බෙන්තොට


බස්නාහිර පළාතේ අවසන් සීමාවත් දකුණු පළාතේ ආරම්භයත් සලකුණු කරන බෙන්තර ගඟ මුළු දකුණු පළාතටම අභිමානයක් මෙන්ම සිරියාවක් කැන්දාගෙන එන සුන්දර නදියකි. එක පැත්තකින් බෙන්තොට නදියත් අනෙක් පසින් නිල්වන් මුහුදු වෙරළත් සමග බෙන්තොට, දේශ දේශාන්තරවල පවා ජනාදරයට පාත්‍රවූ ප්‍රදේශයක් බවට පත්වී ඇත. විශේෂයෙන් විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීයම ප්‍රදේශ අතර බෙන්තොටට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. බෙන්තොට මුහුදු වෙරළ හා බෙන්තොට නදිය ඕනෑම අයෙකුගේ නෙත් සිත් පැහැර ගන්නා සුන්දර පාරාදීසයකි. බෙන්තර නදියෙන් හමා එන සිහිල් පවන් රැළි විඩාබර ගතට මෙන් සිතට ගෙන දෙන්නේ අපමණ සුවයකි. බෙන්තොටින් ගමන් ගන්නා ඕනෑම අයෙකුට ඒ මිහිරි ආස්වාදය විඳගැනීමට අවස්ථාව ඇත.  
 
 
 
 
එහෙත් බෙන්තර ගඟ පිළිබඳ පැරණි කියමනක්ද මේ අවස්ථාවේ මට සිහිපත් වේ. එය නම් බෙන්තර ගඟේ එහා පැත්තේ ඉඳලා ඇස් අරින්නේ නැති බළල් පැටවෙකුවත් මෙහා පැත්තට ගේන්න එපා කියලා තිබෙන පැරණි කියමනය. අදත් ජනයා අතර ඉඳහිට විහිළුවට මෙන් මේ කථාව ඇසෙන්නේය. අපේ රටේ ජීවිතය ජයගත් මිනිසුන්ගේ නාමාවලියේ ප්‍රමුඛත්වය දකුණට හිමිවීමත් සමග මා පෙර සඳහන් කළ පැරැණි කියමන අතර ඇත්තේ මනා සබැඳියාවකි.   
 
බෙන්තොට පුරාණය සොයා යාමේදී මුලින්ම බෙන්තොට යනුවෙන් ඒ ගමට ඒ නාමය හිමිවූ අයුරු සොයාගත්තෙමි. එය මෙසේය. දකුණු පළාතත් බස්නාහිර පළාතත් දෙපැත්තකට වෙන් කරමින් බෙම් ගඟ ගලා යයි. අතීතයේ මේ දෙගොඩ යා කරමින් පාලම් නොමැති අවධියේදී එගොඩ සිට මෙගොඩටත් මෙගොඩ සිට එගොඩටත් පහුරුවලින් ගමන් කර ඇත. මේ බෙන්තොට තොටුපළෙහි අරක්ගෙන සිටි භයානක යක්ෂයකු නිසා සකු බසින් භයානක තොටුපොළ යන අරුත් ඇති භීමතිත්ත නම් ආදි කාලීන යෙදුමේ පරිණාමයක් ලෙස භීම යන්න බෙම් ලෙසටද තිත්ත යන්න තොට ලෙසටද වී බෙම්තොට නම හැදුණ බව ජනප්‍රවාදයේ එයි. බෙම්තොට බෙම්තර හා බෙන්තර යන නාමාවලින්ගෙන් හඳුන්වන්නේ එහි බෙන්තොට පුරවරයටමය.   
 
මෙරට සංදේශ කාව්‍යවල, විශේෂයෙන් ගම්පොළ යුගයේ විරචිත මයුර සහ තිසර සංදේශවල පවා බෙන්තර සමෘද්ධිමත් පුරවරයක්ව පැවති බව සඳහන් වෙයි. කෝට්ටේ යුගයේ රචිත ගිරා සංදේශයේ බෙන්තර ගැන සඳහන්ව ඇත්තේ මේ අයුරිනි.   
 
