ශ්‍රීලනිපයත් සමග සන්ධාන ගතවීම අපට ප්‍රශ්නයක් නොවෙයි


කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග  

 

 

පාර්ලිමේන්තුව අද හෙටම විසුරුවාලීමට නියමිත බව පැවසේ. අප්‍රේල් මාසයේ මහ මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවද වාර්තා වේ. දේශපාලන ලෝකය ගිනියම් වෙමින් තිබෙන්නේ ඒ අනුවය. මහ මැතිවරණයට ඇති සූදානම කෙසේ ද? සන්ධාන හුටපට අවසන්ද? මේ ඒ ගැන විමසමින් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය - කොහොමද අලුත් සන්ධානය?  


පිළිතුර - අපට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය කරන වට පිටාව සකස් වෙලා ඉවරයි. අද එක්සත් ජාතික පක්ෂයට හා ඔවුන්ට සම්බන්ධ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට එරෙහිව රටට ආදරය කරන පිරිස්වලට එකතු වෙන්න කියන ආරාධනාවට අද විශාල සංවිධාන ප්‍රමාණයක් එකතු වෙමින් සිටිනවා. ඒ අනුව සන්ධානය ගහන්නත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට තුනෙන් දෙක ගන්න ඒ අනුව ඉතාම පහසු ඉඩක් හැදිලා තියෙනවා.  


ප්‍රශ්නය - ඔබේ සන්ධානයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි වුණා. ඔබට එය දැනෙන්නේ?  


පිළිතුර - මම ඉන්න දේශපාලන ස්ථාවරයක් තියෙනවා. සභාපති වෙන්න කලින් ‘සම නායක’ වෙන්න තමයි ඒ පැත්තෙන් යෝජනා කරලා තිබුණේ. අපි ඒකට විරුද්ධ වුණා. මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ අසම සම නායකයෙකි. ඒ නායකයාට සම කරන්න වෙන කාටවත් බෑ. ඒ නිසා අපි දිගටම කිව්වේ ‘ඉන්නේ එක නායකයයි. ඒ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා විතරයි කියලා. ඒ වගේම මම දිගටම හිටපු ස්ථාවරය තමයි අපි මේ මැතිවරණය පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනෑ කියලා. ඒක ගැනත් අද එකඟතාවකට ඇවිත් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සන්ධානගතවීම අපට ප්‍රශ්නයක් නොවෙයි. එහෙම සන්ධානගත වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනතුරක් දුන්නා. ඒ තනතුරට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව නම් කරලා තියෙන්නේ. අපි පක්ෂ අතර තනතුරු බෙදාගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි සභාපති ධුරය දුන්නේ. ඒකට ඒ පක්ෂයෙන් තමයි හිටපු ජනාධිපතිතුමාව පත් කළේ.  


ප්‍රශ්නය - ‘අලුත් පක්ෂ හැදුවොත් බලාගෙනයි. පාරවල් පුරා ඇවිද්දවෙනවා’ කියලා ඒ කාලයේ තර්ජනය කළේත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.  


පිළිතුර - ඔව්! ඔව්! අපට මතකයි. මේ පොහොට්ටුව හදනකොට ඒ වගේ නොයෙකුත් තර්ජන කළා. ඒ පොහොට්ටුවත් සමගම සන්ධානගතවීමට සිදුවීම දෛවයේ සරදමක් තමයි. ඔව්! ඒකෙ වෙනසක් නැහැ.  


ප්‍රශ්නය - 2015දී මහින්ද රාජපක්ෂ පරාජය කරන්න මූලික වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන. ඒක තුළ පොහොට්ටු පාක්ෂිකයා ඔහු සාදරයෙන් පිළිගනීවි කියලා ඔබ හිතනවද?   


පිළිතුර - පොහොට්ටුව තුළ එයා සම්බන්ධයෙන් ලොකු විරෝධයක් තියෙනවා. හැබැයි මෙතැන පැහැදිළිව දෙකට බෙදෙන කොට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව හරියටම බලලා නිවැරැදිම විදියට පිළිතුරු දෙන්න කටයුතු කරයි. සන්ධානගත වෙනකොට මම මුලිනුත් කිව්වේ ඒකයි. කුඹුරක අස්වැන්න වැඩි කරගන්න නම් බාහිර බලපෑම්වලින් අස්වැන්න බේරාගන්න නම් කුඹුරේ පඹයෝ හිටවනවනේ. අන්න ඒ වගේ වැඩක් තමයි මේකත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගන්න ඕනැ නිසා ඔය වගේ දේවල් කරන්න වෙනවා.  


ප්‍රශ්නය - පහුගිය ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් ඡන්ද හැට නව ලක්ෂයක් ගන්න වෙන්නේ නෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. ඒකත් ලොකු තර්කයක්?  


