​මේ යන්නේ රැවටීමෙන්ම බලය ලබා ගැනීමේ ගමනක්


ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්  ටිල්වින් සිල්වා  

කාලීන දේශපාලනය පිළිබඳ මේ අදහස් දැක්වීම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙනි. 

 

සයින්දුමර්දු නගර සභාවත් ආපහු අකුල ගත්තලු. ආණ්ඩුවේ වැඩ ගැන ජවිපෙ අදහස් කොයි වගේ ද?  


මේ ආණ්ඩුව හැම ජන කණ්ඩායමක්ම රවටනවා. ඡන්දෙට කලින් සිංහල බෞද්ධ ඡන්ද ගන්න මුස්ලිම් විරෝධයක් හැදුවා. ඒ මුස්ලිම් විරෝධය හරහා සිංහල බෞද්ධ ඡන්ද අරගත්තා. දැන් මහ මැතිවරණය දිනාගන්න මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොනව හරි දෙන්න කියලා තමයි සයින්දුමර්දු නගර සභාව දෙන්න හැදුවෙ. සමහර මුස්ලිම් නායකයෝ ජනාධිපතිවරණයේදී ගෝඨාභයට සහාය දුන්නෙම ඔය වගේ කාරණාවලට තමයි. දැන් ඒ අය සංතෝෂ කිරීමට ඒක දෙන්න හදනකොට ඒකට විරෝධයක් එනවා. ඒක නිසා ඒක ආපස්සට ගන්නවා. එහෙම කරලා කියනවා අපිට ඕනකමක් තිබුණත් සමාජ විරෝධයක් නිසා ඒ නගර සභාව දෙන්න විදියක් නෑ කියලා.  


 ආණ්ඩුව දෙපැත්තෙන්ම ගැලවිල්ලට තමයි මේ විදියට වැඩ කරන්නේ. මේකෙන් මුස්ලිම් ජනතාවත් රවට්ටනවා. සිංහල බෞද්ධ ජනතාවත් රවට්ටනවා. මේ යන්නේ රැවටීමෙන්ම බලය ලබා ගැනීමේ වෑයමක්. මේ රැවටිල්ල තේරුම් ගත්තෙ නැත්නම් අපේ රටේ ජනතාව විශාල අනතුරකට රට පත්වෙනවා.  


ඔබ එහෙම කිව්වට මිනිස්සු ඒ රැවටීමට ආසයි වගේනෙ සද්ද වහලා ඉන්නේ?  


69 ලක්ෂයක් ගෝඨාභයට ඡන්දය දුන්නා. ඒ අයගේ ඇඟිලිවල තීන්ත මැකෙන්නත් කලින් මේ ආණ්ඩුව තමන්ට ඡන්දය දීපු අයට පිටුපාලා වැඩ කරන්න පටන් අරගෙන. එහෙම වැඩ කරද්දී ලොකුම අවුලට ගිහින් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ ඒ 69 ලක්ෂයම තමයි. ඒ අය අද අසීරුතාවයට පත්වෙලා ඉන්නේ.  


ඡන්දය දීපු අය, ඡන්ද හදපු අය, මත හදපු අය, කැම්පේන් කරපු අය මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒක නිසා ඒ අය අද කරබාගෙන ඉන්නේ. අපි කියන්නේ ඒ අයට ඇත්ත තත්ත්වය අවබෝධ කරගෙන වෙනස් වෙන්න කියලා.  


 කෝ ජවිපෙ විරෝධය ?  


ආණ්ඩුවට මාස තුනයි. මේ වෙනකොටත් අපි අපේ විරෝධය පළ කරලා තියෙනවා. මතවාදීව වගේම ක්‍රියාකාරකම්වලිනුත් අපි ඒ විරෝධය පෙන්නලා තියෙනවා. මේ ආණ්ඩුව ආපු ගමන් විශ්‍රාම වැටුප් වැඩිවීම අත්හිටෙව්වා. අපි ඒකට විරෝධය පළ කළා. අදටත් ඒ විරෝධතා රැල්ල රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුවත් සේවක අර්ථසාධක අරමුදලට හානි කරලා තියෙනවා. අපි ඒකට එරෙහිව සේවක අර්ථසාධක අරමුදල රැකගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා.  