නොබැඳ විදෙන වරලස මල් පිටින් පිටින්  
නොහැඳ තරම ගිලිහෙන සළු පටින් පටින්
පැහැද තවෙත දිව එන ලිය වටින් පිටින්  
සබැඳ නොසිට යාගන් බෙම්තොටින් තුටින්  
 
ගිරා කතුවරයා බෙම්තොට ලඳුන් ගැන මෙහිදී වර්ණනා කොට ඇත. මෙයින් පෙනී යන්නේ ඈත අතීතයේ පවා සමෘද්ධිමත් පුරයක් ලෙසින් බෙන්තොට පැවති බවය.   
 
බෙන්තොට පුරාණය සොයා යෑමේදී බෙන්තොට ගමේදී හමුවූ විශ්‍රාමලත් විදුහල්පති ඇල්බට් කන්නන්ගර මහතා තමන් උපන් ගම ගැන අතීත මතකය අවදි කළේ මෙ​සේය.   
 
බෙන්තොට කියන්නේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්.   
 
සද්ධාතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ ඉදිකළ වෙහෙර විහාර පහක් බෙන්තර ප්‍රදේශයේ තිබෙනවා. ඒ ගලපාත විහාරය, බෝධිමළු විහාරය, වනවාස විහාරය, උඩකොටුව විහාරය, ගණේ විහාරය යනුවෙනුයි. රජමහා විහාර 5 අපේ ගමේ තිබෙන්නේ. මේ බව වංශකථාවල පවා සඳහන් වෙනවා. මහා පරාක්‍රමබාහු කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු, හයවෙනි පරාක්‍රමබාහු ආදි රජවරු මේ විහාර 5 සංවර්ධනය කරලා පුද පූජා පවා පවත්වලා තිබෙනවා. පළමුවැනි ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ මහා කසුප් මහා රහතන් වහන්සේගේ දන්ත ධාතුව තැන්පත් කර ඇත්තේ ගලපාත විහාරයේ තමයි.   
 
බෙන්තොටට අයිති ස්ථාන හා ගම්මාන අතර වාඩිය, නිස්සංකගල, යාත්‍රාමුල්ල, පහුරුමුල්ල ගැන ඉතිහාසගත කරුණු මෙහෙමයි. දුටුගැමුණු කුමාරයා ආරම්භ කළ රුහුණු දේශ සීමා ව්‍යාප්ත කොට ගැනීමේ සටනට සම්මාදම්වීමට පැමිණි බෙන්තොට වලල්ලාවිටි කෝරළයෙන් ගිය වීර සෙබළුන් වාඩිලා සිටි තැන වාඩිය නමින් හඳුන්වනවා. නිස්සංකගල යනුවෙන් හඳුන්වන්නේ නිශ්ශංකමල්ල රජුගේ බිසව කෝසීහාමි දේවියට ජලස්නානය කිරීමට තැනවූ ශෛලමය ආසනය ඇති තැනයි. අරාබි ජාතිකයන්ගේ නැව් හම්බාන් වැනි ජලජ යාත්‍රා නැංගුරම් ලූ තැන යාත්‍රාමුල්ල වුණා.   
දේශීය ධීවරයන්ගේ හා වෙනත් මුහුදු යාත්‍රාකරුවන්ගේ සුලුප්පු කට්ටු මරන් පහුරු ආදිය නවතා තැබූ තැන පහුරුමුල්ල වුණා. අද මෙය දියුණු ගමක්.   
 
බෙන්තර ගඟ ගැන කථා කළොත් අපූරු සොබා සෞන්දර්යයෙන් අනූන සදාහරිත වන රේඛාවලින් සැදුම්ලත් ප්‍රදේශයක්. ගඟේ සමහර ස්ථානවල අලංකාර තොටුපළවල් තිබෙනවා. නෑම, රෙදි සේදීම, පිහිනීම වැනි දේවල් කරන්නේ එවැනි තොටුපොළවල් ළඟ. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකතට පස්සේ බෙම් ගඟේ නොගැඹුරු ඉවුරු බාල, මහලු, තරුණ, තරුණියන්ගෙන් පිරිලා. වර්තමානයේ යුගල පාලම් ඉදිකර තිබෙන ගඟ මැද ඇති මද්දෙ දූව තෙක් තරගයට පිහිනන්න සමත් තරුණයන්ගෙන්ද ගමේ අදත් අඩුවක් වෙලා නැහැ. අද ගඟේ නිතර සංචාරකයන් රැගත් බෝට්ටු ගමන් කිරීම නිසා එදා ඉවුරුවල බහුලව ජීවත්වූ කකුළු රංචු අද දකින්න ලැබෙන්නේ කලාතුරකින් තමයි. ඒ වගේම කටිල්ලෝ, පැරෑටින්, හඳපාන්නුන්, කොරළි හා වැලිගොව්වන් අද බෙන්තර ග​ෙඟ් දුර්ලභ මත්ස්‍ය සම්පත් බවට පත්වෙලා තිබෙනවා. බෙන්තර පාලම කිට්ටුව හමුවෙන කිරල දූපත පිරිලා තියෙන්නේ ඉඳුණු සුවඳැති කිරල වර්ගවලින්.   
 
