එයාර් සිලෝන් යානයෙන් යාපනයට ගිය ගමනක්


ප්‍රතිචාර

 

අපේ රටේ අභ්‍යන්තර ගුවන් සේවා අතරින් කොළඹ සහ යාපනය අතර ගුවන් සේවාව ආරම්භ කර ඇත්තේ රටේ නිදහසටත් පෙරදීය. එදා ඇරඹෙන මේ ගුවන් සේවය නවසිය අසූව මැද භාගය දක්වාම හොඳින් ක්‍රියාත්මක විය. පසුව වර්ගවාදී යුද්‍්ධය හේතුකොටගෙන වසර ගණනාවක්ම මේ ගුවන් සේවය අක්‍රිය විය.

මුල් කාලයේ මේ ගුවන් සේවාව සතියකට දින හතරක් ක්‍රියාත්මක වූ අතර, මුල් කාලයේ රත්මලාන සිට පලාලි දක්වා යෑමට විනාඩි 80 ක් ගතවී තිබුණි. එපමණක් නොව රත්මලාන සිට පලාලි දක්වා ගිය ගුවන් යානය එතැන විනාඩි 45ක් පමණ නැවතී නැවත ගුවන් ගතවී මදුරාසිය දක්වාද ගොස් ඇත්තේ ය. ඒ ගමනටද තව පැයක් පමණ ගතවී ඇත.


ඒ දිනවල අගනුවර නොයෙකුත් රැකියාවල නියුතුව සිටි යාපනයේ බොහෝ අය ඒ වාගේම යාපනයේ ව්‍යාපාරිකයෝ, යාපනයේ නීතිඥ මහත්වරු වැනි උදවිය අගනුවරට යෑම ඒම සඳහා භාවිතා කළේ ලංකා ගුවන් සේවය එසේත් නැත්නම් Air Ceylon නමැති මේ අභ්‍යන්තර ගුවන් සේවාවය. අගනුවර උදවිය වාගේම යාපනයේ උදවියද තම අවශ්‍යතාවන් සඳහා මදුරාසිය බලා යෑමට උපයෝගි කර ගත්තේ කොළඹ, යාපනය හරහා මදුරාසිය බලා ගිය ලංකා ගුවන් සේවාවයි.


යාපනය ගුවන් තොටුපොළ පිහිටා තිබුණේ කන්කසන්තුරේට නුදුරින් තිබූ පලාලි ප්‍රදේශයේ ය. යාපනය නගරයේ සිට පලාලි ගුවන්තොටුපොළ දක්වා කිලෝ මීටර දහසයකට වැඩි ඈතක් නැත. ගුවන් තොටුපොළට මායිම්ව පිහිටා තිබුණේ පලාලි යුධ හමුදා කඳවුරය. අසූව දශකයේ මුල් භාගය දක්වාම එය සාමාන්‍ය කඳවුරකි. මෙය යුධ හමුදාවට අයත් කඳවුරක් වුවත් එහි නාමපුවරුවේ සඳහන්කර තිබුනේ නි.වි.කා මූලස්ථානය පලාලි යනුවෙන්ය.


මෙහි තේරුම නීති විරෝධී කාර්යයන් මැඩලීමේ මූලස්ථානය යන්නයි. 1977 පමණ දක්වාම පලාලි ප්‍රදේශයට ගුවන් හමුදා (Air Ceylon) කඳවුරක් නොතිබූ අතර 1977 දී ඇතිවූ සුළු ප්‍රමාණයේ වර්ගවාදී ගැටුමත් සමගම හදිසියේ 1977 අගභාගයේදී තරම ගුවන් හමුදා අනු ඛණ්ඩයක් පලාලි ගුවන් තොටේ ස්ථාපිත කළේය.
මේ ගුවන් හමුදා අනු ඛණ්ඩය ආරම්භක අවධියේ මමත් රාජකාරි කළේ යුධ හමුදා නි.වි.කා මූලස්ථානයේ ය. මගේ මතකයේ ඇති නිවැරදිම මතකය නම් මේ ගුවන් හමුදා ඛණ්ඩයට තුන් වේලටම ආහාර සැපයීම කළේ යුධ හමුදා මුළුතැන් ගෙයින්ය. ගුවන් හමුදාව ස්ථානගතවීමත් සමගම කුඩා ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක්ද දකින්නට ලැබුණේය.


