කීර කොටු අතරින් වරායට යන දුම්රිය මග


කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය ගොඩනැගිල්ල අද   

 

 

කොළඹ කොටුවේ සිට දුම්රිය පාරෙන් මරදානට දුර කිලෝමීටරයක් වත් නැත. එසේම කොටුව හා මරදාන අතර දවස පුරාම දුම්රිය බො​හෝ ගණනක් එහෙට මෙහෙට යති. කවමදාවත් කොටුවෙන් පටන් ගෙන මරදානෙන් අවසන් කෙරෙන දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වී නැත. එහෙත් එක්තරා කාලයක පිටකොටුව සිට මරදාන දක්වා දුම්රිය සේවා තිබුණේ යැයි මා පැවසුවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත.   


මීට දශක කීපයකට පෙර මරදානේ සිට පිටකොටුවට ආ ගිය ‘‘කීර කුමාරි’’ ගේ කතාව ඊට සාක්‍ෂියකි.   
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන සිට රාගම දෙසට යන විට දෙමටගොඩ දුම්රිය ස්ථානය පසුකර මද දුරක් ගෙවුණු තැන පරණ පාර, නොඑසේ නම් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය දිවෙන ඔරුගොඩවත්තේ ගුවන් පාලම හමුවේ. පාලම යටින් වැටී තිබෙන රේල්පාර පාලම පසු වූ විගස වම් පැත්තට වැටුණු ශාඛා දුම්රිය මඟක් දක්නට ලැබේ. ‘‘මුතුවැල්ල’’ දුම්රිය මාර්ගය (Mutwal Railway) ලෙස එදා සිටම හඳුන්වන ලද මෙය ඔරුගොඩවත්තේ සිට කොළඹ වරාය දක්වා 1923 වසරේදී ගොඩනැංවූවකි.   


ඔරුගොඩවත්තේ සිට ඉදිරියට ඇදෙන මෙම රේල් මඟ මෝදර අලුත් පාර ප්‍රදේශයේදී මහා මාර්ගයට යටින් ඉදිකළ උමගක් හරහා ගොස් වරායට පිවිස වාරය තුළ එක් එක් අතට විහිද ගිය තවත් දුම්රිය මාර්ග ජාලයක් හා එක්වේ. කොළඹ වරාය තුළ ඇති බඩු ගබඩා හා ජැටි වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අතීතයේ සිටම මෙම මාර්ග ජාලය ඉදිකර ඇත.   


වරායේ වැඩ කටයුතු ආරම්භයේ පටන් 1970 දශකය දක්වාම ගොඩබිමට භාණ්ඩ ප්‍රවාහනය සිදුව ඇත්තේ දුම්රියෙනි. ඒ නිසාම එකල මුතුවැල්ල මාර්ගයේ බඩු ප්‍රවාහන දුම්රියන් දිවා රෑ එහෙ මෙහෙ යන්නට ඇත. භාණ්ඩ ප්‍රවාහනයට අමතරව මගී රේල්කාර් සේවාවක්ද මෙහි ක්‍රියාත්මක වී ඇති බව රේල්ලු අතීතය විමර්ශනය කිරීමේදී සොයා ගැනීමට හැකි විය. එම රේල්කාර් සේවාව කෙටි කලකින්ම අභාවයට ගොස් මුතුවැල්ල දුම්රිය මග මුළුමනින්ම භාණ්ඩ ප්‍රවාහනයටම පමණක් වෙන්ව තිබේ.   


මෙම දුම්රිය සේවාව ලංකා දුම්රිය​ සේවාව හා කොළඹ වරාය කොමිෂන් සභාව මගින් පාලනය කර තිබේ. 1970 ආණ්ඩු පෙරළියෙන් පසු මෙරට ආර්ථිකයද කණපිට පෙරළුණේ ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයත් සමගය. ඉන් පසුව වරායේ බඩු භාණ්ඩ දුම්රියෙන් ප්‍රවාහනය කිරීමද කෙමෙන් කෙමෙන් අභාවයට ගියේය. බඩු දුම්රියන් වෙනුවට යෝධ කන්ටේනර් සහිත ලොරි රථ මහා මාර්ග ආක්‍රමණය කළේ ඉන් පසුවය. මුතුවැල්ල දුම්රිය මාර්ගය කෙමෙන් කෙමෙන් කෝච්චි නොයන කෝච්චි පාරක් බවට පත්විය. 