ඒ දූපතේ ඉතාම රසවත් සීනි කිරල කියලා කුඩා ගෙඩි සහිත කිරල වර්ගයක් තිබෙනවා. මේ ගෙඩි වලින් හදාගන්නා පානය හරිම රසවත්. ඉරටුවක ඇමිණූ කිරල ගෙඩි හත අටකින් යුතු කිරල වැල් අතින් ගත් කොලු කුරුට්ටෝ වෙළඳාමේ යෑම අදත් දකින්න පුළුවන්.   
 
බෙන්තර පාලමේ ඉඳලා බලන කොට විශාල ගල් තලාවක් පේනවා. මහගල හා දිග්ගල යනුවෙන් හඳුන්වන මේ ගල් වැටිය පහුරුමුල්ල ගල් තීරයට අයත් එකක්. අතීතයේ මේ ගල ඈතට පෙනුණේ සුදු රෙද්දකින් වැහුවා වගේ තමයි. ඒකට හේතුව ගමේ රට දෙල් වාරයට ගම්මු තම්බා ගත් දෙල් ​ෙපාතුහැර සිහින්ව ලියා මුළු ගල්තලාවෙම අතුරා තුනීකොට වේලා ගන්නවා. ගල්තලාව පුරා සුදු පැහැයට ඈතට දිස් වන මෙය අලංකාර දර්ශනයක්. ගම්මු දෙල් වැනීමට මහගල වෙත එන්නේ තරගයට වගේ. උදෑසනින්ම පැමිණි අය එදින දවසම මහගල දිග්ගල අත්පත් කරගන්නවා. මුළු දවසම ගඟ සමග ගත කරන මේ උදවිය සවස වේලූ දෙල් ගෝනිවල දමා නිවෙසට අරන් යනවා. 
 
මහගල සිට පහුරුමුල්ල ගං ඉවුරට අඩි පනහකට වැඩිය නැහැ. ඒ කොටස කුඩා දරුවන්ගේ පිහිනුම් තටාකයයි. එහෙත් එහි එක පැත්තක අලි වළකි. අලි වළ ගැඹුරු වළක්. සංචාරක හෝටල්වලට අයිති අලි නාවන්නේ මේ ස්ථානයේ තමයි. දෙසැම්බර් මාසයේ කාශ්‍යප දළදා පෙරහරට එන අලි නාවන්නෙත් මේ ස්ථානයේ තමයි. ඒ කාලයට දියකෙළින අලින් බලන්න කුඩා ළමුන් වගේම විදේශීය සංචාරකයොත් මේ ස්ථානයට එනවා.   
 
බෙන්තර ගඟේ ඇති කඩොලාන ශාක හදවත වගේ මුළු පරිසර පද්ධතියම ආරක්ෂා කරනවා. එය රැකගැනීම ජාතික වගකීමකි.   
 
නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්, මීගමුවේ අලුවා යන හෑල්ලෙන් බෙන්තොට ප්‍රසිද්ධවෙලා තිබුණේ කාවාටි නම් බෙල්ලන් විශේෂයයි. මේ බෙල්ලන් ලබාගත්තේ ගං මෝයෙන් හා පහුරුමුල්ලේ සීමාවේ පිහිටි මහගල හා දිග්ගලෙන්. ගමේ විසූ කිමිදෙන්නන් මේ සඳහාම නිමැවූ දිග මිටි වර්ගයක් උපයෝගී කරගෙන බෙල්ලන් කැඩීම කරනවා. ගඟේ ජලය පහත මට්ටම හෙවත් බාදිය ඇති කාලේට කඩා ගන්නා කාවාටින් දින දෙකක් ලුණු දියේ තබා ආහාර සඳහා පිළියෙල කරගන්නවා. වඩදියත් බාදියත් නැති අතරමැදි කාලයේ කාවාටි කැඩීම සුලභව දක්නට ලැබුණු අතර බෙන්තර තානායමට ඒ කාලේ ආ විදේශිකයන්ට මේවා විකුණ යහමින් මුදල් ඉපැයීමට ගම්වාසීන් පුරුදු වෙලා හිටියා. කාවාටී රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් වීම නිසා විදේශිකයන් මෙන්ම අපේ රටේ ජනයා පවා මෙය ආහාරයට ගැනීමට දැඩි රුචිකත්වයක් දැක්වූවා. ඒ කාලේ බහුලව තිබූ මේ සම්පත අද දක්නට නොලැබීම කනගාටුවට කරුණක්. එහෙත් කාවාටි ගලවාගත් තැන්වල ඇති සුදු පැහැති කැළැල් ගල් තලාවේ ජල මට්ටමෙන් පහත අදත් දැකිය හැකිය. එය අතීතයේ බෙන්තොට කාවාටි තිබූ බවට සාධක පමණයි.   
 
