මලියදේව රහතුන් වැඩසිටි මලිදුව ගම්පියස


ගමක නම හැදුණු හැටි

 

 

දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මලිදුව ප්‍රදේශය කුඩා කුඩා ගම්මාන රැසක් එක්ව සෑදුණ සුවිසල් ප්‍රදේශයකි.   


නියම් ගම් දහ අටකට අධික සංඛ්‍යාවකින් යුතු ග්‍රාම නිලධාරී වසම් කීපයක පරිපාලනයෙන් යුතු ප්‍රදේශයකි. මෙම කලාපයේ පරිපාලන කටයුතුවල පහසුව සඳහා අතීතයේ පටන්ම ඉහළ මලිදුව, පහළ මලිදුව, මැද මලිදුව යනුවෙන් කොටස් කීපයකට බෙදා වෙන්කර ඇත්තේ ප්‍රදේශයේ සුවිශාලත්වය නිසා ම ය.   


ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුණ්‍ය භූමියේ අතීතය ශ්‍රී ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේගේ යුගය දක්වා දිව යයි. ඒ බව අදටත් ගමේ තතුදත් උගත් බුද්ධිමත් වැඩිහිටියෝ පවසති.   


අලංකාර කඳු වළල්ලකින් වටවුණු දූපතක් බඳු ගම්මානය නිල් පලසක් එලුවා සේ පෙනෙනතෙක් මානයේ විහිද යන කෙත් යායකින් සමන්විතය. ගමටම සිසිල සදමින් සෙවණ දෙන ගම කෙළවර පිහිටි දෙදියගල රක්ෂිතයෙන් ඇරඹී ගම මැදින් ගලා යන දිගිලි නදිය ගමට එක් කරන්නේ අමුතුම අලංකාරයකි.   


නිල්වලා ගං කොමලිය පොහොසත් කරන එහි ප්‍රධාන අතු ගංගාව වන දිගිලි නදිය වසර පුරාවට ගොඩ මඩ දෙකම සරුසාර කරමින් ගලා බසින්නේ ගම් වැසියන්ගේ ජීවිතවලට මහා ආශිර්වාදයක් එක් කරමිනි.   


අතීතයේ දී මලිදුව ගම්මානයේ මලියදේව මහ රහතුන් වහන්සේ වැඩ සිටියා යැයි පැවසෙන පින්බිම ගම්මානය මැද විරාජමානව වැජඹෙන අතර එම ස්ථානය මලිදුව අම්පිටිය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. මේ පුණ්‍ය භූමිය අතීතයේ පටන්ම මහත් හාස්කම්වලින් පිරුණු තැනක් බව ගමේ වැඩිහිටියන් පවසන්නේ මහත් වූ ගෞරවයකිනි.   
කාලයෙන් කාලයට ගැමියන්ට ගම්මානයට ඇතිවන අපල උපද්‍රව සහ ව්‍යසනවලදී අම්පිටිය පින්බිමට පැමිණ පිහිට පැතීමට ගම්මානයේ පමණක් නොව අවට ප්‍රදේශවල ජනයාද පුරුදුව සිටිති.   


මෙහි ඓතිහාසික බව පිළිබඳ ලිඛිත හෝ වෙනත් කිසිදු භෞතික සාක්ෂියක් හෝ අද නැතත් මෙම ස්ථානයේ ඓතිහාසික බව පිළිබඳව සාධක අම්පිටිය අවට ස්ථාන කීපයකට ව්‍යවහාර කරන නම් ගම් තුළින් නිදසුන් ලෙස දැක්විය හැක.   


බතලවත්ත

   
අම්පිටිය පූජා භූමියට යාබදව නැගෙනහිර දිශාවෙන් පිහිටි මෙහි එකල මලියදේව මහ රහතන් වහන්සේට දන් පැන් සැපයූ ස්ථානය ලෙස සැලකේ. බත් උයාගැනීමට භාවිත කළ ශාලාව පිහිටි ස්ථානය බත්හල වත්ත වී බතලවත්ත වූ බව පැවසේ.   


දන්ගහ වෙල 

 
බතලවත්තට මදක් එපිටින් පිහිටි කුඹුරු යාය මෙනමින් හැඳින්වේ. මේ අම්පිටිය පූජා බිමේ වැඩ විසූ සඟරුවනට දානය සඳහා අවශ්‍ය වී සහල් සඳහා වගා කළ කුඹුරු යාය දන් ගහ වෙල යනුවෙන් නම් වූ බව සැලකේ.   