 
මේ කතාවේ දෙවැනි අදියර ඇරඹෙන්නේ ඉන් පසුවය. එවකට කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වීමට දින නම්කර තිබුණේ 1979 මැයි මාසයේදීය. මෙහිදී ජනතාවගේ ඡන්ද ලබාගැනීමට නම් ඔවුන්ට ප්‍රයෝජනවත් වන ‘‘දැනෙන වැඩක්’’ කළ යුතුය. බව එවකට රට කර වූ ආණ්ඩුවේ මහපුටුවලට වැටහී තිබිණ. පාළුවට ගොස් තිබුණු මුතුවැල්ල දුම්රිය මග ඔවුනට සිහියට නැගෙන්නේ මේ අනුවය. 

 

 

එතරම් කාලයක් ඉතිරි වී නැත. මැතිවරණය කට ළඟය වහා යුහුසුලු වූ පාලකයෝ මළගම වෙත ළං වෙමින් තිබූ මුතුවැල්ල රේල්පාර කඩිනමින් පිළිසකර කර දුම්රිය නැවතුම් ස්ථාන ඉදිකර දින තුනක් තුළදී නව මගී දුම්රිය සේවාවක් ආරම්භ කළහ. භාණ්ඩ ප්‍රවාහනයටම පමණක් යොදා ගත් දුම්රිය මාර්ගයක් මගී ප්‍රවාහන සේවා වෙනුවෙන් යොදා ගැනීමේදී මාර්ගය පමණක් පිළිසකර කිරීමෙන් සියල්ල සම්පූර්ණ නොවේ.   
දුම්රිය නැවතුම් ස්ථාන ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කාර්යාල, දුම්රිය වේදිකා මේ සියල්ලම අලුතෙන් ගොඩනැගිය යුතුය. දින තුනක් ඇතුළත මේ සියලු අඩු පාඩු සම්පූර්ණ කරලීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින් සේවකයන් පමණක් නොව වරාය නිලධාරි හා සේවක පිරිසගේ ධෛර්ය කැපවීම යකඩ හා එක්කර තිබේ.   


මෙම මගී දුම්රිය සේවාව ආරම්භ කිරීමට එවක පැවති රජය ක්‍රියාකර ඇත්තේ කොළඹ නාගරිකය ඇතුළත වැඩ කරන ජනතාව ඉලක්ක කරගෙනය. මුතුවැල්ල මාර්ගය වැටී තිබුණේද අධික ජනගහනයක් වාසය කරන ප්‍රදේශ හරහාය. එසේම මෙම දුම්රිය පිටකොටුවට පිවිසියේ අද මහා යකඩ දොරවල් වලින් වසා මුර කපොලු තිබෙන වරාය මැදිනි.   