බෙන්තර පාලම අසල ගාලු පාර දෙපස ඒ කාලේ වාඩිය නමින් තමයි හැඳින්වූවේ. මේ ස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේ ඉදිරිපිට ගමේ විසූ පැරැන්නෝ පිංතාලියක් තනා තිබුණා. ක්‍රි.ව. 1812 තරම් ඈතට දිවයන අතීතයක් මේ පිංතාලියට තිබෙනවා. මේ පිංතාලියට වතුර පුරවන්න කළු ගලින් තැනූ ටැංකියක්ද තිබුණා. අතීතයේ කොළඹ සිට රුහුණුට බඩු පටවා ගමන් ගත් ගැල්කරුවෝ මේ බෝධිය අසල අම්බලමේ ලැගුම් ගත් අතර පිංතාලිය ඔවුන්ගේ ජල අවශ්‍යතා සපිරූ බව ගමේ ජීවත්වූ පැරැණි ඇත්තන් මා සමග කියා තිබෙනවා.   
 
1960 යුගය වන විටත් බෙම්තොට පුරවරයේ විදුලි බලය තිබුණේ නැහැ. ගාලු පාර දිගේ දැල්වුණු විදුලි බල්බ හැරුණු විට උඩකොටුව විහාරයට බෙන්තොට තානායමට පමණක් ඒ දවස්වල විදුලිය තිබුණා.   
 
ඒ කාලේ සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමග ගමේ බොහෝ තැන්වල ටීටර් නමින් නාට්‍ය විශේෂයක් තිබුණා.   
 
ජංගම නාට්‍ය ශාලාවක් තැනින් තැන ගෙනයමින් එම ශිල්පීන් රාත්‍රී කාලයේ නාට්‍ය පෙන්වනවා. බොහෝ ටීටර්වලට සරලාබායි නමැති නළුවා ගෙන්වා ගන්නේ ඔහු දක්ෂ ලෙස කාන්තා චරිත රඟපාන නිසයි. ඒ කාලේ කාන්තාවෝ රඟපෑමේ යෙදී නොසිටි නිසා සරලාබායි කාන්තා චරිත රඟපෑවා. හොඳින් ආලෝකය පැතිරෙන පැට්‍රල් මැක්ස් ලාම්පු ටීටර් භූමිය අලෝකවත් කළා. කූඩාරම්වල පෙන්වන චිත්‍රපටි පෙන්වන්න පටන් ගැනීමෙන් පස්සේ මේ ටීටර් සංස්කෘතිය අභාවයට ගියා.   
 
සන්නි යකුම කියන නැටුම් විශේෂය බෙම්තර ප්‍රදේශයේ ඒ කාලේ ඉතාම ජනප්‍රිය නැටුම් අංගයක් වශයෙන් මගේ මතකයේ තිබෙනවා. බෙම්තොට සුද්දගොඩ විසූ අමරස ගුරුන්නාන්සේගේ ගෝලයන් වන කුරා සහ බෝලින් සලිත කට්ටාඩි උන්නැහේ සන්නි යකුමේ සූරයන් ලෙස ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා හිටියා. පුවක් කොල හා පුවක්පටි වලින් නිර්මාණයවන අඩි 10 ක් පමණ උස සන්නියකුම් වීදිය හවස හයවන විට හදලා ඉවරයි. පාන්දර හතවන්නට පෙර විවිධ සන්නි ප්‍රේක්ෂයන්ට දැකබලා ගැනීමට හැකි වෙනවා. දෙපිට විලක්කුව ගැසීම එක් එක් ශිල්පීන් ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කරන අංගයක් තමයි.   
 