 අපි ජාතික ජනබලවේගය විදියට මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූවා. ඒකට එරෙහිව විරෝධය තවදුරටත් ගෙනියනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නාමල් කරුණාරත්න සහෝදරයා ඇතුළු පිරිස අඛණ්ඩව විරෝධතාවල නිරත වෙනවා. රට පුරා දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් ඒ සම්බන්ධයෙන් අරගෙන යනවා. ආණ්ඩුවෙ ජනතා විරෝධි ක්‍රියාමාර්ගවලට එරෙහිව ක්‍රියාකාරීව සහ මතවාදීව පෙනී ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ජාතික ජනබලවේගය විදියට අපි මේ ගැන නිරන්තර ක්‍රියාකාරිත්වයක ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ කාර්යභාරය ගැන වගේ වගක් නෑ. ඒ අය අභ්‍යන්තර අර්බුදයක එල්ලිලා ඉන්නවා.  


ඡන්දය කරළියට එද්දී මේ සමහර ප්‍රශ්න නිකන්ම යට යන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට අලුත් මාතෘකා උඩට එනවා.  


 හරියට හරි. දැන් එහෙම උඩට ආපු මාතෘකාවක් තමයි යුද හමුද‌ාපතිට ආපු ඇමෙරිකා විරෝධය. මේ ආණ්ඩුවට ජනාධිපතිවරණයේදී ගත්තු සටන් පාඨ මහමැතිවරණ වේදිකාවේ තොරොම්බල් කරන්න බෑ. ඒ අයම ඒ සටන්පාඨ අවලංගු කරලා තියෙන්නේ. යුද හමුද‌ාපතිට එරෙහි ඇමෙරිකා විරෝධය සහ ඒ වගේ තවත් කරුණු ඉදිරියට ද‌ාගෙන ආපහු දේශප්‍රේමි සටන්පාඨ කරළියට ගෙන එමින් තියෙනවා. දැන් මේ ගොල්ලන්ට එම්.සී.සී. ගිවිසුම ගැන කට අරින්න බෑ. ඉඩම් විකිණීම ගැන කතා කරන්න බෑ. දොස්තර ශාපි ගැන කතා කරන්න බෑ. මුස්ලිම් අන්තවාදය ගැන කතා කරන්න බෑ. මේ නිසා තමයි අලුත් සටන්පාඨ හොයමින් ඉන්නේ.  


මෛත්‍රීපාල සිරිසේනත් දැන් පොහොට්ටුවෙ. ඒකෙ සභාපතිත් ඔහු.  


මේකෙන් කදිමට පැහැදිලි වෙන කාරණය තමයි අපේ රටේ විලිලැජ්ජ නැති තුට්ටු දෙකේ දේශපාලනයේ තරම. මේ නායකයින්ට රෙදි ඇඳගෙන මෙහෙම ඉන්න පුළුවන් නම් වෙන ඕන දෙයක් කරන්නත් පුළුවන්. මෛත්‍රී පක්ෂයෙන් එළියට ඇවිත් මහින්ද රාජපක්ෂල ගැන කියපු කතා අපිට මතකයි. වංචා, දූෂණ, පවුල් පාලනය ගැන කියලා රාජපක්ෂගෙ රෙදි ගලවපු කෙනා තමයි මේ එතෙන්ට ආපහු ගිහිල්ලා ඉන්නේ.  


 මෛත්‍රීපාලමයි කිව්වේ මහින්ද රාජපක්ෂලා අලුත් පක්ෂ හදන්න ආවොත් පාරේ ඇවිද්දනවා කියලා. එහෙම කියපු කෙනා ඒකේ තනතුරකට රිංගුව කියන්නේ තවත් කවර කතා ද? ඒ වගේම මහින්ද රාජපක්ෂලත් මෛත්‍රීපාල සිරිසේනට නොකිව්වේ මොනව ද? හිටං හුටං කිව්වා, පඹයා කිව්වා, ආප්පයා කිව්වා. තව එක්කෙනෙක් ‘සිරිසේන කෝ මේ සිරිසේන’ කියලා කෑ මොර දුන්නා. අද එයාට සිරිසේන මුණගැහිලා ඇති. මුණගැහිලා විතරක් නෙවෙයි ඒ සිරිසේනට ‘සර්’ කියලා කියනවත් ඇති.  


 මෛත්‍රීත් මේ තමන්ට අපහාස උපහාස කරපු අයගෙ ඔඩොක්කුවෙ හරි අපූරුවට ඉන්නවා. ඩමි සිරිසේන කෙනෙකුත් හදාගෙන මහින්ද රාජපක්ෂලා ගියා අපිට මතකයි. මේ තරම් තමන්ට අපහාස කරපු අය එක්ක එකට කල්ලි ගැහිලා ආපහු මන්ත්‍රී කෙනෙක් වෙන්න ඡන්දය ඉල්ලනවා කියලා හිටපු ජනාධිපති කෙනෙක් ගැන මොනවා කියන්න ද තව. බලය වෙනුවෙන් මේ අය ඕනම කුජීත වැඩක් කරනවා. බලය හමුවේ අපේ රටේ ධනේෂ්වර පාලකයෝ කටයුතු කරන ආකාරය ඉතාම හිරිකිතයි.  