ඒ අනුව මරදාන, මාළිගාවත්ත, ඔරුගොඩවත්ත, කැලණි තිස්ස, ග්‍රෑන්ඩ්පාස්, අලුත් මාවත කොළඹ වරායේ වෝකර් ගේට්ටුව, හරහා පිටකොටුව මෙහි අවසන් නැවතුම්පළ විය. මීට අමතරව ඔරුගොඩවත්තේ සිට කොළොන්නාව තෙල් සංස්ථාව නිමාව තෙක් වැටී තිබූ දුම්රිය මගෙහිද මගී සේවා දුම්රියක් ගමන් කරවීමට කටයුතු යොදා තිබූ අතර, මේ වෙනුවෙන් කොළොන්නාවේ, තෙල් නිමාව අවසානයේ හා මීතොටමුල්ලේ දුම්රිය ස්ථාන දෙකක් ගොඩනංවන ලදී. මේ අනුව අගනුවර හා තදාසන්න ප්‍රදේශ වැඩි ප්‍රමාණයක් නව මගී සේවාවෙන් ආවරණය විය. රජය විසින් මෙය ජනගත කරනු ලැබූවේ ‘‘කොළඹ නගරබද දුම්රිය සේවය’’ නමිනි.   
මරදාන දුම්රිය ස්ථානයෙන් මෙම සේවාව ප්‍රථම වරට අරඹන ලද්දේ 1979 අප්‍රියෙල් මස 11 වැනිදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු කටේය. මරදාන සිට පිටකොටුවට හා කොළොන්නාවට ගාස්තුව වූයේ ශත 25කි මේ වෙනුවෙන් පිට කොටුව මල්වත්ත පාර කෙළවර වන තැන ඛාන් ඔරලෝසු කණුවට ආසන්නව ‘‘කොළඹ නැව් තොට’’ නමින් නව දුම්රිය පොළක් ඉදිකර තිබූ අතර දුම්රිය නැති නමුත් දුම්රිය පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල අදටත් එම ස්ථානයේ දක්නට ඇත. (ඡායාරූපය) මීට අමතරව වරාය තුළ පිහිටි වෝකර්ස් ගේට් නම් ස්ථානයේ, අලුත් මාවත, ග්‍රෑන්ඩ්පාස්, කැලණිතිස්ස හා ඔරුගොඩවත්ත අනෙකුත් දුම්රිය ස්ථාන විය. මරදාන හා පිටකොටුව අතර උදේ වරුවේ ගමන්වාර 6ක් හා සවස කන්තෝරු වැහෙන වේලාවන් ඉලක්ක කරගෙන ගමන් වාර 4ක් ලෙස දිනපතා ගමන්වාර 10ක් ලෙසට දුම්රියන් ධාවනය කර ඇත. මේ වෙනුවෙන් යෙදාවා ඇත්තේ 53 වර්ගයේ ඩීසල් බලවේග කට්ටලයකි.

   
ඉහත සඳහන් ප්‍රදේශ මෙහි පෙර සඳහන් කළාක් මෙන් කොළඹ වැඩිපුරම ජනතාව වෙසෙන පෙදෙස්ය. මෙහි වැඩිපුරම වාසය කළෝ කොළඹ වරායේ සේවකයන්ය. වරායට අයත් සේවක නිළ නිවාස ඉදිකර තිබුණේද ග්‍රෑන්ඩ්පාස් හා බ්ලු මැන්ඩල් ප්‍රදේශවල නිසා මෙම දුම්රිය ඔවුන්ට උදේ සවස රාජකාරි ස්ථානවලට පැමිණීමට හා ආපසු යාමට වඩාත් ම පහසු මඟ විය.   


එසේම රටේ සතර දිග්බාගයේ සිට රජයේ හා පෞද්ගලික සේවා ආයතන වෙත පැමිණෙන්නට හා පිටකොටුව හා කොටුව තොග වෙළෙඳ ආයතනවලින් භාණ්ඩ මිලට ගැනීමට එන මුදලාලි පෙළැන්තියටද මෙම දුම්රිය නැතිවම බැරි තැනට පත්වීමට ගත වූයේ සුළු කාලයකි.   


මුතුවැල්ල දුම්රිය මාර්ගය ප්‍රථමයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා විවෘත කර ඇත්​තේ 1923 ජුනි මස 23දාය කොළඹ කොටුවේ සිට වරාය දක්වා රේල්පාරේ දුර සැතපුම් 6 1/4ක් පමණ විය. භාණ්ඩ ප්‍රවාහනයට අමතරව විදේශ රටවල සිට නැව් මගින් බදුල්ල ආදි ප්‍රදේශවල කෙරෙන සංචාරයන් සඳහාද මෙම දුම්රිය මඟ ප්‍රයෝජනයට ගෙන තිබේ.   


එවැනි සංචාරකයන් රැගත් දුම්රිය වරාය දුම්රියපොළෙන්, ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානය තෙක් පැමිණ එතැනදී එන්ජිම ගලවා දුම්රියේ පිටුපසට සවිකරගෙන ඔරුගොඩ වත්ත මංසන්ධිය ප්‍රධාන මාර්ගයේ පිවිසුම දක්වා තල්ලු කරගෙන පැමිණ එතැන් සිට බදුල්ලට ගොස් තිබේ.   