 
 
 
දෙපිට විලක්කුව ගැසීම යනු රෙදිපටි ඔතා සකස් කළ දොකොන දැල් වූ පන්දම් දෙකක් හෝ තුනක් එකවර එක් ශිල්පියෙකු ඉතා දක්ෂ ලෙස ඉහළට වීසි කරමින් කරන ක්‍රීඩාවකි. සන්නි යකුමට බෙර වාදකයන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ හාස්‍ය මුසු දෙබස් හුවමාරුවෙන් නරඹන්නන් ප්‍රීතිමත් වෙනවා. විවිධ භයංකාර වෙස් මුහුණු කළු ඇඳුම් දැත්තත් ගෙජ්ජි හා බෙර නාදයෙන් සියල්ල අමතක වී යන තරම්. කන් බිහිරි කරමින් බෙර වයන විට යක්ෂ වෙස් ගත් ශිල්පියා අඩි 10 ක් පමණ උස්ව තැනූ කුරාලය නමැති අට්ටාලයෙන් බිමට පනින්නේ කුඩා ළමයින් පවා බියට පත් කරවමින් තමයි.  
 
ඒ කාලේ මේ වගේ තොවිල් පළවල් තරුණ තරුණියන් එකතු වන ස්ථානයක් වුණා. මෙම තොවිල්වලදි ගයන යාදිනි බුදුගුණ මුල්කොට තනා ඇති අතර ඔවුන්ගේ ගායන තාලයේ අග පදය අල්ලා බෙර වයන්නන් කරන්නා වූ ගායනාවේ ලීලයෙන් ප්‍රේක්ෂක සිත් මෝහනයට පත්වෙනවා.  
 
මධ්‍යම රාත්‍රියේ තොවිලය මදක් නතර කරන්නේ ‘මහ තේ වතුර’ බීමටය ඒ අවස්ථාවේදී පැමිණ සිටින සියලු දෙනාටම තේ, කෝපි සහ කැවිලිවලින් සංග්‍රහ කරන්නට ආතුරයාගේ නිවැසියන් සූදානමින් ඉන්නවා.  
 
මේ අගනා සංස්කෘතික ද‌ායාද ඒ කාලේ අපේ ප්‍රදේශයේ නිතර දකින්න ලැබුණා. නමුත් වර්තමානයේ ඉඳහිට හෝ බෙන්තොට සංචාරක හෝටල්වල ඇති වේදිකාවල මිස ගම්මානවලදි මේ සංස්කෘතික අංග දැකීම දුර්ලභයි.  
 
බෙම්තොට පුරවරයෙන් බිහි වූ ගිහි පැවිදි පඬිවරුන​්ගෙන්ද අඩුවක් නොවීය. අතිපූජනීය යාත්‍රාමුල්ලේ ධම්මාරාම නායක හාමුදුරුවෝ වනවාස සංඝ පරම්පරාවේ වැඩ වාසය කළ බහුශ්‍රැත පඬිවරයෙක්. පාලිභාෂාව පිළිබඳ හසල දැනුමක් තිබූ උන්වහන්සේගෙන් ඉගෙනගත් සිසුන් අතර ඉංග්‍රීසි ජාතික රොබට් කායිසර් චිල්ඩර්ස් නම් පඬිවරයා බෙන්තොට තානායමේ නතර වී සිට ධම්මාරාම නාහිමියන්ගෙන් පාලි භාෂාව ඉගෙන ගෙන තියෙනවා. නැවත එංගලන්තයට ගොස් පාලි සූත්‍ර ධර්ම ආදිය ඉංග්‍රීසි බසට පෙරළීමට ක්‍රියාකර තිබෙනවා.  
 