පිළිතුර - මං හිතන්නේ මේ මැතිවරණයට නම් ඔය තර්කය එච්චර වැදගත් වෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලබා ගන්න පුළුවන්. එතුමා සරල ජනාධිපති කෙනෙක් කියලා කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන්ම ඔප්පු කළා. එතුමාට ලොකු ප්‍රසාදයක් තියෙනවා. පහුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වය ලැබුණා ඔය හැටනව ලක්ෂය ගන්න. ඒක අපි නැහැයි කියන්නේ නෑ. එහෙම නැහැයි කියන්න තරමට අපි දේශපාලන කුහකයෝ නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 50 එක්සත් ජාතික පක්ෂ විරෝධි ඡන්ද, නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂවාදීන්ගේ ඡන්ද ටික අපට ලැබුණා. ඒක අපි අගය කරනවා. ඒ වගේම මේ මැතිවරණයේදීත් ඒ ඡන්ද ටික අපට ලබාගන්න පුළුවන්.  

 

දේශපාලන ස්ථාවරත්වය තුළ තමයි විශ්‍වාසය ගොඩනැගෙන්නේ. යහපාලන ආණ්‍ඩුව ජාතික ආණ්ඩුවක් හදා ගත්තා කියලා එළ හරකයි මී හරකයි එකතු කරලා වගේනේ වැඩ කළේ. එහෙමනේ වුණේ. ඒ නිසානේ ඒ කාලේ ආයෝජකයෝ ආවේ නැත්තේ. ආයෝජකයෙක් ආවම දෙගොල්ලෝ දෙපැත්තට අදිනව. ඒ නිසා තමයි රට ඉස්සරහට නොගියේ. ඒ නිසා තමයි අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශක්තිමත් බහුතර ආණ්‍ඩුවක් හදාගන්න ඕනැ කියලා. 

 


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා පොහොට්ටුවේ නායකයන් හිරේ විළංගුවේ වැටිලා දුක් විඳිනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් වෙලා සැප වින්දා. මේ දෙපාර්ශ්වයට එකම ගමනක් තියෙනවද? 

 
පිළිතුර - යහපාලන ආණ්ඩුව එනකොට මහින්ද මහත්තයා ළඟ හිටපු, මහින්ද මහත්තයාගේ වාහනෙන් බැහැපු නැති අය.... ඒ වගේම රාජපක්ෂලාව කිට්ටුවෙන්ම ආශ්‍රය කරපු අය මහින්ද මහත්තයාව දාලා ගියා. මහින්ද මහත්තයාව දාලා ගියා විතරක් නොවෙයි යහ පාලන ආණ්ඩුව ඒ මුළු පවුලෙන්ම පළි ගත්තා. මට මතකයි මහින්ද මහත්තයාගෙන් විතරක් නොවෙයි. එතුමාගේ බිරිඳ බිරිඳගේ අම්මා දරුවෝ තුන් දෙනා, බැසිල් රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ඔක්කෝම අයට හිරිහැර කරන්න පටන් ගත්තේ ඔය කාණ්ඩය එකතු වෙලා තමයි. එතකොට ඒ යහ පාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් වෙලා හිටපු අය අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒකත් දෛවයේ සරදමක් කියලා තමයි මම දකින්නේ.  


ප්‍රශ්නය - එහෙම අයව පරාද කරන්න කියලා මේ පාරත් ඔබලා යටින් ගේමක් ගහනවද?  


පිළිතුර - ඒ ගේම අපි ගහන්න ඕනැ නැහැ. මිනිස්සු තීන්දු කරයි කාට ද ඡන්දෙ දෙන්න ඕනැ කාට ද නොදී ඉන්න ඕනැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ අපේක්ෂකයෝ දැම්මොත් මිනිස්සු ඒ ගොල්ලන්ට ඡන්දයත් දෙයි. ඒගොල්ලන්ගේ දේශපාලන ස්ථාවරය බලල. වැඩ කරපු ඒවා දිහා බලයි. ඒ හැම දෙයක්ම බලලා ඡන්දය දෙයි. මේ මහ මැතිවරණයේදී ජනතාව ඉතාම බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරයි කියලා මම විශ්වාස කරනවා.  


ප්‍රශ්නය - මිනිස්සු තොග පිටින් සහන බලාපොරොත්තු වෙනවා. නමුත් ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ?  


පිළිතුර - කවුරුහරි බලාපොරොත්තු වෙනවා නම් ආණ්ඩුවක් පිහිටුවලා දින 100ක් තුළ දී මේ සියලු ප්‍රශ්නවලට උත්තර ලැබෙයි කියලා..... මම විශ්‍වාසස කරන්නේ නෑ එහෙම කරන්න පුළුවන් කියලා. මොකද පහුගිය අවුරුදු හතරාමාර තුළ රට විනාශ කළා. ඉතින් මේ රට කෙටි කාලයක් තුළ ගොඩගන්න අමාරුයි.  


