කළුදියවළෙන් මතුවූ අශුද්ධ ආත්මය


නොපෙනෙන
   ලෝකය

 

අවිද්‍යාව ආදේශ වූ මිනිස් මනසට පාරිසරික හා භෞතික බලවේග මගින් චිත්‍රනය කරන දෘෂ්ටි මායාවන් දුර අතීතයේ සිටම වර්තමාන සමාජය දක්වා පැවත එන්නකි. 


යක්ෂ ප්‍රේත භූත පිසාච ආදී නම්වලින් හඳුන්වන අශුද්ධ ආත්මයන් කරන කොට රෝගී වන මිනිසාට තෙල් මැතිරීමකින් හෝ යන්ත්‍ර මන්ත්‍ර කිරීමෙන් යාච්ඤාවෙන් සුවය ලැබෙන බව පිළිගන්නා අය මෙන්ම නොපිළිගන්නා අය ද සිටිති. 


එහෙත් දැනට වසර පනහකට පමණ පෙර නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් එක්තරා නොදියුණු පිටිසර ගමක පාසලට සිටි එකම ගුරුවරයා වූ කරුණාතිලක ලොකු ඉස්කෝලෙ මහත්තයා එවැනි බමුණු දෘෂ්ටියට පිටුපෑ යථාර්ථවාදියෙකු විය. 
කෙසේ වුවද විමර්ශනශීලී මනසකින් යුතුව ඒ පිළිබඳ ඔහුට නිගමනයකට එළැඹිය නොහැකි වූ එක් සත්‍ය සිදුවීමක් දැනට දශක පහකට පමණ පෙර එම ගමේ අයෙකුට සිදුවිය. 
හඟුරන්කෙත උපදිසාපති කොට්ඨාසයට අයත් ගඟපළාත කෝරළයේ ඉතාම නොදියුණු දුෂ්කර ගමක්වූ මෙම ගමට එවකට කිසිම ගමනාගමන පහසුකමක් නොතිබිණ. 
මෙම ගම නගරයේ සිට දුර සැතපුම් අටක් හෝ දහයක් ඈතින් හුදෙකලාව පිහිටා තිබිණි. 
හදිසි රෝගීන් රෝහලට ගෙන ගියේ ඇඳි සහිත පුටුවක දෙපැත්තේ ලී දඬු දෙකක් බැඳ රෝගියා එම පුටුවෙහි හිඳුවා තබාගෙන මිනිසුන් කීප දෙනෙකුගේ කර මතිනි. 
එසේත් නැතිනම් දැව දණ්ඩක දෙපස ගෝනි පඩංගුවක් ගැටගසා රෝගියා ඒ මැද දිගාකර උසුලාගෙන යාම තවත් සාමාන්‍ය ක්‍රමයකි. 
තවලම් ගොනුන් දක්කාගෙන යන අඩිපාර ඔස්සේ නගරය දක්වාම රෝගීන් ගෙන ගියේ ඒ අයුරිනි. 
ගඟපළාත ගම්කාර්ය සභාවෙන් වසරකට වරක් එම පාර දෙපස වැවෙන නත්තසූරියා ගස් කපා දමන අතර එම ප්‍රදේශයට පත්ව සිටි ගුණසූර නමැති මැම්බර් එයට නායකත්වය දුන්නේය. 


ගම් වැසියන් භාවිත කළ බස් වහර ද ඉතාම ග්‍රමීය මෙන්ම ප්‍රාථමික විය. 
අඩා තෝ පල මෙහෙවර තෝ තොපි උඹ බා බොල ආදී භාෂාවන් ඔවුන් භාවිත කළේ කිසිම හිරිකිතයක් හෝ ලැජ්ජාවක් නැතිව ඇඟට පතට නොදැනෙන පරිදිය. 
භූතදෝෂ සහ යකුන් පිළිබඳ දැඩි විශ්වාසයකින් මනැස් පිරීගිය එගම්වැසියෝ බොහෝ කායික රෝගවල දී ප්‍රමුඛත්වය දුන්නේ බලි තොවිල්වලටය. 
යකැදුරන් ලවා ඇපනූල් බැඳගැනීමට හා යක් නැටුම්වලට දෙහි කපා ගන්නට මුල් තැනක් ලැබී තිබිණ. 
මෙම ගමට තිබුණ එකම පාසලට මඬවලතැන්න, තිත්වැල්කැටිය, පල්ලේගලඋඩ, උඩගලඋඩ, මොරගොල්ල, නිකවල, තඹයාවත්ත ආදී අවට ගම්වල දරුවෝ සැතපුම් ගණන් පාවහන් ද නොමැතිව කිරවනා ගල් සහිත රළු අඩි පාරවල් ඔස්සේ කඳු පල්ලම් සහිත දුර්ග මාර්ගවල පැමිණෙති. 
පාසලට එන දරුවන් අතර කහ පහැති ආරක්ෂක නූල් මතුරා ගෙලෙහි හෝ අත්වල බැඳ තිබෙන අවස්ථා දැකිය හැකි විය. 
ඇතැමුන්ගේ ආරක්ෂාවට ගෙලෙහි සුර හෝ ජීවම් කළ තඹතහඩු යන්තර බැඳීමට මාපියන් පියවර ගෙන තිබිණ. ලොකු මහත්තයා එවැනිදෑ දැක මාපියන්ගේ නොදියුණුකම ගැන තේරුම්ගෙන කිසිම විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොතිබිණ. 