1864 ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික, රිස් ඩේවිස් මහතා ඒකාලේ හිටපු ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් ධුරයත්, දිස්ත්‍රික් විනිශ්චකාර ධුරයකුත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ධුරයද දැරූ අයෙකි. යාත්‍රාමුල්ලේ ධම්මාරාම නාහිමියන්ගෙන් පාලි භාෂාව හැදෑරූ අනෙක් විදේශ සිසුවා වූයේ රිස් ඩේවිස් මහතාය. ඒ මහතාත් බෙන්තොට තානායමේ නවාතැන්ගෙන උන්වහන්සේ විසූ උඩකොටුව විහාරස්ථානයට පැමිණ ධම්මාරාම හිමියන්ගෙන් පෙළ බස මැනවින් හද‌ාරා තිබෙනවා. බෙන්තොටින් බිහි වූ දක්ෂ ලේඛකයන් අතර අලුත්ගමගේ සයිමන්ද සිල්වා බෙන්තර වැසියෙකි. ඔහු අතින් ලියවුණු ‘මීනා’ නම් නවකතාව පළමු නවකතාව වශයෙන් ගෞරවාදරයට පාත්‍රවෙලා තියෙනවා. බෙම්තර ඇල්බට් සිල්වා ද බෙන්තොට වැසියෙකි. ඔහු අතින් රචිත විමලා නම් නවකථාවද පැරණි නව කතාවකි.
 බෙන්තොට, ඉඳුරුව, අතුරුවැල්ලේදි උපත ලද පියද‌ාස සිරිසේන නම් ලේඛකයා බොදු සිරිත්විරිත් රැක ගැනීම වෙනුවෙන් නවකතා ලියූ ගත් කරුවෙකි. පුවත්පත් කතුවරයෙක්ද වූ ඒ මහතා ලියූ ‘ජයතිස්ස හා රොසලින්’ ‘විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය’ ආදි ග්‍රන්ථ ගණනක් රචනා කළ දක්ෂ ලේඛකයෙක්.  
ජී.ඇස්. ප්‍රනාන්දු නම් කාටුන් හා චිත්‍ර ශිල්පියාද බෙන්තොට උපත ලද්දෙකි. 1950 ගණන්වල ලංකාදීප පුවත්පතේ පොඩිත්තන් සඳහා පළ වූ ළපටි පෙළ අතිරේකයට නිර්මාණය කළ ‘නීලා’ චිත්‍ර කතාවෙන් ඔහු සිංහල චිත්‍ර කථා කලාවේ ප්‍රමුඛයෙකු වුණා. මුර්ති ශිල්පී හෙන්රි ධර්මසේනද බෙන්තොට, තුන්දුව ප්‍රදේශයේ උපත ලද්දෙකි. ජයන්තා රුක්මණී සිරිවර්ධන නම් ලේඛිකාවද බෙන්තොට උපත ලද තැනැත්තියකි. ප්‍රවීණ සිනමා නිළි සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා සමන්මලී කුමාරසිංහ බෙන්තොට, හබුරුගල ප්‍රදේශයේ උපත ලද කාන්තාවකි. මේ අයුරින් බෙම්තොට පුරවරය කේන්ද්‍ර කොට ගෙන උපත ලද වියතුන්ගෙන්ද කලාකරුවන්ගෙන්ද අඩුවක් ඇත්තේ නැහැ. බෙම්තොට කියන්නේ මා උපත ලද අදටත් ජීවත්වෙන යම් දිනයක මියයන භූමියයි. එය රැක ගැනීම මගේ එ්කායන පරමාර්ථයයි” යනුවෙන් විශ්‍රාමලත් විදුහල්පති ඇල්බට් කන්නන්ගර මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.  
 
ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශ මහතා සිය ගීත කලාව පෝෂණය කිරීමට ද‌ායක වූ තමන් උපන් ගම වන බෙන්තර, හබුරුගල ගම්මානය ගැන සිය මතකය අවදි කළේ මෙසේය.  
 