ප්‍රශ්නය - පහුගිය ආණ්ඩුවත් කිය කියා හිටියෙත් ඔහොම තමයි?  


පිළිතුර - මෙහෙමයි 2019 දෙසැම්බර් 31 වැනිදා වෙනකොට මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට ගෙවන්න තිබුණ මුදල් ගෙවන්නවත් ගිය ආණ්ඩුව සල්ලි ඉතිරි කරලා තිබුණේ නෑ. ආර්ථිකය බිංදුවට වට්ටලා තිබුණේ. ඉතින් ඒ නිසාම රටේ ආර්ථිකය විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමත් මහින්ද අගමැතිතුමත් කිව්වේ ‘අපට ලැබෙන පළමු තත්පරයේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ’ කියලා. එහෙම විසුරුවලා මැතිවරණයකට ගිහින් බහුතර ආණ්ඩුවක් හදාගන්න ඕනෑ කියලා. දේශපාලන ස්ථාවරය හදාගන්න පුළුවන් වෙන්නේ එහෙමයි. ඒ නිසා මම හිතනව ඉක්මනින් මැතිවරණයකට ගියොත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරයි.  


ප්‍රශ්නය - බඩු මිල අඩු කරන්න බහුතර බලය අවශ්‍යයි කියන එක පිළිගන්න පුළුවන්ද?  


පිළිතුර - පැහැදිලිවම රටක දේශපාලන ස්ථාවරයක් නැත්නම්, රටකට ආයොජකයෝ එන්නේ නැත්නම් ආර්ථිකය හදන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය තුළ තමයි විශ්‍වාසය ගොඩනැගෙන්නේ. යහ පාලන ආණ්‍ඩුව ජාතික ආණ්ඩුවක් හදා ගත්තා කියලා එළ හරකයි මී හරකයි එකතු කරලා වගේනේ වැඩ කළේ. එහෙමනේ වුණේ. ඒ නිසානේ ඒ කාලේ ආයෝජකයෝ ආවේ නැත්තේ. ආයෝජකයෙක් ආවම දෙගොල්ලෝ දෙපැත්තට අදිනව. ඒ නිසා තමයි රට ඉස්සරහට නොගියේ. ඒ නිසා තමයි අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශක්තිමත් බහුතර ආණ්‍ඩුවක් හදාගන්න ඕනැ කියලා කියන්නේ.  


ප්‍රශ්නය - ඔබ කියන විදියට ඔය බහුතර බලය හදා ගන්නකම් මේ බඩු මිලේ පීඩනයෙන් ජනතාව විඳවන්න ඕනෑ?  


පිළිතුර - නෑ නෑ දැන් බලන්න මුලදී තිබුණ තත්ත්වයට වඩා අද වෙනකොට රටේ තත්ත්වය හොඳ වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න බාහිර කණ්ඩායමකුත් ඉන්නවා. මට මතකයි ගෝඨාභය මහත්තයා දිවුරුම් දුන්න දවසේ... මහින්ද මහත්තයා මේ කතාව බොහොම පැහැදිළිවම කිව්වා. එදා හාල් මිල රුපියල් 150 දක්වා වැඩි කළා. ඉතින් ඒවගේම කෘෂිකර්මය සම්බන්ධ කාරණාවලදී ඒ වගේ බාහිර බලපෑම් තියෙනවා. මේවා දැනගෙන තමයි ආණ්ඩුවක් ගෙනියන්න වෙන්නේ. මේ ආණ්‍ඩුව බලයට පත්වීම ගැන බටහිර රටවල් විතරක් නොවෙයි ඔවුන්ට ගැති කම් කරන මේ රටේ කණ්ඩායමකුත් ඉන්නවා. ඔවුනුත් නොයෙකුත් දේවල් කරනවා. අපි ඒ නිසා ජනතාවගෙන් ඉල්ලනවා හොඳ දේශපාලන ස්ථාවරයක් සහිත ශක්තිමත් ආණ්‍ඩුවක් පිහිටුවන්න බලයක් දෙන්න කියලා.  


ප්‍රශ්නය - එහෙම බලයක් දුන්නොත් ආණ්‍ඩුවේ යක්ෂ මුහුණුවර මැතිවරණයෙන් පස්සේ බලාගන්න පුළුවන් කියලා විපක්ෂය කියනවා.  