මෙම දුම්රියට ‘‘කීර කුමාරි’’ නම භාවිතයට ගැන වැටීමද අපූරු කතාවකි. මෙය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තබන ලද උඩරට මැණිකේ, රුහුණු කුමාරි මෙන් නිල නාමයක් නොව ප්‍රදේශවාසී ජනතාව හා දුම්රියේ නිතර නිතර ආ ගිය පිරිස් විසින් පටබැඳි නාමයකි. මේ කියන කාලය වන විට කැලණි ගඟ අසබඩ ඔරුගොඩවත්ත හා බ්ලුමැන්ඩල්, වගුරු ආශ්‍රිත ප්‍රදේශ ගොටුකොළ, මුගුණුවැන්න, කංකුං ආදි පලාවර්ග වවන ලද කොටුවලින් වැසී තිබුණි. පිට කොටුවේ සුප්‍රසිද්ධ මැනිං වෙළෙඳපොළට හා තොටළඟ පොළට පලා වර්ග සැපයුණේද මේ කියන කොටුවලිනි.   


පෙර සඳහන් කළ ප්‍රදේශවල වාසය කළ ජනගහනයෙන් බහුතරය ද්‍රවිඩ ජනතාව වූහ. පලා යන්න දෙමළ බසින් හඳුන්වන්නේ කීර නමිනි. දිනපතා හිමිදිරියේම කොටුවලින් නෙළාගත් පලා වර්ග මිටි බැඳගෙන වට්ටි පෙට්ටිවල කට පිරෙන තෙක් අසුරා ගත් ගැහැනු පිරිමි ඒවා මැනිං මාර්කට්ටුවට හා තොටළඟට රැගෙන ගියේ මෙම දුම්රියෙනි.   


මම ප්‍රදේශ හරහා ධාවනය වූ එකම දුම්රියද මෙය වූ හෙයින්. ගාලුකුමාරි, රුහුණු කුමාරි මෙන් ‘‘කීර කුමාරි’’ නම ඒ මගී ජනතාව විසින්ම තබා ඇත. තව සමහරෙක් ‘‘ලැවරිය දේවි’’ යන නාමයෙන්ද මෙය හඳුන්වා තිබේ.   
කෙසේ වෙතත් ඉලක්ක කරගත් සංවර්ධන සභා මැතිවරණය බලයේ සිටි එ.ජා.ප. යම ජයගත් අතර ඉන් නොබෝ කලකට පසුව කීර කුමාරියගේ පිටකොටු ගමනද ඇන හිට ඇත. එදා භාවිතයට ගත් දුම්රිය ස්ථාන ගොඩනැගිලිවල, නටබුන් අදද දක්නට ලැබෙන අතර වරාය දුම්රිය මඟ වර්තමානයේ ප්‍රයෝජනයට ගැනෙන්නේ වරායෙන් ගොඩබාන අලුත් දුම්රිය එන්ජින් හා මැදිරි මරදානට හා රත්මලාන දුම්රිය අංගණවලට රැගෙන යාමට පමණි.   


ඉන්ධන ප්‍රවාහන කටයුතු වෙනුවෙන් කොලොන්නාව දුම්රිය මාර්ගය අදත් ප්‍රයෝජනයට ගැනේ. අගනුවර හා තදාසන්න ප්‍රදේශවල වර්තමානයේ නිතර නිතර ඇතිවන මාර්ග තදබදයට හොඳම විකල්පය ලෙස මෙම දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට හැකි නම් පාලක පක්‍ෂයට හා දුම්රිය දෙපාර්තමේන්තුවට ජනතාව පින් දෙනවා නිසැකය. 


තොරතුරු ලබාදීමෙන් සහාය වූ නලින් අබේසිංහ මහතාට ස්තුතියි

 

සටහන/ ඡායාරූප තිලක් පුෂ්පකුමාර



Recommended Articles