“මම උපන් ගම බෙන්තොට පහළ ගම් හයට අයත් හබුරුගල කියන සුන්දර ගම්මානය තමයි. කුඹුරු ඇළ දොළ ගංගාව අපේ පරිසරයට උරුම දෙයක්. බෙන්තර ගඟේ අතු ගංගාවක් වන දෙද්දුව ගඟ අපේ ගම අසලින් ගලාගෙන යනවා. කඩොලාන වර්ග ​ මේ ගඟ දෙපස පිරිලා. කෙකටිය, මානෙල්, ඕලු වැනි මල් වර්ග පිපිලා තියෙනවා. කුරුල්ලන්ගේ සුමිහිරි ගී නාදය අපේ පුංචි දෙසවන්වලට ගෙන දුන්නේ අමුතුම මිහිරක් තමයි. මම පුංචිම කාලේ ටික කලක් පාසල් ගියේ හබුරුගල කනිටු විදුහලට තමයි. ඊට පස්සේ අැළකාක මහා විදුහලට ඇතුළත් වුණා. උදේ පාන්දර අවදිවෙලා පයින් බඩවැටි කුරුඳු කැළෑ මැදින් ගුරුපාර දිගේ පාසල් ගිය අවධිය තරම් සුන්දර කාලයක් තවත් ඇත්තේ නැහැ. බඩවැටිවල තිබෙන මාදං හිඹුටු පේර වගේ පලතුරු රස බලන්නේ අපේ වයසේම මිතුරු කැල සමඟයි. මෙවැනි ගැමි පරිසරයක පහස විඳින්නට ලැබීම මගේ නිර්මාණාත්මක සංකල්පනාවලට බොහෝ සෙයින් දායක වුණා. අපේ රටේ ජීවත් වූ මහා ගාන්ධර්වයා නමින් හැඳින් වූ පණ්ඩිත් අමරදේව මහතාට ‘මා ලියූ’ මාවවුලන් ​රෑ පුරාම රංචු ගැසීලා මීගස් යට මී වැහි වැහැලා’ යන ගීතයට දායක වූයේ මගේ ගමේ තිබූ සුන්දර මතකය තමයි. අමරදේව මාස්ටර් මගෙන් ඇහුවා කුලේ ඔයා මේ තරම් විචිත්‍රවත් අන්දමට ගැමි සුවඳ වහනය වන අයුරින් මේ ගීතය රචනා කළේ කො​ෙහාමද කියලා. එවිට මා උපන් ඒ ගැමි පරිසරය කුඩා කාලයේ පටන් හොඳින් අත් විඳීම නිසා එය මට හොඳ වස්තු බීජයක් වූ බව අමරදේව මාස්ටර්ට මා ඒ වෙලාවේ කිව්වා. ලංකාවේ ජීවත් වූ විශිෂ්ට ගණයේ වාස්තු විද්‍යාඥයෙකු වූ ජෙෆ්රි බාවා මහතාගේ නිවෙස හා දූපත තිබුණේ අපේ ගම ආසන්නයේ තමයි. ඒ ස්ථානයත් හරිම දැකුම් කලු ස්ථානයක්. සරල සුන්දර දිවි පෙවෙතක මිහිර ගමෙන් තරම් කිසිවෙකුට විඳින්න බැරිව ඇති කියලා මට හිතෙනවා. ඊළඟට අාචාර්ය වික්ටර් රත්නායක සංගීතවේදියාණන් ගායනා කරන  
 
ගුරු පාර දිගේ සිනා සලාලා  
සුදු ළමා සාරියෙන් සැරසිලා  
උදා ඇරුණ රැල්ලක් සේ  
අකුරට ගිය බාලලියා  
අද කොහේ ගියාදෝ  
 
යන ගීතය මගේ අතින් ලියවුණේ මගේ ගමේදී සුන්දර පාසල් කාලයේදී හමු වූ මිතුරු මිතුරියන් හා එද‌ා ගුරුපාර දිගේ පාසල් ගිය අයුරු සිහිපත්වීම නිසාය. ඒ කාලේ දරුවෝ වශයෙන් අපි ඉපදුණේ අපේම ගෙවල්වල මිස රෝහල්වල නෙවෙයි. සොබා දහම සමග අපේ පුදුම බැඳිමක් තිබුණේ. ඒ බැඳීම මගේ ගේය පද නිර්මාණවලට බෙහෙවින්ම ද‌ායක වූ බව” අවසන් වශයෙන් කුලරත්න ආරියවංශයන් ප්‍රකාශ කළේය.  
 
බෙන්තොට පුරාණය ගැන කථාකළ බෙන්තොට විලී විජේසේකර මහතා මෙසෝ අදහස් පළ කළේය.  
 
