‍ 


ඔහු පවසන දෑ සත්‍යයක් දැයි බැලීමට අපි 2013 වර්ෂයට පෙර 2011 දී  ඨදදටකැ ැ්රඑය මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සහ වත්මන් චන්ද්‍රිකා ඡායාරූප සන්සන්දනය කළෙමු. ඔහු පවසන දෙය සත්‍යයකි. හෝටලයක් අටවනවා යැයි පවසමින් මෝයකට වෙනස් කිරීමේ විපාකය දැන් ධීවරයෝ විඳිමින් සිටිති. දේශපාලන බල පෙරළි සමග හෝටලය ඉදිකිරීම ද නතරවී තිබේ. එය ඉදිකරන්නට තැනූ තාවකාලික ගොඩනැගිල්ලක් තවමත් එම භූමියේ දක්නට ලැබෙයි.  


ධීවරයන් පවසන්නේ  දැන් ඉස්සන්, කකුළුවන් හා කළපු මසුන් යාන් ඔයේ කඩොලාන පරිසරයේ දක්නට නැති බවයි.  


ඔවුන්ට තවත් ගැටලු‍වක් දැන් නිර්මාණය වී ඇත. ඒ වන අලින්ගේ ගම් වැදීමයි.  


“ඉස්සර මේ පැත්තේ පොල් ගස් තිබුණා. පොල් එක යායට. දැන් එකම පොල්ගහක්වත් නැහැ. යුද්දෙ කාලේ අපි ගිහින් ආපහු එනවිට අලි මේ පැත්තට පුරුදු වෙලා. දැනටත් වරින් වර අලි ගම් වදිනවා. උන් මහ පොල්ගස් ඔක්කෝම පෙරළලා ගොබේ ඉඳලා කා දමනවා. දැන් පොල් ගස් නැහැ. තල් ගෙඩි හැදෙන අගෝස්තු මාසෙටත් අලි ගම්වදිනවා. අපිට කිසිම වගාවක් කරන්න බැහැ. මේ පැත්තේ එළවළු වවන්න පුළුවන් අලි ගම්වැදිලා ඔක්කොම විනාශ කරනවා. අලි වැටවල් තිබුණට වැඩක් නෑ. උන් එනවා. අලි ප්‍රශ්නය විසඳලා දෙනවනම් අපිට ධීවර රස්සාව කරන්නේ නැති කාලෙ දී වගා කරන්නවත් තිබුණා.”‍ 


කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ පවා නොබියව තම ගම්මානයේ ජිවත් වෙමින් ධීවර කර්මාන්තයේ යෙදුණු ඔවුන් ගම හැරදා ගියේ කොටි ගම් වැදි ඔවුන්ගේ 45 දෙනකු මරා දැමූ බැවිනි. නමුත් ඔවුන් අදට ද පවසන්නේ තමන් කල්ලරාව හැරදා නොයන බවයි. අති දුෂ්කර ජීවිතයක් ගත කරන ඔවුන් අල්ලන මසුන් ලොරිවලින් කොළඹට පැටවෙන්නේ මෙරට ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය එකතු කරමිනි.  


කල්ලරාවේ ‘ගැහැනු මුහුද‘ තවදුරටත් මසුන්ගේ තෝතැන්නක් ලෙස තබා ගැනීමටත් එහි අසීරු ආර්ථික සටනකට උරදී සිටින ධීවරයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත් රජය මැදහත් විය යුතුය.  

 

 

 


සජීව විජේවීර



Recommended Articles