මුල් ගුරුවරයා වූ කරුණාතිලක මහතා ගම්වාසීන් මෙන්ම සිසුන් විසින් ද හඳුන්වනු ලැබුවේ ‘ලොකු මහත්තයා’ යනුවනි. 
පසුකාලීනව ඇතැම් විට මෙම විදුහලට ගුරුවරයෙකු හෝ ගුරුවරියක් පැමිණි අතර එම ගුරුවරු හැඳින් වූයේ ‘දෙවැනි මහත්තයා’ නැත්නම් ‘නෝනා මහත්තයා’ යනුවෙනි. 
කරුණාතිලක ලොකු ඉස්කෝලේ මහත්තයා එම ගමට සිටි එකම පිටස්තර පුද්ගලයා මෙන්ම රජයේ සේවකයා විය. 
ඔහු හීන්දෑරි කෙසඟ සිරුරක් ඇති ප්‍රියමනාප පුද්ගලයෙකු විය. සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක් තරම් වූ කොණ්ඩයක් බැඳ සිටි ලොකු මහත්තයා ටුවිට් රෙද්දක් ඇඳ ගාන්චු සහිත කළු පටියක් බඩ මැදින් බැඳ උඩු කයට කෝට් එකක් ඇඳ සිටියේය. 


දෙපයට සපත්තු හෝ සෙරෙප්පු නොදැමූ ඔහු සති අන්ත නිවාඩුවට පයින්ම නගරයට ගොස් මහනුවර බසයකින් කටුගස්තොට මහ පාලම අසල පිහිටි නිවස බලා ගියේය. දින දෙකකට පසුව ආපසු මෙම ගමට ආවේය. 
මෙගම් වැසියන් මෝහාන්ධකාරයෙන් මුසපත්ව සිටින බව තේරුම් ගෙන සිටි ලොකුමහත්තයා යන්ත්‍රමන්ත්‍ර පිළිබඳව අබමල් රේණුවක් තරම්වත් විශ්වාස කළේ නැත. 
ලොකු මහත්තයාට ආවතේව කම් කළේ ඒ ගමේ තරමක අකුරු ශාස්ත්‍රය දැන උගත් ලේකම් මහත්තයාය. 
ලොකු මහත්තයා ඔහුට කතා කළේ ලේකම් යනුවෙනි. 
පාසලට තිබුණ ගුරු නිවාසයේ සිට ලොකු මහත්තයාට ඉහුම් පිහුම් කළ ලේකම් මහත්තයා ඒ ආසන්නයේ තිබුණ තම නිවසට ගියේ ඉඳහිටය. 
ලොකු මහත්තයා පිරිසිදුව සිටියත් ලේකම් මහත්තයා ඒ ගැන තැකීමක් කළේ නැත. 


ඔහු හිදැස සහිත උඩු ඇන්දේ තිබුණ දත් දෙකින් විකාගෙන ‘රාමක්‍රිෂ්ණා’ හෝ ‘විශාකා’ නමැති වෙළඳ නාමයෙන් හඳුන්වන බීඩි බොන්නට පුරුදුවී සිටියේය. 
ලොකු මහත්තයා මෙන්ම ඔහු ද කොණ්ඩය බැඳ සිටි අතර උඩු රැවුල ඉතිරිවන සේ රැවුල බෑවේ තරමක් වැවුන පසුවය. 
මොහුට අකුරු ලියන්නට පිළිවන් වූ නිසා එම ගමේ තිබුණ රාහුල ප්‍රජාමණ්ඩලයේ මෙන්ම බෞද්ධ සමිතිය සහ ග්‍රාමසංවර්ධන සමිතියේ ලේකම් තනතුරට පත්කරගෙන තිබිණ. 
එමනිසා ඔහුට ගම්වාසීන් ලේකම් උන්නැහැ, ලේකම් පුතා, ලේකම් මහත්තයා 
ආදී විශේෂණ පදය සමග ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කළහ. 
ඔහු සමච්චලයට ලක්කළ ඇතැමුන් ඔහුට නෑසෙන්නට ලෙවකං මහත්තයා යනුවෙන් ද කීහ. 
මෙම ගමට ඉහළින් උඩගලඋඩ නමැති ගම පිහිටා තිබිණ. 