නීති විරෝධි කාර්යයන් මැඩලීමේ රාජකාරියට අමතරව තවත් රාජකාරි කිරීමට යුධ හමුදාවට පැවරී තිබුණේය. එකක් නම් දිනකට දෙවරක් යන එන Air Ceylon ගුවන් යානයට බාහිර ආරක්ෂාවක් ලබා දීමය. පලාලි දක්වා පැමිණෙන යානය ධාවන පථයට ළඟාවීමට ටික වේලාවකට කලින් යුධ හමුදා රථයක් හෝ දෙකක් ධාවන පථය අසල ස්ථාන ගතවිය යුතුය. ඒ හා සමගම ගිනි නිවන රථ දෙකක්ද ධාවන පථයේ සූදානම් වී සිටිති. මෙය දිනපතා සිදුවෙන සාමාන්‍ය දෙයක් පමණකි.


සමහර වේලාවට හමුදා සෙබළුන් කීප දෙනෙක් ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ ආරක්ෂක කටයුතු සඳහාද යොදවති. පලාලි ගුවන් තොටුපලේ සිටි Air Ceylon සේවක පිරිස, ගිනි නිවන අංශයේ ගිනි භටයින්, ගුවන් තොටුපොළ කාර්ය මංඩලය පමණක් නොව එතැන රාජකාරි කළ රේගු නිලධාරීන්ද හමුදාව සමග ඉතාමත් මිත්‍රශීලීව රාජකාරි කළ උදවිය විය.


උදේ 7 ට රත්මලානෙන් පිටත්වූ ගුවන් යානය විනාඩි 50 කින් පමණ පලාලිවලට ළඟා වූයේය. එතැන සිට නැවත පිටත් වී දකුණු ඉන්දියාවේ ට්‍රිචිනාපෙලි බලා ගියේය. නැවත ට්‍රිචිනාපොලි සිට පැමිණි යානය නැවත පලාලිවලින් මගීන් නංවාගෙන රත්මලානට ගියේය. ඒ දිනවල රත්මලාන පලාලි ගුවන් ගමන රජයේ සේවකයින් අතර ඉතාමත් ජනප්‍රිය වී තිබුණේය. එයට හේතුව වූ​යේ වසරකට ඔවුනට හිමි දුම්රිය වොරන්ට් තුන එකට එකතු කර යාපනයට යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඔවුන්ට හිමිව තිබූ නිසාය.


මෙය ප්‍රයෝජනයට ගනිමින් දකුණේ බොහෝ උදවිය යාපනය බලා ගුවනින් ගියෝය. පලාලි ගුවන්තොටේ සිට යාපනය නගරය බලා යෑමට Air Ceylon සමාගමේ බස් රථයක් ධාවනය වුවත් බොහෝ උදවිය පිටත්ව ගියේ පුද්ගලික රථවාහනවලය. බොහෝ වේලාවට ගුවන් මගින් රැගෙන යෑම සඳහා ඒ අයගේ හිතවත්තු ගුවන් තොටුපොළට පැමිණ සිටියහ. පලාලි යුධ හමුදා කඳවුරේ සේවය කළ නිලධාරීන්ගේ සහ සෙසු නිළයන්ගේ නෑදෑ හිතමිත්‍රාදීහුද බොහෝ විට මේ ගුවන් ගමනට එකතු වූහ.


මේ අයව යාපනය ප්‍රදේශයේ සංචාරයක් සඳහා රැගෙන යෑමට වාහනයක් සූදානම් කර දීමට ඒ දිනවල උතුරේ ආඥාපතිතුමා, කඳවුරේ අණදෙන නිලධාරිතුමා පමණක් නොව අනිකුත් උසස් නිලධාරීන්ද පසුබට වූයේම නැත. ඔව්හු බොහෝ කැමැත්තෙන් ඒ පහසුකම් ලබා දුන්නෝය. බොහෝ වේලාවට එසේ පැමිණෙන උදවියට ආහාර ලබාදීමට පවා එදා සිටි නිලධාරීහු කටයුතු කළහ.


රත්මලානෙන් පැමිණි ගුවන් යානය ටික වේලාවක් පලාලි ගුවන් තොටුපළේ නවතා තබන ලද්දේය. අනිකුත් අය කෙසේ වෙතත් ගුවන් යානය පිළිබඳව යමක් කමක් දැනගැනීමට මම මේ මොහොත අවස්ථාවක් කර ගතිමි. රත්මලාන පලාලි ගුවන් ගමනට භාවිත කළේ ගුවන් යානා දෙවර්ගයකි. Dakota වර්ගයට අයත් D.C. 3 එක් යානයකි. මෙය ඇමරිකාවේ ඩග්ලස් කෝපරේෂන් සමාගම නිපදවූ ජෙට් ඇන්ජින් රහිත යානයකි.
අනිත් යානය H.S. 748 - Avoro වර්ගයට අයත් එංගලන්තයේ නිෂ්පාදනය කළ යානයකි. මෙය රෝල්ස් රෝයිස් වර්ගයේ ඇන්ජිමකින් සමන්විත වූ අතර මෙයද ජෙට් ඇන්ජින් රහිත යානයකි. (සුළං පෙති සහිත) මෙය එංගලන්තයේ මැන්චැස්ටර් කර්මාන්ත ශාලාවේ සාදන ලද්දෙකි.