ශිල්පගෙ වත්ත   


පූජා බිමේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හෙවත් ශිල්ප ලබාගත් ස්ථානය ශිල්ප ගෙවත්ත ලෙස අදටත් හැඳින්වේ. එම ස්ථානය අම්පිටියට යාබදව බටහිර දෙසින් පිහිටා ඇත.   


පියරදු ගොඩ   


මලියදේව මහ රහතන් වහන්සේ පැන් සනසාගත් ස්ථානය දිගිලි නදියේ තොටුපළක් වන අතර එය අදටත් මහ රහතුන් පිය රැඳවූ ගොඩබිම පිය රැන්දු ගොඩ වැහැරීමේ පහසුවට අද වන විට පියරදු ගොඩ යනුවෙන් හඳුන්වති.   


අදටත් ගමට නියං සමයක් වසංගත රෝගයක් වැනි ව්‍යසනයක් හෝ කුඹුරු වගාවන්ට වැළඳෙන විවිධ උවදුරු පැමිණිවිට ගම්මු ඒකරාශිවී අම්පිටිය පූජා භූමියෙ අං ඇදීම, පොරපොල් ගැසීම, ගම්මඩු නැටීම, දේව දානයන් පිරිනැමීම ආදී පුද පූජා පවත්වමින් කන්නලව් යාදිනි කියමින් දෙවියන් සතුටු කිරීමේ ක්‍රියාවන්වල යෙදෙති. එසේම එවැනි දේ වලින් ඉතාමත් සුබදායි ප්‍රතිඵල ලැබෙන බව ඔවුහු දැඩිව විශ්වාස කරති.   


මෙහිදී පත්තිනි දේව මෑණියන් වෙනුවෙන් කෙරෙන පුද පූජා ප්‍රමුඛස්ථානයක් ගනී. එසේම මෙම අම්පිටිය පුදබිමේ වතාවත් සිදුකිරීම සඳහා කපු මහත්වරුන් කීපදෙනෙක් ද සිටිති.   
අතීතයේ පටන් අංකෙළිය ක්‍රීඩාව මෙම ස්ථානයේ පැවතී ඇති අතර ඒ සඳහා යොදාගත් ගස ‘අංගස’ යනුවෙන් හැඳින්වෙන අතර එම ගස අදටත් ශේෂව පවතී. මෙහි පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පුද පූජා පැවැත්වීමට අවශ්‍ය කුඩා බුදු මැදුරක් මෙන්ම දේවස්ථානයක්ද ඇත.   


අද නමට පමණක් සීමා වී ඇති එම බිම්කඩවල විවිධ ඉදිකිරීම් කොට ගම්වාසීහු පදිංචිව සිටිති.   


එහෙත් එම ස්ථානවලට යොදා ඇති නම් ජන වහරේ වර්තමානයේත් නොනැසී පවතී.   


අද මලිදුව ගම්මානය බොහෝ සරුසාර මෙන්ම බුද්ධිමතුන්ගෙන් සමන්විත ප්‍රදේශයකි. අම්පිටිය පුණ්‍ය භූමිය අකුරැස්ස ප්‍රා. ලේකම් කොට්ඨාසය බාරයේ පවතී. මේ ආසන්නයේම පිහිටි පෞරාණික විහාරස්ථානයක් වන මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානය යටතේ එය පාලනය වේ. එහි වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මලිදුව අමරවංශ හිමියන් මෙම ස්ථානය රැකබලා ගැනීමට ගන්නා වෙහෙස අපමණය.   


මේ අනුව ශ්‍රී ලංකාද්වීපයේ අවසන් මහ රහතන් වහන්සේගේ පා පහස ලැබීම හේතුවෙන් නම් ලද මලියදේව ගම හෙවත් මලිදුව ගම පිළිබඳව අප සිහිපත් කරන්නේ මහත්වූ අභිමානයෙනි.   

 


චිත්‍රානන්ද ගුණවර්ධන   
මාර/මලිදුව කනිෂ්ඨ විද්‍යාලය   
අකුරැස්ස   



Recommended Articles