ගම් ප්‍රදේශ දෙකක ජනතාවට සලාක බඩු ගන්නට තිබුණ එකම සමාගම් කඩය තිබුණේ උඩගලඋඩ ගමේ ය. 
ගම්වාසීන් ‘මැනිජර්’ යනුවෙන් හැඳින්වූ එහි කළමනාකරු ලෙස කටයුතු කළේ හීංබණ්ඩා මුදලාලි මොහුගේ මිතුරෙකි. 
ගුරු නිවාසයට අවැසි සහල් පොල් තුනපහේ ටික මෙම සමාගම් කඩයෙන් ලබා ගත යුතුය. 
ඒවා ගෙන එන්නට කඳු සහිත අඩි පාරේ ගොස් පුස්සලේ කන්ද නැග ලේකම් මහත්තයා එහි යාම් ඊම් කිරීමට පුරුදු වී සිටියේය. 
ගිහිපිරිත් කීමට ද නායකත්වය දැක්වූ ඔහු එම ගමේ පිරිත් ගෙවල්වල පවත්වන කතාවල දී කෑම ගැන ද වර්ණනා කළේය. 
අග හිඟකම්වලින් පිරුණු තම නිවසේ දී ලුණු ඉසගෙන පොල් සමග බත් කෑවත් පිටස්තර පිරිත් ගෙදරක දී දෙන ආහාරවල කුමක් හෝ අඩුවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. 
‘කෑම නම් හොඳයි තව ඩිංගක් මිරිස් තුනපහේ දැම්මා නම්’ වැනි කතා ඔහු පවසයි. 


දිනක් ලේකම් මහත්තයා සමාගම් කඩයට ගියේ ලොකු මහත්තයාට අවැසි බඩමුට්ටු ගෙන ඒමටය. 
දෙපස ඇති මහ කැළය මැදින් වැටුණ අඩි පාරේ තනිවම ගමන් කරන විට කාගේත් සිත සසල කරවනසුලුය. 
එම පාළු පරිසරයේ ඔහු බඩු මල්ලක් ද කර මත තබාගෙන කන්ද බැස එමින් සිටියේය. 
එය රෑ බෝවී තිබුණ අවස්ථාවක් විය. 


මීදුම සහිත සිරි පොද වැස්ස වැටෙමින් තිබිණ. මෙම අඩි පාර හරහා කැටන්කඳුර ගලා බසී. 
එම ස්ථානයෙන් ඔහු ගමන් කළ යුතුව තිබුණේ කළුදියවළ නමැති අඳුරින් පිරි රූස්ස මළබඩ ගස් ගොම්මන සහිත ස්ථානයෙනි. 
එදා කළුදියවළ අසලට එනවිට එහි ඇති දිය වළෙහි අරුම පුදුම දසුනක් දුටු ලේකම් මහත්තයා අන්දමන්ද වුණේය. 
එනම් දසතින් පිනිපොද වැටෙමින් හීගඩු පිපෙන එම හැන්දෑවේ දිගට කොණ්ඩය වැවුණ සුන්දර තරුණියක් කළුදියවළේ කරවටක් බැස කිමිදෙමින් සිටිනු දැකීමෙනි. 
මෙම දසුන අදහා ගැනීමට අපහසු වූ ලේකම් මහත්තයා මඳක් නතර වී ඒදෙස බලා සිටියේය. 
‘මේ කෙල්ල කළුහාමි උපාසකගේ දියණියක විය හැකි’ යැයි ඔහු සිතුවේය. 
ඒ සමගම ඔහුගේ නැහැ සිදුරු පිනායන අමුතුම සුවඳක් වහනය විය. 


‘මේ කෙල්ල ඇඟේ ගාන පුසුඹ සබන්වල මෙච්චර සුවඳක් දැනෙන්නේ මොකද?’ 
මෙසේ සිතමින් ලේකම් මහත්තයා කළුදියවළ අසල තිබුණ ගල් මතින් එගොඩ වී නැවත කළුදියවළ දෙස හැරී දිය නාමින් සිටි තරුණිය කවුරුන්දැයි විමසිලිමත්ව බැලුවේය. 
එහෙත් ඔහුට කිසිම හාංකවිසියක් දක්නට නොලැබිණ. කළුදියවළ නිසලව ඇත. 
තරුණිය අසුරු සැණින් ප්‍රාදුර්භූතව සිටියාය. 