බෙන්තොට වඩාත්ම ප්‍රසිද්ධ වුණේ ‘ඉලාස්ටෝ’ කියන පාවහන් හා බෑග් කර්මාන්ත ශාලාව නිසා තමයි. බෙන්තොට ඩොනල්ඩ් ගුණසේකර මහතා තමයි එහි හිමිකරු වුණේ. ඔහු හොද ඉංජිනේරුවරයෙක්. ඉස්සර බෙන්තර ගඟේ දිය කිඳුරු රූපයක් ඒ මහතා හදලා තිබුණා. හරිම ලස්සනයි. ප්‍රදේශයේ බොහෝ දෙනා ‘ඉලාස්ටෝ’ එකේ ඒ කාලේ වැඩ කළා. පාවහන් සමාගම් නොමැති අවධියක ඉලාස්ටෝ සමාගම ජනතාව අතර ජනප්‍රියවෙලා තිබුණා. ජෙෆ්රි බාවා මහත්තයා තමයි පාර්ලිමේන්තුව නිර්මාණ කළේ. බෙන්තොට තැපැල් කාර්යාලය වගේම හෝටල් සංකිර්ණවලට ඒ මහතා වාස්තු විද්‍යා ඥානය ලබා දුන්නා. දැන්නම් බෙන්තොට අවිධිමත් අන්දමින් සංචාරක හෝටල් බිහිවීම තුළින් පරිසරයට හානිවෙලා තියෙනවා. ජෙෆ්රි බාවා මහත්තයා පරිසරය හිතකාමියෙක් නිසා ඒවාට ගැළපෙන අයුරින් තමයි ගොඩනැගිලි නිර්මාණය කළේ. බෙන්තොට දුම්රිය පොළ, ලංකා බැංකුව ජෙෆ්රි බාවා මහත්තයාගේ සැලසුම්වලට තමයි හැදුවේ. බෙන්තර ගඟටම ආවේණික වූ මත්ස්‍ය විශේෂයක් ඉන්නවා. ඌට කියන්නේ ‘දිමිත්තා’ කියලා තමයි. ගස්වල තිබෙන දිමි ගොටුවලට වතුර විදීමේ උපන් හපන්කමක් මේ මාළුවාට තියෙනවා. දිමි ගොට්ටට වතුර විද්ද‌ාම දිමි බිත්තර ගඟේ වතුරට වැටෙනවා ඒ බිත්තර මේ මාළුවා ආහාරයට ගන්නවා. මේ මත්ස්‍ය වර්ගය වඳවී යාමේ තර්ජනයට අහුවෙලා තියෙනවා. තවත් කිව යුතු වැදගත් දෙයක් තිබෙනවා. බෙන්තරට විශාල අඩුපාඩුවක්ව පැවැති රෝහලක් හදලා ජනතා අයිතියට පත් කළේ බෙන්තොට ඉලාස්ටෝ ආයතනයේ හිමිකරු ඩොනල්ඩ් ගුණසේකර මහත්තයා තමයි. බෙන්තොට ගැන ජාත්‍යන්තරය තුළ කථාබහ කරන සිදුවීමක් පසුගිය දිනවල සිදුවුණා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ තරුණ තානාපති ධුරයෙන් පිදුම් ලැබූ තරුණියක් බෙන්තරින් බිහිවෙලා තියෙනවා. ඇය ජයත්මා වික්‍රමනායක මෙනෙවියයි. ඇය අපේ ප්‍රදේශයට විශාල ගෞරවයක් ගෙන දුන්නා.
 
විශේෂයෙන් බෙන්තර උපන් අය වෙළෙඳ‌ාමට දක්ෂයි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල තිබෙන ‘බෙන්තර හෝටලය සහ බේකරිය’ ඒ කාලේම ගමෙන් ගිහිල්ලා ව්‍යාපාරික ලෝකය ජයගත් අයයි. ඊළඟට බෙන්තරින් බිහි වූ දේශපාලඥයන් අතර ආර්.ජී. සමරනායක මහතා මහියංගණය ආසනය නියෝජනය කළ එඩ්‍වින් වික්‍රමරත්න, හෙන්රි වික්‍රමරත්න දෙසොහොයුරන් බෙන්තොට හබුරුගල ප්‍රදේශයේ උපන් අය වෙති. රක්වාන ආසනය නියෝජනය කළ වී.ටී.ජී. කරුණාරත්න 70 සමගි පෙරමුණු ආණ්ඩුවේ තැපැල් නියෝජ්‍ය ඇමතිවරයා බෙන්තර උපන් අයෙකි. මේ අයුරින් බෙන්තරින් බිහි වූ දූ පුතුන් බෙන්තර අභිමානය හා ගෞරවය රැක ගැනීම අගය කළ යුතු වෙනවා” විලි විජේසේකර මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.  
 
 
මේ ලිපිය සකස් කර ගැනීමේදී උදව් කළ විදුහල්පතිවරයකු වූ හා මාධ්‍යවේදියෙකු වන ජයරත්න ඉඳුරුවගේ මහතා කෘතවේදිත්වයෙන් සිහිපත් කරමි.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
සටහන හා ඡායාරූප  
මහින්ද ආරියවංශ