 අපේ රටේ ජනතාව තාම මේක තේරුම් ගන්නෙ නැති එක තමයි ප්‍රශ්නය. පාලකයෝ වෙනස් කරනවා වගේම රටේ ජනතාව හිතන විදියත් වෙනස් වෙන්න ඕන.  


පොහොට්ටුවෙ සහ එක්සත් ජාතික පක්ෂයේ මේ ආරවුල් ජාතික ජනබලවේගයේ වාසියට හිටීවි ද මහ ඡන්දෙදි?  


ජනාධිපතිවරණය්දී ජනතාව බලාපොරොත්තු තියපු බොහෝ දේ අද වෙනකොට කඩ වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ භූමිකාව අමතක වෙලා තියෙනවා. ජනතාවට විපක්ෂය පිළිබඳව විශ්වාසෙකුත් නෑ. තමන් කරපු වැරැද්දේ තරම අද ජනතාවට පසක් වෙමින් තියෙනවා කියලා අපි හිතනවා.  


 සමහරු ප්‍රසිද්ධියෙම කියනවා තමන් ජනාධිපතිවරණයේදී ගත්තේ වැරදි තීන්දුවක් කියලා. ඒක නිසා පරණ පොරොන්දුවලින් ඒ ජනතාව රවට්ටන්න පොහොට්ටුවෙ අයට බැරි​ වෙනවා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු විශ්‍රාමිකයාට, රාජ්‍ය සේවකයාටම අද පාරට බැහැලා ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒ සටන්වලදී අපේ නායකත්වය යටතට එන්න ඒ අයට සිද්ධවෙලා තියෙනවා. ජනාධිපතිවරණයේදී නොතිබුණු අප්‍රසාදයක් රාජපක්ෂ කඳවුර පිළිබඳව අද රටේ ඇතිවෙලා.  


ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට පක්ෂෙ රණ්ඩු බේරගන්නවා ඇරෙන්න වැඩක් නෑ. මේ අතරෙ විකල්ප දේශපාලන බලයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයේදී ජාතික ජන බලවේගය දෙසට තමයි බොහෝ දෙනා හැරෙන්නේ. මේ කඳවුරු දෙකට එරෙහිව ජනතා බලවේගයක් ගොඩ නගා ගැනීමේ උත්සාහයක අපි නිරත වෙලා ඉන්නවා.  


 අපි ඒ සඳහා ජනතාවට ආමන්ත්‍රණය කරනවා. අපි හිතනවා ඉදිරි පාර්ලිමේන්තුවෙ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ප්‍රබල නියෝජනයක් තිබිය යුතුයි කියලා.  


 ඔබේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ පුත්‍රයා නැවත කරළියට ඇවිත් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ ගැන කතාබහක් සමාජයේ තියෙනවා. ඔහුගේ ඉදිරි දේශපාලන භාවිතය ගැනත් ඉඟි බිඟි පළවෙන බවක් පේනවා. ඔබලා ඒ පිළිබඳ කොයි විදියට ද සංවේදී වෙන්නේ?  


අපේ පක්ෂෙ ඇතැම් සහෝදරවරුත් ඔහු සමඟ කිසියම් කතාබහක ඉන්නවා. ඔහුත් එක්ක අපේ කිසි ප්‍රශ්නයක් නෑ. ඔහු තරුණයෙක්. ඔහු කියලා තිබුණා වගේම ඔහු ස්වාධීන පුද්ගලයෙක්. ඔහුට රුචි දේශපාලනයක් කිරීමේ අයිතිය ඔහුට තියෙනවා. ඔහු ආපු පසුබිමත් එක්ක කල්පනාකාරීව කටයුතු කරාවි කියලා අපි හිතනවා. ඔහු ලංකාවට ආවම මේ රටේ සමහර මාධ්‍ය ඔහු හොයාගෙන ගිහින් ඔහු ලව්වා ඔවුන්ට ඕන දේ කියවගන්න උත්සාහ කරනවා. ඔවුන් උත්සාහ කරනවා ඔහු ලව්වා ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව යම් යම් දේ කියව ගන්න. මේක ඉතා බොළඳ උත්සාහයක්.  


 ඒත් අපි දැක්කා ඒ දරුවා ඉතා ප්‍රවේසම්වෙලා තියෙනවා එ් මාධ්‍යවල න්‍යාය පත්‍රයට උගුලට අහු නොවී ඉන්න. ඒක ඔහුගේ හොඳ ලක්ෂණයක්.  
 

පිළිසඳර - ප්‍රියන්ත කොඩිප්පිලි