එම ස්ථානය සිසාරා යමින් තිබුණ සුවඳ පහව ගොස් ඉවසන්නට බැරි අධික දුගඳක් වහනය වන්නට වූ අතර ලේකම් මහත්තයා තැතිගෙන බියට පත්ව ඇත. 
ඔහුගේ හිස කකියන්නට වූ අතර ගත පුරා දැඩි සීතලක් දැනී වෙව්ලමින් නාගල රජමහ විහාරය අසල කන්ද බැස ගුරුනිවාසය වෙත රෑ බෝවී පැමිණියේ තෝන්තු වීමෙනි. 
‘ලොකු මහත්තයෝ මට උණ ගන්න වගේ සෑහෙන්න අමාරුයි. මම ගෙදර ගිහින් තැම්බුමක් හදාගෙන බීලා එන්නම්’ කියා ඔහු නිවසට ගියා ගියාමය... 
දින තුනක් ඇඳේම ගතකළ ලේකම් මහත්තයාගේ තත්ත්වය දරුණු අතට හැරී උණ විකාරයෙන් නන්දොඩවන්ට විය. 
ඔහුගේ සුවදුක් විමසීමට ලොකු මහත්තයා එම නිවසට ගියවිට ලේකම් මහත්තයා දෑත් එකතුකොට වඳිමින් 
‘අනේ මාව බේරාගන්නැ’යි ඉල්ලා සිටියේය. 
‘බයවෙන්න එපා අපි ඉස්ප්‍රිතාලෙට යමු’ යැයි ලොකු මහත්තයා කීය. 
ඇඳේ වැතිර සිටි ලේකම් මහත්තයා හිස දෙපසට වනමින් පැවසුවේ 
‘එපා එපා ඒක හරියන්නේ නැතැ’යි යනුවෙනි. 


මෙහිදී ලේකම් මහත්තයා තම පවුලේ කිසිවෙකුට හෝ හෙළි නොකළ ලොකු රහසක් ලොකු මහත්යාට හෙළිකළේ කාටත් නෑසෙන සිහින් ස්වරයකිනි. 
දිය නාමින් සිටි තරුණියක් දැක තමන් ඇයට බිය වී උණ සෑදුණ සිද්ධිය හෙළි කිරීම තමන්ට මහත් අවමානයක් හා ලැජ්ජාවකට කරුණක් බව ඔහු සිතුවේය. මෙම සිද්ධිය රහසක් කොට තබාගත් ලොකු මහත්තයා පණිවුඩයක් යවා එදිනම යාබද ගමේ ප්‍රසිද්ධ යකැදුරෙකු මෙන්ම වෛද්‍යවරයෙකු වූ වෙද ගුරුන්නාන්සේ එම නිවසට කැඳවීය. 
ඔහු පැමිණ ලේකම් මහත්තයාගේ අතේ මැණික්කටුව ළඟින් අල්ලා නාඩි පරීක්ෂා කර බැලුවේය. ඉන්පසුව ඔහු ඒ ඉරියව්වෙන්ම දෑස පියාගෙන 
‘මුන්නැහැ යමකට බයවෙලා තියෙනවා. කැපුමක් කරන්නත් වෙයි! ඊට කලින් ඇප නූලක් දාමු’ යැයි යෝජනා කළේය. 
එය එසේම සිදුකළ අතර පසුව ලේකම් මහතාගේ නිවස ඉදිරිපිට මිදුලේ තොවිලයක් නැටීමෙන් අනතුරුව ඔහු සුවය ලැබුවේය. 
ලේකම් මහත්තයා සුවය ලැබුවේ යකැදුරුකමින් විනා කිසිම බෙහෙත් බලයකින් නොවන බව ලොකු ඉස්කෝලේ මහත්තයාට මෙම සිද්ධිය නිසා පිළිගන්නට සිදුවිය. මිථ්‍යාවට එරෙහි වූ හේතුවාදියෙකු වන ලොකු ඉස්කෝලේ මහත්තයා යන්ත්‍ර මන්ත්‍රවලින් ද දුබල වූ සිත් ඇති මිනිසාගේ විශ්වාසය මත රෝග සුව වන බව මෙම අත්දැකීමෙන් තේරුම් ගත් බව කියති. 


මෙම සිද්ධියට සම්බන්ධ වෙද ගුරුන්නාන්සේ ඇතුළු සියලුම පුද්ගලයින් මේවනවිට ජීවතුන් අතර නැති නමුත් එම ස්ථානය සංකේතවත් කරන කළුදියවළ තවමත් දකින්නට ඇත. 
සිහින් සීතල දිය ධාරාවක් සමග දැනුදු එය ගලා බසිමින් පවතී. එහි ජලය එම ගම මැදින් ගලා යන කැටන්කඳුර දිගේ ගොස් අදත් ලැමසූරිය නමැති වෙල් යාය අසලින් බෙලිහුල් ඔයට එක්වෙයි. 

 

 


සටහන 
හිඟුරානේ 
නවරත්න සමරතුංග 



Recommended Articles