පිළිතුර - ඒගොල්ලෝ බිල්ලෝ මවනවා කියන්නේ ඒකනේ. ඒ ගොල්ලෝ ඕක 2015දීත් කළා. 2019 ජනාධිපතිවරණයේදීත් කළා. මේ මහ මැතිවරණයේදීත් ඒ බොරුවම කියාගෙන එනවා. හැබැයි අද දෙමළ - මුස්ලිම් සියලු ජාතීන් පිළිඅරගෙන තියෙනවා ඔවුන් රැවටුණා කියලා. මේ වෙලාවෙත් මැතිවරණයක් යනකොට එක එක බිලි මවනවා. නමුත් රටේ ජනතාව දැන් මේ අය කියන දේවල් විශ්වාස කරන්නේ නෑ.  


ප්‍රශ්නය - එම්.සී.සී. ගිවිසුම සම්බන්ධ ආණ්ඩුවේ ස්ථාවරය කියන්නේ මාස හතරකින්. එතකොට මහ මැතිවරණය ඉවරයි. මේක ජනතාව රැවටීමක්.  


පිළිතුර - මෙහෙමයි. එම්.සී.සී. ගිවිසුමට අදාළ සියලුම දේවල් පහුගිය ආණ්ඩු කරලා තියෙන්නේ. අස්සන් කිරීම නතර වුණේ මේ ආණ්ඩුව බලයට ආපු නිසා. එතකොට මේ ගිවිසුමේ හොඳ දේවල් නරක දේවල් මොනවද කියලා අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ ගිවිසුම රටට අහිතකරනම් මොන හේතුවක් නිසාවත් අපි ඒක අස්සන් කරන්නේ නෑ.   


ප්‍රශ්නය - “අහිතකර දේවල් තියෙනවානම්” කියලා කියන්නේ ඇයි? මේ ගිවිසුම රටට අහිතකරයි කියන එක ඔබේ ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රබලම සටන් පාඨයක්?  


පිළිතුර - ඒ ගිවිසුම ඔය විදියටම ක්‍රියාත්මක වුණොත් ඒකේ රටට අහිතකර පැති වැඩියි. ඉතින් අපට පුළුවන්නම් ඒකේ හොඳ දේ අරගෙන නරක දේ ඉවත් කරන්න. එහෙම වුණොත් වඩාත් හොඳ ගිවිසුමකට යන්න පුළුවන් වේවි.  


ප්‍රශ්නය - අපේ රටේ ආරක්ෂක ඇමැති කවුද? මේ ප්‍රශ්නයට නිශ්‍චිත පිළිතුරක් දෙන්න ආණ්‍ඩුව අසමත්?  


පිළිතුර - රටේ ආරක්ෂක ඇමැතිවරුන් සිටියදීත් බෝම්බ පිපුරුවේ. රටේ ජනාධිපතිවරයා තමයි සේනාධිනායකයා. ඒ වගේම අාරක්ෂක රාජ්‍ය ඇමැති විදියට චමල් රාජපක්ෂ ඇමැතිතුමා කටයුතු කරනවා.  


ප්‍රශ්නය - පහුගිය ජනාධිපතිවරණයේදී ඔබලා වැඩියෙන්ම අවධාරණය කළේ රටේ ආරක්ෂාවයි. ඒත් රටේ ආරක්ෂක ඇමැති වරයෙක් නැහැ?  


පිළිතුර - මේ රටේ යුද්ධයට මුහුණ දීපු..... යුද්ධය මෙහෙයවන්න ආරක්ෂක ලේකම්වරයා හැටියට මැදිහත් වුණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සේනාධිනායකයා වශයෙන් ඉන්නවානම් තවත් මොනවද? ආරක්ෂක ඇමැතිවරයෙක් ඉන්නවද නැද්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්‍ඩුවට වැඩපිළිවෙළක් තියනවාද නැද්ද කියන එකයි වැදගත්. ඒ නිසා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. යුද්ධයේ සජීවි අත්දැකීම් තියෙන ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා. ඒ නිසා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කවුරුවත් කලබල විය යුතු නෑ.  


ප්‍රශ්නය - ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ඔබලා අපේක්ෂා කරනවා. ඉටුකර ගත හැකි ඉලක්කයක්ද?  


පිළිතුර - මම විශ්‍වාස කරනවා අපි ඔක්කොම මහන්සි වුණොත් අපට තුනෙන් දෙකක බලයක් ගන්න පුළුවන් කියලා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බැලුවොත් අපිට ඉතාම පහසුවෙන්ම ශක්තිමත් බහුතර බලයක් ගන්න පුළුවනි. අපි ඉලක්ක කරන තුනෙන් දෙකක බලයක් ගන්න අපි වෙන්න ඕනෑ මහන්සිය වුණොත් ඉතාම පහසුයි කියලා මම විශ්වාස කරනවා.  

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්