මා දන්නා තරමින් ඒ දිනවල පලාලි ගුවන් තොටුපොළට ජෙට් ඇන්ජින් සහිත යානා ගොඩබෑවේ නැත. එයට ප්‍රධාන හේතුව වූයේ එහි ධාවන පඨය කෙටි වීමයි. මෙය පැවසුවේද Air Ceylon සමාගමේම උසස් නිලධාරියෙකි. (ඉංජිනේරු)


Air Ceylon, Air Lanka වූවාට පසු පලාලි හා රත්මලාන ගුවන් සේවය පිළිබඳව විස්තර නැතිවිය. ඒ වාගේම 1984 දී පටන් ගත් වර්ගවාදී කැරැල්ලද මෙයට එක් හේතුවක් විය. පසු කලෙක පලාලි ගුවන් තොටුපොළ මුළුමනින්ම හමුදාවට අයිතිවූ අතර Air Ceylon සමාගම සතුව තිබූ කුඩා ගුවන් යානාද හමුදාවට අයිති විය. කාලයත් සමග සියල්ල නැතිවී ගියත් සුන්දර අතීතය ජීවිතය තිබෙන තුරා අමතක වෙන්නේ නැත.


හැත්තෑව දශකයේ එකට පලාලි කඳවුරේ සේවය කළ නිලධාරීන් සහ සෙසු නිළයන් බොහෝ දෙනෙකු අද අප අතර නැත. ජීවත්ව සිටින කීප දෙනාටත් ඒ අතීතය අමතක වූවා සේය. කොටින්ම ටැෆායි ඩියුටිය අමතකය. ඒ දිනවල එක කල්දරමේ බත් කමින් එක බිලට් එකේ දවස ගත කළ හිතවතුන් සෑම දෙනාම වාගේ සී සී කඩ විසිර ගොස් ඇත. ලංකාව කුඩා වුවත් වසර හතළිහකින්වත් නොදුටු උදවියද ඇත.


ගුවනින් පැමිණි හමුදා රියකට ගොඩවී යාපනය පුරා සංචාරය කළ බොහෝ දෙනෙකු රටේ සිටියත් මේ වෙනවිට ඔවුන්ටත් අපගේ මුහුණු අමතකවී ගොස් ඇතැයි සිතෙන්නේය. පලාලි කඳවුරෙන් වාහනයට නංවාගෙන වැල්වැටිතුරේ හරහා පේදුරුතුඩුවට ගොස් ප්‍රදීපාගාරය බලා ආපසු කන්කසන්තුරේ ඔස්සේ කීරිමලේට ගොස් නාන තඩාගයේ ළඟ ටික වේලාවක් ගත කර පොන්නාලේ ඔස්සේ කරෙයිනගර් පසුකර මානිපායි හරහා යාපනය නගරයට පැමිණීම පොදු මාර්ගයයි.


නගරයේ සෑහෙන වේලාවක් රැඳී සිටීමට සංචාරකයෝ කවුරුත්ම කැමතිය. මන්ද ඒ දිනවල යාපනය නගරය හරිම සුන්දරය. නාග විහාරය හා සිංහල මහ විද්‍යලය විඩාව නිවා ගැනීමට හොඳම ස්ථාන දෙකකි. මෙතැනින් සංචාරය නිමවෙයි. අප සමග පැමිණි උදවිය නගරය ආශ්‍රිත නවාතැන් පොළක් වෙන්කරගෙන සිටියෝය. බොහෝවිට ඔවුන් තව දවසක් දෙකක් යාපනය පුරා සංචාරය කළෝය. හමුදා රථය මාර්ග අංක 764 යාපනය පලාලි මාර්ගය ඔස්සේ නැවත කඳවුරට ගියේය. 1963 ජූලි 16 වෙනිදා කර්නල් සේපාල ආටිගලගේ (පසුව යුධ හමුදාපති) නායකත්වයෙන් (අනදෙන නිලධාරි) කොළඹ කොටුවේ ඇචලින් චතුරශ්‍රයේ ආරම්භ කළ ටැෆායි හෙවත් නි.වි.කා බළසේනාව 1981 දී ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ අහෝසි විය.

 

 

කැපුන්ගොඩ ආනන්ද රණවීර

 



Recommended Articles